ආර්ථික අර්බුදයට හේතු විද්වත්හු හෙළි කරති | සිළුමිණ

ආර්ථික අර්බුදයට හේතු විද්වත්හු හෙළි කරති

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ, වින්සන්ට් මර්වින් ප්‍රනාන්දු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හේරත් ගුණතිලක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හේරත් ගුණතිලක, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක

ලංකාවේ ආර්ථික අර්බුදය වෙන කවරදාටත් වඩා ඔඩුදුවමින් තිබේ. ලොව පුරා එහි නවතම තතු පිළිබඳ වාර්තා වේ. එහෙයින් වැරදුණේ කොතැනද සහ කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ, ආර්ථික විද්‍යාවේ ප්‍රාමාණිකයන් කිහිප දෙනකුගෙන් අපි විමසුම් කළෙමු.

පැන නැඟී ඇති ආර්ථික අර්බුදයට හේතු සහ වසර ගණනක සිය අත්දැකීම් ඇසුරෙන් මේ මොහොතේ රටට ප්‍රයෝජනවත් ප්‍රායෝගික විසඳුම් දක්වන ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකයකු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ වින්සන්ට් මර්වින් ප්‍රනාන්දු දැක්වූයේ මෙවැනි අදහසකි.

" 1948 සිට මේ දක්වා බලයට පත් සෑම ආණ්ඩුවක් ම ගත් විවිධාකාර අමනෝඥ ක්‍රියා පිළිවෙත් මෙම අර්බුදයට මුල් වූ ප්‍රධාන හේතුව බව නොකියා බැහැ. 1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන්ගෙන් නිදහස ලබා, පොහොසත් රටක් ලෙස කැපී පෙනුණු ශ්‍රී ලංකාව 1956 සිට විවිධ ආණ්ඩු අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිවල අඛණ්ඩ බවක් නොතිබූ නිසා, විවිධ අවස්ථාවල තරුණ කැරැලි හට ගැනුණා. ජනවාර්ගික අර්බුද නිසා යුද්ධයක් ඇති වුණා. ඒ වගේම බලයට පත් සෑම ආණ්ඩුවකම පැවති දැවැන්ත දූෂණ සහ අසාධාරණකම්, අකාර්යක්ෂමතා ආදී හේතු ගණනාවක් ද අද පවතින මේ අර්බුදයට මුල් වූ බව කියන්නට ඕනේ.

දෙවැනි හේතුව ලෙස මා දකින්නේ, ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වශයෙන් දියුණු කිරීමට නිදහසින් පසු වැඩි කාලයක් ගත කිරීම සහ එයද පසුව අඩපණ වීම යි. එසේම කිසිම දෙයක් සම්පූර්ණයෙන් ම නිපදවා ගැනීමට හැකි කාර්මික සංවර්ධනයක් ඇති කිරීමට කිසිදු පාලන තන්ත්‍රයක් උත්සාහ කළේ නැහැ.

තෙවැනි හේතුව නම් විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නත් එය අංශභාග තත්ත්වයෙන් පවත්වාගෙන යෑමයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායමට වඩා විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කොට, දැඩි වෙළෙඳ හිඟයක් සෑම ආණ්ඩුවක් යටතේ ම වාර්තා වී තිබීමයි. උදාහරණයක් ලෙස 1950- 1955 කාලයේ පමණක් ඩොලර්මිලියන 207ක වෙළෙඳ ගිණුම් අතිරික්තයක් වාර්තා කළ ශ්‍රී ලංකාව 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දෙන විටත් ඩොලර් මිලියන 575ක වෙළෙඳ හිඟයක් වාර්තා කළ අතර, 1978 විවෘත ආර්ථිකයත් සමග එම හිඟය රූපසටහනේ ආකාරයට වර්ධනය වුණා.

ඉන් සිදුවූයේ මෙරට නිෂ්පාදනය කොට පිටරට පටවා ආදායම් උපයා ගෙන කනවාට වඩා ණය වෙලා පිටින් ගෙනැත් කන්න පුරුදු වීමයි. එසේ අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ ආනයනය කරන්න පුරුදු වූ ජනයාට දෙන තෙල්, ගෑස්, ඖෂධ, සිමෙන්ති සහ අවශ්‍ය කාර්මික යෙදවුම් ටික ගේන්න බැරි තැනකට පත් කිරීමයි. මේ තත්ත්වය මෙතෙක් නොදැනුණේ, 1978 දී හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමඟ ලැබුණු සංචාරක ඉපැයීම් සහ විදේශීය ප්‍රේෂණ නිසයි. පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ සමස්ත ඉපැයීම් නැවතත් බින්දුවට බැස්සා. මැදපෙරදිග ඉපැයීම් විශාල වශයෙන් අඩු වුණා. මේ තත්ත්වය තුළ විදේශ ණය ගත්තාට ආනයනය කිරීම් කරන්න බැරි වුණා. අද ඇතිවී තිබෙන අර්බුදයට බලපෑ හතර වැනි හේතුව එයයි.

සුද්දා අපිට බාර දුන්නේ ණය නැති රටක්. අපේ පාලකයන් වසර දහයෙන් දහයට මේ රට තුළ විශාල ණය බරක් දේශීය සහ විදේශීය වශයෙන් ඇති කළා. මේ අර්බුද නිර්මාණය කළ පස්වැනි හේතුව වන්නේ, 1978 සිට මේ දක්වා රට සංවර්ධනය කිරීමට කියා ගත් විදේශ ණයවලින් 40%ක් පමණ ඒ ඒ ආණ්ඩු කළ අය විසින් ම ගසාකෑම. එයට යූඑන්පී, ශ්‍රී ලංකා, පොහොට්ටු සහ යහපාලනය යන සෑම ආණ්ඩුවක් ම අඩු වැඩි වශයෙන් වග කියන්නට ඕනේ.

හයවැනි හේතුව වන්නේ අධික උද්ධමනය. මේ වන විට ජනතාව පරිභෝජනය කරන සෑම භාණ්ඩයකට ම 50%කට වඩා මිල වැඩි වෙලා. ලැබෙන ආදායම් අඩු වෙලා.

කොහොම වුණත් අයවැය හිඟය හැකිතාක් දුරට අඩු කිරීම සහ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගසා හිඟය පියවීම නතර කළ යුතුයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ලාබ ලබන තත්ත්වයට පත් කළ යුතුයි. නාස්තිය, දූෂණය සහ වංචාව අවම කොට, පාර්ලිමේන්තු මන්ත්‍රීන්, මැති ඇමති, අගමැති සහ ජනාධිපති යන අයගේ අධික වියදම් අඩු කළ යුතුයි. කෘෂිකර්මාන්තය නැංවීමට පියවර ගත යුතුයි. කාර්මික අංශය දියුණු කර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ද දිරි ගැන්වීම සඳහා බැංකු ශක්තිමත් කිරීම කළ යුතුයි. වැදගත්ම දේ නම් මේ කිසිවකට දේශපාලනය ගාවා නොගත යුතු වීමයි..."

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කරන්නේ නම් ඊට තම සහාය උපරිමයෙන් දීමට කැමති බව මෙරට ප්‍රවීණත ම ආර්ථික විද්‍යාඥයන් ගේ සංගම් තුනක් ප්‍රකාශ කර තිබිණි. එනම් ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන් ගේ සංගමය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයන්ගේ සංසදය සහ ශ්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය යන ප්‍රධානතම සංගම් තුනයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙසත් ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත් සේවය කළ මහාචාර්ය හේරත් ගුණතිලක මෙම සංගම් තුනම වෙනුවෙන් අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබුණේ මෙසේ ය.

"රටේ බහුතර ජනතාව ගේ දෛනික ජීවිතය අඩාල කරන වර්තමාන ආර්ථික අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් පවතින අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් දුප්පත්කමේ අගාධයට ඇද දමමින් සිටී. සංචිත ප්‍රමාණය ක්ෂණිකව ඉහළ දමා ගැනීමට හැකියාවක් නැත. දැනට ඇති සීමිත සංචිත ප්‍රමාණවත් අයුරින් කළමනාකරණය කිරීම අර්බුදය තවදුරටත් උග්‍ර වීම වළක්වා ගැනීමට ඉතා වැදගත් වේ. මෙම තත්ත්වය යටතේ ලංකාවේ ආර්ථික විද්‍යා සංගම් තුන නියෝජනය කරන ආර්ථික විද්‍යාඥයන් රජයෙන් ඉල්ලා සිටින්නේ, දැනට ඇති සීමිත සංචිත ප්‍රමාණය අත්‍යවශ්‍ය ආහාර ඖෂධ හා ඉන්ධන සහ කෘෂිකාර්මික කාර්මික සේවා සඳහා අවශ්‍ය යෙදවුම් ආනයනය කිරීමට පමණක් භාවිත කරන ලෙසයි.

1950 සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයකු වන අතර, මීට ප්‍රථමයෙන් මූල්‍ය අරමුදලේ සහයෝගය සාර්ථකව ලබා ගෙන ඇත. ලංකාවේ ආර්ථික විද්‍යාඥයීන් විශ්වාස කරන්නේ, මෙම තීරණාත්මක අවස්ථාවේ දී ආර්ථිකය ස්ථාවර කිරීමට හා ණය ප්‍රති ව්‍යුහගත කර ගැනීමට සහාය ගැනීමට ඇති සුදුසුම ආයතනය, ජගත් මූල්‍ය අරමුදල බවයි.

මෙම අර්බුදය සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පැවසූයේ මෙවැනි අදහසකි.

" මට අනුව මේ වත්මන් ආර්ථික අර්බුදය, දීර්ඝ කාලයක් තිස්සේ මෙරට පැවැතී ගෙන ආ පිරිහෙමින් පැවති ආර්ථික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. 2013 වර්ෂයේ සිට එහි උග්‍රතම පරිහානිය පටන් ගැනුණු අතර, රටේ ආර්ථික වර්ධන වේගය ශීඝ්‍රයෙන් අඩු වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ, 2010 -12 කාලය තුළ සියයට 9%කින් වැඩි වූ ආර්ථික වර්ධනය, 2013 න් පසු ක්‍රමයෙන් අඩු වී, 2019 වන විට 2.3% දක්වා පහළ ගියා. 2020 වසංගතය නිසා 3.6%කින් සංකෝචනය වුණා. 2021 දී නැවත පරණ මට්ටමට වඩා ස්වල්ප වශයෙන් එනම්, 3.7% දක්වා ඉහළ ගියා.

මේ අතර විදේශීය අංශය තුළ උග්‍ර අර්බුදයක් නිර්මාණය වෙමින් තිබුණා. එයට හේතු වූයේ, 2005 වසරේ පමණ සිට ලංකාවේ අපනයන වර්ධනය දළ දේශීය නිෂ්පාදිතය සමඟ සංසන්දනය කරන විට, ඒ වේගයෙන් වර්ධනය නොවී ක්‍රමයෙන් පහත වැටීමයි. උදාහරණයක් ලෙස 2005 වන විට ශ්‍රී ලංකාවේ අපනයන, දළ දේශීය නිෂ්පාදිතයෙන් 21%ක් වී තිබුණා. 2020 වන විට එය 15% දක්වා පහළ බැස්සා. අද 12 %යි.ි අද අපේ විදේශ වත්කම් ක්‍රමයෙන් හීන වී ගිහින් ඩොලර් මිලියන 400 දක්වා පල්ලම් බැහැලා. මේ වත්කම්වලින් අපිට පුළුවන්කමක් නැහැ; ගෙවීම් කරන්න. මේ නිසා තමයි බැංකු ක්‍රමය තුළ ඩොලර් හිඟයක් ඇතිවී තිබෙන්නේ. ගනුදෙනුකරුවන්ට පොරොත්තු ලේඛනයේ ඉන්න වෙලා. ඒ තුළ ඩොලර් 'කළු කඩයක්' නිර්මාණය වෙලා. මෙහෙම වෙන්න, ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙකක් විශාල වශයෙන් සෘජුවම දායක වුණා. එක, 2019දී ආණ්ඩුව එකතු කළ වටිනාකම මත බදු ගෙවන්නන්ට සහ ආදායම් බදු සඳහා විශාල බදු සහන ලබා දීම. ඒ නිසා, වසරකට රුපියල් බිලියන 500 කින් පමණ ආණ්ඩුවට ආදායම අහිමි වුණා. ඔය විදියට රටේ සමස්ත ආදායම අඩු වී, වියදම වැඩි වූ නිසා අයවැය හිඟය 7% පමණ සිට 12% දක්වා ඉහළ ගියා. ඉහළ ගිය හිඟය පියවා ගන්නට විශාල වශයෙන් බැංකුවලින් ණය ගත්තා. ඒ ණය ගැනීම හේතු කොට ගෙන රටේ මුදල් සැපයුම වැඩි වුණා. ඒක තමයි සාමාන්‍ය ජනතාව කියන්නේ, රජය මුදල් අච්චු ගහනවා කියලා. අන්තිමේ, කාලයක් තිස්සේ පිරිහෙමින් තිබූ ලංකාවේ ආර්ථිකය පුපුරා ගියා.

මේ බදු නොගෙවීමේ වාසිය කාටත් පොදු වුණාට, එහි විශාලතම වාසිය ලැබුවේ දැවැන්ත ව්‍යාපාරිකයන් වැනි ලොකු බදු ගෙවන්නන්. මේ අහිමිවීම 2020 සිට 2026 දක්වා සිදු වෙමින් පවතිනවා. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය හතර වැනි ව්‍යවස්ථාව යටතේ කළ අධ්‍යයන යටතේ ආණ්ඩුවට නිර්දේශ කර තිබෙන්නේ, එකතු කළ වටිනාකම් මත පැනවෙන බද්ද සහ ආදායම් බදු වහාම 2019 ට පෙර තිබූ තත්ත්වයට යළි ඉහළ දමන්නට කියා.

මේ ආකාරයට රජය තමන්ගේ ආදායම තමන්ම අහිමි කර ගත්තු නිසා බැංකු ක්‍රමයෙන් විශාල ලෙස ණය ගන්නට සිදු වුණා. 2019 දෙසැම්බරයේ සිට 2022 ජනවාරි දක්වා මාස 25ක කාලය තුළ ලංකාව රුපියල් බිලියන 4200ක ණය අරන් තිබෙනවා. මීට අමතරව ආණ්ඩුව කළ තවත් වැරැද්දක් තමයි, කාබනික වගාවට යනවා කියන තීන්දුව එක් රැයකින් ගැනීම. එයින් කෘෂිකාර්මික නිෂ්පාදිතය 30%කින් පමණ අහිමි වුණා. රටේ ආහාර නිෂ්පාදනය අඩු වුණා; පිටරටින් ගේන්න සිදු වුණා. අද සිද්ධ වෙලා තියෙන්නේ මිත්‍ර රටවලට ණය ඉල්ලා අතපාන්න.

ඒ ණය නොලැබුණා නම් ඉන්දියාවෙන් සහ මියන්මාරයෙන් සහල් ලබා ගැනීමට පුළුවන් කමක් නැහැ. විදේශ විනිමය නැතිකම තුළ ගෑස් කිරිපිටි බෙහෙත් ආහාර ඇතුළු සෑම දේම හිඟයක් ඇති වී රට අර්බුදකාරී තත්ත්වයකට ඇද දමා තිබෙනවා.මෙවැනි තත්වයක් තුළත් මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම ප්‍රතික්ෂේප කළා. එය හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ගත් වැරැදි ම තීන්දුවක්. මේ වැරැදි තීන්දුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දිගට ම පවත්වා ගෙන ගියා. මේ ආර්ථික අර්බුදයේ නිර්මාතෘ විදියට වගකිව යුතු වන්නේ ඔවුන්. අලුත් මහ බැංකු අධිපතිවරයා ශ්‍රී ලංකාව පිළිබඳ විදේශිකයන් තුළ විශ්වාසය ජනිත වන ආකාරයට වහාම කටයුතු සැලසුම් කළ යුතුයි. ඒ වෙනුවෙන් ඔහු අනිවාර්යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි. ගිහින් ණයක් අරගෙන ඉන් ලැබෙන සහතිකය මත ලංකාව පිළිබඳ විදේශිකයන් තුළ විශ්වාසය ඇති කළ යුතුයි. ඒ වගේම, දීර්ඝ කාලීනව මේ ණය උගුලෙන් බේරීමට රටේ ඵලදායිතාව නංවන්නට ඕනේ. සෑම අංශයක ම ආර්ථිකය නංවන්නට ඕනේ. 

ලංකාවේ අපනයන ඉහළ තාක්ෂණයෙන් යුතු අපනයන බවට පත්කර ගැනීමේ මාර්ග සිතියමක්, අප සකස් කර ගත යුතුයි. එහි වගකීම සහ රාජකාරිය ජාතික විද්‍යා පදනම වැනි ආයතන බාර ගත යුතුයි. ඔවුන් එවැනි මාර්ග සිතියමක් සකස් කර වහාම රජයට බාර දිය යුතුයි. අනික මේ වෙලාවේ අපි ණය අරන් ව්‍යාපෘති කරලා හරියන්නේ නැහැ. ඉදිරි මාස කිහිපයේ රටට අත්‍යවශ්‍ය ම ද්‍රව්‍ය ටික මිලදී ගැනීමට පමණයි මෙම ණය භාවිත කරන්නට ඕනේ. ගන්නා ණය මුදල වියදම් කරන ආකාරය පිළිබඳවත් යහපාලන ප්‍රතිපත්ති මාලාවක් රජය සකස් කළ යුතුයි. ඒ සඳහා වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාවටයි. අද මේ දෙකම තිබෙන්නේ දියාරු තත්ත්වයේ. ණය අරන් වියදම් කළ මුදලට රජයට ආපසු වටිනාකමක් ලැබුණා ද කියන පසු විපරම බලන එක, මේ අයගේ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුවේත් වගකීම සහ රාජකාරිය. ඇත්තටම මේ සඳහා හැකියාව තිබෙන්නේත් ඔවුන්ට පමණයි" රටේ ආර්ථිකය කඩා වැටීමට බලපෑ හේතු අතර කිසිවකුගේත් අවධානය මෙතෙක් යොමු නොවූ අංශයක් අනාවරණය කළ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අජිත් දිසානායක ඒ පිළිබඳ පැවසූයේ මෙවැනි අදහසකි.

" මේ රටේ වසර ගණනාවක් කර ගෙන ආ ක්‍රමවේදය තමයි ණය ගන්නවා; සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ ණය පියවන්න ආපසු ණය ගන්නවා. මේ සීමාව ඉක්මවා ගිය පසු රටේ වත්කම් දේපළ විකුණා බදු දී ණය ගෙවනවා. මේ ආකාරයට දිගු කාලයක් තිස්සේ ණය ලබා ගැනීමත් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිඵල නොලැබීමත් මේ විනාශයට ප්‍රබල ලෙස බලපෑවා. ඒ වගේම ණය අරන් නිෂ්පාදන ක්‍රියාවලියකට යොදවන්නේ නැතිව නිකම්ම පරිභෝජනයට වැය කිරීමේ ප්‍රතිඵලයත් මේ ව්‍යසනයට බලපෑ ප්‍රබල හේතුවක්.

අපේ රාජ්‍ය ආයතන විශාල වශයෙන් ගත් ණය ආපසු ඒ විදේශ රටවලට ම ඇදී ගිය අවස්ථා එමටයි. අපේ රාජ්‍ය නිලධාරීන් විදේශ සමුළුවලට ගියා. සම්මන්ත්‍රණවලට ගියා; පුහුණු වැඩසටහන්වලට ගියා; ඒ විදේශිකයන් මෙහෙ ගෙනාවා; ඒ අයට සත්කාර සංග්‍රහ කළා. අන්තිමේ ඒ ණය ඒ රටවලට ම වියදම් කළා. හරි තැනට මුදල් ගියා නම්, ඒ සොච්චමයි.

හොයලා බැලුවොත් පසුගිය අවුරුදු 10 ක විතර කාලයක් පුරා විශ්වවිද්‍යාල ඇතුළු රාජ්‍ය ආයතන මේ විදේශ සම්මන්ත්‍රණවලට, වැඩමුළුවට, සංචාරවලට, පර්යේෂණවලට සහ පර්යේෂණ පත්‍රිකාවලට කිය කියා වැය කළ මහා ධනස්කන්ධයේ ප්‍රතිඵල රටට ආපසු ලැබී නැහැ. මහ බැංකුවේ තිබෙනවා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවක්. මේ අය වසරකට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් වැඩමුළු, සමුළු, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, විදේශ සංචාර වැනි මහ හුඟක් දේ කරනවා. ඒ අය මෙහෙම වියදම් කරලා කරන දේවල්වල ප්‍රතිඵල කෝ?

වසරකට කෝටි ප්‍රකෝටි ගණනක් පර්යේෂණ වෙනුවෙන් ම වියදම් කරන මේ අය හොයාගන්න ඕනේ නේද ඉදිරියේ දී රටේ මෙහෙම ආර්ථික අර්බුදයක් එන බව. එහෙනම් මහ බැංකුවේ එම දෙපාර්තමේන්තුව රාජකාරිය පැහැර හැර තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි, වෛද්‍යවරයා රෝහලේ කරන්නේ part time job එකක්. පූර්ණකාලීනව ඉන්නේ පෞද්ගලික රෝහල් සේවයේ. සමහර ගුරුවරු පාසලේ කරන්නේ part time job එකක්. පූර්ණකාලීනව කැමැති ටියුෂන්වලට. රාජ්‍ය සේවයේ කී දෙනෙක් ගන්න පඩියට අවංකව වැඩ කරනවාද?

ආණ්ඩු කරන දේශපාලකයන් විතරක් නෙවෙයි, රාජ්‍ය ආයතන තුළත් මහා පරිමාණයෙන් මුදල් කාබාසිනියා වෙන්නේ මෙන්න මේ විදියට. ඔවුන් සියලු දෙනාත් රටට සිදු වී තිබෙන මේ මහා ව්‍යසනයට වගකිව යුතුයි.

ආණ්ඩු අවුරුදු පහෙන් පහට පත් වෙනවා. එනවා යනවා. නමුත් රජය හැමදාම පවතිනවා. ආණ්ඩු පත් කරන්න මහජනතාවට බලය තිබුණාට, රජය වෙනස් කරන්න මහජනතාවට බලයක් නැහැ. එතැන තමයි ගැටලුව.

මේ රටට ප්‍රතිපත්ති හදන්නේ ගැසට් ගහන්නේ, ගැසට් අවලංගු කරන්නේ, නිවේදන නිකුත් කරන්නේ, නීතිය බලාත්මක කරන්නේ, නීතිය ක්‍රියාත්මක කරන්නේ, රජය. පොලිසිය, හමුදාව, උසාවිය, පාසල, විදුලි බලය, බලශක්තිය, වරාය කියන මේ හැම දෙයක්ම රජය. මේ රටේ ආණ්ඩුවට සම්බන්ධ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මැති ඇමතිවරු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන් ප්‍රමාණය 160,000ක් පමණ සිටිනවා. සෑම වසරකම මේ පිරිස නඩත්තු කරන්න රටේ ජාතික ආදායමෙන් සහ ජාතික ධනයෙන් දළ වශයෙන් වාර්ෂිකව 2%ක් වැය කරනවා.

ඒ වගේම රජයේ ස්ථිර සේවකයන් පිරිස ලක්ෂ 15ක්. මේ ලක්ෂ15න් නඩත්තු වන පිරිස තවත් ලක්ෂ 70ක්. ඒ ලක්ෂ 70 නඩත්තු කරන්න රටේ ජාතික ආදායමෙන් සහ ජාතික ධනයෙන් රජය වැය කරන ප්‍රමාණය 28% ක්. හැබැයි මේ අයගෙන් ආපහු රජයට ලැබෙන ප්‍රතිලාභය 11% යි. අද වන විට එය 9% දක්වා පහළ බැස තිබෙනවා.

28% ක් වැය කර 11% ක් ලැබෙනවා කියන්නේ 17%ක හිඟයක්. ජාතික ධනයෙන් ඒ 17% බර දරන්නේ මේ රටේ පොදු මහජනතාව. මේ තත්ත්වය වසරෙන් වසර වැඩි වනවා. ඒ වැඩිවීම රටේ ආර්ථිකයට දරාගන්න බැහැ. රාජ්‍ය සේවයේ අකර්මණ්‍යතාව, අකාර්යක්ෂමතාව සහ වගකීම් විරහිතව වැඩ කිරීම මේවාට ප්‍රබල හේතු. පෙන්ෂන් යන්න පුළුවන්; ස්ථාන මාරු කරන්න පුළුවන්; තව තව දේවල් වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩු මාරු වුණාට රජය දිගටම පවතිනවා. ඒ නිසා මේ වියදම සෑම වසරකම දෙගුණ තෙගුණ වෙනවා.

'රටක ආදායම් ව්‍යාප්ති ස්වභාවය සහ එහි විෂමතාව නිසා රටේ ආර්ථිකයට සිදු වන බලපෑම' මගේ විෂය පථය. ඒ විෂය අධ්‍යයන කරන කෙනෙක් හැටියට මා දකින දෙයක් තමයි රටේ ජාතික ධනය, ආණ්ඩු කරන අයට සහ රජය නඩත්තු කරන අය අතරේ 30% ක්ම බෙදිලා ගිහින්. ඉතිරි 70% තමයි, සමස්තය අතරේ බෙදී තිබෙන්නේ. හැබැයි ඒකත් විෂම ආකාරයට.

බලන්න අද රාජ්‍ය ආයතන බහුතරය බංකොළොත්. ඒ වුණාට ඔබට පේනවද ඒවායේ වැඩ කරන සභාපති කෙනෙක්, සාමාන්‍යාධිකාරි කෙනෙක් හෝ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ඉහළ සිට පහළට කිසිම කෙනෙක් බංකොළොත් වී සිටිනවා? නැහැ. ආයතන වලපල්ලට ගියාට ඔවුන්ට සරුසාරයි. කොහොමද එහෙම වෙන්නේ? ලංකාවේ එක තනාපතිනියක් සිටිනවා පිටරට තානාපති සේවයේ ඉන්නා ගමන් මේ රටේ අධ්‍යක්ෂ මණ්ඩල හතරක සාමාජිකත්වය දරන. පිටරට ගිහින් ජනාධිපති නියෝජනය කරන තානාපතිනියක් කොහොමද ලංකාවේ අධ්‍යක්ෂ මණ්ඩල හතරක ඉන්නේ? මේ තමයි වරප්‍රසාද භුක්ති විඳින විදිය. රාජ්‍ය දේපළ අවභාවිත කරන විදිය. දැවැන්ත පඩි නඩි ගන්නවා. හැබැයි බර උහුලන්නේ පොදුජනතාව. මේ රටේ බර දරන්නේ ජීවිතේට ප්ලේන් එකකට අඩිය නොතියපු මිනිස්සු. මුළු ජීවිත කාලෙම බස් එකේ රස්සාවට ගිය මිනිස්සු. දේශපාලකයන් එක පැත්තකින් රට හූරා කන විට රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන් කාබාසිනියා කරන සම්පත් ප්‍රමාණය අති දැවැන්තයි. ඒක කාටවත් පේන්නෙ නැහැ. ඒකට පියවරක් ගන්නෙත් නැහැ. දැන් මහජනතාවට පුළුවන් ආණ්ඩු වෙනස් කරන්න පාරට බහිනවා වගේම, රජය වෙනස් කරන්නත් බලපෑම් කරන්න. ඒක මේ රටේ සිද්ධ විය යුතු දෙයක්. එහෙම නැත්තම් දිගින් දිගටම මේ අකාර්යක්ෂම රාජ්‍ය ආයතන, නිහඬ මාරයකු සේ මේ රටේ ආර්ථිකය ගිල දමනවා. දුප්පතුන් ඇතුළු පොදු මහජනතාව ඒ බර හැමදාමත් ගෙවනවා"

මේ ගැටලුව පිළිබඳ, විද්වත් ඇසින් දකින ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න පැවැසූයේ මෙවැනි අදහසකි.

" වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ලංකාවට ඇත්තේ එක් ගමන් මාර්ගයක් පමණයි. එය කෙටිකාලීන වශයෙන් වේදනාකාරී සහ ඇතැම් විට දේශපාලනික වශයෙන් නිවැරැදි නොවන මාර්ගයක් වන්නට පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යනවාද නැතහොත් තනිව යනවාද යන්න වෙනම ප්‍රශ්නයක්.

මෙම ගමන් මාර්ගය, ආණ්ඩුවේ ආදායම් වියදම් කළමනාකරණය සහ මහ බැංකුව විසින් ඊට මුදල් සැපයීම නැවැත්වීමත් ඇතුළු, 'ආත්ම දමනයක්' සහිත ගමන් මාර්ගයක්. තමන් විසින් පොරොන්දු වූ සේවා සැපයීමට අසමත් සහ අයවැයට ද බරක් වූ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කරන සහ වේගවත් අපනයන ප්‍රවර්ධනයක් ඇති කළ යුතු ගමන් මාර්ගයක්. එය නොමැතිව මෙම අර්බුදයට 'මයික්‍රොවේව්' විසඳුම් නැති බව මුලින්ම කියන්න කැමැතියි.

අපේ රටට ආයෝජකයන් එන එක දැන් බොහෝදුරට නැවතිලා. ආයෝජකයන් මේ රටට එන්න හේතුවක් තියෙන්න ඕනේ. ආපු අයට පවා අල්ලස් දූෂණ වංචා කොමිස් විශාල වශයෙන් සිද්ධ වෙන්න ගත්තා. ඒ නිසා ඔවුන් දැන් එන්නේ නැහැ. ආපු කිහිප දෙනාටත් එපා වුණා. ඔවුන්ට ලංකාවට වඩා ඉන්දියාව විශ්වාසයි. බංග්ලාදේශය විශ්වාසයි. මේවාට හේතු තමයි, ව්‍යාපෘති සමග ශ්‍රී ලාංකික බලධාරීන් සහ නිලධාරීන් බලාපොරොත්තු වන අසීමිත අල්ලස සහ කොමිස් මුදල්.

රටක් ණය ගන්නවා වගේ නෙවෙයි, ගන්නා ණය කළමනාකරණය කිරීම යි, වැදගත් ම දේ. තමන් පුද්ගලික ණයක් ගන්නා විට පවා එය කොයි තරම් සකසුරුවමින් පරිස්සමින් ගන්නවාද, වියදම් කරනවාද කියා ඔබ දන්නවා. නමුත් රටක් වෙනුවෙන් ණය ගනිද්දී ඒ තත්ත්වය වෙනස්. ගන්නා අය නෙවෙයි ඒ ණය ගෙවන්නේ. රටේ මහජනතාව. ඒ නිසා ඒ ණය ආයෝජනය කිරීමේ දී අදාළ රාජ්‍ය ආයතනවලින් ඒවා අධීක්ෂණය වීම, විගණනය වීම ඉතා වැදගත්.

මේ රටේ අයවැය හිඟය බලපුවාම ආයෝජන සඳහා විතරක් නෙවෙයි, එදිනෙදා ප්‍රශ්න විසඳා ගන්නත් ණය ගන්න වෙලා. ඒ වගේම, ආයෝජනය කරන දේවල් හරියට ආයෝජනය වූවාද හරියට ම ඵලදායි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වූවා ද කියන එක ප්‍රශ්නයක්.

ගන්නා ණය ඕනෑ හැටියට වියදම් කිරීමේ ඉඩකඩ තිබෙන ණය තමයි, වාණිජ ණය කියන්නේ. වියදම් කරන්නෙ කාටද, කොපමණක් ද, කෙසේද කියන එක පැහැදිලි නැහැ. මුදල් අමාත්‍යංශය, මහ බැංකුව වැනි වගකිවයුතු ආයතනවලින් මේවායේ පසුවිපරම් කොතරම් දුරට සිද්ධ වෙනවද කියන එක අධීක්ෂණය වෙන්න ඕනේ.

මොකද, ඕනෑම ණය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී 'මූලික කාර්ය සාධන දර්ශක' කියලා දෙයක් තිබෙනවා. ණයක් ආයෝජනය කිරීමේදී කොයිතරම් කාලයකින් එහි ඵලදාව ලබන්න බලාපොරොත්තු වනවාද ඒ ඵලදාව ලබන කාලය තුළ ගෙවීම් කරන්නේ කෙසේද කියන කාරණා අතිශය වැදගත්. මේවාට වග කියන්න ඕනේ,

ආණ්ඩුවේ ඉහත කී ආයතන. අද වෙලා තියෙන්නේ, ණය අරන් ගෙවන්නේ, ඒ ණයවලින් උපයන දෙයින් නෙවෙයි. අය-වැයෙන්. මෙවැනි දේ අඛණ්ඩව සිදු වන විට ආර්ථිකයේ කඩා වැටීම ඉක්මන් වනවා.

බ්‍රිතාන්‍යයන් මේ රටේ දුම්රිය සේවය පටන් ගත්තේ ආණ්ඩුව 10%ක් සහ ඉතිරි 90%ම ණයක් ලෙස අරන්. වසර 35කින් ඔවුන් ඒ ණය ගෙවා අවසන් කළා. ඉන් ලැබූ අතිරික්ත ආදායමෙන් නැවත නැවතත් දුම්රිය සේවය සංවර්ධනයට ම ආයෝජනය කළා. ණය ගැනීම, ණය ආයෝජනය කිරීම සහ ආපසු ගෙවීම අතර සෘජු සබඳතාවක් තිබෙනවා. එය දම්වැලක පුරුක් මෙන් අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු තත්ත්වයක්. මේ රටේ සම්මන්ත්‍රණ ශාලා හැදුවා, සම්මන්ත්‍රණ පැවැත්වෙන්නේ නැහැ. ක්‍රිකට් ස්ටේඩියම් හැදුවා, ක්‍රිකට් ගහන්නේ නැහැ. ගුවන් තොටුපළක් හැදුවා, ප්ලේන් එන්නේ නැහැ.

මේ වගේ දැවැන්ත ආයෝජන කරපු ව්‍යාපෘති රටේ තිබෙනවා, ආදායම් නැහැ. ඒත් මේවායේ ණය ගෙවන්න ඕනේ. කොහොමද මේ ණය ගෙවන්නේ? අයවැයෙන්. මේවා තමයි රටක ආර්ථිකය කඩා වැටෙන්නට බලපාන බරපතළ හේතු.

මට කියන්න තියෙන්නේ, අපි වතුර උණු වෙනකල් නටන කකුළුවෝ වගේ ජාතියක්. ඉතාමත් දරුණු ආර්ථික ප්‍රතිපත්ති තමයි, මේ රටේ අනුගමනය කර තිබෙන්නේ.

ඉදිරි මාස කිහිපය තුළ මේ තත්ත්වය දරුණු අතට හැරෙනවා. පසුගිය අවුරුදු දෙකක් තිස්සේ අනුගමනය කරමින් සිටි ඒ දරුණු ආර්ථික ප්‍රතිපත්තිවල විපාක තමයි මේ පොදු ජනතාවට විඳින්න වෙලා තිබෙන්නේ. මේ තමයි අප ඉදිරියේ තිබෙන සැබෑ තත්ත්වය.

ආර්ථික විද්‍යාව පිළිබඳ දැක්මක් තේරුමක් නැති පාලකයන් ආර්ථික ප්‍රතිපත්තිවල දී ගන්නා වැරැදි තීන්දු තීරණ නිසා තමයි, මේ රට මේ තැනට වැටුණේ. ජනතාවත් වක්‍රාකාරව මේ ව්‍යසනයට වග කියන්නට ඕනේ. ජාතියක් ලෙස, රටක් ලෙස අපි අවබෝධ කරගත යුතු සැබෑ තත්ත්වය මේකයි. ඇත්ත වසන් කරලා අපිට ගොඩ එන්නට බැහැ. ඒ නිසා වැරදුණු තැන් බොහොම ඉක්මනින් නිවැරැදි විය යුතුයි"

Comments