පොලිස් - හමුදා යතුරුපැදි ගැටුමේ ඇතුළු පැත්ත | සිළුමිණ

පොලිස් - හමුදා යතුරුපැදි ගැටුමේ ඇතුළු පැත්ත

ගැටුමේ අවස්ථාවක්

ස්වැනිදා පෙරවරුවේ සිටම පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග සියල්ලම අවහිර කරමින් පැවැති උද්ඝෝෂණවල නිරත පිරිස සවස් යාමයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණෙන තෙක්ම බලා සිටිමින් උද්ඝෝෂණයේ නිරත වූහ. පොලිසියද පෙරවරුවේ සිටම උද්ඝෝෂකයන්ගේ ගමන වළකාලමින් අවට රාජකාරියේ නිරත වූයේය.

එදින සවස් යාමයේ වේලාව පස්වරු 5ට පමණ පාර්ලිමේන්තුවට පිවිසෙන ජපන් - මිත්‍රත්ව මාර්ගය අසල විරෝධතාව අතරින් පාර්ලිමේන්තුව දෙසින් පැමිණි කළු ඇඳුමින් සැරැසි මුහුණු වසාගෙන ගිනිඅවි අතැති යුද හමුදාවට අයත් බවට බැලු බැල්මට පෙනුණු යතුරුපැදි 4ක් විරෝධතාකරුවන් පරයා ගමන් කිරීමට තැත් කෙරිණි. ඒ මොහොතේ එම යතුරුපැදිකරුවන්ට උද්ඝෝෂණයේ යෙදී සිටියවුන්ගෙන්ද දැඩි විරෝධයක් එල්ල විණි. ඒ සමඟ යතුරුපැදිකරුවන්ට විරෝධතාකරුවන් මධ්‍යයෙන් ගමන් කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමට එම ස්ථානයේ රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීහු කටයුතු කළහ.

කෙසේ වුවත් එම යතුරුපැදි කණ්ඩායම මඳ දුරක් ගොස් යළි ඒ ස්ථානයෙන් ගමන් කිරීමට තැත් කිරීමත් සමඟ එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින්ගෙන්ද අදාළ යතුරුපැදිකරුවන්ට එල්ල වූයේ දැඩි විරෝධයකි. එසේම එම යතුරුපැදිකරුවන්ද එම ස්ථානය අවට රැඳෙමින් තව තවත් ‘රවුම්‘ ගසන්නට ද වූහ. එය යතුරුපැදිකරුවන් සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් දක්වා දුරදිග යාමටද ඉඩකඩ විවර විණි.

ඒ වන විට එම ස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ඇතුළු සහකාර පොලිස් අධිකාරිවරුන් වන ප්‍රදීප් වෙත්තසිංහ, මහින්ද විල්ලෝරාරච්චි ප්‍රමුඛ පොලිස් නිලධාරින් විශාල සංඛ්‍යාවක් රාජකාරියේ නිරතව සිටියේය.

අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනාගේ ඍජු මැදිහත්වීමෙන් පොලිස් නිලධාරින් විසින් යතුරුපැදිකරුවන්ගේ එම හැසිරීමට විරෝධය පා යතුරුපැදි නතරකොට යතුරුපැදි කිහිපයක යතුරුද පොලිස් නිලධාරීන්ගේ බාරයට ගෙන හමුදා සාමාජිකයන්ට බැන වදින ආකාරයත් පහරදීමට තැත් කළ ආකාරයක්ද විද්යුත් මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය වන්නට විය.

එම දර්ශන දුටු ඇතැමුන් යුද හමුදා සාමාජිකයන්ගේ හැසිරීම පිළිබඳවත් පොලිස් නිලධාරින්ගේ රාජකාරිය ගැනත් විවිධාකාරයේ මතිමතාන්තර ඉදිරිපත් කරන්නට වූයේ දෙපාර්ශ්වයටම ‘හොඳ-නරක‘ කියාපාමිනි.

මේ අතරේ එදින රාත්‍රියේම යුද හමුදාව දෙසින් වූයේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ යතුරුපැදි කණ්ඩායමේ යතුරුපැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැඳිව යුද්ධ හමුදා පතිතුමා විසින් ඒ පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාළ පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි.

එසේම ඒ පිළිබඳව පොලිස්පතිතුමා වහා අවැසි කටයුතු සිදුකරන බවත් යුද්ධ හමුදා පතිතුමාට දැනුම් දී ඇති බවයි. තවද ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ද මෙකී සිදුවීම පිළිබඳව පොලිස්පතිතුමාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමාටද මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙන බවයි.

යුද හමුදා යතුරුපැදිකරුවන්ට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දීමට තැත් කිරීම පිළිබඳව යුද හමුදාව පැත්තෙන් වූ බලපෑම මත එකී සිදුවීමට මුහුණ දුන් සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනා එදින රාත්‍රියේම වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ඉහළ පොලිස් නිලධාරීන් සූදානම් වූහ. එහෙත් පසුව පොලිස් දෙපාර්තමේන්තුව තුළින්ම පැනනැඟුණු කිසියම් බලපෑමක් මත එම ස්ථාන මාරුවීම් වැළකුණු බවටද සැල වේ.

කෙසේ හෝ මේ පිළිබඳව හයවැනිදා පෙරවරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ විමර්ශනවල ප්‍රගතිය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් සිදුවූ සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයාගේ කනගාටුවද ප්‍රකාශයට පත් කරන බව සඳහන් කෙරිණි.

පොලිසිය හා යුද හමුදා යතුරුපැදි සාමාජිකයන් අතර වූ ගැටුම පිළිබඳව පසුදා එනම් 6 වැනිදා පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක්විය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාද දෙපාර්ශ්වයේම හැසිරීම පිළිබඳව පවසන්නට වූයේ පොලිසියේ හැසිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවයි. තවද එකී යතුරුපැදි කණ්ඩායමේ හමුදා නිලධාරීන් ඒ ස්ථානයට යාම අනුවණ ක්‍රියාවක් වන බවත් මෙවැනි ව්‍යාකූල අවස්ථාවකදී සෙබළුන් කලබලයට පත් වී ඕනෑම විනාශකාරී දෙයක් වුව සිදුවීමට පවා ඉඩ ඇති බවයි.

ඒ මොහොතේ යුද හමුදා සාමාජිකයන්ට එරෙහිව පොලිසිය රාජකාරිය ඉටු කරද්දී සිය රාජකාරි සීමාව ඉක්මවා සිදුකර ඇති බව යුද හමුදාව ඇතුළු පාර්ශ්වයන්ගෙන් එල්ල වූ චෝදනා වුවත් පොලිසියද නීතිය හා සාමය රකිමින් එදින පෙරවරුවේ සිටම විරෝධතාකරුවන් හසුරුවමින් දැඩි සේ වෙහෙසකර වූ රාජකාරියක නිරතව සිටි බව පෙනේ. විශේෂයෙන්ම ඒ සිදුවීමට මුහුණ පෑ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වෙත්තසිංහ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින නිතීගරුක නිලධාරියෙක් ලෙස ප්‍රකටව සිටී. ඔහු එ් ස්ථානයේ විශේෂ රාජකාරී සඳහා ගොස් තිබුණේද කොළඹ වංචා විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදියි.

එම සිදුවීමට පාදක වූ යතුරුපැදි කණ්ඩය යුද හමුදා විශේෂ බළකායේ සිටින සුවිශේෂ කණ්ඩයකි.

යුධ හමුදා විශේෂ බළකා ප්‍රහාරක යතුරුපැදි බළගණය (Combat Riders - Sri Lanka Army Special Forces) නමින් හඳුන්වන එකී බළගණයේ සාමාජිකයන් අට කණ්ඩායම් නැතිනම් හතරේ කණ්ඩායම් ලෙස සැරිසරති. ඔවුහු රට තුළ මහජන කැලඹීම් හෝ ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වූ අවස්ථාවලදී අවශ්‍යතාව අනුව කැඳවීම් කරති. පොල්දූව මංසන්ධියේ සිදුවීමද මෙතරම් දුරදිග යාමක් වූයේ යතුරුපැදි කණ්ඩායම් එම ප්‍රදේශවල සැරිසරන බව පොලිසිය දැනුම්වත් කර නොතිබූ නිසාවෙන් වන්නට ඇත. ඇතැම් විටෙක එම යතුරුපැදි කණ්ඩායම් සැරිසරන බවට පොලිසිය දැනුවත් කළ යුතු නොවන බවට යුද හමුදාව පැත්තෙන් සඳහන් කළ හැකිය. එහෙත් මේ වන විට රටේ පවත්නා සුවිශේෂ තත්ත්වය මත රටේ නීතිය හා සාමය රැකීමේ පරම වගකීම පොලිසිය සතු වේ. ගිනිඅවි අතැතිව හඳුනා ගැනීමට අපහසු ආකාරයෙන් යතුරුපැදිකරුවන් සැරිසරද්දී කිසියම් ස්ථානයක උද්ඝෝෂකයන් අතර සිටින මන්දබුද්ධික උද්ඝෝෂකයකු ක්‍රියාත්මක වී යුද හමුදා සාමාජිකයන් සමඟ ගැටුමකට ගොස් එය දුරදිග ගියහොත් සිදුවන විනාශයත් කිසිවකුට කිව නොහැකිය.

Comments