අභාවයට යන අවුරුදු සිරිත් | Page 2 | සිළුමිණ

අභාවයට යන අවුරුදු සිරිත්

සිංහල අලුත් අවුරුදු උත්සවයේ වැදගත්කම රඳා පවතින්නේ ඒ හා සමඟ බැඳී පවත්නා සිරිත් විරිත් නිසා ය. ජන සමාජයක යහ පැවැත්ම ඇති කිරීමේලා සිරිත් විරිත්වලින් සිදුවන මෙහෙය සුළු පටු නොවේ. අපේ ජන සමාජය තුළ පවත්නා සිරිත් විරිත් පෝෂණය කරනු ලබන වාර්ෂික උත්සවයක් ලෙස අවුරුදු උළෙලට ලැබෙන්නේ වැදගත් තැනකි. මෙම සිරිත් විරිත් කාලයෙන් කාලයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්වීම් වලට භාජනය වී ඇති බව පෙනේ. ජනතාව අතර පවත්නා කොයියම්ම දෙයක් වුවත් කාලයාගේ ඇවෑමෙන් වෙනස්වීම්වලට භාජනය වීම මෙන් ම අභාවයට යාම ද නොවැළැක්විය හැකි කරුණකි.

මෙයට ශත වර්ෂ තුන හතරකට උඩදී පවත්වන ලද අවුරුදු උත්සවවලදී අනුගමනය කරන ලද සිරිත් විරිත් අද අභාවයට ගොස් ඇති අතර අලුත් අංග ඈදී තිබේ. එසේ අභාවයට ගොස් හෝ වෙනස් වී ඇති අවුරුදු සිරිත් විරිත් ගැන විමසා බැලීම මෙම ලිපියෙන් අදහස් කෙරේ.

මහනුවර රජ සමයේදී පරණ අවුරුදු උත්සවය ද ඉතා වැදගත් ලෙස පවත්වා තිබේ. එදින ද අලුත් අවුරුදු දා මෙන් ම ‘හත්මාළුවක්‘ සමඟ බත් උයා අහල පහල අයටත් බෙදා කෑම ගැනීම සිරිතක් වූ බව දැක්වේ. මෙය හැඳින්වූයේ ‘කෝනකෑම‘ යනුවෙනි. මෙකල මෙය ඒ ආකාරයෙන් ම ඉටුවන බවක් නොපෙනේ.

පරණ අවුරුදු චාරිත්‍ර පවත්වන්නේ අලුත් අවුරුද්ද උදාවීමට පෙර දිනයේ ය. අපේ අවුරුදු උලෙළෙහි ඉතාමත් වැදගත් සිද්ධියක් වන බුලත් දීමේ චාරිත්‍රය ඉටු කරනු ලබන්නේ මෙදිනය. වැඩිහිටියන් කමා කර ගැනීමටත් අනෙක් අයට ඇයි හොඳයි කීමටත් කරනු ලබන මෙම සිරිත දිවයිනේ සියලුම ප්‍රදේශවලම පාහේ තවමත් පවතී. පරණ අවුරුදු දා උදයේම බුලත් අතක් රැගෙන පන්සලට ගොස් කුල දෙවියන් වැද පුදා පැමිණ අනතුරුව ගමේ සියලුම අය ගෙන් ගෙට ගොස් කාටත් බුලත් දී ආචාර කරති. මෙම සිරිත අදට වඩා එදා වැදගත් කොට සලකන ලදී. විශේෂයෙන් උඩරට ප්‍රදේශවල මෙසේ බුලත් දෙන විට දෙමාපියන්ගේ දෙපාවල තෙල් ගැල්වීම ද කරන ලදී. එහෙත් මෙකල බුලතුත් නැතිව

නිකම්ම වඳී. එසේම ගෙදර දොර වැඩිහිටියන්ට බුලත් දී ආචාර සමාචාර කළත් ගෙන් ගෙට ගොස් බුලත් දී ආධාර කරන සිරිත දැන් බොහෝ දුරට අභාවයට ගොස් ඇත. එපමණක් නොව මෙම සිරිත ඇතැම් ප්‍රදේශවල කෙරෙන්නේ අලුත් අවුරුද්ද ලැබුව පසුව ය.

පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්තිය සිදුවන කාලය තුළ සියලු වැඩ අත්හැර පින් දහම්වල හා කෙළි සෙල්ලම්වල යෙදීම දිවයිනේ සියලුම ප්‍රදේශවල සිරිත වේ. නොනගතය නමින් ද හැඳින්වෙන මෙම කාලය තුළ ආහාර පානාදියෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටීම පැරැන්නන්ගේ සිරිතයි. අදද ඇතැම් තැනෙක වැඩිහිටියෝ මේ කාලය තුළ කිසිම ආහාරයක් ගැනීමෙන් වැළකී සිටිති. ඇතැම් ප්‍රදේශවල පුණ්‍ය කාලය එළඹීමට පෙර ආහාර පිස හැළි වළංවල නොතබා පෙට්ටිවල දමා තබා පුණ්‍ය කාලය තුළදී ද අනුභව කරති. කෙසේ වෙතත් මේ කාලයේදී ගේ තුළ ගිනි දැල්වීම නම් නොකරති. සමහර අය ගෙයින් පිට ස්ථානයක ළිපක් බැද තේ ආදිය පිළියෙල කරගෙන පානය කරති. වර්තමානයේ ගිනි නොදල්වා විදුලි භාවිතයෙන් මෙම කටයුතු කරගත හැකි නිසා බොහෝ දෙනෙකුට සිරිතත් රැකගෙන අවශ්‍යතාවය ඉටුකර ගැනීමත් පහසු වී ඇත.

සංක්‍රාන්ති වේලාව තුළදී මහනුවර රාජධානි සමයේ පැවැති තවත් චාරිත්‍රයක් වන්නේ ‘ඛණ්ඨ ස්නානයයි‘. මෙය භික්ෂුන් වහන්සේලා අතර පැවැති චාරිත්‍රයකි. දළදා මාලිගයෙන් නැකතට සාදාදෙන තෙල් ඇඹුල් විහාරවලට ගෙන ගොස් උගුරේ ගා ගැනීම ‘ඛණ්ඨ ස්නානය‘ නම් වේ. එය කරනු ලබන්නේ කිරි ඉතිරවීමෙන් පසු පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ය. මේ චාරිත්‍රය දැන් අභාවයට ගොස් ඇත.

පුණ්‍ය කාලය තුළ කෙරෙන කෙළි සෙල්ලම් අතර පංච දැමීම, කජු පූට්ටු ගැසීම, ඔන්චිල්ලා පැදීම, සෙක්කු පැදීම, ඔලිඳ කෙළිය වැනි ක්‍රීඩාවලට විශේෂ තැනක් හිමි විය. මෙම ක්‍රීඩාවලින් ඔලිඳ කෙළිය, සෙක්කු පැදීම වැනි ක්‍රීඩා මේ වනවිට අභාවයට ගොස් ඇත. මෙකල දරුවන් ඔලිඳ පෙතක් දැක ඇත්තේ ද නැත. සෙක්කු පැදීම ද එසේ ම ය.

අලුත් අවුරුදු චාරිත්‍ර අතර ඉතාමත් වැදගත් වන්නේ

‘අනුභව ගනුදෙනු හා වැඩ ඇල්ලීමයි.‘ නැකතට ගිනි මොළවා පිසගත් කිරිබත්වලින් කොටසක් අවුරුදු දේවතාවාට අයින් කොට ඉතිරිවා කුඩා ගුලි වශයෙන් තනා පවුලේ අයට කැවීම පවුලේ වැඩිමලා විසින් කරනු ලැබේ. විශේෂයෙන් මෙය කරන්නේ පවුලේ පියා ය. මේ කිරි බතට ගිතෙල්, උක් හකුරු, මී පැණි, තල, අග්ගලා ආදිය මිශ්‍ර කරනු ලැබේ. හතර කෝරලය, හත් කෝරලය වැනි ප්‍රදේශවල එයට ‘බේත් පැහි‘ ද එකතු කිරීම සිරිත විය. ‘බේත් පැහි‘ ගමේ වෙද මහතා විසින් පිළියෙල කොට ගමේ සියල්ලන්ටම බෙදා දෙන කල්කයකි. එම කල්කය ඇඹරීම සඳහා අවශ්‍ය දලු වර්ග, පේ කොට තබාගනු ලැබේ. අද වනවිට ගමට වෙද මහතුන් ද නැත. ‘බේත් පැහි‘ සෑදීමක් ද නොකෙරේ.

වැඩ ඇල්ලීමේ සිරිත ද එක් එක් ප්‍රදේශවල විවිධ ලෙස සිදු කෙරේ. අපේ ගම්වල පැවැති වැදගත් සිරිතක් වූයේ ‘කැති උදලු ඇල්ලීමේ‘ සිරිතයි. අවුරුදු නැකත උදාවීමට පෙර අතින් කඩාගෙන එන ලද කදුරු අත්තක් සහ කොස් අත්තක් මිදුලේ කොනක දමා තබයි. එතැන උදැල්ලක්, කැත්තක්, පිහියක් තබනු ලැබේ. වැඩ අල්ලන වෙලාවට එතැනට ගොස් එම සියලු ආයුධවලින් අර අතුත් සමඟ බිම කෙටෙන සේ කෙටීම ‘කැති උදලු ඇල්ලීම‘ ය. වර්තමානයේ දී ගම්වල ද මෙම සිරිත ඉටුවන බවක් නොපෙනේ.

එසේම ගෙවල්වල කාන්තා පක්ෂය මෙම අවස්ථාවේ පැවැත්වූ සිරිතක් වූයේ ‘වං මොල් ඇල්ලීම‘ ය. එය කළේ වං ගෙඩියට වී ටිකක් දමා මෝල් ගසෙන් කෙටීම ය. අද බොහෝ තැනෙක වංගෙඩි මෝල්ගස නැත. සිරිත ද අභාවයට ගොස් ඇත.

ගනු දෙනු කරන අවස්ථාවේදී ‘ළිඳ සමඟ ගනුදෙනු කිරීම‘ බොහෝ ගම්වල සිරිතකි. හාල්, දුරු මිරිස්, පස් කුළුබඩු හා කාසියක් සහිතව බඳින ලද පොට්ටනියක් අවුරුදු නැකත් අවස්ථාවේ ළිඳට දමා ළි‍දෙන් වතුර භාජනයක් ගෙනැවිත්

ඊළඟ වසර වනතුරු පරිස්සම් කර තැබීම මෙම චාරිත්‍රයෙන් කෙරේ. අද බොහෝ නිවෙස්වලට වතුර ලැබෙන්නේ නළයෙන් නිසා ළිඳ සමඟ ගනුදෙනු කිරීමට ක්‍රමයක් නැත.

අලුත් අවුරුදු දා විශේෂයෙන් තෝරාගත් අයෙකුට තම තමන්ගේ ගෙවල් ඉඳුල් කිරීම සඳහා පැමිණෙන ලෙස ආරාධනා කිරීම සිරිතකි. එසේ ආරාධනා ලත් තැනැත්තා එම නිවසට පැමිණෙන විට හාල් තුනපහ සහිත මුලක් රැගෙන යාම පැරැණි සිරිතකි. ඔහු එම නිවසින් ආහාර අනුභව කොට ආපසු යනවිට ඔහුට ද ගෙන යාමට එවැනිම මුලක් බැඳ දෙනු ලැබේ. මෙම මුල හඳුන්වන්නේ ‘වියදම් මුල‘ කියා ය. මෙකල ද අවුරුද්දට ඉඳුල් කිරීමට අමුත්තන් කැඳවා ගත්තත් ‘වියදම් මුල්‘ ගෙන යාමක් දක්නට නැත.

හිස තෙල් ගානා නැකතට විය ගසක ‘තෙල් ඇඹුල්‘ ගා වැඩෙහි යොදන ගව ආදී සතුන්ගේ කරේ ගෑම හැඳින්වූයේ ‘විය කරගෑම‘ යනුවෙනි. අද වනවිට ගම්වලවත් ගොවිතැන් සඳහා ගවයන් ඇති කරන්නේ ඉතාමත් කලාතුරකින් අයෙකි. ගම්වල ද හාන්නේ, කොළ පාගන්නේ, යන්ත්‍ර සූත්‍රවලිනි. මේ නිසා ‘විය කරගෑමේ සිරිත ද‘ අභාවයට ගොස් පවතී.

හිස තෙල් ගෑමේ සිරිතට අලි ඇතුන්ගේ නම් හිස තෙල් ගෑම මෙකලත් උත්කර්ෂයෙන් කරන චාරිත්‍රයක් බවට පත්ව තිබේ. මේ ලෙස ඇතැම් සිරිත් අභාවයට ගොස් ඇතැම් සිරිත් වෙනස්වී අලුත් සිරිත් එකතු වීම නොවැළැක්විය හැකි කරුණකි.

විජේරත්න අතුරුපාන

Comments