
1. ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට බහුතර රටවල් ශ්‍රී ලංකාවට සහය පළකිරීම මෙරටට කෙසේ බලපෑම් කරයි ද?
2. ලෝක වෙෙළඳපොළේ බොර තෙල් මිල ඉහළයාමට සාපේක්ෂව ඉන්ධන මිල නැවත ඉහළ යයිද?
3. හවුල්කාර පක්ෂ 11කින් යුතු කණ්ඩායම හරහා නව දේශපාලන බලවේගයක් ගොඩනැගෙයිද?
4. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යම් බාධාවක් පවතින අතර එය අඛණ්ඩව පවත්වා ගැනීමට ඔබේ යෝජනා කෙබදුද ?
5. විශේෂ භාණ්ඩ හා සේවා බදු කෙටුම්පතේ 3(2) වගන්තිය ඉවත් කිරීම පිළිබඳ රජයේ යෝජනාව සම්බන්ධයෙන් ඔබ දරන අදහස කුමක්ද?
රටවල් බහුතරයක් සහය දීම අපිට ලොකු ශක්තියක්
- කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක
1 රටවල් බහුතරයක් සහය පළකිරීම අපිට විශාල ශක්තියක්. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස්වරිය පෞද්ගලික න්‍යාය පත්‍රයක් හදාගෙන අපිට පහර දෙනවා. මේ රටේ වසර 30ක් තිබුණ ගැටලුව පරාජය කරලා මානුෂීය මෙහෙයුම අපි ජයග්‍රහණය කරපු දවසේ ඉඳලා අපිට මේ ගැටලුව අපිට තිබුණා.
අපිට එරෙහිව පෞද්ගලික න්‍යාය පත්‍රයක් හදාගෙන පහර දෙන බවකුයි පේන්නේ. අපිට පමණක් නොවෙයි තවත් රටවල් කිහිපයකට අවශ්‍ය දේ අමුඅමුවේම ලැජ්ජාවක් නැතිව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ කරනවා. ඒ ඇමරිකාවට අවශ්‍ය දේ. විශේෂයෙන් ජර්මනියට දිගට හරහට සෞදි අරාබිය ගහනවා. ජර්මනියට ගහන්න උදව් කරනවා. මහ බ්‍රිතාන්‍ය ඒ ගැන කතාවක් නැහැ.
පසුගිය දවස්වල ඇෆ්ගනිස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා. ඒ ගැන කිසිදු කතාවක් නැහැ. ඒ අතර ලංකාවේ 30 අවුරුදු යුද්ධයක් අවසන් කරලා මානුෂිය මෙහෙයුමක් කරපු ලංකාවේ මානව හිමිකම් කඩ වුණා කියලා කියනවා. මෙය වෙනම න්‍යාය පත්‍රයක් මතයි සිදුවෙන්නේ. ලෝකය අද මේක තේරුම් අරගෙන තියනවා. ඒ නිසා රටවල් බහුතරයක් අපිට සහය දීම අපිට ලොකු ශක්තියක්. ඒ රටවල්වලට අපි ගෞරවය ප්‍රණාමය පුද කරනවා.
2 ලෝක වසංගතයක් වන කොවිඩ් වසංගතයත් සමඟ බොරතෙල් වැඩිවීම පටන් ගන්නවා. ස්කොට්ලන්ත සමුළුවේදී ලෝකයේ රාජ්‍ය නායකයන් එකතු වෙලා මේ පොසිල ඉන්ධන 50%කින් අඩු කළ යුතු fiau එම ඉන්ධන භාවිත කිරීම 2050 වන විට සම්පූර්ණයෙන් ඉවත් කිරීමටත් තීරණය කෙරුණා. ලෝකයේ ඇතැම් රටවල් තෙල් හා ගෑස් කැණීම් පවා ඉවත් වෙලා තියෙනවා.
වෙළඳපොළට තෙල් නිෂ්පාදනයන් අඩුවීමත් එක හේතුවක් වෙලා තියනවා; එසේ ම රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයේ තෙල් ගෑස් උද්පාදනය අඩුවෙලා තියෙනවා.
ලෝකයට තෙල් ගෑස් උත්පාදනයේදී එම රටවල් හතරෙන් එකකට හිමිකම් කියනවා. ඒ නිසා පැහැදිලිව ම ලෝකයේ තෙල් ගෑස් සැපැයීමේ අඩුවක් තියෙනවා. මේ හේතුව නිසා තෙල් ගෑස් මිල වැඩි වෙනවා. ඩොලර් හිඟයකින් සහ ආර්ථිකමය ගැටලුවල ඉන්න අපි වැනි රටවල්වලට විශාල ලෙස බලපානු ලබනවා.
3 හවුල්කාර පක්ෂ එකොළහක් කිව්වත් එයින් පක්ෂ හතරක් හැර අනෙක් පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් නැහැ. ඒ අයට මන්ත්‍රී තනතුරු ලැබෙන්නේ පොදුජන පෙරමුණින්. ඒ අයගේ ශක්තිය පිළිබඳව අපි ට තේරුම් ගන්න පුළුවන්.
ඒ වටා වාසුදේව නානායක්කාරගේ පක්ෂය, වමේ පක්ෂ වන සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය එකතුවෙලා තියෙනවා. මේ පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනත්වයක් නැති වුණාට මේවා පැරණි පක්ෂ. අලුත් පක්ෂ දෙකක් වන ගම්මන්පිලගේ හා වීරවංශගේ පක්ෂ දෙකයි. පොදුජන පෙරමුණෙන් පත් කරපු මන්ත්‍රිවරුන් ඉන්නේ. ඒ අයට එතරම් බලයක් නැහැ.
එතන රටේ දේශපාලන පෙරළියක් කරන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. පැරණි සමසමාජ පක්ෂ සහ කොමියුනිස්ට් පක්ෂය හැරුණු විට අනෙක් පක්ෂ තිබුණේ පොදු ජන පෙරමුණු පක්ෂයේ සෙවණේ. ඒ නිසා එය විශාල දෙයක් නෙවෙයි.
4 එවැනි ප්‍රශ්න තියනවා. ඉතා කෙටි කාලයකින් ඒ ගැටලු විසඳාගත හැකියි. ඩොලර් සොයන්නත් ක්‍රමවේදයන් සහ තෙල් සංස්ථාවේ, විදුලිබල මණ්ඩලයේ පාඩුව ආවරණය කරන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවා. ඒ ක්‍රමවේදයන්වලට අපි යන්න අවශ්‍යයි.
විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් යම් විකල්ප තියෙනවා. තෙල්වලින් වෙන පාඩුව විදුලියෙන් වෙන පාඩුව පරිභෝගිකයන්ගෙන් අය කර ගත යුතුයි. එතකොට ඒ අය යම් අරපිරිමැස්මකින් පාවිච්චි කිරීමටත් හුරුවෙනවා. අදායම අනුව කළමනාකරණය කර ගත යුතුයි.
5 අර්ථ සාධක අරමුදල්වලට කලින් ඉඳලාම 14% පොලියක් තිබුණා. අර්ථ සාධක අරමුදලට ලැබෙන පොලියට බද්දක් තිබුණා. නමුත් ඒ 14% අගය තිබුණා. 2015 දක්වාම 7%ක් විතරයි අය කළේ. ඒ නිසා 2014 වාර්ෂිකව අය වුණ ප්‍රමාණය මිලියන දොළොස් දහසක් විතර වෙනවා. 2018 වසරේ දි මේ බද්ද 18% දක්වා වැඩියෙන් අය කළා. ඒ නිසා ඊපිඑෆ් එකෙන් විශාල ලෙස බදු අය කළේ යහපාලන ආණ්ඩුව යටතේයි. එකතු කළ අගය මත බද්දක් මේ ආණ්ඩුවෙන් එකතු කළා. එයත් ඉවත් කරලා තියෙනවා. ඒ නිසා මේ යෝජනාව හොඳයි.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු
- මන්ත්‍රී පාඨලී චම්පික රණවක
1 එක්සත් ජාතින්ගේ සංවිධානයේ සම්බන්ධයෙන් ඇති විශාල ගැටලුව නම් ඔය යෝජනා බහුතර ඡන්දය මත තීරණය නොවීමයි. ඒවා තීරණය වෙන්නේ බලවත් රටවල වුවමනා එපාකම් මතයි. සරල උදාහරණයක් ගත්තොත් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණයට විරුද්ධව රටවල් 141 ඡන්දය ලබා දුන්නා. අපේ රට ගැන වුණත් කියන්න තියෙන්නේ සියල්ල නියමාකාරයෙන් යුක්ති යුක්ත වෙන්නේ නැහැ කියන එකයි. යුරෝපා රටවල් තීරණයක් ගතහොත් අපිට ජීඑස්පී සහනය නවත්තන්න එමෙන්ම ඇමරිකානු එක්සත් ජනපදය තීරණය කළොත් ජීඑස්පී+ නවත්තන්නට එය ක්‍රියාත්මක කිරීමට පොදු මතය වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි දේවල් රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ කියලා උදම් අනන්න පුළුවන් දේවල් නොවෙයි. ලෝකයේ අපි කැමැති වුණත් අකමැති වුවත් බලවත් රටවල් මත ගොඩනැඟෙන යම් රටාවක් තියෙනවා ඒ මතයි සියල්ල තීරණය වෙන්නේ.
2 ලංකාවේ තෙල් සම්බන්ධ ගැටලුව ගත්විට ලෝක වෙළෙඳපොළේ මිල ඉහළපහළ යන ආකාරයට සාපේක්ෂව නොවෙයි. මේ තෙල් මිල තීරණය වෙන්නේ. ලංකාවේ එක්සයිස් ටියුටි සහ පැල් යන ආකාරයට බදු යම් ප්‍රමාණයක් අය කරනවා. ඒ නිසයි මේ රටේ මිල ගණන් වැඩි වී තියෙන්නේ. ඕන කෙනකුට ගණන් හදාගන්න පුළුවන් ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියා කියන කාරණාව සලකා බලද්දී ඊට සාපේක්ෂ ව ද මේ රටේ ඉහළ යන්නේ කියලා ඕන කෙනකුට ගනන් හදා ගන්න පුළුවන්. උදාහරණය ලෙස ඩිසල් බැරලයක මිල රුපියල් ඩොලර් සියයක් නම් එය රුපියල් දෙසිය තිහෙන් වැඩි කරලා එකසිය පනස් නවයෙන් බෙදුවාම ඩිසල් ලීටරයක මිල එනවා. ලංකාවේ මිල තීරණය වෙන්නේ ලෝක වෙළෙඳපොළේ ගණන් අනුව නොවෙයි. ලංකාවේ තියෙන්නේ බදු වැඩි කිරීම අනුවයි මිල තීරණය වෙන්නේ. යම් යුක්ති සහගත සූත්‍රයකට අනුව මේවා තීරණය කරන්න අවශ්‍යයි. එසේ නොමැති නම් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තියන දූෂණ අක්‍රමිකතා අකාර්යක්ෂමතාවන්ගේ වන්දිය රටේ මිනිසුන්ට ගෙවන්න වෙනවා.
3 ප්‍රශ්න එක් කොනකින් විසඳන්න බැහැ.මුලින් ඩොලර් ප්‍රශ්නය විසඳන්න අවශ්‍යයි. ඉන්පසුව තෙල් ප්‍රශ්නය විසඳුවොත් ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩ ප්‍රවාහනය වැනි ප්‍රශ්න විසඳෙනවා. මේක කීයක් හරි කොහෙන් හරි දාගෙන දුවන රීලෝඩ් ආර්ථිකයක්. එකක් ඉවර වුණාම ආයේ රට නවතිනවා. ආයේ කීයක් හරි හොයාගෙන ආයෙත් දුවනවා. රටේ ජනතාගේ ප්‍රශ්න ගැන ආණ්ඩුට අවබෝධයක් නැහැ. ආණ්ඩුව කරන්නේ එක වළක වැටුණාම තව වළක් කපලා කලින් වළ ගොඩ කරලා අලුතින් කපන වළේ ආයේත් වැටෙනවා. මේ රටේ දරුණු ප්‍රශ්නයක් තියෙන්නේ. ණය ආපසු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයට හේතුවත් ඩොලර් හිඟයයි. අපිට වාණිජ වෙළෙඳ ණය ගන්න බැරි තත්ත්වයට සියල්ල වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ සඳහා යම්කිසි ප්‍රතිසංස්කරණයක් රටේ ඇති කළ යුතුයි. ලෝකයට, ආයෝජකයන්ට සහ මුල්‍ය වෙළෙඳපොළට දැනෙන ආකාරයේ වෙනසක් කළ යුතුයි. එසේ ප්‍රතිසංස්කරණයක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්, අයවැය කළමනාකරණයක් නොකොට මේ වගේ එක වළකින් බේරෙන්න තව වළක් හාර හාර යෑමෙන් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. තෙල් වළෙන් ගැලවෙන කොට ගෑස් වළේ වැටෙනවා; ගෑස් වළෙන් බේරෙනකොට ගල් අඟුරු වළේ වැටෙනවා. තවත් තාවකාලික වළක් කපලා ගොඩ එන්න බැරි වන තත්ත්වයට අප්‍රියෙල් වනවිට මෙ රටේ ලොකු ආවාටයක ඇතිවෙනවා.
4 මේ දේවල් තීරණය වෙන්නේ ඒ අයගේ පහළ තියන සංවිධාන මට්ටම මතයි. මහජනයාගේ පැත්තෙන් ඒ අය පසුගිය ජනාධිපතිවරණයේදි මහමැතිවරණයේදී සිට පසුගිය මාසය දක්වා කියපු කරපු දේවල්වල අදවනවිට පරස්පරයන් දක්නට ලැබෙන්නේ. ඒ අය කියපු දේවල්ම ඇති ඒ අය ගැන තේරුම් ගන්න. මහජනයාට නම් විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ ඒ අය කරපු කියපු දේවල් සමාන්‍ය ජනතා අමතක වෙන්නේ නැහැ. කෙසේවෙතත් ඒ අයගේම අනුගාමිකයන් පිරිසක් ඉන්නවා නම් ඒ හරහා මේ අයට යම් බලයක් ගොඩනැඟෙයි. මේ අය කරන දේවලින් ආණ්ඩුවටයි බලපෑමක් වෙන්නේ. කිසිසේත්ම විපක්ෂයට බලපෑමක් වෙන්නේ නැහැ. ජනතාව ආණ්ඩුව ගැන තිබුණ කලකිරීම තවත් වැඩිවීමයි මෙයින් සිදුවෙන්නේ. ජනතාව මඟ නතර වෙන්නේ නැහැ. මඟ හෙවණැලිවල මිනිස්සු නතර වෙන්නේ නැහැ. මේ වනවිට ආණ්ඩුව පෙරළල දාන්න මිනිසුන් තල්ලු වෙලා යනවා. එක්කෙනෙක්ට ගහලා තව කෙනෙක් බේරලා තව කෙනෙක්ට ගහලා අනෙක් කෙනා බේරගන්න වැඩ ජනතාවට දැන් හුරු නැහැ. මේ ආණ්ඩුව සමඟ දේශපාලනික විරෝධයක් ජනතාව මත ගොඩනැඟිලා තියෙනවා. ඒ නිසා මිනිසුන් පිළිගන්නේ නැහැ. ජනාධිපතිවරණ සමයේ සහ අද සිදුවන දෑ අතර ඉතාම බරපතළ පරස්පරය මිනිසුන්ට තියෙනවා. මිනිසුන් තීරණය කරලා ඉවරයි.
5 අපිට ප්‍රධාන ප්‍රශ්නය වුණේ අහිංසක මිනිසුන්ගේ ඊපීඑෆ් ඊටීඑෆ්වලට ගහන්න හදපු එකනේ. ඇත්තටම 2019 දෙසැම්බර් 01වැනිදා ගෙනාව ආර්ථික පුනර්ජිවන පැකේජය හරහා මේ ආණ්ඩුව රටේ ආදායම් ටික නැති කරගෙන; ධන කුවේරයන්ට දැවැන්ත බදු සහනයක් දුන්නා. එයින් ආණ්ඩුවේ ආදායම නැතිවුණා විතරක් නොවෙයි; ලෝකයේ රටවල් ශ්‍රේණිගත කරන ඇතැම් සමාගම් අපේ රට පහතට දැම්මා. බදු සංඛ්‍යාතවලින් සී ශ්‍රේණියෙත් පහළට අපිව වැටුණා. මූල්‍ය වෙළෙඳපොළ අපිට වැහුණේ ඒ නිසයි. අඥාන වැඩ කරලා දැන් මොනවා කළත් වැඩක් නැහැ. ඉන් පසුව මිනිසුන්ට බදු ගහලා වැඩක් නැහැ. දැන් මේ ආණ්ඩුව වළේ වැටිලා ඉවරයි. ධනපතියන්ට බදු සහන දීලා ආණ්ඩුවේ ආදායමෙන් සියයට 40% නැති කරගත්තා. යහපාලන කාලයේ අපි හිටියේ බී ශ්‍රේණියේ. ඒනිසා නැවත හරවන්න බැහැ. එකම විසඳුම විධිමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පැමිණිය යුතුයි. එමෙන්ම රාජ්‍ය මුල්‍ය ස්ථායීකරණයකටත් පැමිණිය යුතුයි. රටේ ප්‍රතිරූපයක් වෙනස් කරමින් පාර්ලිමේන්තුවේ භාරකාර පාලනයක් යටතේ මහ බැංකුවත්, මුදල් අමාත්‍යංශයත්, ලංකා විදුලි බලමණ්ඩලයත්, ජල සම්පාදනයත් වෘත්තීය පිරිසක් අතට බාර කිරීමයි සුදුසු ක්‍රියාමාර්ගය.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති
1 විශේෂ වෙනස්වීමක් වෙන්නේ නැහැ. හැමදාම මාර්තු මාසය වෙනකොට ඔය ප්‍රශ්නය එනවා. මේ ආණ්ඩුව කරන්නේ නුවරඑළියේ බල්ලෝ ගෙවල් හදනවා වගේ තමයි. ජිනිවා මානව හිමිකම් කොමිසමේ කටයුතුවලට ආණ්ඩුව ලැස්ති වෙන්නේ නුවරඑළියේ බල්ලෝ ගෙවල් හදනවා වගේ තමයි.
ජිනිවා මානව හිමිකම් කතාව කුමක් වුවත් අපේ රට ජාත්‍යන්තර දේශපාලන උඟුලේ වැටිලා ඉවරයි.
චීනයටයි, ඉන්දියාවටයි ඕන විදිහටයි මේ රටේ දේශපාලනය තීන්දු වෙන්නේ. යුරෝපා සංගමය මොනවා කිවුවත් මේ ආණ්ඩුවටත් වැඩක් නැහැ. ජාත්‍යන්තර දේශපාලන බලපෑම් මේ අයට වැඩක් නැහැ. ආණ්ඩුව පොල්කට්ටෙන් ලංකාව වහන්න බලාගෙන ඉන්නේ.
2 බරපතළම තත්ත්වය ඇතිවෙන්නේ බොර තෙල් මිල ඉහළ යද්දි අපි රුපියල පාවෙන්න හැරියා. එතකොට ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් අපිට වුණේ. නිදහස් කරන්න ඕන වෙලාවට නොවෙයි නිදහස් කළේ. මේවනවිට රුපියල පාවෙන්න හැරියාම ඩොලරයට ගෙවන්න තියෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා.
බොරතෙල් මිල ලෝක වෙළෙඳ පොළේ වැඩිවන විට ලංකාවේ තෙල් මිලට මොකද වෙන්නේ. තෙල් මේ රටට ගෙනාවත් විකුණන්න බැරි තත්ත්වයට පත්වෙනවා.ලෝක වෙළෙඳපොළේ තෙල් ඉහළ යෑම රුසියාවේ යුදමය තත්ත්වය වගේම මෙරටේ ආර්ථිකයට බලපාන ප්‍රශ්නක්. ඊටත් වඩා පහත තත්ත්වයකට කොහොමත් අපි විදෙස් විනියමය අර්බුදයක හිටියා. ආණ්ඩුව මුලින්ම කළු කඩයක් විවෘත කළා; ඒක පෝෂණය කළා.
ඉන්පසුව ආණ්ඩුවේ කට්ටියගේ සල්ලි නිදහස් කරගන්න අවකාශය හදාදීමට අවශ්‍ය නිසා ඒවෙලාවේ රුපියල නිදහස් නොකර හිටියා. අවශ්‍ය නැති වෙලාවේ රුපියල විවෘත කරලා තියෙනවා.
3 මැක්කන්ට බල්ලෙක් නැතුව ඉන්න බැරි නිසා මැක්කො පොකුරක් එකතු වෙලා බල්ලෙක් හොයනවා. අපි බලාගෙන එන්නේ මේ මැක්කො පොකුර ගන්න බල්ලා කවුද කියලා. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ මේ දේ වුණා. තොන්ඩමන්ලා, අෆ්රෝෆ්ලා මේ වගේ දේවල් කළා. ඒ සඳහා ජාතිවාදය පෝෂණය කළා.
ජාතිවාදයයි, ආගමයි කොමිසුයි මේ සියල්ල මත මේ දේවල් රඳා පවතිනවා. මේ අද වෙන්වෙලා ඉන්න අය 20 වැනි සංශෝධනයටත් අත ඉස්සුවා. රටේ ජනමතයක් තියෙනකොට විරෝධය පාලා අවසානයේ ඡන්දය දුන්නා. බලය තියෙන පැත්තටනේ මේ වගේ වැරදි දේවල් ඉවත් කරන්න බලය තියෙන්නේ. එදා විපක්ෂයෙන් තියෙන විරෝධය සමනය කරලා ඒකට නීත්‍යනුකූලභාවය අරන් දුන්නේ ඒ අය මතමයි.
මේ සියලු දෙනා දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන පිරිසක්. ඒඅය හැමදාම දේශපාලන වාසි ගන්නයි ක්‍රියා කළේ. දේශපාලන වශයෙන් ආණ්ඩුව පිරිහෙන විට මේ අය දැන්ම පැන ගන්නවා.
4 වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ; ආණ්ඩුව එන එන අර්බුදයන්ට එන එන වෙලාවට මුහුණ දෙනවා. ජනතාවට එයින් සිදුවන අහිතකර ප්‍රතිඵල අපි දන්නවා. එක එක වෙලාවට එක එක පෝලිමේ ජනතාවට ඉන්න වෙලා. ස්ථිරසාර විසඳුමක් නොවෙයි.
ආණ්ඩුවට වගකීමක් සහ සැලසුමක් තිබිය යුතු යි. රටේ ආහාර අවශ්‍යතාවට විසඳුම් නැහැ. දෙකෝටි විසි පන්ලක්ෂයකට කන්න දෙන්නයි මේ බැරිවයි දඟලන්නේ. එළවළු ටික, හාල් ටික, ආහාර ටික බෙදාගන්න බැරි ප්‍රශ්නයක් නම් මේ තියෙන්නේ කොයිතරම් ඛේදවාචකයක්ද? මොකටද ආණ්ඩුවක්. සැරින් සැරේ උත්තර හොයලා වැඩක් නැහැ. දැන් තියන අර්බුදයට තාවකාලික පැළැස්තර නැහැ . ඒ නිසා දේශපාලනික වශයෙන් උත්තර සොයන්න අවශ්‍යයි. ආර්ථික අර්බුදය වුණාට පිළිතුර දේශපාලනික විය යුතුයි.
ආර්ථික අර්බුදය ගැන උත්තර සොයන්න ජනතාව සමඟ ඇත්ත කතා කළ යුතුයි. අර්බුදයක් තියන බව ජනතාවට කියන්න අවශ්‍යයි. හෙට තෙල් එනවා කියලා බොරු කිව්වාම ජනතාව දවස් පහක් විතර පෝලිමේ ඉන්නවා. මේ තෙල් අර්බුදය සියලු පැතිවලට විසිරෙනවා. භාණ්ඩ ප්‍රවාහනයට බලපානවා. ගොවියාගේ එළවළු ටික ප්‍රවාහනයටත් බලපානවා. මේ දේවල්වලට රජයේ කිසිදු විසඳුමක් නැහැ. ආහාර බෙදාහරින්න කිසිදු පියවරක් නැහැ. තෙල් ගැටලුවලට සැලසුමක් නැහැ.
විදුලිජනන සැලසුමක් තියෙන්න අවශ්‍යයි. රටට තෙල් කොතරම් අවශ්‍යද කියලා තෙල් ඇමැති ප්‍රවාහන ඇමැති දැනගෙන ඉන්න ඕන. එයට අවශ්‍ය මුදල් ප්‍රමාණය මුදල් ඇමැති දැනගෙන ඉන්න ඕන. ප්‍රතිපත්ති සැලසුම් කතා කරන්නයි රටේ කැබිනට් මණ්ඩලය රැස්වෙන්න අවශ්‍ය වෙන්නේ. බලය රැක ගන්න විදිහ ගැන කතා කරන්න නොවෙයි. අදටවත් මේ කිසිදු අර්බුදයකට සැලසුමක් ආණ්ඩුවට නැහැ.
5මේ ආණ්ඩුව ගැසට් ගහනවා, රිවස් කරනවා. ආව දවසේ ඉඳලා කරන්නේ ඕකනේ. ගැසට් කීයක් දැන් ආණ්ඩුව ඉවත් කරගත්තද. ආණ්ඩුවේ නීති නිලධාරීන් දන්නේ නැද්ද මේ වගේ ගැසට් ගැහුවාම මේවා ජනතාවගේ අභියෝගයට ලක්වෙනවා කියලා.
මිනිස්සු අවධානයක් නැතුව හිටියා නම් කරගෙන යනවා. මේ ගැසට් ගහන්නේම ආණ්ඩුවේ අර්බුදය විසඳගන්න තාවකාලික විසඳුම් සොයන්නයි. රටේ නීතියක් තියෙනවා. එක එක්කෙනාගේ තියරිවලින් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.