රටම හෙල්ලූ උද්ඝෝෂණ රැල්ල | සිළුමිණ

රටම හෙල්ලූ උද්ඝෝෂණ රැල්ල

ජීවන මිල ඉහළ යෑම, ගෑස්, ඉන්ධන හිඟකම, පැය 13ක් පමණ විදුලිය කැපීම ආදී ජනතාවට ඍජුවම බලපාන ගැටලු නිසා මෙන්ම වත්මන් රජයේ අකාර්යක්ෂම පාලනයක් ඇතැයි පවසමින් කොළඹින් ඇතිවුණු ජනතා උද්ඝෝෂණ දැන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී. 

රටේ තැනින් තැන ඉන්ධන අර්බුදය නිසා විවිධ උද්ඝෝෂණ තිබුණත් උච්චතම මට්ටමට ආවේ පැය 13ක් විදුලිය කැපූ පසුගිය බ්‍රහස්පතින්දාය. එදින ජනාධිපතිවරයාගේ මිරිහානේ පෞද්ගලික නිවෙස අසල උද්ඝෝෂණය ඉතා දරුණු විය. එය පාලනයට කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල විය. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනෙකුට ලක්ෂය බැගින් ඇප නියම කෙරිණි. එම සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් 300ක් පෙනී සිටීම විශේෂත්වයක් විය. පසුව අනෙක් සැකකරුවන් 31 දෙනාට ද ඇප ලැබිණි.

ඊට පසු සමාජ ජාල පරිශීලක මාධ්‍යවේදියකු වන අනුරුද්ධ බණ්ඩාර යන පුද්ගලයාට ද ඇප ලැබිණි. ඔහු වෙනුවෙන් මධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා හා ඉහළ නිලධාරින් ඇතුළු විශාල නීතිඥවරු පිරිසක් පෙනී සිටීම ද විශේෂත්වයක් විය.

මාර්තු 3 වැනි ඉරිදා රටපුරා උද්ඝෝෂණ පැවැත්වීමට සූදානමක් තිබෙන බවට සමාජ ජාලා හරහා ප්‍රචාරය වීමත් සමඟ රජය පෞද්ගලික දේපළ හා ජනතාව සුරැකීම පිණිස රටපුරා හදිසි නීතිය හා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අතර සමාජ ජාලා ක්‍රියාකාරිත්වයද අකර්මන්‍ය කළේය.

එසේ වුවත් ඉහත නීති මධ්‍යයේ වුවද ඉරිදා උද්ඝෝෂණ රැසක් රටපුරා පැවැත්විණ. මේ අතර පසුගිය සඳුදා පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රී රොෂාන් රණසිංහගේ පොළොන්නරුවේ බැදිවැව නිවෙස වැටලූ උද්ඝෝෂණකරුවෝ එයට අලාභ හානි කළහ. ගෘහ භාණ්ඩ ද වාහන ද ගිනිබත් කළහ. හිටපු ඇමැති ගාමිණි ලොකුගේ පදිංචි පිළියන්දල මාවිත්තර නිවෙස අසලට රැස්වූ උද්ඝෝෂකයෝ හිටපු ඇමතිවරයාගේ නිවෙස ඉදිරිපිට තිබුණු විශාල පුවරුවකට ගිනි තබා නිවෙසට හා කාර්යාලයට ගල්මුල් ගසා බලවත් ලෙස අලාභ හානි කර තිබිණි. ඒ පිරිස පලවා හැරීමට කඳුළුගෑස් පාවිච්චි කිරීමට ද සිදුවිය.

4 වැනිදා ද රටපුරා උද්ඝෝෂණ පැවැති අතර එයින් ප්‍රධානම උද්ඝෝෂණය වූයේ තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයයි.

එදිනම හිටපු වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණගේ ගාල්ල නිවෙස, හිටපු පළාත් සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ දඹුල්ල නිවෙස හා චමල් රාජපක්ෂගේ දෙබරවැව නිවෙස අසල ද උද්ඝෝෂණ පැවැත්විණි. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලගේ නිවෙස වැටලූ උද්ඝෝෂකයෝ පලවා හැරීමට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට සිදුවිය. 

ඊට අමතරව හිටපු රාජ්‍ය ඇමැති නිමල් ලන්සා, හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන, ඉන්දින අනුරුද්ධ, මොහාන් ද සිල්වා, පියල් නිශාන්ත යන අයගේ නිවෙස් ඉදිරිපිට ද උද්ඝෝෂකයෝ විරෝධතා දැක්වූහ. ඊට අමතරව පසුගිය සඳුදා දහවල් මහනුවර නගරයේදී හිටපු ඇමැති එස්.බී. දිසානායකට ද උද්ඝෝෂකයන්ගෙන් විරෝධතා එල්ල විය.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යාපනයේදී, අනුරාධපුරයේදී, කෑගල්ලේදී තවත් කාන්තාවෝ පිරිසක් සමඟ සජබ මව් පෙරමුණ යටතේ උද්ඝෝෂණ සංවිධාන කළහ. එහෙත් යාපනයේදි හා කෑගල්ලේදි ඇයට තවත් පිරිසකගේ තර්ජනවලට ද ලක්වීමට සිදුවිය. රජයට විරුද්ධ උද්ඝෝෂණ රැල්ල මැද පාර්ලිමේන්තු මැති ඇමතිවරු ද ඉල්ලා අස්වෙන්නට ආරම්භ කළහ. ඒ අනුව මුලින්ම ඉල්ලා අස්වූයේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂය. ඊට පසු රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර ඉල්ලා අස්වූ අතර ඊට පසු පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුළු ඇමැති මණ්ඩලයම ඉල්ලා අස්වූහ. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු ගෙන යාමට පමණක් ඇමැතිවරු හතර දෙනෙක් පසුව පත්කරනු ලැබීය.එහෙත් එදින මුදල් ඇමති වශයෙන් පත්වූ මුදල් ඇමැති අලි සබ්රි පැය 24ක් යාමට පෙරම ඉල්ලා අස්විය.

මේ අතර 4 වැනිදා සහ 7 වැනිදා පස්වරුවේ අරලියගහ මන්දිරයේ හා ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැය ගණනාවක් උද්ඝෝෂණ පැවැත්වූ අතර ඊට පක්ෂ භේදයක් නොතිබිණි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා පෙරටුගාමී පක්ෂයේ පිරිසක් ද ඒ උද්ඝෝෂණය සංවිධාන කර තිබූ බව පොලිසිය පැවසීය.

අප්‍රේල් 5 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අතර බොහෝදෙනා අදහස් පළකළේ එදින රජයට පාර්ලිමේන්තුවේ බහුතරය බලය නැතිවීමට ඉඩ ඇති බවයි. ඒ අනුව රජයට මන්ත්‍රීවරු 113කගේ බහුතරය අහිමි වනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කළහ. මුලින්ම ශ්‍රීලනිප ය රජයට සහයෝගය දැක්වූ මන්ත්‍රීවරුන් 14 දෙනාම ස්වාධීනව සිටින බව දැනුම් දුන්හ. ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු පිරිසම ස්වාධීන වූ අතර විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 මන්ත්‍රීවරුන් 16 දෙනෙක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 10 දෙනෙක් ද පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව කථානායකට දැනුම් දුන්හ. ඒ අනුව පසුගිය 5 වැනිදා ආණ්ඩුවට පක්ෂව සිටි 42ක් පමණ ස්වාධීන මන්ත්‍රීවරු බවට පත්වූහ.

එසේ වුවත් රජයට තිබුණු 113 බහුතරය නැතිවූයේ නැත. අලුත් තත්ත්වය අනුව රජයට මන්ත්‍රීවරු 117 කි. විපක්ෂයට මන්ත්‍රීවරු 107 කි. කතානායකවරයා ස්වාධීන ලෙස සැලකේ. පාර්ලිමේන්තුව පැවැති අප්‍රේල් 5-6-7-8 දිනවල පාර්ලිමේන්තු පිවිසුම් 3 අසල දහස් ගණන් ජනතාව සහභාගි වූ උද්ඝෝෂණ පැවැත්විණි.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමරත්න, චන්දිම වීරක්කොඩි, නලින් ප්‍රනාන්දු, නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ හා ප්‍රියංකර ජයරත්න, ජයරත්න හේරත් යන මන්ත්‍රීවරු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීම ද සුවිශේෂී වේ.

දිනෙන් දින රට පුරා උද්ඝෝෂණ වැඩි වෙමින් තිබෙන පසුබිමක් තුළ මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ කුරුණෑගල පිහිටි නිවෙසට ද උද්ඝෝෂකයෝ බදාදා ප්‍රහාර එල්ල කළහ.

පසුගිය දිනවල රටපුරා ක්‍රියාත්මක වූ උද්ඝෝෂණවලට පක්ෂ භේදයකින් තොරව තරුණ තරුණියන් රැසක් එක්ව සිටිනු දැකගත හැකිවිය. ඇතැම් ස්ථානවල පැවති විරෝධතාවලට සහභාගි වීමට තරුණ මවුපියන් පැමිණ සිටියේ සිය කුඩා දරුවන් ද කර පින්නාගෙනය. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට උද්ඝෝෂකයන් යම් යම් මට්ටම්වලින් පහර දී අලාභ හානි කර තිබීම විශේෂත්වයකි. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් දුමින්ද දිසානායකගේ නිවෙසට ද ගල්මුල් ප්‍රහාර එල්ල වී තිබුණි. රාජ්‍ය ඇමැති චන්න ජයසුමන, ෂෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට ද උද්ඝෝෂකයෝ පහර දුන්හ.

අනුරාධපුරයේ සිදුවූ උද්ඝෝෂකයන්ගේ ප්‍රහාර නිසා වැඩිම අලාභ හානි සිදුවී තිබුණේ හිටපු ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේ අනුරාධපුර කුරුන්දන්කුලමේ නිවෙසට හා හෝටලයටයි. එහි තිබූ සුඛෝපභෝගී මෝටර් රථයකට හා ජීප් රථයකට ද බරපතළ හානි කර තිබුණි. ඊට අමතරව ඒ ආසන්නයේ තිබූ එස්.එම්. චන්ද්‍රසේනට හා හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්ට අයත් දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයට ද උද්ඝෝෂකයන් හානි කර තිබුණි. එම දෙපළටම අයත් අනුරාධපුර නගරයේ පිහිටි දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේ දැන්වීම් පුවරු කඩා දමා ගිනි තබා ඒවා විනාශ කර තිබෙනු ද දක්නට ලැබුණි.

රාජ්‍ය ඇමැති චන්න ජයසුමනගේ අනුරාධපුර නගරයේ කාර්යාලයට ද උද්ඝෝෂකයෝ පහර දුන්හ. අනුරාධපුරයේ නගරාධිපති එච්.පී. සෝමදාසගේ නිවෙසට ද, එම ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා නම් කාන්තාවකගේ නිවෙසට ද මෙම උද්ඝෝෂකයන් ගල්මුල් වලින් පහර දී තිබුණි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිදුවූ උද්ඝෝෂණ අතරතුර රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ පොලොන්නරුව බැඳිවැව පිහිටි නිවෙසට ද දහසකට වැඩි පිරිසක් පැමිණ අලාභ හානි සිදුකර ඇත. ඊට සම්බන්ධ 13 දෙනෙකු පොලොන්නරුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් පළුගස්දමන තඹලවැව, බැඳිවැව පදිංචි වයස 20, 30 අතර පුද්ගලයින් බව පොලිසිය පැවසීය. මේ පිරිස රාජ්‍ය ඇමතිවරයාගේ නිවෙසේ තිබූ නවීන වාහන දෙකකට ද බරපතළ අලාභ හානි කර තිබුණි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අවධාරණය කළේ මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට සිදු කරන පහරදීම් පිළිබඳව ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පද්ධති, විද්‍යාත්මක සාක්ෂි හා වාහනවල අංක උපයෝගී කරගෙන පොලිස් පරීක්ෂණ පවත්වනු ලබන බවයි. ඒ අනුව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම දැනටම අරඹා තිබෙන බවත් රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහගේ නිවෙසට පහර දුන් අය අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

අනුරාධපුරයේ සිදුවූ මැති ඇමති නිවෙස්වලට පහරදීම පිළිබඳව නගරයේ සියලුම ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කිරීම හා උද්ඝෝෂකයන් පැමිණි වාහනවල අංක මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව, හඳුනා ගැනීම දැනටම අරඹා ඇත. උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අනුරාධපුර පොලිස් කොට්ඨාස තොරතුරු හා සන්නිවේදන ඒකකයේ පොලිස් නිලධාරීහු මෙම අධීක්ෂණ කටයුතු සිදුකරමින් සිටිති.

මේ අතර පසුගිය 6 වැනිදා හිටපු ඇමැති විමල් වීරවංශගේ හෝකන්දර පිහිටි නිවෙස ඉදිරිපිටට ද පැමිණි උද්ඝෝෂකයේ විරෝධතා දැක්වූහ.

රටේ දැනට උද්ගතවී ඇති බලවත් ඖෂධ හිඟය හා ඖෂධ උපකරණ හිඟය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතා මාලාවක් සංවිධානය කර ඇත. එහි ප්‍රධාන විරෝධතාව බදාදා කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි. ඊට සමගාමීව රට පුරා ප්‍රධාන රෝහල් ඉදිරිපිට රජයේ වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සෞඛ්‍ය සේවාව නඟාසිටුවීමට රජයේ අවධානය යොමුකරවීම පිණිස උද්ඝෝෂණ මාලාවක් පැවැත්විණි.

ගෑස්, ඉන්ධන, කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍යවල හිඟය පිළිබඳ උද්ඝෝෂණ තවමත් රටපුරා පවතී. පාණදුරේ රන්කොත් විහාරය අසල ආතර් වී දියෙස් මාවත ගෑස් ටැංකිවලින් වසා දමා තම විරෝධය දැක්වීමට පැය 10ක් ගෑස් පෝලිමේ සිටි පිරිසක් කටයුතු කර තිබුණි.

බත්තරමුල්ල ඉසුරුපාය විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය, රත්මලාන ජලසම්පාදන මණ්ඩලය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදී ස්ථානවලත් නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉබ්බාගමුව බතලගොඩ වී පර්යේෂණ ආයතනය යන ස්ථානවල ද දහවල් කාලයේ එම ආයතනවල සේවකයෝ විරෝධතාවල නිරත වූහ. ඒ සමඟම ගුරු සංගම් නියෝජිතයෝද, විදුහල්පතිවරු ද, ගුරුවරු ද රටේ පවතින ආර්ථික හා සාමාජික ප්‍රශ්න විසඳන ලෙස රජයට බල කරමින් රට පුරා විරෝධතා සංවිධානය කළහ.

මස්කෙළිය බ්‍රන්ස්වික් වතුයායේ සහ සාමිමලේ ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් එක්ව සංවිධානය කළ විරෝධතාවක් ද මස්කෙළිය නගර මධ්‍යයේ දී පැවැත්විණි. 

මහනුවර මයිලපිටියේ ප්‍රදේශයේ ජනතාව සංවිධානය කළ උද්ඝෝෂණයක් ද කෑගල්ල, ගම්පහ, මාරවිල යන රෝහල්වල වෛද්‍යවරු හෙද හෙදියන් සිදු කළ උද්ඝෝෂණයක් ද පසුගිය 6 වැනිදා පැවැත්විණි.

මාර්තු 31 වැනිදා සිට පසුගිය අප්‍රේල් 08 වැනිදා දක්වා රට පුරා විවිධ ආකාරයේ උද්ඝෝෂණ 605ක් පමණ ගණනක් ක්‍රියාත්මක වී ඇතැයි පවසයි. මෙයින් 308ක් පමණ ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ සිදුවී තිබේ.

පසුගිය 6 වැනිදා පාර්ලිමේන්තුවේදී ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ද පැය භාගයකට ආසන්න කාලයක් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ.

පසුගිය දින කිහිපය තුලම අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති විජේරාම නිළ නිවෙස යන ස්ථාන ඉදිරිපිට සිය ගණනක් සහභාගි වූ උද්ඝෝෂණ පැවැත්විණි.

මේ අතර ඕමල්පේ සෝභිත නාහිමි ඇතුළු මහාසංඝරත්නය රට වැටී ඇති තත්ත්වයෙන් මුදවා දෙන ලෙස ඇඹිලිපිටියේ දී සත්‍යග්‍රහයක් ද ආරම්භ කර තිබේ. රජයේ සහ අර්ධරාජ්‍ය ආයතනවල සේවකයෝ ද සිකුරාදා රටේ ප්‍රශ්නවලට වහාම විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා තම ආයතන ඉදිරිපිට දී විරෝධතා පැවැත්වූහ.

කවුරු කෙසේ කීවත් උද්ඝෝෂණ කළත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් කිසිසේත්ම ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනතාවට ප්‍රශ්න පවතින බව පිළිගන්නා බවත් ඒ ප්‍රශ්න විසඳීමට රජය සෑම උත්සාහයක්ම දරන බවත් පැවසූ ඇමතිවරයා අද රටේ පවතින ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් අවධාරණය කළේය. එම නිසා ප්‍රචණ්ඩත්වය වෙනුවට සියලු දෙනා එක්වී රටේ ආර්ථික ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවත් ඇමතිවරයා කීය.

සේයාරු - විමල් කරුණාාතිලක 
අනුරාධපුර - අමිල වණසිංහ

Comments