
• අවසන් 20 අතරට ආසියාතික රටවල් 4 කුත්
• කුසගිනි නිවීම ව්‍යාපෘතියේ අරමුණ වුණා
• කාලගුණික වෙනස් විම් සම්බන්ධ අනාවැකි සඳහා ජාත්‍යන්තරයේ අවධානය
පොදුරාජ්‍ය මණ්ඩලීය යෞවන සම්මාන උළෙල සඳහා රටවල් 17 කින් නව නිපැයුම්කරුවන්, ක්‍රියාකාරීන් සහ ව්‍යවසායකයන් ඇතුළු තරුණ තරුණියන් 20 දෙනෙකු අවසන් තරගකරුවන් ලෙස ප්‍රකාශයට පත්වූයේ පසුගියදාය. ඒ කලාපීය රටවල් අබිබවමින් ලාංකික තරුණ ව්‍යවසායකයෙකු වන ලිලාන් දයානන්ද ද මෙවර අවසන් 20 දෙනා අතරට පත් වූයේ ඔහු විසින් කුසගින්න නැති කිරීම හා කාලගුණික වෙනස්වීම් අරමුණු කර ගනිමින් ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ කෘෂි විප්ලවීය ව්‍යාපෘතිය වෙනුවෙනි.
මාර්තු 16 වැනි දින මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන නිල සම්මාන උළෙලේදී සෑම කලාපයකින්ම ඉහළම තරගකරු කලාපීය ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරෙන අතර මෙම කලාපීය ජයග්‍රාහකයින් පස්දෙනාගෙන් එක් කැපී පෙනෙන තරුණයෙක් 2022 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ ව්‍යවසායකයා බවට පත් වීමට නියමිතය.
ELZIAN AGRO ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂවරයා වන ලිලාන් දයානන්ද 2021 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික කළමනාකරණ විශේෂවේදි උපාධිය අවසන් කර ජාත්‍යන්තරයට ප්‍රවේශ වන්නේ දක්ෂ හා නිපුණතා පිරිපුන් තරුණ ව්‍යවසායකයකු වශයෙනි.
කාලගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන්නට ඔහුගේ ගමන්මඟ විවර වූ අතර, තවදුරටත් මේ සම්බන්ධ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයන්හි පාඨමාලා මාර්ගගත ක්‍රමයට හදාරමින් ඒ පිළිබඳ දැනුම් වර්ධනය කර ගන්නටත් ඔහුට හැකිවිය. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය යෞවන සම්මාන උළෙල පැවැත්වූයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ විසඳුම් ඉදිරිපත් කිරීමේ වේදිකාවක් වශයෙනි.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල බිලියන 2.5 කට ආසන්න ජනතාව අතරෙන් 60% ක් පමණ සිටින්නේ වයස අවුරුදු 30 ට අඩු තරුණ ප්‍රජාවය. මේ රටවල් අතරින් 32 ක් කුඩා රාජ්‍ය වන අතර ඒ රටවල ආර්ථික ගමන් මඟට තරුණ නායකත්වය, දැනුම අතිශයින්ම වැදගත් වී ඇත. මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 53 අබිබවමින් ලිලාන් දයානන්ද අවසන් 20 දෙනා අතරට පත්වූයේ මෙම තරගාවලියට අදාළව ඔහු විසින් ඉදිරිපත් කළ තිරසාර සංවර්ධන අරමුණු 17 න් එකක් වන කුසගින්න නිවීම සඳහා ඉදිරිපත් කළ ව්‍යාපෘතිය ඇගැයීම වෙනුවෙනි. මේ අවසන් 20 දෙනා අතරට ලංකාව පමණක් නොව ඉන්දියාව, පාකිස්ථානය හා සිංගප්පූරුව යන ආසියාතික රටවල් 3 ක් ද ඇතුළත් වීම විශේෂත්වයකි. අමතරව අප්‍රිකාව, නයිජීරියාව, උගන්ඩාව වැනි අප්‍රිකානු රටවල් ද, කැරිබියන් දුපත් මෙන්ම යුරෝපා හා කැනඩාවේ රටවල් කිහිපයක් හා පැසිෆික් දූපත් කිහිපයක්ද අයත් විය.
‘ ලංකාවේ කුසගින්න නැති කිරීම‘ලිලාන්ගේ ප්‍රධානම ඉලක්කය වූ අතර, එයට සබැඳියාවක් දක්වමින් කාලගුණයට අදාළව ඔහු විසින් තරගාවලියේ උප අරමුණුද සාක්ෂාත් කළේය. 2019 වසරේදි ඔහු විසින් ආරම්භ කළ ELZIAN AGRO ආයතනයේ අද වන විට 84 දෙනකුගේ කණ්ඩායමක් බවට පත්ව ඇත.
වඩා හොඳ සෞඛ්‍යය, විධිමත් ආහාර නිෂ්පාදනය සහ නව ව්‍යාපාරවලට සහාය වීම ඉලක්ක කරගත් නවෝත්පාදනයන් ඉදිරිපත් කිරීම පමණක් නොව ග්‍රාමීය ගොවීන්ට බෝග අස්වැන්න වැඩි කර ගැනීම සඳහා ස්මාර්ට් කෘෂි විද්‍යා විසඳුම් ලබාදීම, දත්ත පදනම් වූ අනාවැකි හරහා පසෙහි තත්වයන් පිරික්සීම, කාලගුණයේ සැලකිය යුතු වෙනස්කම් සහ පළිබෝධ තර්ජන කලින් දැනුම්වත් කිරීම ආදී කාලීන වටිනාකමකින් යුතු අංශ කිහිපයක් ඔහුගේ ව්‍යාපෘතියට ඇතුළත් වෙයි. මෙම ව්‍යාපෘතිය ගොවීන් 50,000කට අධික සංඛ්‍යාවක් වෙත මේ වන විටත් ළඟා වී ඇත.
මෙම තරගාවලියේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් තරුණ ව්‍යවසායකයින් අප්‍රිකාව, ආසියාව, කැරිබියන්, යුරෝපය සහ කැනඩාව සහ පැසිෆික් වශයෙන් කලාපීය ඛාණ්ඩ පහක් යටතේ වර්ග වෙයි.
ස්වාධීන පොදුරාජ්‍ය මණ්ඩලීය ජූරි සභාවක් සියල්ල විනිශ්චය කෙරෙන අතර තේරුණු අවසන් 20 දෙනාට කුසලානයක්, සහතිකයක් සහ පවුම් 1,000 බැගින් ලැබීමට නියමිතය. ඔවුන්ගෙන්ද කලාපීය සම්මානලාභීන් පස් දෙනෙකු තෝරා ගන්නා අතර, එසේ තේරුණු අයට අමතර පවුම් 2,000 ක් ලැබීමට නියමිතය.
කලාපීය සම්මානලාභීන්ගෙන් එක් අයකු වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ ව්‍යවසායකයා ලෙස තෝරා ගන්නා අතර ඔහුට පවුම් 5,000 ක සම්පූර්ණ මුදල් ත්‍යාගය පිරිනැමේ.
රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය සනිටුහන් කිරීම සඳහා, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය වන Queen’s Commonwealth Trust (QCT) මඟින් තවත් අතිරේක ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කර ඇත.