අට තිස් වියැති දීපිකා බහරේනය ජය ගත්තා | Page 3 | සිළුමිණ

අට තිස් වියැති දීපිකා බහරේනය ජය ගත්තා

 

කාන්තා විස්සයි20 ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉනිමක දී ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට බහරේන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා දීපිකා රසාංගිකා (22වැනි දා) සමත් වූවා ය. ඕමානයේ අල් අමරට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මේ දිනවල පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, කුවේට්, බහරේන්, කටාර් සහ සෞදි අරාබි කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන ජී.සී.සී. කාන්තා විස්සයි20 ක්‍රිකට් ශූරතා තරගාවලියේ දී එම වාර්තාව පිහිටවනු ලැබිණි.

ඈ මෙම දක්ෂතාවය දැක්වීමට සමත් වූයේ සෞදි අරාබි කාන්තා කණ්ඩායම සහ බහරේන් කාන්තා කණ්ඩායම අතර පැවැති තරගයේ දී ය. පළමුව පන්දුවට පහරදුන් බහරේන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ලකුණු 318 ක් රැස් කරමින් ඉහළම කණ්ඩායම් ඉනිම වාර්තා කළේ ය. පිට පන්දු 34 ක් සහ නිපන්දු 13 ක් සමඟ අතිරේක ලකුණු 50 ක් වාර්තා වූ මෙම තරගය පන්දුවාරයකට ඉහළම ලකුණු සාමාන්‍යයක් සටහන් කළ (15.90 ක්) තරගය ද විය.

(මීට පෙර 2019 උගන්ඩා කණ්ඩායම විසින් මාලි රාජ්‍ය කණ්ඩායමට එරෙහිව කඩුලු දෙකකට රැස් කර තිබු ලකුණු 314 එම වාර්තාවයි.)

බහරේන් කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටිමෙන් පසු පිටියට පිවිසි දීපිකා කණ්ඩායමේ නායිකා තරංගා ගජනායක සමඟ එක්ව දෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුනු 255 ක සබඳතාවක් පැවැත් වූවාය. එය විස්සයි20 කාන්තා තරග බිමේ දෙවැනි කඩුල්ලට වාර්තා වූ ඉහළම සම්බන්ධතාව ද විය. එමෙන් ම කාන්තා විස්සයි20 පිටියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා පවතින දෙවැනි හොඳම සම්බන්ධතාව වන්නේ ද මෙයය.

එහි දී බහරේන් වෙනුවෙන් දීපිකා රසාංගිකා පන්දු 66 ක දී පහරදීමේ ප්‍රතිශත වේගය 243.93 ක් රඳවමින් හතරේ පහර 31 ක් සමඟින් නොදැවී ලකුණු 161 ක් රැස් කළේ විස්සයි20 ඉතිහාසයේ ඉනිමක දී ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව සටහන් කරමිනි. දීපිකා ට පෙර එම වාර්තාව හිමිව තිබුණේ ඔස්ට්‍රේලියාවේ ඇලිසා හීලි ට ය. ඇලිසා හීලි 2019 සිඩ්නිහිදී ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලකුණු 148 ක් රැස් කළේ පන්දු 61 ක දී හතරේ පහර 19 ක් හයේ පහර 07 ක් සමඟිනි.

අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් නායිකා තරංගා ගජනායක පන්දු 56 ක දී නොදැවී ලකුනු 94 ක් රැස් කර තිබේ. ඊට හතරේ පහර 17 කි.

ලකුණු 319 ක ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි සෞදි අරාබි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 49 ක් පමණි. දීපිකා සිය පන්දුවාර 4 දී ලකුණු 9 ක ට කඩුලු 3 ක් දවාලී ය.

දීපිකා ගේ ජාත්‍යන්තර දක්ෂතා

ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීම 2008 මැයි 02 දා පාකිස්තානයට එරෙහිවය. තරග 31ක ට ක්‍රීඩා කර ඇති ඇය ලකුණු 473 ක් රැස්කර තිබේ. විස්සයි20 වරම් දිනා ගත්තේ පාකිස්තානයට එරෙහි 2009 දී ය.බහරේන් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිඩා කළ අවසන් තරගයත් සමඟින් විස්සයි20 තරග 35 ක දී ඈ ලකුණු 496 ක් රැස්කර ඇත.

 

බන්ධුල ජයමාන්න

****************

හෙළ දිවයිනේ ක්‍රීඩා ඇමැතිට මාලදිවයිනේ දී සම්මාන

මාලදිවයින් ක්‍රීඩා සම්මාන උලෙළේ දී ක්‍රීඩාව මඟින් සමාජ ප්‍රගතිය සහ ප්‍රවර්ධනය ඇති කිරීමට ගන්නා මෙහෙවර වෙනුවෙන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට විශේෂ ගෞරව සම්මානයක් පිරිනමා තිබිණි. ඔහුට අමතරව බංග්ලාදේශයේ තරුණ හා ක්‍රීඩා ඇමැති ෂහීර් අෂාන් මහතා ට, සෞදි අරාබියේ නියෝජ්‍ය ක්‍රීඩා ඇමැති අල් කාඩී අබ්දුල් රහ්මාන් මහතා ට මාලදිවයින් ටෙනිස් සංගමයේ සභාපති අහමඩ් නසීර් යන මහත්වරුන්ට ද එම විශේෂ ගෞරව සම්මාන ප්‍රදානය කර තිබුණේ ය.

අදාළ ක්‍රීඩා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු හා නායකයකු වූ සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් කීර්තිමත් ක්‍රීඩකයන් ලෙස විශේෂ සම්මානයෙන් ඇගයුම් ලැබූ හ.

ඔවුන්ට අමතරව හිටපු රියල් මැඩ්රිඩ් ක්‍රීඩක රොබෝර්ටෝ කාලෝස්, ජැමෙයිකා මලල ක්‍රීඩක අසාපා ෆවෙල්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ රයිනා සහ නෙදර්ලන්තයේ ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක එඩ්ගාර් ඩේවිඩ්ස් ඇතුළු අන්තර්ජාතික කෙළිබිමේ අති දක්ෂ ක්‍රීඩකයෝ 16 ක් කීර්තිමත් ක්‍රීඩක ඇගයීමට ලක් වූ හ.

********************

පුත්තලම් දිසා සහාය දිවීමේ සැණකෙළිය අද

පුත්තලම දිස්ත්‍රික් ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන සමස්ත ලංකා සහය දිවීමේ තරගාවලිය අද ( 27) පෙ.ව. 9.00 ට වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රිඩාංගනයේ දී පැවැත් වේ.

අවුරුදු 35 සිට වයස් කාණ්ඩ 4ක් යටතේ පවත්වන මේ තරගාවලිය මීටර් 100,මීටර් 200,මීටර් 400,මීටර් 800 වෙනුවෙන් පැවැත්වේ.

සහාය දිවීමේ තරග 34 ක් පැවැත්වෙන මේ උලෙළ වෙනුවෙන් මීට අමතරව සහාය දිවීමේ ආරාධිත පාසල් කණ්ඩායම් ද සහභාගී වනු ඇත.

 

 

 

උදුලා පීරිස්

Comments