නිර්ණායක වෙනස් විය යුතු ‘කලාභූෂණ’ සම්මානය | සිළුමිණ

නිර්ණායක වෙනස් විය යුතු ‘කලාභූෂණ’ සම්මානය

‘කලාභූෂණ’ සම්මානය පිරිනමනු ලබන්නේ, ප්‍රාදේශීය මට්ටමින් විසිරී සිටින විවිධ කලා ක්ෂේත්‍රයන් තුළින් දක්ෂතා දක්වන ගමට - රටට විසල් මෙහෙවරක් ඉටුකරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටය. එය ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන ගෞරවනීය සම්මානයකි.

මීට දශක ගණනාවකට පෙර අප ප්‍රදේශයේ එම සම්මානය හිමි වූයේ, කෝලම්, රූකඩ, කැටයම්, නර්තන, සංගීත ශිල්පීන්, කවියන් සහ ලේඛකයන් වැනි විවිධ කලා ක්ෂේත්‍ර තුළින් දක්ෂතා දැක්වූ ප්‍රදේශයේ බොහෝ පිරිස් දැනහැඳින සිටි ගෞරවනීය කලාකරුවන් පිරිසකටය. එහෙත් අද එම තත්ත්වය ගිලිහී යමින් පවතී.

විවිධ දක්ෂතා ඇති කලාකරුවන් වර්තමානයේද විරල නැත. එහෙත් ඔවුහු සමාජයට ඒමට මැළිකමක් දක්වති. සිය කලා හැකියාවන් තුළින් ගමට - රටට මෙහෙවරක් කිරීමට ඔවුන් ඉදිරිපත් වන්නේ නැත. එය අපේ මෙන්ම රටේ ද අභාග්‍යයකි. අද ගමේ සමිති, සමාගම්වල සිය කැමැත්තෙන් නිලතල දැරීමට පවා අයවලුන් නැත. එදා ‘කලාභූෂණ’ සම්මානයෙන් පිදුම් ලැබුවෝද, එවැනි ක්‍රියාකාරි වයෝවෘද්ධ කලාකරුවෝය. එහෙත් අද තාක්ෂණයත් සමඟම බොහෝ පිරිස් වෙනත් සම්මාන කරා ඇදී යමින් සිටිති. එසේම ප්‍රදේශයේ පුද්ගලයන්ගේ මූල්‍ය ශක්තිය මත විවිධ මාධ්‍ය ඔස්සේ සම්මාන ලබාගන්නා තත්ත්වයකට ද බොහෝ පිරිසක් යොමුවී සිටිති.

එබැවින් මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් කලා ශිල්පීන් මුදා ගැනීම සඳහා ‘කලාභූෂණ’ සම්මාන පිරිනැමීමේ නිර්ණායක පවා කාලීනව වෙනස් විය යුතුව ඇත. එසේම ප්‍රදේශයේ සැඟවී සිටින විවිධ දක්ෂතා ඇති මෙම කලා ශිල්පීන් ප්‍රදේශයේ මෙන්ම රටේ ද අභිවෘද්ධියට යොමුකර ගත යුතුය. ඒ සඳහා රාජ්‍ය මට්ටමින් මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ද කඩිනමින් අවශ්‍ය පියවර ගත යුතුව ඇත.

එස්. සමරනායක, අම්බලන්ගොඩ


ජල නළ පිපිරීමෙන් කන්තලේ ජනතාව පීඩාවට

කන්තලේ නගරයේ ජල නළ නිතර නිතර පුපුරා යෑම හේතුවෙන් ප්‍රදේශවාසිහු දැඩි අසීරුතාවට පත්ව සිටිති. ඒ සම්බන්ධ ආසන්නතම සිදුවීම වන්නේ‍්, ඉකුත් 1 වැනිදා කන්තලේ නගරයේ වෙලින්ටන් හන්දිය අසල ත්‍රිකුණාමලය, කොළඹ මාර්ගයේ පොළොව යට ඇති ප්‍රධාන ජල නළයක් කැඩී යෑමයි. ජලාපවහන මණ්ඩලයේ සේවකයන් කඩිනමින් පැමිණ එය පිළිසකර කළද පැය දෙකක් ඉක්ම යෑමට මත්තෙන් යළි ජල නළය කැඩී ගියේය. මේ වනතෙක් එම නළයෙන් විටින් විට ගලා එන ජලය පොළොව මතුපිටට ඒමෙන් අසල කඩහිමියන් ඇතුළු මහා මාර්ගය භාවිත කරන කවුරුත් පාහේ අසීරුතාවට පත්ව සිටිති.

මෙසේ ජල නළ පුපුරා යෑමට හේතුව ලෙස ප්‍රදේශවාසින් වන අප දකින්නේ එය ජලාපවහන මණ්ඩලයේ වරදක් නොවන බවයි. මාර්ගය කාපට් එළා සකස් කරන ලද කොන්ත්‍රාත්කරුවන් ජලාපවහන මණ්ඩලයේ නිලධාරින් සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළකින් සහ කිසිදු විමර්ශනයකින් තොරව හිතුවක්කාරී ලෙස එම කාර්යය සිදු කිරීම මෙවැනි තත්ත්වයකට හේතු වී ඇති බව අපගේ අදහසයි.

මෙම ප්‍රදේශයේ ජල නළ එළා ඇත්තේ මීට වසර 40කට පමණ වන අතර, මේ වන විට එයට උඩින් එළා ඇති කාපට් මාර්ගය ජල කාන්දු හේතුවෙන් අවස්ථා සියයකටත් වඩා වැඩි ප්‍රමාණයකදී කැඩී ගොස් ඇත. මේ පිළිබඳ බලධාරින් විසින් වහා අවධානය යොමු කර ගැටලුවට විසඳුමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරමු.

සුනෙත් ප්‍රියංග, කන්තලේ


කතරගම පොලිසියේ අවධානය පිණිසයි!

කතරගම වන්දනාවේ පැමිණෙන ඇතැම් බැතිමතුන් නවාතැන්පොළවල් තුළ පවත්වන මත්පැන් සාද හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව මහත් පීඩාවට පත්ව සිටිති.

ඇතැම් නවාතැන්පොළවල්වල ලැගුම් ගන්නා වන්දානකරුවන් මත්පැනින් සන්තර්පණය වී රාත්‍රිය පුරා සංගීත භාණ්ඩ වාදනය කරමින් කෑකෝ ගසමින් ඉතා අවිනීත අයුරින් හැසිරීම නිසා ප්‍රදේශවාසී සාමාන්‍ය ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වේ. එමෙන්ම බීමත්ව හැසිරෙන වන්දනාකරුවන් අතර ඇතැම් අවස්ථාවල ඇතිවන විවිධ ආරවුල් නිසා එම තත්ත්වය තවත් බරපතළ වන අතර එය ප්‍රදේශයේ සාමය කඩවීමට ද හේතුවකි. මීට පෙර කතරගම පොලිසිය විසින් රාත්‍රී 10න් පසුව මෙවැනි ඝෝෂාකිරීම් අවස්ථාවලට ඉඩ නොදෙන ලෙස නවාතැන්පොළවල් බාර කළමනාකාරීත්වය දැනුම්වත් කර තිබිණ. එබැවින් මේ පිළිබඳ වහාම අවධානය යොමු කර වන්දනාකරුවන්ගෙන් සිදු වන මෙම පීඩාකාරී තත්ත්වයෙන් ප්‍රදේශවාසීන් මුදවාගෙන ප්‍රදේශයේ සාමකාමී බව ආරක්ෂා කර දෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටිමු.

එස්. කේ. ප්‍රියන්ත, කතරගම


පානීය ජල ගැටලුවට කඩිනමින් විසඳුමක් දෙන්න

ඌව පළාතේ, රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වරාපිටිය, වෙළන්ගොල්ල ගම්මානය අතිදුෂ්කරතා රැසකින් යුත් ගම්මානයකි. ප්‍රවාහන පහසුකම් ඉතාම දුෂ්කරය. මේ දිනවල එම ගම්මානය සහ අවට ගම් පෙදෙස්හි ජනයා ශීඝ්‍ර ලෙස ව්‍යාප්තව යන වකුගඩු රෝගී තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටි. වකුගඩු රෝගයට ඍජුවම පානිය ජලය බලපාන අතර, එම ගම්මානයේ සියලු ළිංවල ජලය අධික කිවුල් බවකින් යුක්ත වීම මීට ප්‍රධානතම හේතුවක් බව ගම්මු පවසති.

එසේ ළිං ජලය කිවුල් ගතියෙන් යුතු හෙයින් ප්‍රදේශයේ ජනතාව මේ දිනවල පානීය ජල ගැටලුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටී. එම ගම්මානයේ ජනයා දිනපතා කරත්තවල නැඟී සැතපුම් තුන හතරක දුර ගෙවා පානීය ජලය ගමට ගෙන අවට ගම් පීරමින් වෙහෙසෙති.

එම නිසා රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙළන්ගොල්ල ගම්මානයේ ජනයා උග්‍ර ලෙස පීඩා විඳින පානීය ජල ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලීමක් කරයි.

වසන්ත රත්නායක, රිදිමාලියද්ද


මහජනයාට පදික වේදිකාවත් නැති වෙයිද?

 මෙරට හැම නගරයකම පාහේ දැකිය හැකි සුලබ දසුනක් වන්නේ අනවසර වෙළෙඳ සැල්, පෙට්ටි කඩ අටවාගෙන තිබීමයි. ඇතැම් මිනිසුන් පෙට්ටි කඩ ගොඩනඟාගන්නේ හුදෙක් වෙළෙඳාමටම නොව භූමි ප්‍රදේශය අල්ලා ගැනීමට බව ද පෙනී යයි. මාර්ග අසල ඇති අවසරලත් වෙළෙඳසැල් මෙන්ම නොයෙක් ව්‍යාපාරික ස්ථානවල තත්ත්වයත් මීට නොදෙවැනි නොවේ. ඔවුන් ද නිත්‍යානුකූලවම තමාට හිමි ඉඩම් කොටසෙන් ඔබ්බට ගොස් පදික වේදිකාව දක්වා වෙළෙඳසැල් පුළුල් කරගෙන සිටී.

අද වන විට කොළඹ ඇතුළු තදාසන්න සෑම නගරයකම ඇති පදික වේදිකාව ජනතාවට අහිමි වී තිබේ. මේ තත්ත්වයේ භයානකම තත්ත්වය නම් මහජනතාව බහුල ලෙස රිය අනතුරුවලට ලක්වීමයි.

සෑම ව්‍යාපාරිකයකුම නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී වගකිවයුතු බලධාරින් විසින් පදික වේදිකාව සඳහා වෙන්කළ කොටස ඔවුනට අයත් නොවන බව සඳහන් කරති. එහෙත් නගර සභා තුළ පළාත් පාලන ආයතන තුළ කුමන නීතියක් පැවැතියද එවැනි ව්‍යාපාරිකයන් එම නීති තඹ සතයකට මායිම් නොකර කටයුතු කිරීම බරපතළ ගැටලුවකි.

මේ නිසා මාර්ග දෙපස වෙළෙඳාම්හි නිරත ව්‍යාපාරිකයන්ගෙන් අප ඉල්ලා සිටිනුයේ මහජනයාට හිමි පදික වේදිකාව අවහිර නොකර තම කටයුතු කරගෙන යන ලෙසයි. එසේ නොකරන පුද්ගලයන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා සිටිමු.

චන්දන වන්නිආරච්චි, දෙහිඅත්තකණ්ඩිය


නිවාඩු අඩු කොට වැඩියෙන් වැඩ කරමු

රටක සංවර්ධනය හා මිනිස් චින්තනය සමඟ සමීප සම්බන්ධතාවයක් පවතින වග අප සෑම දෙනාම දන්නා කාරණයක් වුවද එම සම්බන්ධතාවය කෙසේනම් කළමනාකරණය කරන්නේද යන්න තවම ලාංකික ජනතාවට අවබෝධයක් නැත. එමෙන්ම මෙතෙක් කිසිම කෙනෙකු එය නිරාවරණය කර ද නොමැත.

ශ්‍රී ලංකාවට ආර්ථික හා ආධ්‍යාත්මික දියුණුව අවශ්‍යනම් මෙකී කරුණු ක්‍රියාත්මක කළ යුතුම වේ. නිවාඩු අඩු කරන්න - විචාර, සම්මන්ත්‍රණ සීමා කරන්න, වැඩියෙන් වැඩ කරන්න යනාදිය මන්ත්‍රීවරුන්ගෙන් ආරම්භ කර සෑම පුරවැසියාම රට වෙනුවෙන් ආදායම් තත්ත්වය අනුව මූල්‍යමය පරිත්‍යාගයක් කිරීමටත් මසකට වරක් සෑම ආයතනයක්ම ශ්‍රමදානයක් මඟින් පවිත්‍ර කිරීමටත් රාජ්‍ය තාන්ත්‍රික සැලැස්මක් සකස් කළ හැකි නම් ඉතා අගනේය.

නැවතත් සඳහන් කරනුයේ විචාරය - විවේචනය තම තමන්ටම සීමාකොට තමාගෙන් රටට ඉටුවිය යුතු උපරිම සේවාව ලබා දෙන ලෙසයි.

අමුණුපුර පියරතන නාහිමි, අස්ගිරිය, මහනුවර


වැලිගමට කරදර

වැලිගම නගරයේ පවත්වාගෙන ගිය ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු කාර්යාලයට දැනට වසර දෙකකට පමණ පෙර වැලිගම සිට කිලෝමීටර් 20ක් පමණ දුරක් ගෙවා යා යුතු අකුරැස්ස ප්‍රදේශයට ගෙන යෑම තිබීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ වැඩිම පාරිභෝගික පිරිසක් සිටින වැලිගම ප්‍රදේශවාසීහු මහත් අසීරුතාවට පත්ව සිටිති. වැලිගම විදුලිබල මණ්ඩලයට වැඩිම ආදායමක් ලැබෙන ප්‍රදේශයක්ව තිබියදී, එම විදුලි ඉංජිනේරු කාර්යාලය අකුරැස්ස ප්‍රදේශයට ගෙන ගියේ කුමන අවශ්‍යතාවක් ඉටු කිරීමට දැයි විදුලි පාරිභෝගිකයෝ ප්‍රශ්න කරති. විශාල දුරක් ගෙවා එම කාර්යාලයේ සේවය ලබාගැනීමට යා යුතුව තිබීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් මෙන්ම එහි කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් ද අසීරුතා රැසකට මුහුණ දී සිටිති.

එබැවින් මේ පිළිබඳ වගකිව යුතු බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුකර එම විදුලි ඉංජිනේරු කාර්යාලය යළිත් වැලිගම නගරයට ගෙන ඒමට කටයුතු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

වසන්ත ද සිල්වා, වැලිගම


කලාකරු හැඳුනුම්පතට කුඩම්මාගේ සැලකිලි

අපේ රටේ බලයට පත්වූ සෑම රජයක් විසින්ම කලාකරුවන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කෙරිණි. එහෙත් එම හැඳුනුම්පත කිසිම රාජ්‍ය ආයතනයක පිළි නොගනී. එසේම එහි වැදගත්කම හා පිළිගැනීම ගැන ආයතන දැනුම්වත් කර නැත. කලාකරු හැඳුනුම්පත හිමි වනුයේ සමාජයේ ඉතා වැදගත් පිරිසකටය.

එහෙත් අපේ රටේ කලාකරු හැඳුනුම්පත කලාකරුවාට ලබා දුන් තවත් එක් ආභරණයක් වැනිය. හැඳුනුම්පත සාක්කුවේ රඳවාගෙන සිටීම හැර ඉන් ඉටුවන සෙතක් නැත. රාජ්‍ය ආයතනයකට ගොස් ගෞරවාන්විතව වැඩක් කරගැනීමට මේ හැඳුනුම්පත දිගු කළද පිළිගැනීමක් නැත. කලාකරුවන් සඳහා හැඳුනුම්පතක් හිමි බවවත් ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරිහු නොදනිති.

කලාකරුවා අසරණ වූ මොහොතක ඔහුට නැඟී සිටීමට හැකි බලගතු ආයුධයක් බවට කලාකරු හැඳුනුම්පත බලගැන්විය යුතුය. කලාකරු හැඳුනුම්පතටත් කිසියම් ආකාරයක සාධාරණ හිමිකාරිත්වයක් ලබා දිය යුතුය. රාජ්‍ය ආයතන මේ ගැන දැනුම්වත් කළ යුතුය. කලාකරු හැඳුනුම්පතටත් නිසි තැන ලබා දෙන ලෙස බලධාරින්ට දන්වා සිටින්නෙමු.

කුරුකුලසූරිය, මැදගෙදර, ගාල්ල

Comments