
රට වටේම උද්ඝෝෂණ පැවැත්වෙමින් ඇත. මේ අතර මවුපියන් අත සිටින කිරි දරුවාගේ සිට නව යොවුන් තරුණයන් දක්වා උද්ඝෝෂණ ස්ථානවල දක්නට ලැබේ. ගෝල්ෆේස් උද්ඝෝෂණයට සමහරුන් එක් වී සිටින්නේ පවුල් පිටිනි. නොදරුවෝත් ඒ අතර වෙති. ඒ අතර නුවර පාසල් සිසු සිසුවියන් පන්දහසකට වැඩි පිරිසක් සහභාගී වූ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. දරුවෝත් උද්ඝෝෂණවලට නියමින් හා අනියමින් එක් වී ඇත. මේ තත්ත්වය රටක් ලෙස බලපාන්නේ කෙසේදැයි විමසීමට ප්‍රස්තුතයක් සැදී තිබිණි.
ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පසුගිය 06 වැනිදා නිකුත් කළ පුවත්පත් නිවේදනයකි. එහි දක්වා තිබුණේ රට වටා ව්‍යාප්ත වෙමින් ඇති උද්ඝෝෂණ සඳහා දරුවන්ගේ සහභාගී වීම ජාතික ළමාරක්ෂණ අධිකාරියට නිරීක්ෂණය වී ඇති බවය.
එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණේ උද්ඝෝෂණ ගැටුම්වලින් කෙළවර වීමේ අවදානමක් පසුගිය දිනවල සමහර අවස්ථාහි නිරීක්ෂණය වී තිබෙන හෙයින් එවැනි අවස්ථා සඳහා දරුවන් යොමු කරවීම ඔවුන් කායික සහ මානසික පීඩාවට ලක් වීමේ අවදානමක් නිර්මාණය කරන බවය.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ තුන්වන වගන්තිය මඟින් දක්වා ඇති ආකාරයට දරුවාගේ උපරිම යහපත සැලසීමට දරුවාගේ මවුපිය භාරකරුවන් ඇතුළු රටේ රජය දක්වා සියලුම පාර්ශ්ව බැඳී සිටින බැවින් උද්ඝෝෂණ අවස්ථා සඳහා දරුවන් සහභාගී කරවා ගැනීම වළක්වා ගැනීමට කාරුණික වන්නේ නම් එය වැදගත් ය.
කෙසේ වෙතත් මේ වනවිටත් බොහෝ තැන්වල දරුවන් මවුපියන් සමඟ මහ මඟ ය. සිදුවිය යුත්තේ කුමක් ද? මුලින්ම අප මේ සම්බන්ධව විමසුවේ ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ ය.
“ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවේදයක් තිබෙන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ මානව හිමිකම් නීතිවලින් භාෂණය සහ කථනය සම්බන්ධව ප්‍රතිපාදන තිබෙනවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු වෙනවා කැමති මතයක් දරන්න තිබෙන අයිතිය. රැස් වන්න තිබෙන අයිතිය. සමාගමයේ නිදහස සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ම සම්පාදනය කර තිබෙනවා.
ඒ අනුව පසුගිය සති කීපයකට පෙර සිට ලංකාවේ විරෝධතා ව්‍යාපාර සහ උද්ඝෝෂණ දැකගන්න ලැබෙනවා. එම උද්ඝෝෂණ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ පිළිගන්නවා. එහෙත් පසුගිය සති කීපය පුරා අපට නිරීක්ෂණය වුණා උද්ඝෝෂණ සඳහා දරුවන් සහභාගී කරවන අවස්ථා. මේ සහභාගී කරවා ගැනීමට කටයුතු කළේ බොහෝ වෙලාවට මවුපියන් හා දරුවන්ගේ භාරය හා ආරක්ෂාව දරන්නන්.
මවුපිය බාරකරුවන් නොවන වෙනත් පාර්ශ්ව හරහා පාසල් දරුවන් පවා උද්ඝෝෂණ ව්‍යාපාරවලට සම්බන්ධ වනු දක්නට ලැබුණා. ජාතික ළමාරක්ෂණ අධිකාරිය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම දරුවන් මහජන උද්ඝෝෂණ සහ විරොධතාවලට සහභාගී වීම සම්බන්ධවයි. අප මේ ඉල්ලීම කරන්නෙ දරුවන්ගේ වගකීම් දරන ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් විදිහට. මෙම සමහර උද්ඝෝෂණ තුළ නොසන්සුන්කාරී තත්ත්ව ඇති වුණා. පොලිසිය බලය යොදාගත් අවස්ථා තිබුණා. කඳුළු ගෑස් එල්ල කළා. මේ නොසන්සුන්කාරී අවස්ථාවලදී දරුවන් කායික මානසික හිංසනයට ලක්විය හැකියි. දරුවන්ගේ යහපත සියලුදෙනාගෙම වගකීම නිසා දරුවන් උද්ඝෝෂණවලට එක් කරගැනීමෙන් වළකින ලෙසයි කාරුණිකව ඉල්ලා සිටින්නේ. ලංකාව ළමා අයිතීන් වෙනුවෙන් පුළුල් ලෙස පෙනී සිටින රටක්. 1978 ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තිබෙනවා රජයේ යුතුකම් යටතේ දරුවන්ගේ සහ යෞවනයන්ගේ ආරක්ෂාව සහ ආත්මාර්ථකාමී ලෙස යොදාගැනීම වැළැක්වීම කියන කාරණාව.
ඒ වගේම ශ්‍රී ලංකා රජය 1991 ජූලි මාසයේ දී එක්සත් ජාතීන්ගෙ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් කර තිබෙනවා. එය ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර නීතියක්. එහි පාර්ශ්වකරුවන් වුණු සෑම රටක්ම සම්මුතියේ ඇති ආකාරයට ළමයින් සම්බන්ධව ක්‍රියාත්මක විය යුතුයි. එම ප්‍රඥප්තියෙ තුන්වන වගන්තිය සංක්ෂිප්ත කළොත් එයින් කියැවෙන්නෙ ළමයාගේ උපරිම යහපත වෙනුවෙන් පූර්ණ අවධානය යොමු විය යුතුයි යන්නයි.
විරෝධතාවක් උද්ඝෝෂණයක් සඳහා එක්වන දරුවකුට එම අත්දැකීම මානසිකව කෙසේ බලපානු ඇත් ද? ළමා මනෝ වෛද්‍ය විශේෂඥ රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මියුරු චන්ද්‍රදාස අපට කියන්නේ මෙවැනි අදහසකි.
“දරුවො “ කියන හැඳින්වීම යටතේ මීට දිය හැකි පොදු උත්තරයක් නෑ. මොකද දරුවො කියල එක ඛාණ්ඩයකට මනෝ විද්‍යාත්මකව ගොනු කරන්න බැරි නිසා.
මේ සඳහා බලපාන පළවෙනි දේ තමයි වයස. අවුරුදු 13 - 16 මැද නවයොවුන් විය අතරේ දී තමයි ස්වඅභිමානය සහ ස්වඅනන්‍යතාව ගොඩනැගෙන්නෙ. සාමාන්‍යයෙන් අවුරුදු 15න් පස්සෙ දරුවකුට තමන්ගෙ ස්වඅනන්‍යතාව ගොඩනැගී ඇති නම් උද්ඝෝෂණයට යනව ද නැද්ද යන තනි තීරණය ඒ දරුවාටම ගන්න පුළුවන්. නමුත් ලංකාවේ දරුවකු නීතියෙන් හඳුන්වන්නෙ අවුරුදු 18න් කෙනෙක් නිසා එයාට ඒ සඳහා වැඩිහිටියන්ගෙන් අවසරයක් ගන්න වෙනවා.
නමුත් ඉතා කුඩා දරුවකුට උද්ඝෝෂණයකට යනවද නැද්ද යන කාරණය දරුවාගෙ සංජානන කුසලතා මඟින්ම කැමැත්තක් ලබා දීම අපහසු වෙන්න පුළුවන්.
අම්මයි තාත්තයි දෙන්නම උද්ඝෝෂණයට යනවා නම් අම්මයි තාත්තා එක්ක දරුවා ඉන්න එක වඩා ආරක්ෂා සහිතයි. නමුත් දරුවෙක් අකමැත්තෙන් යම්කිසි දෙයකට දීර්ඝකාලීනව යෙදවීම යහපත් ප්‍රතිඵල ඇති නොවන නිසා බලහත්කාරයෙන් මේ අවස්ථා සඳහා යොමු කිරීම සාධාරණ දෙයක් නොවෙයි.
යම් කිසි උද්ඝෝෂණයක සමස්ත පණිවිඩයක නැතත් දරුවකුට එහි එක කොටසක් තේරෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අවුරුදු දහයක දරුවකුට උද්ඝෝෂණයේ සමස්ත පණිවිඩය නොතේරුණත් එහි කොටසක් මේ වෙලාවේ මෙය කළ යුතුයි වගේ තේරෙන්න පුළුවන්. ඒ වෙලාවෙ ඒ දරුවා ඊට සහභාගී වෙන්නත් පුළුවන්. නමුත් එලෙස සහභාගි වෙන දරුවාගේ ආරක්ෂාව පිළිබඳ අප වගබලා ගත යුතුයි. ඒ අවස්ථාව ප්‍රචණ්ඩ ගැටලු ඇති වෙනවා නම් වෙනත් අයගෙ අනවශ්‍ය හැසිරීම්වලට ගොදුරු වෙනවා නම් ඒක දරුවකුට ඍණාත්මක වෙන්න පුළුවන්.
සියලුම දරුවන් සම්බන්ධව එක උත්තරයක් නෑ. සංජානන අවස්ථාව පෞරුෂත්ව ලක්ෂණ සහ මවුපියන්ගෙ ක්‍රියාකාරිත්වය සහ එම උද්ඝෝෂණය පවත්වන ස්ථානයේ ස්වරූපය අනුවයි දරුවෙක් උද්ඝෝෂණයක් සඳහා සහභාගී වීම හොඳද නැද්ද කියලා තීරණය වෙන්නේ.