මාතර රන් දූපතේ කඩා වැටුණු එල්ලෙන පාලමට අලුත් පාලමක්! | සිළුමිණ

මාතර රන් දූපතේ කඩා වැටුණු එල්ලෙන පාලමට අලුත් පාලමක්!

මාතර නගරයට සුන්දරත්වයක් ගෙන දුන් තවත් ස්ථානයක් වන්නේ කලක් කාක දූපත, පරෙයි දූපත (ගල් පර සහිත දූපත) ලෙසින් හැඳින්වූ “රන් දූපත” ය.

ස්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපෝසිථාගාරය පිහිටි මෙම මනරම් දූපත වර්තමානය වනවිට දේශීය හා විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගත් සුන්දරතම දූපතක් බවට පත්ව ඇත. දූපත මධ්‍යයේ ඉදිකර ඇති ශ්‍රී රෝහණ උපෝසිථාගාරය මහා විහාරයත්, එයට ගමන් කිරීමට ඉදිකර තිබූ අලංකාර එල්ලෙන පාලමත් දූපතේ අසිරිමත් බව නැංවීම සඳහා එක්කර තිබුණේ ඉහළ වටිනාකමකි.

කලක් කාක්කන්ගේ වාසභූමියක් වූ කලෑබද භූමියක්ව පැවති මෙම දූපත අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමයන්ගේ උපදෙස් හා ඕමාරේ කස්සප නාහියන්ගේ මැදිහත්වීම මත එවක වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයාව සිටි මහින්ද විජේසේකර විසින් 2004 වසරේදී ශ්‍රී රෝහණ සංඝ සභා උපෝසිථාගාරය සහිත උපෝසිථාගාරය මහා විහාරය ඉදිකිරීමේ මූලිකත්වය ගත්තේ එතෙක් රෝහණ සංඝ සභාවට තිබූ අවශ්‍යතාවක් ඉටුකර දෙමිනි. මංගල සමරවීර ද ඒ සඳහා ඉහළ සහායක් ශාසනික අවශ්‍යතාවක් සම්පූර්ණ කර දෙමිනි. 

"මෙම අලංකාර භූමිය එවකට මහ මුහුදින් වටවූ කලෑබද කුඩා උස් බිමක් ලෙසටයි තිබුණේ. අපේ මහ නායක හාමුදුරුවන්ගෙ අනුදැනුම මත මම මහින්ද විජෙසේකර අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කර උපෝසිථාගාරය මහා විහාරය ගොඩනැඟුවා. අපි මුලින්ම හැදුවේ වටදාගෙය සහිත චෛත්‍යය, උපෝසිථාගාරය සහ දෙපස සංඝාවාස දෙකයි. අපේ සංඝ සභාවේ උපසම්පදා විනයකර්ම මෙහි පවත්වන අතර තමයි අපේ නායක හාමුදුරුවෝ එදා පරෙයි දූපත ලෙසින් හැඳින්වූ මෙම භූමිය “රන් දූපත” ලෙසින් නම් කළේ” රන් දූපත උපෝසිථාගාරය මහා විහාරයේ ආරම්භය පිළිබඳ ඕමාරේ කස්සප නාහිමියන් එලෙස පැවසුහ. කස්සප නාහිමියන් රන් දුපතට යෑමට පාලමක් ගොඩනැඟුණු ආකාරය තවදුරටත් මෙලෙස විස්තර කළහ.

“පසුගිය හතරවැනිදා කඩාගෙන වැටුණේ රන් දූපතට යන්න ගොඩනඟා තිබූ තුන්වන පාලම. මින් පෙර පාලම් දෙකක් සාදා කඩා වැටුණා. මුල්ම එක හැදුවේ අපි. එය යකඩ කණු මත යකඩ බාල්ක දමා ඒ මත ලෑලි අතුරා සකස් කළ එකක්. පසුව කොන්ක්‍රීට් කණුමත තවත් පාලමක් ගොඩනැඟුවා. එය මහා සුනාමියෙන් කඩා වැටුණා. ඉන්පසුව තමයි ඔය එල්ලෙන පාලම ගොඩනැඟුවේ. මහින්ද විජේසේකර, මංගල සමරවීර, චමල් රාජපක්ෂ වැනි අය ඒ සඳහා මූලිකත්වය ලබා දුන්නා. වරාය අමාත්‍යාංශයෙන් තමයි පාලම සකස් කළේ. එය ඉතා අලංකාර හා කාගේත් සිත්ගත් පාලමක් බවට පත්වුණා. ඒ නිසාම අපේ විහාරස්ථානයට ඉන් තව තවත් අලංකාර බවක් හා වටිනාකමක් ඇතිවුණා”

මෙලෙස මාතර නගරයටත් මාතර ප්‍රදේශයටත් අභිමානයක් මෙන්ම අලංකාරයක් ද ගෙන දුන් රන් දූපත එල්ලෙන පාලම කාලයාගේ ඇවෑමෙන් හා මුහුදු ජලයේ හා සුළගේ බලපෑම මත දිරාපත්ව අබලන් තත්ත්වයට පත්ව තිබුණේ අනතුරක පෙරනිමිති පෙන්වමිනි. ඒ නිසාම පාලම අබලන් තත්ත්වය හා අනතුරු සහිත තත්ත්වය රන්දූපත විහාරවාසී ස්වාමීන්වහන්සේලා දැන්වීම් පුවරු මඟින් ප්‍රකාශයට පත්කිරීමට ද කටයුතු කර තිබුණි.

පාලම දැඩි ලෙස අබලන්ව පැවතීම නිසා ඒ සඳහා කඩිනමින් නව පාලමක් ඉදිකිරීම සඳහා පසුගිය දිනක අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ, කංචන විජෙසේකර යන අය හා පාර්ලිමෙන්තු මන්ත්‍රී නිපුණ රණවක ද පාලම පිළිබඳ සොයා බැලීමට ද එක්ව සිටියේ එහි අවශ්‍යතාව දැඩිව දැනී තිබූ පසුබිමකය.

ඒ අතර පසුගිය 04 වැනිදා සංචාරකයන් කණ්ඩායමක් සමඟ පාලම හිටි හැටියේ කඩාවැටුණේ රටේම අවධානය ඒ දෙසට යොමු කරවමිනි. අනතුරින් දසදෙනකු පමණ සුළු තුවාල ලැබු අතර කිසිවකුට හෝ ජීවිත හානියක් සිදු නොවීය. කෙසේ වෙතත් ඔවුන් බොහෝ දෙනකුගේ ජංගම දුරකතන පාවහන් හා අත් බෑග් මුහුදට වැටී ගසා ගෙන ගොස් තිබුණි.

“මම වඩේ බදිමින් ඉන්නවිට එක පාරටම මුහුද දෙසින් ලොකු ශබ්දයක් ඇසුණා. මම ඒ දෙස බලනවිට දැක්කා ලොකු පිරිසක් එක්ක පාලම මුහුදට කඩාවැටී ඇති ආකාරය. මම දී එතැනට දුවගෙන ගිහින් මුහුදට කඩා වැටුණු පාලමේ එල්ලී සිටි දරුවෙක් ඉක්මනට ගොඩට ගෙනාවා. නැවත ගිහින් තවත් දරුවන් දෙන්නෙක් ගෙනාවා. ඒ විදියට ළමයින් හත්දෙනකු සහ ආච්චිලා දෙන්නෙක් ගොඩට ගෙනැත් තියලා ආපසු ගිහින් ජංගම දුරකථන ගොඩාක් දමා තිබූ බෑගයක් ගෙනැත් අයිති නංගී කෙනකුට දුන්නා. අත්වැල් බැඳගෙන ගොඩට යමු කිව්වම තනි තනිව ගොඩට යන්න හැදුවා මිසක් සමහරු කණ්ඩායමක් ලෙස බේරෙන්න උත්සාහ කළේ නෑ. හරි පුදුම මිනිස්සු. මගේ කකුලේ ඉකිරි කටු ගොඩාක් ඇණුනා. ඒත් මම ඒවා ගණන් නොගෙන මිනිස්සුන්ට උදව් කළා”

අනතුරට පත් ජනතාව බේරාගැනීමට එක්වූ මාතර වෙරළේ වෙළෙන්දකු වූ පී. ඩී. රොෂාන් පැවසුවේය.

පාලම කඩාවැටීම සිදුවන විට උපෝසථාගාරයට ගොස් සිටි විදේශීය ජාතිකයන් ඇතුළු සංචාරකයන්ට පාලම කඩා වැටීම නිසා නැවත ගොඩබිමට ඒමට නොහැකිව පැයකට ආසන්න කාලයක් දූපත තුළ කොටු වී සිටි අතර පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව හා ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ නිලධාරීන් පැමිණ ඔවුන් ගොඩබිමට රැගෙන ඒම සඳහා කටයුතු කළහ.

මාතර රන් දූපතේ විහාරාධිකාරී විටියල ඉන්දරතන ස්වාමීන් වහන්සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසූහ.

“පාලම කාලයක සිට අබලන් වෙලයි තිබුණේ. එක්වරකට පාලමේ ගමන් කළ යුත්තේ පස් දෙනකු පමණක් බව දැන්වීමක් පවා ප්‍රදර්ශනය කර තිබෙනවා. එම අවවාදය නොතකා වන්දනා නඩ දෙකක් පාලමේ ගමන් කිරීම නිසයි මේ අනතුර සිදුවුණේ. මේ පාලම හදන්න රජයේ අවධානය යොමු වී තිබුණේ. ඉංජිනේරුවන් පවා පාලමේ ඇස්තමේන්තු හදන්න පැමිණියා. එවැනි තත්ත්වයක් තුළ මේ අනතුර සිදුවුණේ. එයින් ජීවිත හානියක් සිදු නොවීම ගැන සතුටු වෙනවා”

මාතර දිස්ත්‍රික් ලේකම් නීතීඥ වයි. වික්‍රමසිරි සිදුවීම පිළිබඳ මේලෙස පැවසුවේය.

පාලම අබලන්ව පැවතීම නිසා එය නැවත ඉදිකරන්න සැලසුම් කර තිබියදි තමයි හදිසියේ පාලම කඩා වැටුණේ. එම සිදුවීමෙන් පසු අපි ක්ෂණිකව හා සැලසුම්ගත ලෙස ගතයුතු පියවර සියල්ල කඩිනමින් ගත්තා. ජනාධිපති තුමා විසින් නව පාලමක් මාස හයකින් ඉදිකරන්නට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. එතෙක් තාවකාලික පාලමක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ඇතිව කඩිනමින් ඉදිකරන්නට කටයුතු කර තිබෙනවා. පූජ්‍ය ඕමාරේ කස්සප නාහිමියන්ගේ අනුශාසනා පරිදි උපෝසථාගාර විහාරස්ථානයේ කටයුතු සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගත් ගෙන තිබෙනවා.

පාලම කඩා වැටීමෙන් පසු ඒ ස්ථානයට පැමිණි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ සොයා බලා විසන්ධි වී තිබූ ජල හා විදුලි සැපයුම් කඩිනමින් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් අතර හදිසි ලෙස ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අදාළ අංශ සඳහා උපදෙස් ලබාදීම සිදු කළේය.

Comments