
රටම හැඬවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට තෙවසරක් සම්පූර්ණ වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි. කිතුනුවන් පමණක් නොව සියලු ශ්‍රී ලාංකිකයන් භීතියටත් සංවේගයටත් පත් කළ එකී අවාසනාවන්ත සිදුවීමෙන් අවිහිංසක නිරායුධ මිනිසුන් 266කට ජීවිත අහිමි වූ අතර, තුවාල ලැබූ සංඛ්‍යාව පන්සියයකට අධිකය. ඒ අතර ජීවිතයේ ඉදිරි කාලය සම්පූර්ණයෙන් ගිලන් යහනකට සීමා වූවෝ ද කිහිපදෙනෙකි.
මවුපියන්ට දරුවනුත් දරුවන්ට මවුපියනුත් අහිමි කළ එකී අවාසනාවන්ත සිදුවීමෙන් හදවත් තුවාල වූ වින්දිතයෝ රැසක් අදටත් සෝ සුසුම් අතරින් ජීවිතය ගත කරති. තම ආදරණීයයන්ට බිහිසුණු මරණයක් අත්කර දුන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළි කොට ඔවුන්ට නීතියෙන් දඬුවම් පැමිණ වීම එදා සිටම එකී වින්දිතයන්ගේ ඉල්ලීම විය. එහෙත් ඒ ඉල්ලීම ඉටු නොවනු දකිද්දී ජනතාව තුළ ඇතිවූ සංතාපය, පසුතැවීම යුක්තිය සහ සාධාරණය යදිමින් ඔවුන් මහමඟට ගෙන ඒමට තරම් ප්‍රබල විය.
ඉකුත් අප්‍රේල් 9 වැනිදා මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය අසලින් ආරම්භ වී කොළඹ සාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වා පැමිණි ‘යුක්තියේ පා ගමන’එහි එක් ප්‍රතිඵලයකි.
කතෝලික සභාව විසින් නිල වශයෙන් සංවිධානය කරනු ලැබූවක් නොවන ඒ පාගමන සංවිධානය කර තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් නියෝජනය කරන සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසිනි. කටුවාපිටිය ඇතුළු පාස්කු ප්‍රහාරයේ වින්දිත ජනතාව එදින හිමිදිරියේම රැස්වූයේ කටුවාපිටිය දේවස්ථානය ආසන්නයේ ඩේවිඩ් වත්ත සුසාන භූමියටය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් වැඩිම සංඛ්‍යාවකට එකම ස්ථානයකදී ජීවිත අහිමි වූයේත් තුවාල ලැබුවේත් කටුවාපිටියේ සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීය. 115 දෙනකු එහිදී ජීවිතක්ෂයට පත්වූ අතර, 213කට අධික පිරිසක් තුවාල ලබා තිබිණ. ඒ 115 දෙනාගේ සමූහ සුසාන භූමිය එදින යළිත් ඔවුන්ගේ ආදරණීයන් විසින් මලින් සහ දැල්වූ ඉටිපහන්වලින් සැරසිණි. මියගිය වූවන් සිහිකරමින් ඔවුන්ගේ සෙහොන්කොත් ඉදිරියේ යාච්ඥා කළ ඥාතීන්ගේ කඳුළු සහ සුසුම්වලින් අලුත් වූ මතකය සමඟ ඔවුහු අනතුරුව පැමිණියේ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙතටය. එහි මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා යැදුමකින් යුක්තියේ පා ගමනට ආශිර්වාදය පළ කිරීමෙන් පසුව පා ගමන කොළඹ බලා ඒම ආරම්භ වූයේ උදෑසන 7.30ට පමණය. හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් ඊට නායකත්වය දුන්හ.
කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය ඔස්සේ ඉතා සාමකාමී යැදුම් පා ගමනක් ලෙස පැමිණි මෙම නිහඬ විරෝධතාවට අතරමඟ හමුවන මංසන්ධිවලදී පියතුමන්ලා ඇතුළු මීසම්වාසී ජනතාවගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි. ළහිරු ප්‍රසාද් හර්ෂණ පියතුමා යැදුම් මඟින් පා ගමනට ආධ්‍යාත්මික ආශිර්වාදය ලබාදුන් අතර, හැඳල හන්දියේ පිහිටි සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ විශාල පිළිරුව අබියසදී විශාල පිරිසක් පා ගමනට එක්වූ බව සංවිධායක කමිටුව වෙනුවෙන් අදහස් දැක්වූ තරුණ ක්‍රිස්තියානි මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු,මාධ්‍යවේදී තිළිණ අලහකෝන් පැවසීය.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ද ඒ ස්ථානයේ සිට පාගමන හා එක්විය. හැඳල හන්දියේ සිට ඇලකන්ද හරහා කොළඹට ගමන් කළ පා ගමනේ නැවතුම වූයේ කොච්චි කඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයයි. එහිදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පියතුමන්ලා කෙටි දෙසුමක් පවත්වමින් සාමකාමී විරෝධතාවයේ යෙදුණු ජනතාවට සිය ස්තුතිය පුද කළහ. ඒ පා ගමනේ සම්පූර්ණ දුර කිලෝමීටර් 36ක් විය.
මේ අතර එදින උදෑසන මීගමුව ජනතා හඬ සහ කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතාවක් ද පැවැත්විණි. මීගමුව නගරයේ පිහිටි දේවස්ථානවලට සිට විරෝධතා පුවරු රැගෙන දේවස්ථානවල පියතුමන් කන්‍යා සොයුරියන් පෙරටු කරගනිමින් පාගමනින් ග්‍රීන් පාර්ක් පිටිය අසලට පැමිණ විරෝධතාවට එක්විය.
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය විසින් සංවිධානය කළ නිහඬ සහයෝගීතා යාඥා ව්‍යාපාරය එදිනම සවස 4.00 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල පිහිටි ලංකා සභා දේවස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. පත්වී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදා දෙන ලෙස ඉල්ලමින් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ නිහඬ විරෝධතාවට පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් දහසක පමණ පිරිසක් සමඟ මහා සංඝරත්නය ද සහභාගී වූහ. කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ ඉකුත් 5 වැනි අඟහරුවාදා කොළඹ අගරදරුගුරු නිවෙස ඉදිරිපිට පවත්වන ලද නිහඬ විරෝධතාවට ද කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් හත්සියයකට අධික පිරිසක් සහභාගී වූ බවයි.
රට පුරා විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වෙද්දී ඉකුත් 9 වැනිදා සිට කොළඹ ගාලු මුවදොර පිටිය ට විරෝධතාකරුවන්ට තෝතැන්නක් වී තිබෙනු දැකගත හැකි විය. එකී පුරවැසි අරගලය මැද කිතුනුවන් ‘ගොබ් ඉරිදා’ව සැමරීම ද විශේෂත්වයක් විය. කිතුනුවන් විසින් ‘ගොබ් ඉරිදා’දිනයේදී සමරන්නේ එකල සිටි රජවරුන් අසාධාරණ ලෙස ජනතාව පීඩාවට පත්කරද්දී ජනතාව ඔවුන් සමඟ සිටි ජේසුස්වහන්සේ ජනතාවාදී රජකු ලෙස පිළිගෙන උන්වහන්සේට උත්තමචාර පුදකරමින් පෙරහරින් කැඳවාගෙන ගිය සිදුවීමයි. සමාජය හා සාමයික කේන්ද්‍රය, කතෝලික ගිහි සංවිධාන එකමුතුව සහ අප්‍රියෙල් 21 යුක්තියට පදනම විසින් සංවිධානය කර තිබූ විශේෂ යාච්ඥා වැඩසටහනක් ඉකුත් 10 වැනි ඉරිදා ගාලු මුවදොරදී පැවැත්වූයේ සාම්ප්‍රදායික ගොබ් ඉරිදාවට නව මුහුණුවරක් ලබා දෙමිනි. එදින ගාලුමුවදොර පිටියට රැස්ව සිටි ජනතාව අමතමින් නිමල මරිය නිකායේ ප්‍රාදේශාධිපති රොෂාන් සිල්වා පියතුමා සහ සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා පැවසුවේ විරෝධතාවේ නිරත දහස් සංඛ්‍යාත අරගලකරුවන් මධ්‍යයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට විරෝධතා දක්වමින් මියගිය වින්දිතයන් සිහි කරන බවයි.
අහිංසක නිරායුධ මිනිසුන් 266 දෙනකුට ජීවිත අහිමි කළ ඒ බිහිසුණු ඝාතනය සිදුවී තෙවසරක් සම්පූර්ණ වීමට ආසන්න වුවත් වින්දිතයන්ට සාධාරණය ඉටු නොවීම හේතුවෙන් ලොව පුරා කිතුනු බැතිමතුන් පාස්කුව සමරන ශුද්ධ වූ සතිය ආරම්භයේදී මියගිය අය සිහිකර ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් ලබාදීම මෙම යාච්ඥා වැඩසටහනේ අරමුණ බවත් පියතුමන්ලා පැවසූහ.
ගෝල්ෆේස් පිටියේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත අරගලකරුවන් මධ්‍යයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට විරෝධය දක්වමින් ඉටිපහන් දල්වා, ගොක් අතු සහ සුදු මල් අතින් දරා පාස්කු ගීතිකා ගායනා කරමින් මියගිය වින්දිතයන් සිහි කළහ. මහ වැසි ඇද හැලුණද ඒ කිසිවක් හමුවේ නොසැලුණු ඔවුහු ජාති, ආගම් භේද කිසිත් නොසලකා එකම හැඟීමකින් බැඳී සිටින බව පෙන්වා දුන්නේ ‘හොඳම ආගම’ආදරය මිස අන් යමක් නොවන බව විදහාපාමිනි.
ජාතික මාධ්‍ය කොමිෂන් සභාවේ ජාතික අධ්‍යක්ෂ සහ කතෝලික රදගුරු සමුළුවේ මාධ්‍ය ප්‍රකාශක ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමා පැවසුවේ කතෝලික සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයත් ඒ හා බැඳුණු සියලුම ජාතික කොමිසම් සහ ආයතනවලත් ජාතික අධ්‍යක්ෂවරු එක්වී ජනතාව සමඟ මඟට බැසීමේ සංකල්පය ගොඩනැඟූ බවයි. එහිදී ආර්ථික, සමාජ අර්බුදය හමුවේ තැලෙන පීඩිත පන්තියේ ජනතාව අතරට ගොස් ඔවුන් වෙනුවෙන් සිටගැනීමේ සහ නැඟී සිටීමේ අවශ්‍යතාව මත මහමඟට බසින්නට කටයුතු කළ බවත් උන්වහන්සේ පැවසීය.
“ කතෝලික පූජක, පැවිදි සොයුරු සොහොයුරියන්ගේ සහභාගිත්වයෙන් පැවති නිහඬ සහයෝගිතා යැදුම් ව්‍යාපාර සහ සාමකාමී විරෝධතාවලට පදනම් වූයේ සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හඬක් නැඟීම සහ දූෂණයෙන් තොර සාධාරණ පාලනයක් උදෙසා යාච්ඥා කිරීම යන මූලික කරුණු දෙකයි.
ඒ අනුව මීගමුව ඇතුළු ස්ථාන කිහිපයකත් කොළඹත් පැවති සාමකාමී විරෝධතාවලින් පසුව ගාලුමුවදොර හරහා නැවතත් කොළඹ ආශ්‍රිත සියලුම පදිවි, පූජක පැවිදි සොහොයුරු සොහොයුරියන්ගේ ඉදිරිපත් වීමෙන් පදවි 12 තුළම 9 වැනිදා සහ 10 වැනිදා ගොබ් ඉරිදාත් සිදුවුණා. ඒ සියල්ලේදීම මුලින් කී මූලික අරමුණු පෙරදැරි කරගනිමින් රටේ පවතින ආර්ථික, සමාජීය අර්බුදය මුල්කරගනිමින් සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා සිටීම සඳහා කතෝලික සභාව ලෙස ඒකරාශී වුණා.”