ලක්ෂ ගණනින් කොල්ලකෑවත් නුදුටු FB පෙම්වතාට ආලපාන 65 හැවිරිදි කත | සිළුමිණ

ලක්ෂ ගණනින් කොල්ලකෑවත් නුදුටු FB පෙම්වතාට ආලපාන 65 හැවිරිදි කත

මේ දිනවල ශීඝ්‍ර ලෙස වාර්තා වන ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සමාජ මාධ්‍ය මඟින් අන්තර්ජාල කොල්ලකරුවන් සිදුකරන සයිබර් අපරාධ නැතිනම් අන්තර්ජාල කොල්ලකෑම් පිළිබඳව ගෙවුණු සතියේද සිළුමිණ විශේෂාංගයක් ඉදිරිපත් කළේ ‘වින්දිතයෝ නොමරා මරණ සයිබර් අපරාධ‘ සිරසෙනි.

විශේෂයෙන් එම වංචාවන්ට බොහෝ සේ හසුවී ඇත්තේ කාන්තාවන් බවද පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙනියද සිළුමිණට පැවැසීය.

ඉකුත් හයවැනිදාද ෆේස්බුක් සමාජ මාධ්‍යය ඔස්සේ විදෙස් ජාතිකයකු යැයි සඳහන් කරමින් මොරටුව ප්‍රදේශයේ කාන්තාවක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සිදුකළ වංචාවක පැමිණිල්ලක් ලැබී තිබුණේ මොරටුව මූලස්ථාන පොලිසියටයි. ඒ ජාවාරමට හසුවූයේ 65 හැවිරිදි ප්‍රේමවතී නමැති කතකි. යමක් කමක් ඇති තැනැත්තියක වූ එකී කත ඉකුත් හයවැනිදා මොරටුව මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණියේ සමාජ මාධ්‍ය අවනඩුව පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි. ඇය පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කළේ,

“සර්, ෆේස්බුක් එකෙන් මට මනුස්සයෙක් මුණගැහුණා. එයා පිටරට කෙනෙක් කිව්වා. වැඩි දවසක් ගියේ නෑ අපි දෙන්නා අතරේ ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟුණා. අන්තිමට මම එයා එවූ බැංකු ගිණුමක අංකයකට රුපියල් තුන්ලක්ෂ පනස්දාහක මුදලකුත් තැන්පත් කළා.“

පැමිණිල්ල සටහන් වෙද්දීම මොරටුව මූලස්ථාන පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ජී. විජේතුංග ඇතුළු කණ්ඩායමට ඒත්තු ගියේ ඇය මේ දිනවල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයන්හි බොහෝ සේ සැරිසරන අන්තර්ජාල කොල්ලකරුවකුට හසුවී ඇති ආකාරයයි.

ඒ අනුව පොලිසිය ඇයගේ පැමිණිල්ල සටහන් කරගැනිණි. ඒ අතරේ 65 හැවිරිදි ප්‍රේමවතී වැඩිදුරටත් පොලිසිය ඉදිරියේ පවසන්නට වූයේ,

“අනේ සර්... මට සල්ලිවලින් කිසිම අඩුවක් නෑ. මගේ ළඟ සල්ලි ඕනෙ තරම් තියෙනවා... ඒක නිසා මට නැතිවෙච්ච සල්ලි නෙවෙයි හොයාගන්න ඕනේ...“

අන්තර්ජාල සමාජ මාධ්‍යයෙන් මුදල් වංචාවන්ට හසුවූ අයවලුන් බොහොමයක් දෙනා පොලිස් ස්ථාන කරා දිවවිත් ඉදිරිපත් කරන පැමිණිලිවලින් ඉල්ලා සිටිනුයේ වංචාකරුවන්ට ලබාදුන් මුදල් සොයා දෙන ආයාචනයයි.

එහෙත් මෙදින මොරටුව පොලිසියට පැමිණ ප්‍රේමවතී ඉදිරිපත් කළ පැමිණිල්ලෙන් සඳහන් වූයේ වෙනස්ම කතාන්දරයකි.

“එහෙනම් ඔබතුමියට මොනවද සොයාගන්න අවශ්‍ය වන්නෙ“ පොලිස් නිලධාරියෙක් විමසන්නට වූයේය.

“සර්, මට පිටරට සිටින ෆේස්බුක් එකෙන් හමුවන ඒ මගේ පෙම්වතා හොයලා දෙන්න. අන්න එච්චරයි මට විය යුත්තෙ. එයා මෑතක සිට වෙනස් වුණා. දැන් මා සමඟ කිසිම සබඳතාවක් නෑ. අනේ එයාගේ ඔක්කොම වෙනස්කම් වුණේ මං එකවුන්ට් එකට සල්ලි දැම්මට පස්සෙයි. මට ඒ ලක්ෂ තුනහමාර වැඩක් නෑ. මං එයාට ලක්ෂ තුනහමාර නෙවෙයි ලක්ෂ 10ක් 12ක් වුණත් දෙන්න කැමැත්තෙන් හිටියේ. අනේ සර්, මට කොහොමහරි මගේ පෙම්වතා පමණක් හොයලා දෙන්න. ඒ ඇති“

ඇයගේ පැමිණිල්ලෙන් පොලිස් නිලධාරින්ට සක්සුදක් සේ ගම්‍ය වූයේ ඇය ‘සයිබර් අපරාධකාරයකු‘ට හසුව ඇති බවයි. ඇයගේ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වෙමින් මොරටුව පොලිස් නිලධාරීන් විසින් එකී පුද්ගලයා සොයා ගැනීම සඳහා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයන් පිරික්සන්නට විය. එහෙත් එවැනි පුද්ගලයකු හෝ එවැනි පුද්ගල සේයාවක් හෝ සොයා ගැනීමට නොහැකි විය. ඇය දිගින් දිගටම පොලිස් නිලධාරින් ඉදිරියේ සඳහන් කළේ කෙසේ හෝ එම පුද්ගලයා සොයා දෙන ලෙසයි.

ඒ අනුව මොරටුව පොලිසිය විසින් ඇයගේ පැමිණිල්ල පිළිබඳව මොරටුව අධිකරණයද දැනුවත්කොට එකී විමර්ශන වැඩිදුරටත් සිදුකරමින් පවතී.

65 හැවිරිදි ප්‍රේමවතී සිය ජීවිත කාලයෙන් වැඩි කලක් විදෙස් රටවල්හි ගත කළ තැනැත්තියකි. ධනවත් කතක වූ ඇය කලෙකට පෙරදී ඉන්දීය ජාතිකයකු හා විවාහ වී සිටියාය. ඒ විවාහයෙන් ඇයට දරුවකු ද සිටින බවකි. එහෙත් මීට කලකට පෙරදී ඒ විවාහය දෙදරා ගොස් ඇත්තේය. අනතුරුව ඇය මෙරට තනිවෙද්දී ඉන්දියානු සැමියා, දරුවාද කැටුව ඉන්දියාවට ගොසිනි.

එදා සිට ප්‍රේමවතී මොරටුවේ ජීවත් වී ඇත්තේ තනිකඩ දිවියකි. එසේ දිවි ගෙවන අතරේ ඇය මෑතක සිට අන්තර්ජාල සමාජ ජාලාවන්හි සැරිසැරීම පුරුද්දක් කරගෙන සිටියාය.

එසේ සමාජ මාධ්‍යයන්හි සැරිසරද්දී ෆේස්බුක් ඔස්සේ මෑතකදී ඇයට මෙකී පෙම්වතා හමුවී තිබුණා ය. ඔහු සඳහන් කර ඇත්තේ විදෙස් රටක වෙසෙන බවයි.

දෙදෙනාගේ අන්තර්ජාල පෙම මෑතක ආරම්භ වුවත් එය වසර ගණනාවක් පුරා පැවැති පැරැණි පෙමක් සේ ගලා යන්නට විය. ප්‍රේමවතීගේ විදෙස් පෙම්වතා දිනක් ඇයට පවසා තිබුණේ වටිනාකමින් අධික ත්‍යාග රැසක් බහාලු ත්‍යාග පෙට්ටියක් ඇයට ලැබෙන්නට සලස්වන බවයි.

දින කීපයක් ගත විණි. එකී පෙම්වතා විසින් නැව්ගත කර ඇති එම ත්‍යාග පෙට්ටියේ ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලය ඔස්සේම ප්‍රේමවතී වෙත ලැබෙන්නට සැලැස්වූවාය. එම ඡායාරූපවලින් දිස්වී ඇත්තේ ත්‍යාග පෙට්ටියේ අධික මිලෙන් යුත් සුවඳ විලවුන්, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ මිල අධික ස්මාර්ට් ජංගම දුරකථන සමඟ වටිනාකමින් අධික ඇඳුම් ආයිත්තම් රැසක්ම තිබෙන ආකාරයයි.

ඡායාරූප දුටු සැණින් විදෙස් පෙම්වතා නැවත ප්‍රේමවතීට දන්වා ඇත්තේ ත්‍යාග පෙට්ටිය නුදුරේදීම වරායෙන් මුදා ගැනීමට ලක්ෂ දෙකක මුදලක් තැන්පත් කළ යුතු බවයි. ඒ බව සඳහන් කරමින් විදෙස් පෙම්වතා විසින් මෙරට බැංකුවක ගිණුම් අංකයක්ද සඳහන් කර තිබිණි. ඒ අතරේ ඔහු විසින්ම එම ත්‍යාග පෙට්ටිය ලබා ගැනීමට ගෙවිය යුතු බදු මුදල් ලෙස ලක්ෂ එකහමාරක මුදලක්ද තැන්පත් කරන ලෙසටත් සඳහන් කෙරිණි.

වත්පොහොසත්කමින් අග තැන්පත් ප්‍රේමවතීට ලක්ෂ තුනහමාරක් එතරම් මුදලක් නොවූවාය. ඇය ලක්ෂ තුනහමාරක මුදලක් තැන්පත් කළේ කිසිවක් නොසිතමිනි.

ඇයට වූයේ එකම පැතුමකි. තම විදෙස් පෙම්වතා ඉක්මනින්ම මෙරටට ගෙන්වා ගැනීමේ නොතිත් ආශාවයි. එහෙත් ඇයගේ පැතුම් ක්‍රමයෙන් සුන් වෙමින් යන්නට විය. ප්‍රේමවතී මුදල් කන්දරාව තැන්පත් කර ගතවූයේ දින කීපයකි. වසර ගණනාවක පෙමක් සේ ආලයෙන් වෙළී සිටි ප්‍රේමවතීගේ විදෙස් පෙම්වතා වෙනස් වන්නට වූයේ ඇයට කිසිවක් සිතා ගැනීමටවත් නොහැකි ලෙසිනි.

තම පෙම්වතාගේ ‘වෙනස‘ ප්‍රේමවතී දන්වා සිටියේ ඇයගේ හොඳම මිතුරියකටයි. මිතුරිය ඇයගේ කතාව ඇසු සැණින් පවසන්නට වූයේ නොපමාව පොලිසියට පැමිණිලි කරන ලෙසයි.

ඉකුත් 06 වැනිදා ප්‍රේමවතී මොරටුව පොලිසියට පැමිණ පැමිණිල්ල ඉදිරිපත් කෙරිණි. එයෙත් ඇය පොලිසියෙන් ඉල්ලා සිටියේ වෙනස්ම දෙයකි. ඒ කොල්ලකෑ මුදල් නොව කුමන හෝ රටක සිටින තම පෙම්වතා සොයා දෙන ලෙසයි.

ඒ අනුව මොරටුව පොලිසිය, මොරටුව අධිකරණයද දැනුවත්කොට මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරති.

එම කාන්තාව හසුවී ඇත්තේ මේ දිනවල ශීඝ්‍ර ලෙස සමාජ මාධ්‍යයන්හි සැරිසරන සයිබර් අපරාධකාරයෙක් නැතිනම් සයිබර් කොල්ලකරුවකුට බව පොලිසිය සඳහන් කරයි. විශේෂයෙන්ම මෙකී ජාවාරම සිදු කරනුයේ නීති විරෝධි ලෙසින් මෙරට රැඳී සිටින නයිජිරියානු ජාතිකයන්ය. ඔවුහු වැඩිපුරම ගැවසෙනුයේ ගල්කිස්ස, රත්මලාන, දෙහිවල, බොරලැස්ගමුව, වැල්ලවත්ත වැනි පෙදෙස්වලය. අන්තර්ජාලය ඔස්සේ පසුගිය කාලය පුරාවටම බොහෝ කාන්තාවන් එකී නයිජිරියානුවන්ගේ උගුල්වලට හසුවී තිබිණි.

ඉකුත් දිනෙක මෙලෙස ලක්ෂ 9ක මුදලක් සයිබර් කොල්ලකරුවකු විසින් කොල්ලකෑමක් පිළිබඳව ගම්පහ ප්‍රදේශයේ වෛද්‍යවරියකගෙන් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබුණාය. වෛද්‍යවරියක වුවත් ඇයවද රවටමින් එම සයිබර් කොල්ලකරුවා පෙනී සිට ඇත්තේද විදෙස් රටක සිටින වෛද්‍යවරයකු ලෙසිනි.

Comments