හෙට දිනන දරුවන්ට කැන්ගරු දේශයෙන් සවියක් | Page 2 | සිළුමිණ

හෙට දිනන දරුවන්ට කැන්ගරු දේශයෙන් සවියක්

තමාගේ සිහින වෙනුවෙන් වෙහෙසෙන්නෝ සුලබ වුවද අනුන්ගේ සිහින වෙනුවෙන් කැපවෙන්නෝ දුලභය. මේ එවැනි කණ්ඩායමක් ගැන කතාවකි. ඉසුරු සොයා විදෙස්ගත වූවන් බොහෝමයක් තමන්ගේ දිවි සැපවත් කරගැනීම වෙනුවෙන් සිය කාලය සහ ශ්‍රමය මුළුමනින් වැය කරද්දී මේ කතාවේ කථානායකයා ඇතුළු කණ්ඩායම තමාගේ කාලයත් ශ්‍රමයත් ධනයත් අනුන් වෙනුවෙන් වැය කරන්නට නිර්ලෝභීව කැපවී සිටිති.

ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් Aus-Lanka Technological and Education AID (ALTEA) නමැති ආයතනය පිහිටුවා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්වල තොරතුරු තාක්ෂණ දැනුම දියුණු කිරීමට සහාය වීම සඳහාය. ඒ වෙනුවෙන් එම ආයතනය ලාභ නොලබන අතර, මෙරට පාසල්වලට තොරතුරු තාක්ෂණ උපකරණ පරිත්‍යාග කිරීමට සහ පරිගණක විද්‍යාගාර පිහිටුවීම සඳහා ආධාර ලබාදීමේ පරමාර්ථයෙන් කටයුතු කිරීම විශේෂත්වයකි.

මෙම මහඟු කර්තව්‍යය සඳහා පුරෝගාමී වී ඇත්තේ Aus-Lanka Technological and Education AID (ALTEA) ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන අජිත් මාරියෝ නම් ශ්‍රී ලාංකිකයාය. ගම්පහ උපන් ඔහු ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ සහ කඳාන ද මැසනොද් විද්‍යාලයේ ආදි සිසුවෙකි. අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසුව ඔහු ඕස්ට්‍රේලියාවට පිටත්ව ගොස් ඇත්තේ මීට 16 වසරකට පෙරදීය. ජ්‍යේෂ්ඨ ඉංජිනේරුවකු ලෙස findex australia නම් ආයතනයේ සේවයට බැඳෙන ඔහු, ඉකුත් 16 වසර මුළුල්ලේම එම ආයතනයේ සේවය කරන්නේ ආයතන කළමනාකාරීත්වයේ විශ්වාසය මැනවින් දිනාගනිමිනි. ඒ විශ්වාසය තම උපන් රටේ දියුණුව වෙනුවෙන් යොදවන්නට අජිත් මාරියෝ ට අදහසක් පහළ වන්නේ නිරායාසයෙනි.

“ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සමහර ශ්‍රී ලාංකිකයන් විවිධාකාරයෙන් අපේ රටට උදව් කරනවා මම දැකලා තිබුණා. මටත් ඕන වුණේ අපේ රටේ අඩු ආදායම්ලාභී, දරිද්‍රතාවයෙන් පෙළෙන පාසල් දරුවන් වෙනුවෙන් යම් උපකාරයක් කිරීමටයි. ඒ සඳහා අප ආයතනවලින් ඉවත් කරන හොඳ තත්ත්වයේ තිබෙන තොරතුරු තාක්ෂණ උපකරණ දුෂ්කර පාසල්වල දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීමේ අදහසක් මා තුළ ඇතිවුණා. ඒ පිළිබඳ මම අපේ සමාගමේ ප්‍රධාන කොටස්කරු වන නික් මයිලෝනාස් ට පැවසුවා. ඔහු ඒ අදහසට කැමති වගේම ඒ පිළිබඳ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි, Spiro Paule සහ ප්‍රධාන ඩිජිටල්, තාක්ෂණ සහ අලෙවි නිලධාරි ලෙස කටයුතු කරන තෝමස් පෝල් යන නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමටත් එකඟ වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා සමඟ පැවති සාකච්ඡාවේදී මගේ ඉල්ලීම වෙනුවෙන් අනුමැතිය ලබාදීමට කටයුතු කළා. මගේ අදහස යථාර්ථයක් වූයේ ඒ අනුවයි. ඒ වෙනුවෙන් මෙල්බන් හි ෆින්ඩෙක්ස් කාර්යාලයේ මා සමඟ වැඩ කරන නලින් රණතුංග මට විශාල සහයෝගයක් ලබාදුන්නා. විශේෂයෙන් ෆින්ඩෙක්ස් කාර්යාලවලින් තොරතුරු තාක්ෂණ උපකරණ ලබාගැනීමේ කාර්යය සඳහා ඔහු මට සහාය වෙනවා.”

අජිත් මාරියෝ ඔහුගේ සිතිවිල්ල පණගැන්වූ ආකාරය එසේ පැහැදිලි කළේය. 2016 වසරේදී මාරියෝ විසින් ආරම්භ කළ එම සද් කාර්යය මේ වන විට අඛණ්ඩව සිදු වේ. ඒ සඳහා මාරියෝට ප්‍රමුඛ සහයෝගය ලබාදෙන්නේ ඔහු සේවය කරන ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන Findex Australia සමාගම සහ තවත් පරිත්‍යාගශීලී පුද්ගලයන් රැසකි. ඒ සියලුදෙනාගේ හොඳ හිත නිසා ඉකුත් පස් වසර තුළ පමණක් ලැප්ටොප් පරිගණක 99ක්, පෞද්ගලික පරිගණක 64ක් සහ මල්ටි ප්‍රොජෙක්ටර් 14ක් දුෂ්කර පාසල් සඳහා පරිත්‍යාග කිරීමට අජිත් මාරියෝ ට හැකියාව ලැබිණි. 2021 වසරේදී තවත් පරිගණක 55ක්, ලැප්ටොප් පරිගණක 46ක්, මොනිටර 56ක්, ප්‍රොජෙක්ටර් 09ක්, යතුරුපුවරු 56ක්, මූසික 56 ක්, ජාල ස්විච 10ක් පරිත්‍යාග කර ඇත.

අජිත් මාරියෝ ඇතුළු පිරිස විසින් කරගෙන යනු ලබන මෙම සමාජ සත්කාරක වැඩසටහන මේ වන විට ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් කිහිපයකය. ඒ පිළිබඳ අපි අජිත් මාරියෝගෙන් විමසුවෙමු.

“ මේ වැඩසටහන පටන්ගත්ත 2013, 2014 වගේ කාලයේ මම ලංකාවට එද්දි පරිගණක කිහිපයක් ගෙනැල්ලා අවශ්‍යතා ඇති අයට ලබාදුන්නා. ඒ වගේම පාසල් කිහිපයකටත් පරිගණක ලබාදුන්නා. ඒ විදිහට පරිගණක 50ක් විතර බෙදලා දුන්නා. නමුත් ඒ වැඩසටහනේ ඒතරම් සාර්ථක බවක් මට පෙනුණේ නැහැ. මා සේවය කරන ආයතනයේ කළමනාකාරීත්වය මා ගැන ඔවුන් තුළ තිබෙන විශ්වාසය නිසයි මෙවැනි වැඩසටහනකට කැමති වුණේ. ඒ නිසා ඒ විශ්වාසය රැකීමේ වගකීම නිතරම මගේ හිතේ තිබුණා. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේ කොහොමද කියලා සිතමින් සිටින අතරෙදි මට H. A. K රමණි මංගලිකා මහත්මිය හමුවුණා. ඇය මට කෑගල්ල දිස්ත්‍රික්කයේ අරුක්ගම්මන මහා විද්‍යාලයේ විදුහල්පති බන්දුල ධර්මතිලක මහත්මයා හඳුන්වා දුන්නා. ඒ අනුව 2017දී මම එම විද්‍යාලයට ලැප්ටොප් පරිගණක 8ක් සහ ඩෙක්ස්ටොප් පරිගණක 15ක් ලබාදුන්නා. ඒවා භාවිත කරමින් විදුහල්පතිතුමා විදුහලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නංවන්නට වෙහෙසෙන ආකාරය මම දුටුවා. ඒ වගේම මම ඉතා හොඳ සංවිධානාත්මක බවක් බන්දුල විදුහල්පතිතුමාගෙන් දැක්කා. මම ඔහුගෙන් ඇහුවා අපි තවත් පාසල් කිහිපයකට මේ විදිහට තොරතුරු තාක්ෂණ උපකරණ ලබාදෙමුද කියලා. එතුමාත් සතුටින් ඊට එකඟ වුණා වගේම ඒ සඳහා සම්බන්ධීකරණ කටයුතුත් මැනවින් සිදු කළා. ඒ අනුව 2017 වසරේ සිට වාර්ෂිකව පාසල්වලට උපකරණ ලබාදුන්නා. ඉදිරියේත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා ”

ඒ අනුව මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි පාසල් 20කට රැහැන් රහිත යතුරුපුවරු සහ මුසික 09ක්, මොනිටර ස්ටෑන්ඩ් 56ක්, බල කේත 56ක්, මොනිටර කේත 56ක් සහ ජාල කේබල් 56ක් ඇතුළු රුපියල් මිලියන 17.5ක් වටිනා උපකරණ අජිත් මාරියෝ විසින් ලබාදී ඇති අතර, පරිගණක විද්‍යාගාර 5ක් සන්නද්ධ කිරීම ද ඊට ඇතුළත්ය. කරඬුපාන දෙමළ කනිටු විදුහල, දේදුගල මහා විද්‍යාලය, එරගම කනිටු විදුහල, මොරදාන මහා විද්‍යාලය, කරන්දර කනිටු විදුහල, හීන්වැල්ල කනිටු විදුහල, ගන්තුන මහා විද්‍යාලය, නාපෑල්ල ප්‍රාථමික විද්‍යාලය, අලපලාවල මහා විද්‍යාලය, බොස්සැල්ල මහා විද්‍යාලය, උඩබෝගල ප්‍රාථමික විද්‍යාලය, මාබෝපිටිය ප්‍රාථමික විද්‍යාලය, හත්නාගොඩ කනිටු විදුහල, දිවාඇළ මහා විද්‍යාලය, යටපාන කනිටු විදුහල, හේනේපොල ඕල්කොට් කනිටු විදුහල, හල්පිටිය විද්‍යාලය, මොබෝපිටිය මහා විද්‍යාලය, සහිරා මහා විද්‍යාලය සහ ගෝලින්ද දෙමළ කනිෂ්ඨ විද්‍යාලය එම පරිත්‍යාග ලැබූ පාසල් විස්සයි.

එසේ තාක්ෂණික උපකරණ ලබාදෙන වැඩසටහන සිදුකරගෙන යන අතරේ අජිත් මාරියෝ ගේ අවධානය ඒ හා සබැඳි තවත් අංශයක් වෙත යොමු විය.

“අපේ රටේ එකම පරිගණකයක්වත් නැති දුෂ්කර පාසල් රාශියක් තිබෙනවා. මේ වැඩසටහන වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කය පුරා පාසල්වලට යද්දි මම දුටු දෙයක් තමයි අන්තර්ජාල පහසුකම් නොමැතිකම. හැම පාසලකටම අඩුමගානේ එක් පරිගණකයක් සමඟ හෝ අන්තර්ජාල පහසුකමත් ලබාදිය හැකි නම් එය මොනතරම් වටිනවාද කියලා මට හිතුණා. ඒ අනුව පරිගණක ලබාදීමට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 21කට අන්තර්ජාල සම්බන්ධතාව ලබාදීමටත් අපි කටයුතු කළා. ඒ සඳහා Telecom Sri Lanka සමාගම සුවිශේෂී මිලකට අපට දායකත්වය දැක්වූවා. ඒ අනුව එක් පාසලක් වෙනුවෙන් 100GB දත්ත සඳහා මසකට රු.1,500ක් බැගින් වසරකට රු. 18,000ක් අප විසින් ගෙවනු ලබනවා. එසේ ඉහත කී පාසල් සඳහා වාර්ෂික අන්තර්ජාල ප්‍රවේශ දායකත්වය දැක්වීමට කැමැත්තෙන් සහයෝගය ලබා දෙන බොහෝ ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. එය අපේ වැඩසටහනට විශාල ධෛර්යක් සහ සවියක් බව කිව යුතුයි. 2023 වසර වන විට අවම වශයෙන් පාසල් 100කට පරිගණක සහ අන්තර්ජාල සම්බන්ධතාව ලබාදීම අපේ අරමුණයි.”

හොඳම දේ දරුවන්ට බව නිතර අසන්නට ලැබුණත් එය යථාර්ථයක් බවට පත්වන අවස්ථා විරලය. එහෙත් වෘත්තියේ සැබෑ වගකීම අවබෝධ කරගත් ගුරුවරු නිබඳවම ඒ වෙනුවෙන් කැපවෙති. අජිත් මාරියෝ ගේ ආධාර ව්‍යාපෘතියේ මෙරට සම්බන්ධීකරණ කටයුතු සඳහා ඔහුට එවැනි ගුරුවරු කිහිපදෙනකු හමුවීම වාසනාවකි. මාබෝපිටිය විද්‍යාලයේ වත්මන් නියෝජ්‍ය විදුහල්පති ටී. ඒ. බන්දුල ධර්මතිලක ඒ අතර ප්‍රමුඛයෙකි. අජිත් මාරියෝ දුෂ්කර පාසල්වල දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා පවත්වාගෙන යන ව්‍යාපෘතිය පිළිබඳ ඔහු අදහස් පළ කළේ සතුටිනි.

“2016දී මම අරුක්ගම්මන මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්වෙලා යද්දි එය ඉතා අඩු සිසු සංඛ්‍යාවක් සිටි වැසෙන්නට තිබූ පාසලක්. ඒ තත්ත්වයෙන් පාසල මුදාගැනීම සඳහා මම මට හැකි පමණින් කටයුතු කරගෙන යන අතරේ අපේ ගුරු මණ්ඩලයේ සිටි මංගලිකා ජයවර්ධන ගුරු මහත්මිය තමයි මට මුලින්ම මාරියෝ මහත්මයා ගැන කිව්වේ. ඇයට මාරියෝ මහත්මයා ගැන කියලා තිබුණේ රුවන්වැල්ලේ රමණි මහත්මිය. ඒ වෙද්දි අපේ පාසලේ පරිගණක විද්‍යාගාරයක් තිබුණත් එක පරිගණකයයි තිබුණේ. තාක්ෂණ ගුරුවරයෙකුත් හිටියා. මාරියෝ මහත්මයා මුල් අවස්ථාවේදීම අපේ පාසලට මල්ටි මීඩියා ප්‍රොජෙක්ටර් දෙකක්, PC කම්පිටුයර් 2ක්, ලැප්ටොප් 4ක් ලබාදුන්නා. ඒක අපිට විශාල දෙයක් වුණා. ඒ වෙද්දි අපේ ගුරුවරු පවා තාක්ෂණය සමඟ සම්බන්ධ වෙලා හිටියේ නැහැ. මම මගේ සිසුවෙකුත් සම්බන්ධ කරගෙන අන්තර්ජාල භාවිතය, පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් කරන ආකාරය ගැන ගුරුවරුන් දැනුම්වත් කළා. ඒ වගේම රවුටරයක් ආධාරයෙන් මුළු පාසලම වයිෆයි කලාපයක් බවට පත්කර දරුවන්ට තොරතුරු තාක්ෂණය ඉගැන්වීම ආරම්භ කළා. මේ තොරතුරු මාරියෝ මහත්මයාට යැව්වාම ඔහුට අපේ පාසලේ ප්‍රගතිය ගැන දැඩි පැහැදීමක් ඇතිවෙලා තවත් උදව් කරන්න ඉදිරිපත් වුණා. වසර එකහමාරක පමණ කාලයක් තුළ අපේ පාසල උපරිම ලෙස තාක්ෂණය භාවිත කරන පාසලක් බවට පත්වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2018දී ගලිගමුව අධ්‍යාපන කොට්ඨාසයේ හොඳම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබූ පාසල බවට පත්වීමට අවස්ථාව ලැබුණා. අපේ පාසලේ ප්‍රගතිය දැකීමෙන් පසුව මාරියෝ මහත්මයා මට ආරාධනා කළා අනෙක් පාසල්වලට උදවු කිරීමේ කාර්යය සම්බන්ධීකරණය කිරීමට. දුෂ්කර පාසල්වල දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීමට මාරියෝ මහත්මයා ගෙන යන මේ වැඩසටහන ඉතා කාලෝචිතයි. ඒ වෙනුවෙන් මම ඔහු ඇතුළු කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා”

බොස්සැල්ල මහා විද්‍යාලය ද මෙම ව්‍යාපෘතිය තුළින් මනරම් ප්‍රතිඵල නෙළාගත් පාසලකි. එහි විදුහල්පති ඩබ්ලිව්. ඩී. ගුණතිලක ඒ ගැන සිහි කළේ කෘතඥපූර්වකය.

“ ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි අපේ පාසලේ සිසුන්ගෙන් වැඩි දෙනෙක් ආර්ථික මට්ටමින් ඉතා දුර්වල පවුල්වල දරුවෝ. ඔවුන්ට පරිගණකයක් දකින්නවත් අවකාශයක් තිබුණේ නැහැ.

එවැනි පසුබිමක් තුළයි 2019 වසරේ සිට මාරියෝ මහත්මයාගේ ව්‍යාපෘතිය යටතේ අපේ පාසලට තාක්ෂණ උපකරණ ලැබුණේ. මෙය ඇත්තටම අපේ දරුවන්ට හීනයක් සැබෑ වීමක් වැනි වටිනා කාර්යයක්. ඇතිහැකි ළමුන් නගරයේ පාසල්වලට යද්දි අපිට හැකිවී තිබෙනවා අපේ පාසලේ ඉතිරි වූ අඩු සිසුන් සංඛ්‍යාවට උපරිමයෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන්න. ඒ නිසාම ගතවූ වසර කිහිපයේදීම විභාග ප්‍රතිඵල හොඳ මට්ටමක තබාගන්න අපට හැකිවුණා. මාස කිහිපයකට සැරයක් අපි ඕස්ට්‍රේලියාවේ සිටින මාරියෝ මහතා ඇතුළු කණ්ඩායම සමඟ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කර මෙම වැඩසටහනේ ප්‍රගති සමාලෝචනයක් සිදු කරනවා. එය මෙම වැඩසටහනේ සාර්ථකත්වය සඳහා විශේෂයෙන් ඉවහල් වන බව මගේ විශ්වාසයයි. ”

ඒ විශ්වාසය තවත් විශාල දරු පරපුරකට පරිගණක සාක්ෂරතාව තුළින් හෙට ලෝකය දිනන්නට අවස්ථාව සලසා දෙනු ඇත. මෙම වැඩසටහන සඳහා සියලුම පරිගණක දෘඩාංග ලබාගැනීමට දායකත්වය දක්වන ඕස්ට්‍රේලියාවේ ෆින්ඩෙක්ස් සමාගමටත් විශේෂයෙන් එහි ප්‍රධාන කොටස්කරු නික් මයිලෝනාස්, ප්‍රධාන විධායක නිලධාරි Spiro Paule, ප්‍රධාන ඩිජිටල් තාක්ෂණ සහ අලෙවි නිලධාරි තෝමස් පෝල් යන නිලධාරින්ටත් නලින් රණතුංග ඇතුළු මේ වැඩසටහන සඳහා සහයෝගය දක්වන ඕස්ට්‍රේලාවේ සේවානියුක්ත ශ්‍රී ලාංකික හිතමිතුරන්ටත් සිය කෘතවේදීත්වය පුද කිරීමට මාරියෝ අමතක නොකළේය.

“මට හැකි අයුරින් මගේ රට වෙනුවෙන් දෙයක් කිරීම තමයි මගේ එකම බලාපොරොත්තුව. දැනට මේ ආධාර ව්‍යාපෘතිය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල ක්‍රියාත්මක වුවත් ඉදිරියේදී රටේ සෑම දිස්ත්‍රික්කයකම දුෂ්කර පාසල් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි. ඒ සඳහා එක දිස්ත්‍රික්කයක් වෙනුවෙන් එක් අයෙක් ඉදිරිපත් වීම ප්‍රමාණවත් බව මගේ අදහසයි. ඒ සඳහා පරිත්‍යාගීලීන්ට අප සමඟ එක්වීමට ආරාධනා කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා. මෙවැනි දේවල් කිරීමේදී බාධක, අභියෝග නැතිව නොවෙයි. නමුත් පුරවැසියකු ලෙස රට වෙනුවෙන් යමක් කිරීමේ යුතුකම අපි සියලු දෙනාටම තිබෙනවා.” ඔහු කීවේ මිනිසත්කමේ යුතුකම සිහිගන්වමිනි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

(ඡායාරූප: ඔස්වල්ඩ් ගොඩකුඹුර, රඹුක්කන විශේෂ)

Comments