
රටේ විදුලි අර්බුදයට යම් සහනයක් ලබාදෙමින් දැන් වැස්ස ආරම්භ වී තිබීම ශ්‍රී ලාංකේය ජනතාවට සතුටට කරුණකි.
කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසන පරිදි අප්‍රේල් 9,10,11, හා 12 දිනවල වායුගෝලයේ කැලඹුමක් නිසා රටේ ඌව, නැඟෙනහිර උතුරු මැද සබරගමු ආදී පළාත්වලට වැඩි වැස්සක් ලැබුණි. බස්නාහිරට ද දකුණට ද වයඹට ද තරමක වැසි ලැබිණ.
ඒ සමඟම මේ දිනවල අන්තර් මෝසම් වැස්ස ආරම්භ වීම ද සිදුවෙමින් පවතී. ඒ අනුව අන්තර් මෝසම් වැස්සෙන් රටේ සියලු පළාත්වලට අකුණු සහිත වැස්ස ලැබෙන බවත් අකුණුවලින් ආරක්ෂා වීමට ආරක්ෂිත උපක්‍රම අනුගමනය කළ යුතු බවත් හිටපු කාලගුණ අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ පවසයි.
“අන්තර් මෝසම් වැස්ස හොඳින් ලැබුණොත් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරෙනවා. විශේෂයෙන් සමනල වැව, වික්ටෝරියා, කාසල්රී හා මාඋස්සාකැලේ යන ජලාශවල පමණයි දැන් ජලය අඩු මට්ටමකින් තිබෙන්නේ. රන්ටැඹේ, රන්දෙනිගල, මොරගහකන්ද හා උඩවලවේ යන විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජලය 60% - 70% අතර තිබෙනවා“ කේ.ආර්. අභයසිංහ පවසයි.
කෙසේ වුවත් මේ පිළිබඳ කරුණු දක්වන ඉහළ ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ පරිසරවේදී ඩී. පී. මුණවීර පවසන්නේ විදුලි බලාගාර අවට ඇති ඉහළ ජලාධාර හරියට සංරක්ෂණය කරන්නේ නම් සතියක් දෙකක් පෑවූ පමණින් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ හිදෙන්නේ නැති බවයි. ජලාධාර සුරැකීම සඳහා ඉහළ ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් රජයට ඉහළ ජලාධාර සංරක්ෂණ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා. එය ඉදිරිපත් කර වසර 15 ක් ගත වුණත් එය ක්‍රියාත්මක වී නෑ. ඒක හමස් පෙට්ටියට වැටිලා. ගල් වැටි, කුට්ටි කාණු, පැති බැමි හා සමෝච්ඡ රේඛා ගල් වැටි ආදිය සකස් කර ඉහළ ජලාධාර සංරක්ෂණය කරන්න පුළුවන්. ඊට අමතරව පස් සෝදා යාම් වැළැක්වීමට සුදුසු සංරක්ෂණ ක්‍රියාමාර්ග ගත යුතුයි.
“දැන් සිදුවන්නේ එවැනි සංරක්ෂණ ක්‍රම නැති නිසා වැස්සෙන් වැටෙන ජලය කෙළින් ම පස සෝදාගෙන මහ ජලාශවලට රොන් මඩ ලෙසින් ගමන් කිරීමයි.
මේ නිසා රන්ටැඹේ හා රන්දෙනිගල ජලාශවල 50- 60% රොන් මඩවලින් පිරිලා.
එපමණක් නොවෙයි වික්ටෝරියා, සමනල වැව වගේ ජලාශවලත් රොන් මඩ බහුලයි. මේවා ඉවත් කිරීමට ඒවා ඉදි කළ දවසේ සිට කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නැහැ. මේ නිසා ජලාශවල ජලය රඳවා ගැනීමේ පරිමාව අඩුවෙලා තිබෙනවා.
එබැවින් සතියක් දෙකක් පෑවූ ගමන් ඒවායේ ජලය අඩු වෙලා යනවා. මේකට පිළියම් ලෙස ජලාධාර සංරක්ෂණ ප්‍රතිපත්තිය වහා ක්‍රියාත්මක කළ යුතුයි“ පරිසරවේදී ඩී. පී. මුණවීර පවසයි.
මෙයට පිළිතුරු දෙන මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරියකු පැවැසුයේ මේ ජලාශවල රොන්මඩ ඉවත් කිරීම් ආර්ථික ලෙස ඵලදායි නොවන ඉහළ වියදමක් යන කටයුත්තක් බවයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 12 වැනිදා ඉදිරිපත් කළ කාලගුණ අනාවැකිය අනුව පහළ වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු වේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල ගාල්ල, මාතර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවල මිලි මීටර් 100 ට වඩා වැස්ස ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ තත්ත්වය 14 - 15 වන විට අවම වුවත් අන්තර් මෝසම් වැසි සක්‍රිය වීම සිදුවෙන බවත් ඒ අනුව විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට සැලකිය යුතු වැස්සක් ලැබෙන බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.
අන්තර් මෝසම් වැස්ස ආරම්භ වූ පසු උදයට වැසි අඩුවේවි. නමුත් රටේ අභ්‍යන්තර කඳු ප්‍රදේශයට සවස 2 ට පමණ ආරම්භ වන වැස්ස රාත්‍රි 7 - 8 වන විට වෙරළ කලාපය දක්වා පැතිරී යනවා.
මේ කාලයේදී අකුණු අනතුරු ඇති වෙනවා. වැස්ස වැඩිපුර ඇති ප්‍රදේශවල සුළං ඇති වෙනවා. ගස් හා අතු කඩා වැටීම සිදුවෙන්න පුළුවන්. කෙසේ වුවත් මේ අකුණු සහිත සුළං සහිත වැස්ස වැඩිපුර පවතින්නේ විනාඩි 45 ක් පමණයි“ අතුල කරුණානායක පවසයි.
ඒ අනුව බක්මහ අකුණු වැඩිවන ලකුණු පහළ වී තිබෙන බවත් ඉන් ආරක්ෂාවීමට ආරක්ෂක උපක්‍රම යෙදිය යුතු බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂවරයා පවසයි.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන පවසන්නේ කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කවල වැඩි වැස්සත් සමඟ නායයාම් ඇතිවීමට ඉඩ ඇති බවයි.
අකුණුවලින් ආරක්ෂා වීම සඳහා ක්‍රීඩා පිටි, තේ වතු, කුඹුරු වැනි ස්ථානවල ගැවසීම සීමා කළ යුතු ය.
විශේෂයෙන් විදුලි උපකරණ විද්යුත් පරිපථවලින් විසන්ධි කර තැබීමත් රූපවාහිනි ඇන්ටෙනා එම යන්ත්‍රවලින් විසන්ධි කොට ඇන්ටෙනා පේණුව නිවසින් බාහිරව පෘතුවියට ආසන්න වන පරිදි තැබීමත් ආරක්ෂාකාරී වෙයි. විශේෂයෙන් උදලු, අලවංගු වැනි උපකරණ භාවිත කරමින් එළිමහනේ කටයුතු කිරීමෙන් වැළකීමත් හුදෙකලා වෘක්ෂ අසල හෝ උස් බිම්වල නොරැදීමත් ඉතා සුදුසු ය.
අකුණු ඇතිවන විට ස්ථානය කුමක් වුවත් දේහයේ ක්‍රියාකාරී උස ප්‍රමාණය අඩු කිරීමට වාඩිවී හෝ සයනයක දිගාවී සිටීමත් ආරක්ෂිතය. වියළි පාවහන් යුගලක් පැලඳීම හෝ පරිවාරක ද්‍රව්‍යයක් මත සිටීම ආරක්ෂාව තවත් තහවුරු කරයි. අකුණු තිබෙන කාලයේ ජලාශවල පිහිනීම, අශ්වයන් පිට යාම, පාපැදි, යතුරුපැදි, ට්‍රැක්ටර් වැනි විවෘත වාහන පැදවීම නොකළ යුතුයි. දුරකථන භාවිත කිරීම අඩුකර විදුලි උපකරණ හා කම්බි වැටවල් ආදිය ස්පර්ශ කිරීමෙන් වැළකීම ද අකුණුවලින් පරෙස්සම් වීමට හේතු වේ.
කෙසේ වුවත් අකුණු ඇතිවන කැටි වැහි වළාකුලක ආයුෂ විනාඩි 30 ක් පමණ කෙටි වන බවත් මේ නිසා අන්තර් මෝසම් වැසි වැටෙන විට ඉතා අනතුරුදායක අකුණු ඇතිවන්නේ විනාඩි 30 - 40 ක් වැනි කෙටි කාලසීමාවක් තුළ බවත් ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ පවසයි.
අන්තර් මෝසම් වැසි නිසා තෙත් කලාපයට වැඩි වැස්සක් ලැබුණොත් න්‍යාය යෑම් ඇතිවීමට ඉඩ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි. විශේෂයෙන් රත්නපුර, කෑගල්ල, බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, කළුතර වැනි දිස්ත්‍රික්කවල නායයෑම් ඇතිවීමට ඉඩකඩ වැඩි ය. ඊට අමතරව ගාල්ල, මාතර, කොළඹ, හම්බන්තොට, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ද කණ්ඩි කඩා වැටීම් ආදිය වැඩි වර්ෂාව නිසා සිදුවීමට ඉඩ ඇත.
කෙසේ වුවත් නාය යෑම්වල පූර්ව ලක්ෂණවලින් නායයෑමට ඉඩ ඇති ස්ථාන කලින් හඳුනා ගැනීමට හැකි ය.
පොළොවේ ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම්, පොළොවේ ගිලා බැසීම්, බෑවුම්වල ඇති ගොඩනැගිලිවල පොළොවේ හා බිත්තිවල පහළ මට්ටමේ පැලුම් ඇතිවීම නායයෑමේ පූර්ව ලක්ෂණයකි. එමෙන් ම බෑවුමේ පහළ කලාපයේ හිටි හැටියේ මඩ සහිත ජල උල්පත් මතුවීම, පුවක් හා පොල් ගස් හෝ විදුලි කණු, දුරකථන කණු හිටි අඩියේ පැත්තකට ඇලවීම, බෑවුමේ ඉහළ කලාපයේ තිබූ ජල පහර හා ජල උල්පත් ක්‍රමයෙන් අතුරුදන්වීම ද නායයෑම්වල පූර්ව ලක්ෂණයකි.
වැටි මාර, සැවැන්දරා වැනි ශාක සමෝච්ඡ වැටි ලෙස වගා කිරීම, හෙල්මළු ක්‍රමයට බිම් සැකසීම, තිබෙන වනාන්තර සුරැකීම, කැළෑ ගිනි තැබීම්වලින් වැළකී සිටීම ආදිය මඟින් නායයෑම් යම් තරමක් වළක්වා ගත හැකි බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පසුගිය 12 වැනිදා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන පැවැසූයේ මෙවර වසර 5 කට පසු වාරිමාර්ග ජලාශ රැසක ජල මට්ටම උපරිම මට්ටමට ළඟා වෙමින් ඇති බවයි.
පසුගිය 10,11 දින දෙක තුන තුළ ලැබුණු වර්ෂාව නිසා විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම 4% - 6% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් ඊට අමතරව සමහර ප්‍රධාන වාරි ජලාශවල ජල මට්ටම වාන් මට්ටමට ඉහළ ගොස් ඇති බවත් ඔහු පවසයි.
“දැදුරුඔය, කුරුණෑගල, කුඹල්වානා ජලාශය, රාජාංගණය ජලාශය, රඹකැන්ඔය, මඩකලපුවේ උන්නුච්චිය යන ජලාශ වාන් දමා තිබෙනවා. ගංගාවල ජල මට්ටමත් උපරිමයට ළඟා වී තිබෙනවා. මේ නිසා නුසුදුසු ස්ථානවලින් දිය නෑම භයානකයි. විශේෂයෙන් ඉදිරි යල කන්නයට හොඳින් ජලය ලබාදීමට හා මෙරට ආහාර සුරක්ෂිතතාව වැඩි කර ගැනීමට එම ජලය සුරක්ෂිතව ප්‍රයෝජනයට ගැනීමට සියලුදෙනා කටයුතු කළ යුතුයි. පසුගිය දිනවල ලැබුණු වැස්ස නිසා ජලාශවල ජල මට්ටම සියයට 6 කින් වැඩි වෙලා. මෙම ජලය මඟින් ඉලක්ක කරගත් භූමි ප්‍රමාණය වගා කිරීමට හැකිවන බවත් කියන්න පුළුවන්.“ වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය.