මාධ්‍යවේදීන් රාමසාන් උපවාස කරන්නේ මෙහෙමයි | සිළුමිණ

මාධ්‍යවේදීන් රාමසාන් උපවාස කරන්නේ මෙහෙමයි

2019 නොවැම්බර් මාසයේ අවසන් වූයේ මුළුමහත් ලෝකයම කොවිඩ් 19 වසංගතයෙන් භීතියට පත් කරමිනි. මෙනිසා ලොවපුරා බොහෝ සංස්කෘතික හා ආගමික උත්සව පසුගිය දෙවසර පුරා සාමාන්‍ය පරිදි පැවැත්වීමට නොහැකි විය. ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය මෙන්ම රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් දිනය ද එවැන්නකි. ඊදුල් ෆීතර් දිනය මඟින් මුළු මහත් මනුෂ්‍යත්වය විෂයෙහි ගලා යන පණිවුඩය විශ්වසාධාරණ වුවකි. ආගමික අධ්‍යාත්මික සහ සමාජීය පුරුෂාර්තයන් මත පදනම්ව සියල්ලන් කෙරෙහි සාධාරණවීම එමඟින් අපේක්ෂා කරයි. අන්‍යන්ගේ සංවේදනා කෙරෙහි සංවේදීවීම ද තමන් තමන්ටම අවංක වීම තුළින් මනුෂ්‍යත්ව වර්ණවත් කළ හැකි බව රාමසාන් වතාවත් අපට සිහිපත් කරයි. රාමලාන් මාසයේ උපවාස ශීලය ආරක්ෂා කිරීමෙන් පසුව නව සඳ දැකීමෙන් රාමසාන් දිනය උදාවේ. මෙවර රාමසාන් උපවාස සමය මහත් උනන්දුවෙන් සහ භක්තියෙන් සමරන සහෝදර මාධ්‍යවේදීගෙන් කළ විමසීමකි මේ.

නෝම්බි යන්න අර්ථ ගන්වමින් තිනකරන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ එම්. එස්. ෆාහිම් පැවැසුවේ මෙවන් අදහසක්.

"ඉස්ලාම් භක්තිකයන් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු කරුණු පහෙන් එකක් තමයි නෝම්බි. මෙය අරාබි භාෂාවෙන් හඳුන්වන්නේ 'අස්සවුම්' කියලයි. ඉස්ලාම් භක්තිකයා මෙම උපවාසයේ යෙදීමෙන් කුස ගින්නේ තරම සහ අවශ්‍යතාවයන් අවබෝධ කර ගන්නවා. ඉස්ලාම් දින දර්ශනයෙහි දැක්වෙන්නේ නව වැනි මස එනම් රමලාන් මාසයේ උපවාසයෙහි නිරත විය යුතු බවයි. උපවාසයෙහි යෙදෙන කාලය තුළ කෑම බීමවලින් තොරව නිරාහාරව සිටිය යුතුයි. සාමාන්‍යයෙන් නිසි වයසට පැමිණි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම මෙම උපවාස සිදු කළ යුතුයි. නමුත් ශරීරය දුර්වල වයෝවෘද්ධ රෝගී අය ගර්භණී කාන්තාවන් කිරිදෙන මවුවරුන් සහ කුඩා ළමයින් උපවාසයේ යෙදීම අනිවාර්යයෙන් කළ යුතු නැහැ. බොහෝවිට ඒ අය උපවාස කරන්නේ නැහැ. ඒවගේම මේ කාලය ඉන්ද්‍රියන් පාලනය කර ගනිමින් කටයුතු කිරීම ද වැදගත්. උපවාසය ආරම්භ කරන කාලය හඳුන්වන්නේ සහාර් කියලා. මේ සහාර් (අලුයම 3ත් 5ත් අතර) කාලය තුළ උපවාසය ආරම්භ කර, මහරිත් කාලය (සවස 6.00 ත් 6.30ත් අතර) වනතුරු උපවාසයේ නිරත වීම සාමාන්‍ය සිරිතයි. මුස්ලිම් වරුන්ගේ දින දර්ශනය නිර්මාණය වී තිබෙන්නේ හඳ දිහා බලලයි. ඒ අනුව නෝම්බි ආරම්භ වන්නේ හඳ බලලයි. ලෝකය පුරාම මුස්ලිම් රටවල් පිළිපදින්නෙත් මේ ක්‍රමයමයි. ලංකාවෙත් එහෙමයි. මහා පල්ලිය විසින් ඒකාලය අපට දැනුම් දෙනවා. සාමාන්‍යයෙන් මාසයක පමණ කාලයක් උපවාසයේ සිටිනවා. ඉන්පසු නව සඳ දිහා බලලයි උපවාසය අත් හරින්නේ. මෙවර නෝම්බි විශේෂයි. සලාත් දානමය පිංකම් වලට දෙවියන් වහන්සේගේ වාක්‍ය අනුව පිං ලැබෙනවා. ඒ නිසා මුස්ලිම් වැසියන් වැඩි වැඩියෙන් මේකාලයේ පුණ්‍යකර්මවල නිරත වන බවයි"

ඊදුල් ෆීතර් දිනය හෙවත් රමසාන් උපවාස සමය පිළිබඳ ඩේලි එක්ප්‍රස් පුවත්පතේ කර්තෘ හනා ඊබ්‍රහීම් පවසන්නේ මෙවැනි කතාවක්. "ස්ලාම් බැතිමතුන් මෙන්ම රටේ සියලුම ජනතාව අද සිටින්නේ දුෂ්කර අවදියක. එවන් වතාවරණයක් යටතේ රාමසාන්වලින් අපේක්ෂා කරන නියම යථාර්ථවාදී අදහස ඉස්මතු වී පෙනෙනවා. අන්අය විඳින දුක අත්දැකීමෙන් විඳින්න මේක හොඳ අවස්ථාවක් වී තිබෙනවා. ඒ දුක ඔවුන් හා බෙදා ගන්න අපට හැකියි. පසුගිය දා ගෝල්ෆේස් එකේ ඔක්කොම එක්ක එකට එකතුවෙලා නෝම්බි අත්හරින හැටි අපි දැක්කා. ඒකෙන් අදහස් කරන්නෙ අපි වෙන්වෙන්න ඕන නැහැ. අනෙක් අයගේ ආගමික චාරිත්‍ර අඳුන ගත්තම අපේ එකමුතුකම තවත් වැඩිවෙනවා. ඒ සඳහා රාමසාන් හොඳ අවස්ථාවක් ලබාදී තිබෙනවා. අපේ ආගමික චාරිත්‍ර පහෙන් අපට අතහරින්න බැරි චාරිත්‍රයක් තමයි උපවාසය. එයින් සිදුවන්නේ ආහාර පාන නොගැනීම පමණක් නෙමෙයි. අනෙක් අය කෙරෙහි ඇතිකරගන්නා වැරදි අදහස්, වැරදි ක්‍රියාවන් ගෙන් තොරව අධ්‍යාත්මික ආකල්ප ඇති කර ගැනීම තුළින් ජීවිතය හැඩගස්වා ගැනීම. එමෙන්ම මරණින් පසු ලෝකය යහපත් කර ගැනීමයි."

හිටපු බී. බී. සී කොළඹ වාර්තාකරු නිදහස් මාධ්‍යවේදී අසාම් අමීන් (අවු 33) අදහස් දක්වමින් කියා සිටියේ “ අපි උදේ පහට කලින් ආහාර ගන්නවා. හවස 6.30 ට පමණ නෝම්බි අත්හරිනවා. සාමාන්‍ය දිනයක් වගේ විශේෂයක් නැහැ. ගොඩක් වෙලාවට මාධ්‍යවේදියෙක් විදියට කටයුතු කරන නිසා හරියටම හයහාමාරටම ගෙදර ඇවිත් බිරිඳ දරුවන් සහ මාපියන් එක්ක නෝම්බි අරින්න ලැබෙන්නේ නැහැ. නමුත් හැකි හැම අවස්ථාවකම හයහාමාරට කලින් නිවෙසට එන්න උත්සාහ ගන්නවා. ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතා ව්‍යාපාර ආවරණය කරන්න ගියවෙලාවේදි තමයි අපට උපවාසය අත්හරින්න සිද්ද වුණේ. එතනදි අපට වතුර රට ඉඳිවගේ ආහාර ලබාදී අපේ උපවාසය අත්හරින්න එතැන සිටි සහෝදර ජනතාව උදව් කළා. උපවාස කාලයක අව්වේ කොහොමද වතුරවත් නොබී ඉන්නෙ කියල සමහරු සමාජ මාධ්‍යවල කතා බහට ලක්කරනවා. නමුත් අපි උපවාසයෙන් පුහුණු කරන්නෙ ඒ දරාගැනීමයි. මේ කාලයේ බොහෝදෙනා දානමය කටයුතුවල නිරත වෙනවා. නැති බැරි අය සමඟ බෙදා හදාගෙන සහයෝගයෙන් ජීවත් වෙන්න කියලයි ස්ලාම් ධර්මයේ සඳහන් වෙන්නේ.

ඩේලීමිරර් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ජමිලා හෂීන් රාමසාන් ගැන අදහස් දක්වමින් පැවැසුවේ , “මේ රාමසාන් කාලය මම හොඳින් ගතකරනවා. නමුත් නමුත් අද රටේ බොහෝ ජනතාව ඉන්නේ දුෂ්කර කාලසීමාවක. අපිට හරිම කනගාටුයි. අපේ ආගමේ විදියට නැති බැරි අයට උදවු උපකාර කරන්න දාන දෙන්න ලැබීම සතුටක්. මාධ්‍යවේදිනියක් විදියට මේ මොහොතේ ජනතාව මුහුණ දී සිටින ගැටලු කෙරෙහි මගෙ සංවේදී භාවය වැඩියි. මම මට හැකි හැමවිටම අනෙකාට උදව් කරනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනී නාදියා ෆස්ලුල්හක් පවසා සිටියේ “ලංකාවේ ගොඩක් අය රමසාන් උපවාසය දන්නේ; නෝම්බි අල්ලනව කියලයි. රමසාන් කියන අරාබි වචනයේ තේරුම ‘පව් හළුකර දැමීම’ යි. මාධ්‍යවේදිනියක් විදියට උපවාසය හරිම අභියෝගයක්. ප්‍රවෘත්ති මාධ්‍යවේදියෙක් වුණාම මේ කාරිය තවත් දුෂ්කරයි. නමුත් මාධ්‍ය ආයතනය තුළ කවුරුහරි උපවාස කරනව නම් ඒ සඳහා සෑම පහසුකමක් ම ආයතනය ලබාදෙනවා. ඒ වගේම සහෝදර මාධ්‍යවේදීන්ගෙන් ඒ සඳහා ලැබෙන්නේ ලොකු සහයෝගයක්. අඩුම තරමින් ඔවුන් උපවාස කාලය තුළ අපට පේන්න ආහාරපාන ගන්නෙවත් නැහැ. නමුත් රැකියාවේ ස්වභාවය අනුව අපට තැන තැන යන්න වෙනවා. මං දැන් දරුවන් දෙන්නෙකුගේ මවක්, වෙහෙසෙන්න වෙනවා. ඒක නිසා උපවාස කරන්න අමාරුයි. ඒ වගේම රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණයත් එක්ක ඒක තවත් අමාරුයි. අපේ නිවෙස් වල උපවාසය ඉවර වෙද්දි කංජි (කැඳ) හදනවා. සමෝසා හදනවා.

වෙනත් වසර වලට වඩා මේ වසරේ එවැනිදේ කරන්න අමාරුයි. නමුත් මේ ප්‍රශ්නත් එක්ක උපවාසයේ නිරත වීමෙන් ඒ අපේක්ෂා කරන දේ ගොඩක් පහසු වෙනවා. වෙනදට අපි උපවාස කරන විට අනික් අය හොඳට කනව බොනවා. ජොලියෙන් ඉන්නේ. නමුත් මේ වෙද්දි ගොඩක් අය අසරණවෙලා. පීඩාවට පත්වෙලා. ඒවගේ අයට පිහිට වෙන්න මේක හොඳ අවස්ථාවක්.

රාමසාන් ගැන මීළඟට අදහස් දැක් වූයේ දිනමිණ නියෝජ්‍ය ක්‍රීඩා කර්තෘ ෆවුස් මොහොමඩ් (අවු 52යි)ය.

“රාමලාන් උපවාසය කියන්නේ පැය ගණනක් කුසගින්නේ සිටීම නොවේ. මේක එක්තරා විදිහක පුහුණුවක්. හික්මීම ඉහලින්ම ප්‍රගුණ කිරීමක්. ඒ වගේම කැපවීමක්. මූලික අරමුණ විදදරා ගැනීමට පුහුණුව ලැබීමයි. කුසගින්න විඳ දරා ගන්න පුළුවන් කෙනකුට ඕනෑම දෙයක් විඳ දරා ගන්න පුළුවන්. උපවාසයේ යෙදුණ කියලා විවේක ගන්න බෑ. ඒ ගමන් අපි සුපුරුදු ජීවිතය ගෙනියන්න ඕන. ඒකයි විශේෂත්වය. මමත් මේ විඳ දරා ගැනීම පොඩිකාලේ ඉඳලා ප්‍රගුණ කළා. මාධ්‍යවේදීයෙක් විදිහට වැඩ කරද්දී දුෂ්කරතා ඇති නොවෙනවාම නෙවී. ඒත් අපි දැන් එයට පුරුදු වෙලා.

අවුරුද්දකට දවස් 30 දැහැමිව පරිත්‍යාගශීලිව ගතකරන්න ලැබීමත් සතුටක්. මේ රමලාන් මාසයේදී උපවාසයේ නිරතවීමෙන් ලැබෙන්නේ ආධ්‍යාත්මික සුවයක් විතරක් නෙවෙයි. ඒක ශාරිරීක වශයෙනුත් බලපාන බව පෞද්ගලිකව මම අත්විඳලා තියෙනවා. විශේෂයෙන් සාමාන්‍ය දිනවලදී ඉඳහිට ශරීරයට දැනෙන විවිධ අසාත්මිකතා සුව කරගැනීමට මේ උපවාසය කදිම ඔසුවක්. වේලක් දෙකක් නිරාහාරව සිටීමෙන් ශරීරයේ විවිධ අසාත්මිකතා සමනය කරගන්න පුළුවන්. හේතුව ශරීරය කියන්නෙත් අඛණ්ඩව ආහාර ගැනීමෙන් එක දිගට අවිවේකී වන යන්ත්‍රයක් වගේ තමයි. ඉතින් ඒ යන්ත්‍රයට යම් තරමක විවේකයක් ලැබීම අපූරු ප්‍රතිකර්මයක් බවයි මට හැඟෙන්නේ. ”

 

Comments