
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයකයන්ගේ ආකර්ෂණයට ලක්වූ දිවයිනකි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වයෙන් වසඟ වූ විදේශිකයෝ අතීතයේ සිට මෙරටට පැමිණි බවට සාක්ෂි එමටය. විදේශිකයන් ලංකාවට පැමිණීමට හේතු අතර ස්වාභාව සෞන්දර්යෙන් අනූන වීමත් ආර්ථික,සංස්කෘතික හා දේශපාලනමය වටිනාකමින් යුක්ත වීමත් ප්‍රමුඛ කරුණු වේ.
විදේශිකයන්ගේ ලංකාගමනය නූතනය වන විට ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ඒ අතරිනුත් ලංකාවේ පවතින සෞම්‍ය, සිහිලැල් දේශගුණය සහ අනන්‍ය වූ සුන්දරත්වය සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රබල සාධකයක්ව පවතී. විශේෂයෙන් ආධ්‍යාත්මික සුවය හා සරල ඡීවිතය මෙන්ම ස්වාභාව සෞන්දර්යෙන් ආස්වාදය ලැබීමට කැමති සංචාරකයෝ ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට වැඩි කැමැත්තක් දක්වති.
එසේ මෙරටට පැමිණෙන බොහෝ සංචාරකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ ශ්‍රී ලංකාවේ කන්ද උඩරට හා ඒ අවට ඇති පරිසරයේ අසිරිය විඳගැනීමටයි. මේ ගමන් බිමන් සඳහා දුම්රිය තෝරා ගන්නේ ද එම පරිසරයේ සුන්දරත්වය මැනවින් දැකබලා ගැනීමටයි. විශේෂයෙන් මහනුවර අවට ඇති දියඇලිවල සුන්දරත්වය විඳගැනීමට මෙරටට පැමිණෙන සංචාරකයන් මේ වන තෙක් භාවිත කළේ උඩරට මැණිකේ පොඩි මැණිකේ ඇතුළු උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රියයි. මෙම දුම්රිය සියල්ලම පාහේ සෑම විටම විටම සංචාරකයන්ගෙන් පිරී ඉතිරී පවතින අතර, ලෝකයේ හොඳම දුම්රිය ගමන් 10 අතරට ඇල්ල - මහනුවර දුම්රිය ගමන නම් කර ඇත්තේ ද එම මාර්ගයේ තිබෙන පාරිසරික චමත්කාරය නිසාමය.
මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණෙන් මහනුවර සිට ඇල්ල දක්වා විශේෂ දුම්රිය ගමන් වාරයක් මහනුවර සිට පසුගියදා ආරම්භ කරන ලැබුවේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සොයා එන සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන්මය. මහනුවර සිට ඇල්ල දක්වා ඉකුත් මාර්තු 5 වැනිදා සිට මෙම විශේෂ සංචාරක දුම්රිය ධාවනය කිරීම ආරම්භ වූ අතර, සංචාරක ආකර්ෂණයක් ඇති කරවන අයුරින් මෙම ගමන සැලසුම් කර ඇති බව ද දැනගන්නට ලැබුණි.
ඇල්ල - බදුල්ල වෙත ගමන් කිරීමට එන සංචාරකයන්ට සාමාන්‍ය මගී ප්‍රවාහන දුම්රිය භාවිත කළ හැකි අතර, මෙම විශේෂ සංචාරක දුම්රිය උඩරට මාර්ගයේ සංචාරකයන් වෙනුවෙන්ම වෙන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත. ඒ අනුව දිනපතා උදෑසන මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන එම දුම්රියේ ගමනාන්තය වන්නේ දෙමෝදර දුම්රිය ස්ථානයයි. ඒ අතරතුර හමුවන ප්‍රධාන සංචාරක ස්ථානවල නැවතී ගිමන් හරිමින් ආශ්වාදජනක ගමනාන්තයට සංචාරකයන් ද ගෙන යන ප්‍රථම දුම්රිය මෙය වේ.
මේ විශේෂ සංචාරය වෙනුවෙන් යොදාගෙන ඇත්තේ චීනයේ නිෂ්පාදිත ‘ඔඩිසි’ නමින් හැඳින්වෙන S14 වර්ගයේ දුම්රියකි. වායුසමීකරණ මැදිරි 4ක්, වායුසමිකරණ නොකළ මැදිරි 3ත් මෙන්ම භෝජනාගාරයකින් ද සමන්විත මෙම විශේෂ සංචාරක දුම්රිය, මහනුවර දුම්රිය ස්ථානයෙන් උදෑසන 7.00 ට ධාවනය ඇරඹෙන අතර, එය දෙමෝදර දුම්රිය ස්ථානය වෙත ළඟා වන්නේ පස්වරු 2.45ට පමණය. පේරාදෙණිය නාවලපිටිය පසු කරගෙන යන අතරතුර දී ශ්‍රී පාදස්ථානය ඉතා හොඳින්ම දිස් වන ස්ථානයක් හමුවන අතර එම ස්ථානෙය් දුම්රිය විනාඩි දෙකක කාලයක් නවත්වා තබයි.
මනරම් පරිසරයකින් යුතු ග්‍රේට්වස්ටර්න් දුම්රිය ස්ථානයේත් මඳ වේලාවක් නවත්වන මෙම දුම්රිය එල්ජින් දිය ඇල්ල අසල ද විනාඩි 2ක කාලයක් නවතා තබයි. එමෙන්ම මෙම ගමනේදී ‘අශ්වයාගේ වලිගය’ නැමැති ස්ථානයත් ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලත් සංචාරකයන්ට දැකබලා ගත හැකිය. එමෙන්ම ලංකාවේ උසින් වැඩිම දුම්රිය ස්ථානය වන පට්ටිපොළ දුම්රිය බිම්ගෙය නැරඹීමට මිනිත්තු කීපයක් ද වෙන්කර ඇත. ඇල්ල දුම්රිය ස්ථාන පසුකර දෙමෝදර වෙත ළඟා වන්නේ විශිෂ්ට බ්‍රිතාන්‍ය ඉංජිනේරු තාක්ෂණය යටතේ ඉදිකළ ‘ආරුක්කු නමය’ පාලමේ සුන්දරත්වය විදීමට මිනිත්තු 15ක පමණ කාලයක් ලබා දෙමිනි.
දෙමෝදර, බණ්ඩාරවෙල වැනි දුම්රිය ස්ථාන ඓතිහාසික වටිනාකම හා සුවිශේෂි පාරිසරික වටිනාකමකිත් යුක්ත වන අතර මේ සියලුම දුම්රිය නැවතුම්පොළවල් අතර පිහිටා තිබෙන කළුවර බිං ගෙවල් සුවිශේෂී වේ. මෙම දුම්රිය ස්ථාන සියල්ල යටත්විජිත සමයේ ආරම්භ කෙරුණු ඒවා වන අතර, ඒවායේ යටත්විජිත ගති ලක්ෂණ අදටත් සජීවී ව දැකබලාගත හැකිය. එවැනි සුන්දර සහ වැදගත් ස්ථාන රැසක් පසුකරමින් දෙමෝදර කරා ළඟා වන මෙම දුම්රිය පස්වරු 3.40ට දෙමෝදර සිට ආපසු මහනුවර බලා ගමන් ආරම්භ කරයි. එය මහනුවර දුම්රිය ස්ථානය වෙත ළඟා වන්නේ රාත්‍රි 9.35ට පමණය.
සංචාරකයන්ට වඩා උසස් සහ ගුණාත්මක සේවයක් ලබාදීමේ අරමුණින් මෙම දුම්රියේ භෝජනාගාරය ද තරු 3 සහ 4 පන්තියේ ආයතනයට ටෙන්ඩර ලබා දීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. සංචාරක පැකේජ සහිතව මගීන් 350 කට අසුන් ගෙන ගමන් කළ හැකි මෙම දුම්රිය වායු සමීකරණ ආසනයක් සඳහා ප්‍රවේශපත්‍ර මිල වශයෙන් රුපියල් 5,000ක් ද වායුසමීකරණ නොකළ මැදිරි ආසනයක් සඳහා රුපියල් 4,000ක් ද අය කරයි. යම් සංචාරකයකු පැමිණි එම දුම්රියේම ආපසු මහනුවර හෝ නවත්වනු ලබන දුම්රිය ස්ථානයක් වෙත යන්නේ නම් ඒ සඳහා ගෙවිය යුතු වන්නේ පෙර ගෙවූ මුදලට අමතරව රුපියල් 1,000ක් පමණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පැවසුවේ දුම්රිය ගමනාගමන ඇමති දිලුම් අමුණුගමගේ සංකල්පයක් මත ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හා මෙම විශේෂ සංචාරක දුම්රිය ධාවනය ආරම්භ කළ බවයි. මහනුවර- ඇල්ල දුම්රිය මාර්ගය ලෝකයේ ආශ්චර්යමත් දුම්රිය ගමන් මාර්ගවලින් දහයෙන් එකක් බව හඳුනාගෙන තිබුණද සංචාරකයන්ට සාමාන්‍ය දුම්රියකින් මෙම ආශ්චර්යය විඳගැනීමට පසුගිය කාලයේදී නොතිබූ අවස්ථාව මෙම විශේෂ දුම්රිය ගමන තුළින් දැන් හිමිවී ඇති බවත් ඔහු පැවසීය. මෙය සංචාරකයන් සඳහාම වෙන්වු ඔවුන් වෙනුවෙන්ම කැපවූ දුම්රියක් බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ දුම්රිය ගමන් හරහා සංචාරකයන් ප්‍රවර්ධනය කරන්නේ කෙසේද? විදේශ මුදල් උපයන්නේ කෙසේද යන්න සොයා බලා මෙම අදහස ක්‍රියාක්මක කළ බවයි. අැල්ල - මහනුවර මාර්ගය පමණක් නොව ඉදිරියේදී හික්කඩුව හා යාපනයට ද මෙවැනි දුම්රිය ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය. මෙම විශේෂ දුම්රිය සේවාව පිළිබඳව අදහස් දක්වමින් මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ආර්. එම්. ජී. රත්නායක පැවසුවේ මෙම විශේෂ සංචාරක දුම්රිය සඳහා ප්‍රවේශපත්‍ර මෙම දුම්රිය නවත්වන සෑම දුම්රිය ස්ථානයකින්ම ලබාගත හැකි බවයි. පේරාදෙණිය හන්දිය, ගෙලිඔය, නාවලපිටිය, හැටන්, ග්‍රේට් වෙස්ට(ර්)න්, නානුඹය, පට්ටිපොල, ඔහිය, ඉදල්ගස්හින්න, හපුතලේ, ඇල්ල සහ දෙමෝදර එම දුම්රිය ස්ථානයි. ඒ අනුව ඔබ මෙම දුම්රියේ ගමන් කිරීමට බලාපොරොත්තු වන දින සිට දින 30ක් ඇතුළත ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකිය. වෙනත් දුම්රිය ප්‍රවේශ පත්‍රයකින් හෝ රජයේ සේවකයන්ට හිමි අවසර පත්‍ර මඟින් මෙහි ගමන් කළ නොහැකි බව ද මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ආර්. එම්. ජී. රත්නායක පැවසීය.
උඩරට දුම්රිය මාර්ගයේ සුන්දර විනෝද චාරිකාවක් යෑමට මෙන්ම පාසල් දූ දරුවන්ට අපේ රටට ආවේණික උරුමයන් පිළිබඳ කරුණු රැසක් ඉගෙන ගත හැකි අවස්ථාවක් ලෙස මෙම විශේෂ සංචාරක දුම්රිය ගමන හඳුන්වා දිය හැකිය.
ඡායාරූප- නිහාල් ජයවර්ධන, මධ්‍යම පළාත් සමූහ