සිමෙන්ති හිඟයට තිත! ලංවා සිමෙන්ති වෙළෙඳ පොළට | සිළුමිණ

සිමෙන්ති හිඟයට තිත! ලංවා සිමෙන්ති වෙළෙඳ පොළට

ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් කර්මාන්ත ශාලාව දිස්වන අයුරු

සුගියදා අප මාගම්පුර කර්මාන්ත පුරවරය බලා පිටත් වූයේ එහි ඉදිකර ඇති මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව නැතිනම් ලොව විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලා මුල් විස්ස අතරට එක්වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනය සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කරනු දැක ගනු රිසියෙනි. මෙරට කර්මාන්ත අමාත්‍යංශය යටතේ ලියාපදිංචි දේශීය සිමෙන්ති කම්හල් හයක් ඇති අතර, ඒ ලැයිස්තුවට අලුතෙන් එක්වන නව කම්හල හම්බන්තොට මිරිජ්ජවිල ඉදිකෙරුණු මේ සිමෙන්ති කම්හලයි.

පසුගිය හත්වැනිදාට යෙදුණ සුබ මොහොතින් මේ කටයුත්ත ආරම්භ කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙනි. අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිකිරීමට යෝජිත නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ද මුල්ගල් තැබූවේ මෙරට වේගවත් සංවර්ධනයක් කරා යන ගමනේ සුබ ලකුණු දක්වමිනි. අක්කර දෙසිය පනහක භූමි භාගයක ඉදිවෙන මෙම වානේ කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන හාරසීයක් වන අතර මෙහි නිෂ්පාදන කටයුතු 2024 වසර අවසානය වීමට ප්‍රථම ආර්ම්භ කළ හැකි වෙතැයි ගණන් බලා තිබේ. 

ඇමරිකානු ඩොලර් මිලියන සීයක් ආයෝජනය කරමින් ඉදිකිරීම් ආරම්භ කළ සිමෙන්ති කර්මාන්ත ශාලාව නූතනයේ ලොව දියුණු රටවල පමණක් දැකිය හැකි අති දියුණු තාක්ෂණික යන්ත්‍රසූත්‍රවලින් සමන්විත වේ. මේ කර්මාන්ත ශාලාවේ කටයුතු සියයට අනූ පහක් පමණ සිදු වන්නේ ස්වයංක්‍රීය තාක්ෂණ මඟිනි. එනිසා ලොව මුල්පෙළේ සිමෙන්ති කර්මාන්ත ශාලා විස්ස අතරට මේ කර්මාන්ශාලාව ද එක්ව තිබේ. එසේම දකුණු ආසියා කලාපයේ ඇති දැවැන්ත සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරට මේ කර්මාන්ත ශාලාවද එක්ව තිබේ.මෙහිදී උත්සව සභාව ඇමතූ ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ සභාපති, නන්දන ජයදේව ලොකුවිතාන කියා සිටියේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පුළුල් වීමත් සමඟ මෙරට සිමෙන්ති අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට ඉදිරියේදී හැකිවන බවයි.

මෙහිදී වාරිමාර්ග,රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂයන් පවසා සිටියේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ දීර්ඝකාලීන සැලසුම් මඟින් ශුෂ්ක කලාපයක්ව පැවති හම්බන්තොට දිස්ත්‍රික්කය පූර්ණ පරිවර්තනයට ලක්වී ඇති බවයි. ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ තරුණ පිරිස අනාගත අපේක්ෂාවෙන් කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන් ආයෝජකයන් දිරිගැන්වෙන අයුරින් සහාය දැක්වීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

දකුණු ආසියාවේ දුර්වලම ආර්ථිකයක් බවට මේ රට පත්කර තිබියදී නොපැකිළව රට බාරගෙන පැමිණෙන සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් රටට අවශ්‍ය සියලු දේ දේශීයව නිෂ්පාදනය කර ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා රට රැගෙන යාමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් ප්‍රමුඛ රජය බාරගෙන ඇති බව ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක පැහැදිලි කළේය.

ලංකාවේ සාමාන්‍ය සිමෙන්ති අවශ්‍යතාව මෙට්‍රික්ටොන් මිලියන හතකට ආසන්නය. මේවෙද්දි ලංකාව නිපදවන්නේ මිලියන තුනක පමණ ප්‍රමාණයකි. මිලියන හතරක් මෙරටට ආනයනය කරයි. මේ කර්මාන්ත ශාලාව නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඉන් ලැබෙන සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන දෙකයි දශම අටෙන් ඉන් කොටසක් පූර්ණය වන අතර එළඹෙන වසරේදී මෙහි අනෙක් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භවීමත් සමඟ මෙරට සම්පුර්ණ සිමෙන්ති අවශ්‍යතාව පූර්ණය වේ. ඉන් විදේශයන් කරා ඇදී යන විශාල ධනස්කන්ධයක් රට තුළ ඉතිරි කරගත හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ආයෝජන කලාප දහ හතරක් මේ වනවිට රට තුළ පැවතින බවත්, 2024 වර්ෂය අවසාන වීමට ප්‍රථම නව ආයෝජන කලාප එකොළහක් ස්ථාපිත කිරීමට රජය අපේක්ෂා කරන බවත්, මීට අමතරව මෙම භූමියේම තවත් කර්මාන්ත ශාලා හතක කටයුතු ලබන මස ආරම්භ කරන බවත් එමඟින් අපනයන ආදායම වර්ධනය කර ආර්ථික ඉලක්ක සපුරාගනිමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වන බව පෙන්වා දුන්නේය. රුහුණු ආර්ථික පරිවර්තනයේ කේන්ද්‍රස්ථානය ලෙස හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ මෙලෙස ඉදිවන එක් කර්මාන්ත ශාලාවකින් ලැබෙන ප්‍රතිලාභ අසීමිතය. අප රටේ ශ්‍රම බළකායට අත්වැලක් වෙමින් රැකියා දසදහස් ගණනක් මෙම රුහුණුපුර ආයෝජන කලාපය හරහා හිමි වේ. මේ ආකාරයට දේශීය ව්‍යාපාර බිහිවීම හොඳ ප්‍රවණතාවක් මෙන්ම අර්ථික සංවර්ධනයට පිටුවහලකි. එමෙන්ම අනාගත ආයෝජනයකි.

තිරසර සංවර්ධන සංකල්පය පදනම් කරගනිමින් ඉදිකෙරුණු මෙම කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සිළුමිණ කළ විමසීමේදී මෙම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කළමනාකාරවරයා ලෙස කටයුතු කරන ප්‍රසාද් ද සිල්වා කියා සිටියේ “අක්කර 63 විශාල භූමි භාගයක ඉදිවුණු මෙහි වාර්ෂික නිෂ්පාදන ධාරිතාව සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන හතරක් වන බවත්, පළමු අදියර යටතේ සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන දෙකයි දශම අටක් දේශීය වෙළෙඳපොළට සැපයීමට හැකියාව ඇති බවයි. මෙමඟින් ඇති වී තිබෙන සිමෙන්ති අර්බුදයට විසඳුමක් ලබාදීමට හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම අනෙක් කර්මාන්ත ශාලාව ඉදිවූ පසුව මෙරට සිමෙන්ති අවශ්‍යතාවය මුළුමණින්ම සපුරාලිය හැකි බව ඔහුගේ අදහසය.

මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටි සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සහ හම්බන්තොට අන්තර්ජාතික වරාය එකිනෙක යා කරමින් ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පෞද්.) සමාගම සහ හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් (පෞද්.) සමාගම අතර විශේෂ ගිවිසුම් දෙකකට ඉකුත් වසරේ අත්සන් තැබිණි. මෙම ගිවිසුම්වලට අනුව ලංවා සංස්ථා සිමෙන්ති සමාගම වෙත අනුයුක්ත කර ඇති ජැටිය පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු කිරීමට පූර්ණ ස්වයංක්‍රීය ස්ටැකර් රික්ලේමර් යාර්ඩ් (Stacker Reclaimer Yard) සහ බ්‍රිජ් – ටයිප් ෂිප් අන්ලෝඩර් (Bridge Type Ship Unloaders) ද්විත්වයක් මෙම කර්මාන්තශාලාව සතුය. මින් නූතන තාක්ෂණය අනුව යමින් ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සිදු කළ හැකි බව” ප්‍රධාන කළමනාකරු ප්‍රසාද් ද සිල්වා පෙන්වා දෙයි.

මෙම කටයුතු මෙහෙයවීම සඳහා ඉන්ජිනේරුවන් හතළිහකට ආසන්න ප්‍රමාණයක සේවය ලබාගන්නා අතර එකසිය විස්සක පමණ සේවක සංඛ්‍යාවකින් මේ අති දැවැන්ත කර්මාන්ත ශාලාව මෙහෙයවිය හැකිය.

වරාය සහ කර්මාන්තශාලාව යා කරන ඉහළම කාර්යක්ෂමතාවකින් යුත් කන්වේයර් බෙල්ට් එක නිසා අපතේ යෑම් සහ පරිසර දූෂණය අවම වන අතර, මෙය පරිසර හිතකාමි ලෙස කටයුතු කරමින් කාර්යක්ෂමතාව වැඩිකර ගැනීම සම්බන්ධයෙන් අනෙකුත් සමාගම්වලටද මහඟු ආදර්ශයක් සපයයි.

සාමාන්‍යයෙන් සිමෙන්ති කර්මාන්ත ශාලවක් පවත්වාගෙන යන්නේ ඒකාබද්ධ බලාගාරයක් වශයෙනි. මෙහිදී සිදු කෙරෙන්නේ අමුද්‍රව්‍ය ගෙනැවිත් ඇඹරීම ය. මෙම ලෙස වෙන්වෙන් වශයෙන් අඹරා ගන්නා අමුද්‍රව්‍ය එක්කර සිමෙන්ති සෑදීම සිදු කරයි.

මෙහි දී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ ක්ලින්කය. මීට අමතරව ජිප්සම්, ෆලයි ඈෂ්, ස්ලැග්, ලයම්ස්ටොන්, කැල්සියට් ‍යොදාගනී. දුහුවිලි ඇතුළු නොවන පරිදි ආවරණය කර අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන මේ කන්වේයර් බෙල්ට් එක මඟින් පැයකට අමුද්‍රව්‍ය ටොන් 1,200ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී. එමෙන්ම නවීනතම යටිතල පහසුකම් භාවිත කරමින් ටොන් 60,000ක ධාරිතාවෙන් යුත් නෞකාවකින් රැගෙන එනු ලබන අමුද්‍රව්‍ය දින 3ක් තුළ ගොඩබෑමට හැකිවෙයි.

මෙම කර්මාන්ත ශාලාව මඟින් වසරකට සිමෙන්ති මෙට්‍රික් ටොන් ලක්ෂ 28ක් නිෂ්පාදනය කරන අතර සිමෙන්ති කොට්ට මිලියන 76ක් පමණ නිෂ්පාදනය කළ හැකි බවට තක්සේරු කර තිබේ. වර්තමානයේ ලෝකයේ පවතින ඉහළම තාක්ෂණය කම්හලට යොදාගෙන ඇති අතර සියලු නිෂ්පාදන කටයුතු ස්වයංක්‍රීයව සිදු කරයි. මේ කර්මාන්තශාලාව මඟින් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන ලබාගත හැකිවීම ඉදිකිරීම් කර්මාන්තයට බෙහෙවින් වාසිදායක වන අතර නවීනතම යුරෝපීය තාක්ෂණය යොදා ගැනීම නිසා කාර්යක්ෂමතාව ද ඉතා ඉහළය. ස්මාර්ට් ඔෆිස් සංකල්පය අනුවයමින් මෙම කම්හලේ සම්පූර්ණ ක්‍රියාවලිය ඕනෑම මොහොතක ස්මාර්ට් ජංගම දුරකතනයක තිරයකින් නැරඹීමට හැකි වීම විශේෂය. මෙම කර්මාන්ත ශාලාවේ පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය යන්ත්‍රසූත්‍ර ඇතුළත් වෙයි. මෙය ජාත්‍යන්තර ප්‍රවණතාවලට සමගාමී වන, ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සම්බන්ධ පුරෝගාමී පියවරකි. භාණ්ඩ ප්‍රවාහන නෞකා 3 කට සමාන ගබඩා පහසුකම් ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්ත ශාලාව සතු වන අතර, වරායේ සිට කර්මාන්ත ශාලාව දක්වා අමුද්‍රව්‍ය ප්‍රවාහනයට කිලෝමීටර් 2.1ක දිගින් යුත් කන්වේයර් බෙල්ට් එකක්ද යොදා ඇත. එයින් පැයකට ටොන් 1200ක වේගයෙන් අමුද්‍රව්‍ය කර්මාන්තශාලාව තුළට ගෙන්වා ගැනීමට හැකිය. හම්බන්තොට වරායේ සිට අමුද්‍රව්‍ය ස්වයංක්‍රීයව නළ මාර්ග ඔස්සේ ඇවිත් පැයකට සිමෙන්ති කොට්ට ලක්ෂ 2ක් ඇසුරුම් බවට පත්වෙයි.

මෙම ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව මඟින් සාමාන්‍ය පොර්ට්ලන්ඩ් සිමෙන්ති, පොර්ට්ලන්ඩ් කොම්පසිට් සිමෙන්ති සහ සංයෝග කරනලද ද්‍රාවක සිමෙන්ති (බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් සිමෙන්ති - මේවා මුහුදු ආශ්‍රිත ජලාශ පරිසරවල ඉදිකිරීම් සඳහා යොදා ගනී) වැනි සිමෙන්ති වර්ග නිපදවීමට නියමිතය. ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් හී සම්පූර්ණ ආයෝජනය ලංවා සමූහ ව්‍යාපාරය සතුවන අතර ශ්‍රී ලාංකිකයකුගේ තනි අයිතිය හිමි එකම සහ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව මෙය වේ. මෙහි ආයෝජකයා මෙන්ම සභාපතිවරයා වන්නේ නන්දන ජයදේව ලොකුවිතානය. මැදවච්චිය, කොබිටියගොල්ලෑව නම් දුෂ්කර ගම්මානයේ උපත ලබා ව්‍යාපාරික ලෝකය දිග්විජය කළ හෙතෙම මේ වන විට දෙස් විදෙස් ව්‍යාපාර රැසක හිමිකරුවෙකි.

සිලෝන් ස්ටීල් කෝපරේෂන් සමාගමේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔනික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා වන්නේද නන්දන ජයදේව ලොකුවිතානය. එසේම ඩුබායි මැරියට් අල් ජඩාෆ් හෝටලයේ හිමිකරු ද වෙයි. කොරියානු සමාගමක් විසින් පවත්වාගෙන යනු ලැබූ ඔරුවල වානේ සංස්ථාව විකුණන අවස්ථාවේ හෙමෙ විසින් මිලදී ගනු ලැබීය. 2021 දී හොරණදී විවෘත වූ දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල වන ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගමේ හිමිකරු වන්නේද ලොකුවිතානය.

ඡායාරූප -සාලිය රූපසිංහ

Comments