සොඳුරු බේරේ පාවෙන මනරම් අවන්හල | සිළුමිණ

සොඳුරු බේරේ පාවෙන මනරම් අවන්හල

ද්දහන දවා ලූ ගිනියම දැන් කෙමෙන් අඩු වී තිබේ. සිනමන් ලේක් බිමේ අතුපතර විහිදුණු මහා බෝ රුකක් මුල හිඳ මම 'අංශක අට' දෙස බලමි. බේරේ වැවේ කොළ පැහැ වැව් දියේ නැංගුරම් ලා, ඒ දිය කඳ මත හෙමි හෙමින් පැද්දෙන 'අංශක අට' මේ මොහොතේ මඟුල් ගෙදරක සිරි ගෙන තිබේ.

මලින් සරසමින්, විදුලි බුබුළු එල්ලමින්, ලහිලහියේ තවත් පැයකින් හමාරකින් එළැඹෙන රාත්‍රියේ, මෙතැන සිදුවන්නට යන මංගල උත්සවයට බොහෝ පිරිසක් එක්ව ඈ හැඩ වැඩ කරති. 

මඟුල් ගෙයක්, උපන්දින සාදයක්, ප්‍රිය සම්භාෂණයක් හෝ සාමූහික හමුවීමක් සිදු වන ඕනෑම විටෙක සිනමන් ලේක් සයිඩ් හෝටලයට අයත් බේරේ වැවේ පාවෙන සුවිශේෂී අවන්හල හෙවත් 'eight degrees' මෙසේ සූදානම් කෙරෙයි.

කාර්ය මණ්ඩලය විසින් සිදුකරන මේ සූදානම් කිරීම් අතුරතුර කපිතාන්වරයා ද, ජීවිත සියයක් පමණ සමඟ රාත්‍රියේ පැය දෙක තුනක් වැව් දිය මත යන ගමනට යාත්‍රාව සුදුසු තත්ත්වයේ පවතී දැයි පරික්ෂා කරයි.

අමුත්තන්, සංගීත කණ්ඩායම් සහ කාර්ය මණ්ඩලය ගොඩ වී ආහාර පාන ඇතුළු අවශ්‍ය හැමදේම පටවා ගත් පසු ගමන ඇරැඹෙයි. කඹ ලෙහා යාත්‍රාව වතුරට නිදහස් කිරීමට ඩිංගි බෝට්ටුවේ කාර්ය මණ්ඩලය ද මේ වෙලාවේ විශාල කාර්යභාරයක් ඉටු කරයි.

වැව් දිය මත උත්සවය පැවැත්වෙන මුළු කාලය පුරාම ඩිංගි බෝට්ටුව ඒ අවට කැරකෙන්නේ කෙනෙකුට ගොඩබිමට යන්නට අවශ්‍ය වුවහොත් එය ඉටු කරන්නට ය. විටෙක ගොඩබිමට ගොස් හෝටල් කුස්සියෙන් මදි පාඩු රැගෙන එන්නට ය. මේ කාර්යයේ දී ඩිංගි බෝට්ටුව එහා මෙහා ගෙන යමින් බණ්ඩාර, දිසානායක සහ ප්‍රේමසිරි දවල්ටත් වඩා පරිස්සමට සිය රාජකාරිය ඉටු කරති.

'eight degrees' නම් මේ පාවෙන අවන්හල හෝටලයට එක් වූයේ, මීට වසර දහයකට පමණ පෙර කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ සේවය කළ, නෙරෝයි මාසෝ නම්, සාමාන්‍යාධිකාරී වරයාගේ අදහසකට අනුව ය. ජාත්‍යන්තර තලයේ බෝට්ටු සහ යාත්‍රා නිපදවන නීල් මැරීන් සමාගම නිපදවා ඇති මෙම පාවෙන අවන්හල ඉතා උසස් තත්ත්වයේ නිමැවුමක් බව කපිතාන්, එච්. එම්. එස්. ජයවර්ධන පවසයි.

"අඩි 78ක් දිග, අඩි 28 ක් පළල මෙම යාත්‍රාව නිපදවා තිබෙන්නේ 'ට්‍රයි මැරීන්' ක්‍රමයට අනුව. එනම්, 'හල්' තුනකින් යුක්තව. මෙවැනි යාත්‍රාවක පාවීමේ සම්භාවිතාව වැඩියි. නීල් මැරීන් සමාගම තවමත් මාස දෙක තුනකට වරක් මෙහි නඩත්තු කටයුතු සිදු කරනවා. කොහොම වුණත් යාත්‍රාව දියත් කරන්න නම්, වතුර මට්ටම මීටර් තුනක්වත් උසට තිබිය යුතුයි. වැවේ වතුර මට්ටම වැඩි වුණොත් 'බේරේ බේසමෙන්' මුහුදට ගලා යනවා. වරාය අධිකාරියෙන් සුද්ද පාවිච්චි කිරීම සඳහා ගේට්ටු ඇරියොත් නම්,වතුර මට්ටම අඩු වෙනවා. වැවේ වතුර මට්ටම, කාලගුණය සහ බෝට්ටුවේ තත්ත්වය කියන සියලු කාරණා හොඳින් සලකා බලලයි, යාත්‍රාව දියත් කරන්නේ.

නාවික හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයකු වන මට, මේ අත්දැකීම තරමක් සුවිශේෂී යි. මේක සතුටත් එක්ක ගිහින් එන ගමනක්"

නැටුම්, ගැයුම්, වැයුම් සහ සතුට සිනහව අඩු නැති මේ පාවෙන අවන්හලේ ගෙවන හෝරා කිහිපය එය විඳින්නට එන බොහෝ දෙනාගේ සිත් ඇද ගන්නා සුළු අත්දැකීමකි. එනිසාම මේ අත්දැකීම විඳගන්නට ඔවුහු යළි යළිත් මෙහි එන බව සිනමන් ලේක් හෝටලයේ අලෙවි කළමනාකාරිනී බැන්ක්වට් නිමන්ති කොඩිතුවක්කු පවසයි.

"ඒ නිසාම බොහෝ විට සිකුරාදායින් පටන් ගන්නා සති අන්තයේ eight degrees කවුරුහරි කණ්ඩායමක් වෙන් කරගෙන. ඒ වෙන්කර ගැනීමේ දී අවම වශයෙන් 35 ක් වත් සිටිය යුතුයි. උපරිමය 100ක් පමණයි. එක් පුද්ගලයෙක් සඳහා රුපියල් 6,800 සිට 7,800 දක්වා වර්ග 4කින් මෙන්‍යූ පැකේජ ලබා ගන්නට පුළුවන්.

Upper deck හෙවත් උඩ කොටසේ තමයි උත්සවය පැවැත්වෙන්නේ. lower deck හෙවත් යට කොටසේ තමයි, ආහාරපාන ගන්නා අවන්හල. සම්භාෂණවලදී Upper deck එකේ 75ක් 100ක් එකවර ඩාන්ස් කරන අවස්ථාත් තිබෙනවා. ඒ සතුට විඳ ගන්නට ඉඩ හැර, ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා අපේ ඩිංගි බෝට්ටුව ඒ මුළු කාලය පුරාම ඒ අවට කැරකෙනවා. අමුත්තන් ආපසු යන්නේ ඉතාමත් තෘප්තිමත් හැඟීමෙන්"

ජාත්‍යන්තර හෝටල් ක්ෂේත්‍රයේ 28 වසරක අත්දැකීම් ඇති කමල් අලහේන්ද්‍ර, සිනමන් ලේක්සයිඩ් සිය ශ්‍රී ලාංකේය වෘත්තීය නවාතැන බවට තෝරාගෙන ඇත්තේ, එහි ඇති සුවිශේෂී ආකර්ෂණීය බව නිසාම ය.

eight degrees ඇතුළු බොහෝ අංශවල වගකීම ඇති ඔහු, සිනමන් ලේක් හි ආහාර පාන අංශයේ අධ්‍යක්ෂවරයා ය.

"මම ලෝකයේ තරු හෝටල් ගණනාවක වැඩ කළ කෙනෙක්. ශ්‍රී ලංකාවේ දී මම සිනමන් හෝටලයේ නවාංග රැසක් දුටුවා. ඒවා ඉතාමත් ආකර්ෂණීයයි. අවුරුදු 28ක්ම ජාත්‍යන්තරයට වැඩ කරපු මම, ලංකාවේ සිනමන් හෝටලය තෝරා ගත්තෙත් ඒ නිසයි. eight degrees කියන්නේ, සුවිශේෂී අවන්හලක්. රාත්‍රියේ කොළඹ නගරයේ සුන්දරත්වය පැය දෙක තුනක් පුරා විඳිමින් සංගීතය සහ ප්‍රණීත ආහාරපාන රස විඳිමින් ගත කරන්නට ලැබෙන ඉතාමත් සුන්දර අවස්ථාවක්. ඒ වගේම, දේශීයත්වය සහ සේවකයන් පිළිබඳ සිතන ආයතනයක් ලෙස සිනමන් හෝටලයට සේවය කරන්න ලැබීම මට සතුටක්..."

ඔහු සිය සේවා ස්ථානය පිළිබඳ සතුටිනි.

අටේ කණිසම පහු වී ඇත.

'අංශක 8' දැන්, මඟුල් ගේ සමඟ වැව් දියේ ඈතට යනු පෙනේ.

පුංචි විදුලි බුබුළුවලින් ආලෝකවත් ව, බේරේ වැවේ පාවෙමින් හෙමි හෙමින් ඇදී යන ඒ ගමන මේ රාත්‍රී අඳුරේදී පවා නෙතට රසඳුනක් ගෙනෙයි.

ඡායාරූප - රංජිත් අසංක

Comments