දේශගුණික විපර්යාස අවම කරන බ්‍රැන්ඩික්ස් හරිත කම්හල | සිළුමිණ

දේශගුණික විපර්යාස අවම කරන බ්‍රැන්ඩික්ස් හරිත කම්හල

BBC StoryWorks වෙතින් බ්‍රැන්ඩික්ස් පිළිබඳ කෙටි චිත්‍රපටයක් ‘Enriching the fabric of community’

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණ වෙනස්වීම් මේ වන විට ලෝකයටම අහිතකර ප්‍රතිඵල ගෙනදෙමින් ඇත. ඒ හේතුවෙන් සිදුවෙමින් පවතින ස්වභාවික ව්‍යසනයන් ඉදිරියේදී මිනිසාගේ පැවැත්මට බරපතළ තර්ජනයක් විය හැකි බවට පරිසර විශේෂඥයෝ අනතුරු අඟවති. විශේෂයෙන් ගෝලීය උණුසුම වැඩිවීම විශාල ගැටලුවක් බවට පත්වී ඇති අතර, එසේ ගෝලීය උණුසුම වැඩි වීම සඳහා මිනිසා විසින් විවිධ ක්‍රියාකාරකම් තුළින් පරිසරයට මුදා හරින වායු වර්ග ද ප්‍රධාන හේතුවක් වේ. මේ තත්ත්වය වළක්වා ගැනීමට හරිතාගාර ආවරණය තුළින් ලැබෙන්නේ විශාල රුකුලකි. පෘථිවියේ දේශගුණික සමතුලිතතාව රඳා පවතින සාධකයක් වන හරිතාගාර ආචරණය සිදු නොවුණහොත් පෘථිවියේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක තරම් පහළ අගයක් ගන්නා බව විද්‍යාඥයන්ගේ අදහසයි. එය මිහිමත ජීවීන්ට ජිවත්වීම සඳහා සුදුසු උෂ්ණත්වයක් නොවන බැවින් මානව වර්ගයාගේ පැවැත්මට බලවත් තර්ජනයක් වනු නිසැකය.

එවැනි තත්ත්වයක් තුළ දේශගුණික දේශගුණ විපර්යාස අවම කිරීමට දායක විය හැකි ආකාරය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අවශ්‍ය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් රැසක් ඊට හේතුවන නිසාය. එකී සමාජ වගකීම මනාව වටහාගත් BBC StoryWorks Commercial Productions සමාගම මඩකලපුවේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව පාදක කරගනිමින් ‘Enriching the fabric of community’නමින් කෙටි චිත්‍රපටියක් නිෂ්පාදනය කර ඇත. මෙය ‘World Green Building Council’ හි ඉදිරිපත් කිරීමක් වන ‘Building a Better Future’කෙටි චිත්‍රපට මාලාවේ එක් චිත්‍රපටයක් වන අතර, මිනිසුන්ගේ ජීවිතවල ගුණාත්මක භාවයට ගොඩනැඟිලිවලින් ඇතිවන බලපෑම සහ දේශගුණ විපර්යාස අවම කිරීමට හරිත ගොඩනැඟිලි සංකල්පය දායක වන ආකාරය යන මූලික කරුණු එමඟින් ගවේෂණය කර ඇත.

මෙම කෙටි චිත්‍රපටය සඳහා පාදක වූ මඩකලපුවේ පිහිටි බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් (Brandix Essential) කර්මාන්තශාලාව, 2019 වසරේදී ලොව අංක එකේ ‘Net Zero Carbon’ සහතිකලත් ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාව බවට පත්විය. අහිතකර වායු විමෝචනය අවම කිරීම ඔස්සේ දේශගුණ විපර්යාස පාලනය කිරීමට දායක වීම වෙනුවෙන් එම කර්මාන්තශාලාවට මෙම ඇගයුම හිමි විය. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘Green Building Council’(USGBC) මඟින් ක්‍රියාවට නංවා ඇති ‘Leadership in Energy and Environmental Design (LEED’ හරිත ගොඩනැඟිලි ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය මඟින් මෙම කර්මාන්තශාලාව ‘ප්ලැටිනම්’ ලෙස ශ්‍රේණිගත කර ඇත.

බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් යනු ශ්‍රීලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතර, එහි අරමුණ ‘පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලබාදීම’යි. වසර 50 කට අධික කාලයක් තිස්සේ ලොව සුප්‍රකට වෙළෙඳ නාම රාශියකට ඇඟලුම් විසඳුම් පිරිනමා ඇති බ්‍රැන්ඩික්ස්, රටවල් 9ක 60,000කට අධික පිරිසකට රැකියා අවස්ථාව ලබාදී ඇත. කලාපයේ වඩාත්ම තිරසර ඇඟලුම් නිෂ්පාදකයා බවට පත්වීම සඳහා යන ගමනේ සෑම අදියරකදීම තම මෙහෙයුම් කටයුතු හා හවුල්කරුවන් තුළ සැබෑ වෙනස්කම්වලට මුලපිරීමට බ්‍රැන්ඩික්ස් නිබඳවම උත්සාහ දරයි. ඇඟලුම් කර්මාන්තය තුළ අර්ථවත් පරිවර්තනයක් සිදුකිරීමට නම් පාරිසරික තිරසාරත්වය මෙන්ම සමාජයීය තිරසාරත්වය ද ළඟාකරගත යුතු බව බ්‍රැන්ඩික්ස් සමාගමේ විශ්වාසයයි.

තම සාමාජික සාමාජිකාවන්ට සහ සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදෙමින් ඔවුන්ට නිරෝගී ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දීම සඳහා 'මනුසත්කාර' යන තේමාව යටතේ සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට සමාගම පියවර ගෙන තිබෙන්නේ ඒ වෙනුවෙනි. එම වැඩසටහන යටතේ මේ වනවිට පවුල් 4,500 කට අධික සංඛ්‍යාවකට සෙත සැලසී ඇති අතර, පාසල් සහ රෝහල් වැනි ස්ථාන වෙත ද මේ යටතේ පිරිසිදු පානීය ජලපහසුකම් සපයා ඇත.

බ්‍රැන්ඩික්ස් සමාගම ස්වාභාවධර්මය සුරැකීමට මෙන්ම සේවක සේවිකාවන් වෙනුවෙන් හිතකර හා ඵලදායී රැකියා පරිසරයක් නිර්මාණය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අප බ්‍රැන්ඩික්ස්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් ගෙන් විමසුවෙමු.

“තිරසාරත්වය අපගේ සෑම කටයුත්තකම අනිවාර්ය අංගයක් විය යුතු බව අප විශ්වාස කරනවා. එමෙන්ම අප සෑමවිටම මුල්තැන දෙන්නේ පරිසරයේ සහ ප්‍රජාවන්ගේ යහපතටයි. විලාසිතා කර්මාන්තය යනු පරිසර දූෂණයට දායකත්වයක් දක්වන කර්මාන්තයක් බව පර්යේෂණවලින් පෙනීයාමෙන් අනතුරුව මෙම කර්මාන්තය පසුගිය වසර කිහිපයේදී සැලකිය යුතු වෙනස්කම්වලට ලක්වී තිබෙනවා. අපගේ තිරසාරත්වයේ ගමන ආරම්භ වූයේ මීට දශකයකට පමණ පෙරයි. එදා පටන්ම අප පාරිසරික හා සමාජයීය වශයෙන් තිරසාර නිෂ්පාදන ක්‍රමවේදයන් අනුගමනය කිරීමට කටයුතු කළා. අපගේ මඩකලපුවේ කර්මාන්තශාලාව වැනි හරිත ගොඩනැඟිලි මේ සඳහා අගනා උදාහරණ ලෙස පෙන්වාදීමට පුළුවන්. මෙවැනි පියවර අපට ස්වභාවධර්මය සුරැකීමට මෙන්ම අපගේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් වඩාත් හිතකර හා ඵලදායී රැකියා පරිසරයක් නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දෙනවා”

ඔහු පැවසූ පරිදි BBC StoryWorks Commercial Productions විසින් මඩකලපුවේ පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව පාදක කරගෙන නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපටය මඟින් නිරූපණය වන්නේ එම කර්මාන්තශාලාවේ විජයග්‍රාහී හරිත ගමන්මගේ කථාවයි. හරිත ගොඩනැඟිලි සම්ප්‍රදායේ ආදර්ශමත් පියවරක් වන එය ක්‍රියාත්මක වන්නේ මුළුමනින්ම සූර්යබලශක්තියෙනි. 

එමෙන්ම එහි සියලු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණකිරීම හෝ නැවත භාවිත කිරීම සිදු කෙරෙන අතර, අතිශය කාර්යක්ෂම ජලකළමනාකරණ පද්ධති ද එහි ස්ථාපිත කර ඇත. ගොඩනැඟිල්ල ඉදි කිරීමේදී යොදා ඇති අමුද්‍රව්‍ය නිසා එය රත්වීම අවම වන අතර, කර්මාන්තශාලාව අවට සරුසාර ජෛව විවිධත්වය නිසා සාමාජික සාමාජිකාවන්ගේ යහපැවැත්ම තහවුරු වන ආකාරයේ සුවපහසු පරිසරයක් ද නිර්මාණය වී ඇත.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ‘සුදර්ශනී’ගේ දෘෂ්ටිකෝණයෙන් විස්තර කෙරෙන මෙම කෙටි චිත්‍රපටය තුළින් ඇයගේ ජීවිතයේදී ඇයට මුහුණදීමට සිදුවූ අභියෝග සහ බ්‍රැන්ඩික්ස් අත්වැල නිසා එම අභියෝග ජයගැනීමට හැකිවූ ආකාරය මනා ලෙස ඉදිරිපත් කර ඇත.

2023 වසර වන විට ශ්‍රීලංකාව තුළ පිහිටි තම සියලුම කර්මාන්තශාලා Net Zero Carbon තත්ත්වයට ගෙන එන බවට බ්‍රැන්ඩික්ස් සමූහය World Green Building Council වෙත ප්‍රතිඥා දී ඇත.

මෙම කෙටි චිත්‍රපටය, තිරසාරත්වය සහ ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට තමන් සමඟ අත්වැල් බැඳගැනීමට අනෙකුත් සමාගම් ද දිරිගන්වනු ඇතැයි බ්‍රැන්ඩික්ස් සමූහය විශ්වාසය පළ කරයි. ‘Enriching the fabric of community’ නම් එකී කෙටි චිත්‍රපටය දැන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ Facebook, Instagram, Twitter සහ LinkedIn සමාජ මාධ්‍ය ඔස්සේ ඔබටත් නැරඹිය හැකි අතර, බ්‍රැන්ඩික්ස් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.brandix.com වෙත පිවිසෙන්න.

Comments