
1. පවතින ආර්ථික අර්බුදයට කළ යුත්තේ කුමක්ද?
2. හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ඔබේ අදහස?
3. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගත් තීරණය සාධනීය ද?
4. පවතින තත්ත්වයට උද්ඝෝෂණ විසඳුමක් ද?
5. මේ අවස්ථාවේ ඔබගේ පක්ෂයේ ස්ථාවරය කුමක්ද ?
අද ගන්න තීරණ ගැන තේරෙන්නෙ මාස හයකින්
- පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්
1 ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර මූලිකව මේ අර්බුදය ඇති වුණේ කෙසේද කියලා සාකච්ඡා කළ යුතුයි. පසුගිය කාලය පුරා මේ රටේ අර්බුදය අපි දන්නවා. විදෙස් අපනයනය විදෙස්වලින් ලබාගන්න මුදල්වලට වඩා වැඩි අගයක් ගන්නවා. වියදම් සඳහා වැය වෙනවා. හැම වසරකම ඒ අඩුව පියව ගන්න විදෙස් මුදල් ණයට ගැනීම සිදුවෙනවා. අපේ රට සුඛෝපභෝගී පරිභෝජනය රටාවකට හුරුවෙලා තිබුණා කාලයක් පුරා. අපිට සීමිත විදෙස් ප්‍රමාණයක් අපනයනයන්ගෙන් ලැබෙන්නේ. එ්ත් හැමදාම කරල තියෙන්නෙ අපේ විදෙස් අපනයනයන් වෙනුවෙන් ලැබෙන සීමිත විදෙස් මුදල් ප්‍රමාණය වෙනුවෙන් අපි අසීමිත ලෙස වාහන ගෙන්වීම ඇතුළු අත්‍යවශ්‍ය නොවන දෑ ගෙන්වීමයි. බෙහෙත් වැනි දෑ ගෙන්වනවා. දිගින් දිගට රජයන් කළේ එයයි. අඩු අපනයනය වැඩි ආනයනය සිදු වීමයි. මදි හරියට ණයට ගන්නවා; ඒ අනුව කාලාන්තරයක් තිස්සෙ මේ ණය වැඩි වීමයි සිදු වුණේ. මුළු රටම වහලා තිබුණු කාලයේ ජනතාවට කිසිදු අඩුපාඩුවක් තිබුණේ නැහැ. බෙහෙත් ටික පවා ගෙනල්ලා දුන්නා. මේ තත්ත්වය යටතේ ආර්ථිකය බිඳ වැටුණා. 2021 වර්ෂයෙන් කොවිඩ් රැල්ල ආවාම විපක්ෂය කිව්වා රට වහන්න කියලා. එන්නත්කරණය කරමින් සිටියදීත්; ඒ අය මේ රටට ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා තිබියදී ජනතාව පාරට ගෙනල්ලා විශාල කැලඹිමක් ඇති කරා රට වහන්න කියලා. ජනාධිපතිවරයා කිව්වා ඒ වෙලාවේ මේ රටේ ලොකු ප්‍රශ්නයක් එනවා තමුන්නාන්සේලා ඒ වගකීම භාරගන්න කියලා. රටක් වැහුවාම රටේ නිෂ්පාදනය අඩාළ වුවත් ඒ රටේ මිනිසුන්ගේ පාරිභෝජනය අඩු වෙන්නේ නැහැ. මේ රටේ උගත් බුද්ධිමත් කියන අයට නොතේරුණාට මිනිසුන් බේරා ගැනීමට ඒ අවස්ථාවේ රට වැහුවාම මේ රටේ ආර්ථික තත්ත්වය අර්බුදයකට යනවා. මෙය කලාන්තරයක් තිස්සේ සිදුවූ දෙයක්. මේ රජය නිසා වුණා කියලා බොහෝ අය චෝදනා කරනවා. නමුත් දැන් වෙනකොට ආර්ථික ප්‍රශ්නය උග්‍ර වෙලා. විදෙස් මුදල් අර්බුදයක් ඇති වෙනවා. සියලුම විදෙස්ගත ශ්‍රමිකයන් ඒවගේම විදෙස් සංචාරකයන්ගේ සියලු මුදල් නැතිවෙලා. විදෙස් මුදල් ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා කියලා අපි දන්නවා. කලින් දැනුම්වත් කිරීමක් නොවීමයි වුණ වරද. කළගුණ දන්නේ නැති පිරිසක් වගේ සමහර අය හැසිරෙනවා. මේ තත්ත්වයට අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස ද වගකියන්න අවශ්‍යයි. මේ තත්ත්වයෙන් ගොඩ ඒම අවශ්‍යයි.
2 හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමේදී වගකීම ජනාධිපතිවරයාට කිව්වාට එතුමා එවැනි තීරණයක් හිතුමනාපයට ගන්නේ නැහැ. ජනාධිපතිවරයා තමන්ගේ කැමැත්තට තනි තීරණයක් ගන්නේ නැහැ. ආරක්ෂක මණ්ඩලය කැඳවලා ඒ අයගේ උපදෙස් අනුව ක්‍රියාකරන්නේ. ඒ ආරක්ෂක මණ්ඩලයේ ඉන්න නිලධාරීන්ගේ මතය විමසලා ඒ අනුවයි ක්‍රියා කරන්නේ. රටක ආරක්ෂක මණ්ඩලය එවැනි නිර්දේශයක් කරනකොට ජනධිපතිවරයාට එය මඟ හරින්න බැහැ. ආරක්ෂක අංශ නිලධාරින් කියනවා නම් මේ තත්ත්වය පාලනය කරන්න; එවැනි නීතියක් ප්‍රකාශයට පත් කළ යුතුය කියලා ජනාධිපතිවරයාට සිදුවනවා ඒ දේ කරන්න. ඒ ක්‍රියාපටිපාටිය අනුවයි ජනාධිපතිවරයා ක්‍රියා කරන්නේ.
3 මේ වෙලාවේ ජනාධිපතිවරයා ගන්න තීරණවල හොඳ පැත්ත දකින්න පුළුවන් එක කොටසකට; මෙවැනි කරදරකාරී අවස්ථාවලදී ගන්න තීරණවලදී කොටසක් මේක හොඳයි; කොටසක් නරකයි කියනවා. පසුගිය කාලයේ මේ යුද්ධය ඉවර කරන්න ගත්ත තීරණවලට දැඩි ලෙස විවේචනයක් ආවා. අද පාර්ලිමේන්තුවේ ඉන්න අය කිව්වා ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියලා කියලා. ඒ අවස්ථාවේ ජනතාවගේ මනස විකෘති කරන්න හැදුවා. මේ ගන්නා තීරණයන් හරිද වැරදි කියලා නිශ්චය කරන්නේ ඉතිහාසය විසින්. අද ගත්ත තීරණ වැරදිද නිවැරදි ද කියලා තව මාස හයකින් නිශ්චිත තීන්දුවක් දෙයි.
4 දෙපැත්තකින් අපි මේ ගැටලුව දකින්න අවශ්‍යයයි. මම දේශපාලනයට එන්න කලින් සාර්ථක නිතීඥවරයෙක්. මට විශාල ආදායමක් තිබුණා. ඒ සියල්ල අතහැරලා දේශපාලනය කරන්නේ රටේ හෙට වෙනුවෙන්. එළියේ ඉඳලා විවේචනය කරන්නේ නැතුව දේශපාලනය වැඩක් නැහැ; කියන්න නරකයි. දේශපාලනයක් නැතුව රටක් ඉදිරියට යන්නේ නැහැ; අරාජික වෙනවා. අද රටේ තත්ත්වය ගත්තාම ගෙදර ඉන්න බැහැ; දවසකට පැය දහයක් විදුලිය කප්පාදුව නිසා. ගෑස් එකෙන් උයාගන්න බැහැ. ගමනක් යන්න බැහැ; පෙට්‍රල් නැහැ. එවැනි තත්ත්වයක් ආවාම කෝපයක් ආවේගයක් එන එක සාධාරණයි. රජයක් ලෙස යම්කිසි දෙයක් අපිට අතපසු වුණා. මේ අද පවතින තත්ත්වය පිළිබඳව දැනුම්වත් කළා නම් ජනතාවගේ මනස ඒ සම්බන්ධයෙන් සූදානම් වෙනවා. ආර්ථිකමය අර්බුදයක් සිදුවිය හැකියි. නමුත් ඒ තත්ත්වයෙන් ඔබව මුදා ගන්න කාලයක් දෙන්න කියන දේ අපිට සඳහන් කිරීමට තිබුණා. ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීම අපේ වරදක්. අපි මේ ප්‍රශ්නය අපේ කරට ගනිමින් හිටියා; විසඳුම් ද ගනිමින් සිටියා. රජයක් ලෙස සාධාරණ කාලසීමාවක් අනුව එය කරන්න අපේක්ෂාවෙන් හිටියා. නමුත් ජනතාවගේ පැත්තෙන් ජනතාව දැඩි පීඩාවකින් ඉන්නවා. ජනතාවගේ උද්ඝෝෂණවල මම වරදක් දකින්නේ නැහැ. රජය විනාශ කිරීමේ එනම් ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍ය ක්‍රමය විනාශ කිරීමේ යටින් මෙහෙයවීමක් සිදුවෙනවා. සාධාරණ උද්ඝෝෂණ නම් අපිට පේනවා. නමුත් මේ උද්ඝෝෂණයේ දී නීතිය තමන්ගේ අතට අරන් හැසිරෙන ආකාරයක් අපිට පේනවා; මේ දේශපාලඥයන්ට දිගු කරන අත හෙට මේ රටේ මාධ්‍ය ආයතනයක් වලට ව්‍යාපාරිකයන්ට දිගු වෙන්න පුළුවන්. මේ රටේ බුද්ධිමත් ජනතාවට මේ දේ තේරුම් ගත යුතුයි. මේ උද්ඝෝෂණවල සටන් පාඨ නැහැ. තවත් ලිබියාවක් කරන්න ද මේ අය මේ උත්සාහ කරන්නේ. අපිට වගේම අපේ දරුවන්ට රටක් අවශ්‍යයි.
5 අපේ පක්ෂය දැඩි ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් අනුගමනය කරනවා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව රටක් පාලනය කළ යුතු ආකාරයක් තියනවා. මේ රටේ කටයුතු කළ යුතු ආකාරය පැහැදිලිව දක්වා තියෙනවා. ව්‍යාවස්ථානුකූලවයි අපි ක්‍රියා කරන්නේ. ජනතාව කියනවා නම් මේ රජය හොඳ නැහැ කිය ලා අපි පක්ෂයක් හැටියට අපි ඉතා පැහැදිලිව කිව්වා, කැමැති කෙනෙක් මේක බාර ගන්න කියලා. මේ අර්බුදය හඳුනාගන්න අවශ්‍යයි. මේ රට විනාශ කරපු සජිත් ප්‍රේමදාස මහත්තයාත් අනුර කුමාර මහත්තයාත් මේ රටේ ප්‍රශ්නය මොකක්ද කියලා දන්නවා. ජනතාව ඉදිරියේ වීරයෝ වෙන්න හදන අය කැමැති නැහැ මේ අවස්ථාවේ මේ රට බාරගන්න. ඒ අය කරන්නේ ජනතාවට සන්දර්ශන පැවැත්වීමයි. සියල්ල විවේචනය කිරීම මිසක මේ අර්බුදයෙන් ගොඩ එන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා දැරුවා වගේ අවංක ප්‍රයත්නයක්වත් දැරුවේ නැහැ.
පක්ෂයක් ලෙස මෙය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අන්තවාදීන්ගේ, විදෙස් ඇතැම් පිරිස්වල අවශ්‍යතා මත මේ රට විනාශ කිරීමේ වුවමනාව තියන අන්තවාදීන්ගේ අතට දීලා ලිබියාවක් හෝ ඊජිප්තුවක් බවට පත් කරන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. දැනුම් තේරුම් තියන දෙමාපියන් තේරුම් ගන්න අවශ්‍යයි. තමන්ගේ ළමයි මෙයට ඉදිරිපත් වෙනවා නම් රටත් දරුවනුත් ආරක්ෂා කිරීමේ වගකීම මේ රටේ පුරවැසියන්ට තියනවා. මේ දේ නතර වෙන්නේ කොතනින්ද කියලා කවුරුත් දන්නේ නැහැ.
මේ වැරදිවල කොටස්කාරයෝ වෙන්න අපි කැමති නැහැ
- සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර
1 අද මේ රට දරුණු ආර්ථික බිඳවැටීමකට ගෙනවිත් තිබෙනවා මේ ආණ්ඩුව. මම හිතනවා ආර්ථික අර්බුදය විසඳන්න නම් ආර්ථික විශේෂඥයන් කණ්ඩායමකට මේක පවරලා ඒ අයගේ උපදෙස් මත ආර්ථිකය ගොඩනැඟීමේ කටයුත්ත කරන්න ඕනි. දේශපාලන තීන්දු තීරණ නවත්වල විශේෂඥ උපදෙස් පරිදි අවශ්‍ය කටයුතු කරන්න ඕනි. අනිවාර්යෙන්ම අපේ ආර්ථිකය දැන් අද ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල පල්ලට බැහැලා. විදෙස් සංචිත සති දෙකටයි තියෙන්නේ. ඒ වගේම අද රටට අවශ්‍ය කෑමට බඩු ටික ගේන්න සල්ලි නැහැ. ඒ වගේම දේශීය වශයෙන් අපේ නිෂ්පාදනය ඇනහිටලා. අඩාළ වෙලා තියෙනවා. මේ සියල්ල නැවත වරක් නියම මාර්ගයට ගන්න සැහෙන කාලයක් ගතවෙයි. හැබැයි මේ වගේ මෝඩ තකතීරු අමනෝඥ තීන්දු ගත්ත නිසා තමයි මේ තත්වයට අද මේ රට පත්වෙලා තියෙන්නේ. මේ තත්ත්වයට පත්කරපු මහ බංකුවේ ප්‍රධානීන් ටිකයි මුදල් ඇමතියි ඔක්කොම අද අයින්වෙලා තියෙනවා. මේ තැන්වලට සුදුසු පුද්ගලයන් දාලා ඒ කටයුත්ත කිරීම තමයි මං හිතන්නේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා තියෙන හොඳම ක්‍රියාමාර්ගය.
2 හදිසි අවස්ථාවත් ඒ වගේම ඇඳිරි නීතියත් පනවන්නේ රටේ ආරක්ෂාවට. එය මහජන ආරක්ෂක පනතක් මිසක ආණ්ඩු ආරක්ෂා කරන්න තියන එකක් නෙවෙයි. දැන් දැඩි විරෝධය නිසා ආයෙ රිවස් කළා. මහජන ආරක්ෂාව හා රටේ ආරක්ෂාවටයි මේවා තියෙන්නේ. නමුත් මෙය පනවලා තියෙන්නේ පවුලේ ආරක්ෂාවට. ඒ වගේම හිත මිතුරන්ගේ ආරක්ෂාවට. මේ නීති පනවන්න රටක එක්කෝ යුද්ධයක් තියෙන්න ඕනි. නැතිනම් නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවක් තියෙන්න ඕනි. එහෙමත් නැතිනම් වෙන මොකක්හරි ස්වභාවික ආපදාවක් තියෙන්න ඕනි. අද ආණ්ඩුවට විරුද්ධව ජනතාව වීදි බහිනකොට ඉන් ආරක්ෂා වෙන්න තමයි හදිසි නීතිය ගේන්නේ. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවස දැන් දෙසැරයක් වැටලුවා. ජනාධිපති කාර්යාලය වැටලුවා විතරක් නෙවෙයි; නාමල් රාජපක්ෂ මැතිතුමාට ඒ වගේම ශෂින්ද්‍ර රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ වගේ සියලුම දෙනාට ජනතාව ඉදිරියේ මහපාරට බහින්න බැරිවෙලා තියෙනවා. ඒ අයගේ ආරක්ෂාවට මේවා දාගන්නේ. රටේ ආරක්ෂාව පසෙක තබලා හදිසි නීතිය පනවලා තියෙනවා. ඒකට අපි විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.
3 ජනාධිපතිවරයා මුල ඉඳලා ගත් තීන්දු තීරණ අසාර්ථකයි. රටේ ජනතාවගෙන් සියයට තිහක් විතර ඉන්නේ ගොවියෝ. ඒ ගොවියන්ගේ ගොවිතැන සම්පූර්ණයෙන් විනාශ කළා. ආණ්ඩුව ගත් තීරණ නිසා. ගොවියාට අවශ්‍ය පොහොර හා බෙහෙත් ටික නැති වුණා. ඒ එක්කම ජනාධිපතිවරයා ආව ගමන් බදු කපාහැරියා. ඒකෙන් පොඩි මිනිහට වාසිය ආවෙත් නෑ. එහි වාසිය ආවේ ඒ අයගේ ගජ මිතුරු සල්ලි කාරයෝ කිහිපදෙනකුට විතරයි. ඒ නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා. කිසි සැලැස්මක් නැතුව ඒ කටයුතු කරපු නිසා අද සංචාරක ව්‍යාපාරය පවා කඩා වැටී තිබෙනවා. ලයිට් නැති, ගෑස් නැති, පෙට්‍රල් නැති රටකට විදේශිකයෝ එන්නේ නෑ. වැරදි තීන්දු නිසා සංචාරක ව්‍යාපාරයත් නැතිවුණා. ඒ වගේම අද කර්මාන්ත ශාලා ගෙනියගන්න බැරි තත්ත්වෙකට පත්වෙලා තිබෙනවා. ඒක නිසා ඇඟළුම් කර්මාන්තය කඩා වැටිලා. ආණ්ඩුව ගත් තීරණ සියල්ල අද අසාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. ආණ්ඩුව වග කියන්න ඕනි. මේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධව ජනතාවට හරි තොරතුරු දුන්නේ නෑ. ජනතාව හැම පැත්තකින්ම දුක් විඳිනවා. තෙල් ටික ගේන්න සල්ලි නෑ. ගෑස් ටික ගෙන්න සල්ලි නෑ. රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ ඇයි කියලා ජනතාව දන්නවා.
4 අපේ ජාතික අාදායමින් තුනෙන් එකක් නැතිවුණා බදු සහන නිසා. අපේ බදු අාදායම සියයට හයට බැස්සුවා. ඉතින් මේක නිසා ණය ගෙවාගන්න බැරි තත්වයට පත්වුණා. විදේශ සංචිත තිබුණා ඩොලර් මිලියන හයහමාරක්. ඒක දැන් ඩොලර් එකටත් ඇඬුව බැස්සුවා. ඒ තත්ත්වයට පත්වුණේ මේ වැරදි නිසා. ඩීසල් ටික පෙට්‍රල් ටික ගන්න මුදල් ටික මේගොල්ලෝ හොයා ගත්තේ නෑ.ඒක නිසා දැන් අවුරුදු හතරක් සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. දවස් පනස් දෙකේ ආණ්ඩුව. නිත්‍යානුකුල නොවන ආකාරයට බලහත්කාරයෙන් ආණ්ඩුව ගත් නිසා රටේ අස්ථාවර බව ලෝකය දැනගත්තා. ඒ වගේම පාස්කු ඉරිදා බෝම්බය. වැරදිකරුවන් හෙව්වෙ නෑ.මේ අවුරුද්දේ ලයිට් ටික, ගෑස් ටික වගේම කන්න ටිකත් නැති නිසා අද සංචාරක ව්‍යාපාරය නැත්තටම නැතිවෙලා තියෙනවා.ඇගලුම් කර්මාන්තය කඩාවැටිලා. ඒ එක්කම පිටරට ව්‍යවසායකයන් නෑ; සංචාරකයන් නෑ. කර්මාන්තය කරගන්න අමුද්‍රව්‍ය නැහැ. ලයිට් නැති නිසා කර්මාන්තශාලාවල වැඩකරන්න බැහැ. ඒ එක්කම අධික උද්ධමනය නිසා මේවයින් ලාබයක් නෑ. රටම කඩා වැටෙන තත්ත්වයක ඇවිත් මේ තීරණ නිසා. ඒ වගේම ගොවියාට කිව්වා කාබනික පොහොර පාවිච්චි කරන්න කියලා.අන්තිමට කාබනික පොහොරත්, රසායනික පොහොරත් දෙකම නෑ. ජාතික වී අස්වැන්නෙන් බඩ ඉරිඟු අස්වැන්නෙන් අනිත් බෝග අස්වනුද සියයට හැටකට වඩා පහත වැටිලා තියෙනවා. මේ රට මේ තත්ත්වයට පත් කළේ මේ ආණ්ඩුව. අද ඒ නිසා මිනිස්සු දුක් විඳිනවා.ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වලින් පල්ලෙහාට වැටිලා තියෙනවා. ණය ගෙවාගන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා. තිබුණු ආයෝජන නෑ. ඒ විතරක් නෙවෙයි රටේ කෑලි කෑලි විකුණනවා. යුදදනව් බලාගාරය ලාබ ලබන එකක්. ඇමරිකාවට එය වික්කා පොඩි ගානකට. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට පවරනවා. තව එකක් ඉන්දියාවට. කොළඹ තියෙන ඉඩම් ටිකත් විකුණලා.
මේ තත්ත්වයට රට ගෙනාවේ ආණ්ඩුව අපි දන්නවා කාබනික පොහොර නැතුව පොහොර නැවට සල්ලි ගෙවනවා. දියර කාබනික පොහොර ගේනවා කියලා එකෙනුත් සියයට හැටක් හොරකම් කරලා. ඊට පස්සේ සීනි වංචාව සුදුලුනු වංචාව. මේ ආන්ඩුවේ හොරකම රජයනවා. මේ විදිහට මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න පුළුවන්ද. මිනිස්සු පාරට බැහැල ඉන්නේ ඒ නිසා. මේ රට අද ලෝකෙන් කොන්කරපු රටක් විදිහට පත්වෙලා. මිනිස්සුන්ට කන්න නැතිවුණා. ආණ්ඩුව බොරු කියන්න පටන් ගත්තා. තවත් ඇමතිවරයෙක් කියනවා ඕනි තරම් ඩොලර් තියෙනවා කියලා. මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරි තැනට ආවම පාරට බහින්න සිද්ධ වුණා. ගමේ දුප්පතාගේ ඉඳලා ඉහළම කෙනා දක්වාම පාරට බහින තත්ත්වයට පත්කළා. යන යන තැන කියන්නේ මම හැට නව ලක්ෂ යේ එක්කෙනෙක්. අපියි මෙයාලව පත්කළේ කියලා. ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවෙත් ඒ ගොල්ලන්ගේ මන්ත්‍රීවරුත් ස්වාධීනව ඉන්න තීරණය කරලා.
5 අපේ පක්‍ෂයේ ස්ථාවරය ජනතාව වෙනුවෙන් ඕනිම කැපකිරීම. නමුත් ජනතාව ප්‍රතික්ෂේප කරලා මේ ආණ්ඩුව. ජනතාව ගෙදර යන්න කියලා කියන්නෙ. මේ රට දුෂණය රජ කරපු ආණ්ඩුව සමඟ හවුලේ වැඩකරන්න අපි කැමතිත් නැහැ. ඒ ගොල්ලන් කරපු ඒ වැරදිවල කොටස්කාරයෝ වෙන්න අපි කැමති නැහැ. අපි ජනතාව වෙනුවෙන් ඕනි කැපකිරීමක් කරනවා. අපි කියන්නේ අපිට ඕනි ඔළු ගෙඩි මාරුකරලා ජනබලයක් නෙවෙයි. අපිට ඕනි ජනතාවගේ ජන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ලැබෙන බලයක්.මේගොල්ලන්ට තුනෙන් දෙකක ජනබලයක් දුන්නා හැටනව ලක්ෂයක් ජනතාව. ඒගොල්ලෝ දැනගන්න හොරකම නවත්වන්න කොහොමද කියලා. මේ ආණ්ඩුවත් එක්ක හවුලේ වැඩ කටයුතු කරන්න අපිට අවශ්‍යතාවක් නැහැ.
ආණ්ඩුවේ කිසිදු තීරණයක් සාධනීය නැහැ
- ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
1 මේ පවතින ආර්ථික අර්බුදය කියන්නේ දවසකින් දෙකකින් ඇතිවුණු දෙයක් නෙවෙයි. අවුරුදු 74 ක පාලනය තුළ විශේෂයෙන් සිදුවූ දෙයක්. විශේෂයෙන් පසුගිය අවුරුදු 40 ක විතර කාලය තුළ අපේ රට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති සමඟ ඇතිවුණ දෙයක්. ඒ නිසා මෙයට කරන්න ඕන කුමක්ද කියලා පැහැදිලි කළහොත් මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරපු කණ්ඩායම් වෙනස් කරලා; ජනතාවගේ ආණ්ඩුවක් හැදෙන්න ඕන. ඊට පස්සේ ඒ ජනතාවගේ ආණ්ඩුව තුළ ගත යුතු ක්‍රියාමාර්ග ලෙස මූලිකව මම දකින්නෙ විදෙස් වත්කම් නැති වීමට පිළියම් සෙවීමයි. ඒ නිසා අපේ රටේ වංචා දුෂණ නැති කරලා, හොරකම් කරපු සල්ලි ආපහු පවරාගෙන ඊට අමතරව අපේ රටේ ඉක්මනින්ම වත්කම් උපයන නිෂ්පාදන ආර්ථිකයක් සෑදිය යුතුයි. එය ජනතාව සම්බන්ධ වෙලා කරන්න අවශ්‍යයි. ඊළඟට මේ ආණ්ඩු ගත්ත විශාල ණය ප්‍රමාණයක් තියෙනවා; ඒ නිසා ඒ ණය ගෙවීම සඳහා ණය ගත්ත රටවල් එක්ක සාකච්ඡා කරලා කිසියම් කාලයක් වැඩිපුර ඉල්ලගෙන ණය ටික ක්‍රමානුකුලව ගෙවා ඒ ණයෙන් නිදහස් වෙන්න අවශ්‍යයි. නිෂ්පාදන ආර්ථිකය වංචා දුෂණ අවම කරලා ජනතාවත් එක්ක එකතුවෙලා ආණ්ඩුව කටයුතු කරන්නේ ඕන.
2 ඇත්තටම මේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරන්නේ රටේ හදිසි තත්ත්වයක් තිබිල නෙවෙයි. ආණ්ඩුවේ බැරිකම වහගන්න සහ මේ ජනතා විරෝධයන්ට එරෙහිව මර්දනය පහසු කර ගන්නයි මෙය හදිසියේ පැනෙව්වේ දැන් එය නැවත රිවස් කරගෙන තියනවා මේක තමයි මේ ආණ්ඩුව ආව දවසේ ඉදලා කළේ. ආණ්ඩුව වහාම මේ හදිසි තත්ත්වය අයින් කළා ජනතා විරෝධයන් නිසා. මෙය මහජන ආරක්ෂණ පනතක් මිසක් මහජනයාට විරුද්ධ පනතක් නොවෙයි. මහජන ආරක්ෂණ පනතින් හදිසි නීතිය පනවලා හදිසි නීතියට මුවාවෙලා ජනතා විරෝධ මර්දනය කරනවා. හදිසි නීතිය දාපු එක ඉතාමත් බරපතළ වැරද්දක් මෙන්ම ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්.
3.ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පත්වූ දවසේ ඉඳලා ගත් තීරණ ඔක්කොම වැරදියි. ඒවා කොච්චර වැරදියි. ඒ වරද නිසාම මේ අයට සිද්ධ වුණා තීරණ ගොඩක් ආපහු හරවගන්න. මේ වෙලාවේ තීරණත් හදිසි නීතිය පනවපු එක වැරදි තීරණයක්. ඒනිසා මේ ගැසට් එකත් රිවස් කරන්න වුණා. ඒ වගේම තමයි දැන් ඔය අලුතෙන් තීරණයක් අරන්; ඇමති මණ්ඩලය ඉවත්වෙලා අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න අවශ්‍යයි කියනවා සමහරු. එය තේරුමක් නැති එකක්. මෙය රංගනයක් මේ ඇමතිවරු ටික අයින් වෙනවා. යළිත් ඇමැතිකම හතරක් පත් කරනවා. මුදල් ඇමතිකම දෙනවා අලි සබ්රි මහත්තයට. ඉල්ලා අස්වෙනවා; අායේ පත් කරනවා. ආණ්ඩුව තවම එහෙම්මම තියෙනවා. ඊට පස්සේ මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ ඉල්ලා අස්වෙනවා. ඊට පැයකට පස්සේ ආයේ දිවුරුම් දෙනවා. මේ අයට දේශපාලනය තේරෙන්නෙත් නෑ; රාජ්‍ය පාලනය තේරෙන්නෙත් නෑ; පරිපාලනය තේරෙන්නෙත් නෑ. ගන්න තීරණ එකක්වත් සාධනීය නෑ. ඒ තීන්දු සියල්ල වැරදියි සහ අසාර්ථක රට තව තවත් අවුල් කරන පියවර තමයි මේ ගනිමින් ඉන්නේ.
4. ජනතාවගේ පැත්තෙන් බැලුවොත් ජනතාවට කරන්න තියෙන එකම දේ තමයි තමන්ගේ අදහස විරෝධය ඉදිරිපත් කිරීම. ඒ නිසා උද්ඝෝෂණ එකම විධික්‍රමය විරෝධතාවයන් පාන්න. මොකද අපේ රටේ ආණ්ඩුවක් හැදුණට පස්සේ ඒ ආණ්ඩුවට විරෝධය දක්වන්න වෙනත් කිසිම ක්‍රමයක් අපට හදා දීලා නැහැ. උද්ඝෝෂණ කාර්ය ඉතාම සාධාරණයි. එකම දේ තමයි ඒ උද්ඝෝෂණවලට අරමුණක් තියෙන්න ඕන. සංවිධානය තියෙන්න ඕන. හරි මාර්ගයක් අරමුණක් තියෙන්න ඕන. නැත්නම් රට අරාජික වෙනවා. මේ උද්ඝෝෂණ අසංවිධානාත්මක නම් මේවා අස්සට රිංගල ඉතා කුඩා කණ්ඩායම් වලට පවා විවිධ සිද්ධි ඇති කරලා ඒවා කඩාකප්පල් කරලා ජනතාව මත වරද පටවන්නත් පුළුවන්කම තියෙනවා. දැනටමත් එහෙම කරමින් ඉන්නවා. ජනතාවට උද්ඝෝෂණ කරන්න, විරෝධය පළ කරන්න අයිතිය තියනවා. නමුත් ඒ අතරේ පරිස්සම්වීමක් කරගන්න ඕන. උද්ඝෝෂණවලට තියෙන ගෞරවය නැති කිරීමේ ක්‍රියා සිදුවෙන්න පුළුවන්. ආණ්ඩුවට විරෝධය පළ කරලා ආණ්ඩුව පලවා හරින්න කටයුතු කරන්න ජනතාව පෙලඹිලා ඉන්නවා. ආණ්ඩුව ඉවත් කරනවා වගේම ආණ්ඩුවක් නැතිව රටක් තියෙන්න බැරි නිසා ආණ්ඩුව ඉවත් කළොත් ආණ්ඩුවක් හදන්න අවශ්‍යයි. ඒ සඳහා ජනතාවට අරමුණක් අදහසක් තියෙන්න ඕන. වඩාත් හොඳ ආණ්ඩුවක් හදා ගැනීම සඳහා අරමුණක් දැක්මත් තිබිය යුතුයි. තමන් කැමති පාලනයක් පත්කර ගන්න ජනතාවට අයිතිය තියෙනවා.
5 දැන් මේ ආණ්ඩුවට ජනතාවගේ විශ්වාසය නැතිවෙලා තියෙන්නේ. ඒ නිසා මේ ජනාධිපතිට මේ ආණ්ඩුවට බලයේ ඉන්න කිසිම අයිතියක් නැහැ. ඒ නිසා ඔය අන්තර්පාලන ආණ්ඩු, වගේ ඒවා අටෝපගත ඉන්න අයිතියකුත් නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන. මෙය ජනතා පරමාධිපත්‍යක් තියෙන රටක්. ජනතාව සතුව තමයි පරමාධිපත්‍ය තියෙන්නේ. ඒ නිසා ජනතාවගේ විශ්වාසය ආණ්ඩුවට නැත්නම්, ජනතාව පාරට බැහැලා නම්, ජනාධිපති හැංඟිලා නම්, ඇමතිවරුන්ට හැංඟිලා ඉන්න සිද්ධවෙලා ජනාධිපති හැංඟිලා නම් මොකක්ද ඒ රටේ තත්ත්වය. ඒ නිසා මෙතෙක් කල් රට පාලනය කර විනාශයට ගෙනා හැමදෙනාවම ඉවත් කරන්න ඕන. ඊට පස්සේ ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන; ජනතාව කැමති පාලනයක් හදාගන්න. එතකොට ආණ්ඩුව ඉවත්වෙලා ජනතාව කැමති පාලනයක් හදාගැනීම දක්වා වන කාලයට කිසියම් අතරමැදි ව්‍යුහයක් අවශ්‍ය වෙනවා නම් ඒ ව්‍යුහය පාර්ලිමේන්තුව ආණ්ඩු කරපු පක්ෂ ගන්නේ නැතුව වෙනත් කණ්ඩායම්වලින් හදන්න පුළුවන්කම තියෙනවද කියලා කල්පනා කරලා බලන්න පුළුවන්.ඒ නිසා කොහොමත් මේකට උත්තරේ තියෙන්නේ ජනතාව අතේ.
අපේ ස්ථාවරය ආණ්ඩුව ඉවත්වෙන්න ඕන. ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන තමන් කැමති පාලනයක් හදාගන්න. මොකද ජනතාව විශ්වාස නොකරන ජනතාවගේ සහයෝගය නැති කිසිම පාලනයකට මේ ආර්ථික අර්බුදය විසඳන්න බැහැ.මේ මහා දැවන්ත ආර්ථික ප්‍රශ්නය විසඳනවා නම් එය විසඳන්න පුළුවන් ජනතාව එකතු කරගත්, ජනතාවගේ සහයෝගය තියෙන, ජනතාව විශ්වාස කරන ආණ්ඩුවකට විතරයි. දැන් පාලනය කරන සියලු දෙනා ජනතා විශ්වාසය නැතිකරගත් අය.