මිලියනයේ විරෝධය ''ටික් ටොක්" වෙයි | සිළුමිණ

මිලියනයේ විරෝධය ''ටික් ටොක්" වෙයි

විරෝධතා ස්ථානයට ආධාර ලෙස ලැබුණු ජලබෝතල් විකිණීමක් සිදුව ඇති බවත් ඒ ගැනද ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවත් දැනගන්නට ඇත. ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ අනුහසින් හා අදෘශ්‍ය ආධාර මතින්  ඕපපාතිකව නිර්මාණය වූ ජනපතිවරයා සහ ආණ්ඩුව පලවා හැරීමට තැත් කරන  මිලියනයේ විරෝධතාව්‍යාපාරය අද දෛවෝපගත ඉරණමකට ලක්වී තිබේ..

ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාන්ත බණ්ඩාර සහ ප්‍රියංකර ජයරත්න  යන තරුණ අමාත්‍යවරු යළි රාජ්‍ය  අමාත්‍යධුර ලබා ගැනීම සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම තුළ අලුත් අර්බුදයක් නිර්මාණය වී ඇති අතර එය තව දුරටත් සංකීර්ණ වන බවක් නිරීක්ෂණ කළ හැකිය. ඒ අනුව අද හෙටම ශ්‍රී ලනිපයේ තවත් පළුවක් ආණ්ඩුවට එක්වනු ඇති අතර ඒ සමග මෙම අර්බුදයේ තීරණාත්මක  කඩඉමක් සනිටුහන් වනු ඇති බව  පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය.

‘පික්පොකට් ගැසීම‘ගැසීම ගැන අපි කවුරුත් දන්නවා. ඒ වගේම බොහෝ දෙනෙක් මේ නීරස අත්දැකීමට මුහුණ දීලත් ඇති. ඒත් ඔබට මේ ගැන වඩා පුළුල් අවබෝධයක් නැති බව නම් සහතිකයි. ඒ නිසා චානක්‍ය කල්පනා කළා මුලින්ම මේ පික්පොකට් ගැසීම ගැන ඔබට යම් අවබෝධයක් ලබාදීලම සති අග දේශපාලන විග්‍රහය ආරම්භ කරන්න. ඉංග්‍රිසීයෙන් pickpocket කියන වචනය සිංහල භාෂාවේදීත් ඒ ආකාරයෙන්ම ‘පික්පොකට්කාරයා / පික්පොකට් ගැසීම‘ ආදි වශයෙන් භාවිත කිරීම සිදුවේ. ‘මිනිසුන්ගේ සාක්කුවලින් සොරකම් කරන පුද්ගලයෙක්‘ පික්පොකට්කරුවෙක් ලෙස සාමාන්‍ය ශබ්ද කෝෂවල ලබා දෙන අර්ථකථනය වේ. තවත් තැනක මේ පිළිබඳව නිර්වචනය වන්නේ, ‘පුද්ගලයකුගේ සාක්කුවලින් හෝ පුද්ගලයකුගෙන් මුදල් හෝ වටිනා භාණ්ඩ රහසිගතව සොරකම් කරන සොරකු‘ පික්පොකට්කරුවකු වන බවයි.

මිනිසෙක් පික්පොකට්කරුවෙක් වෙන්නේ කොහොමද ? නැතිබැරිකම නිසාද ? පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් නිසාද ? මේ ගැන ලෝ ප්‍රකට වෙබ්ස්ටර් ශබ්දකෝෂය ලබා දෙන අදහස වන්නේ ‘නැතිවූ, ව්‍යාකූල වූ හෝ අවධානය වෙනතකට යොමු වූ බවක් පෙනෙන පුද්ගලයන් වෙත පික්පොකට්කරුවන් ඇදී යයි. තමන් ගැන විශ්වාසයෙන් සිටින සහ තම වටපිටාව ගැන දැනුවත්ව සිටින පුද්ගලයින් අඩු ආකර්ෂණීය ඉලක්ක වේ. මතක තබා ගන්න, බොහෝ පික්පොකට්කරුවන් ගැටුම් වළක්වා ගැනීමට කැමති සුපරීක්ෂාකාරී සොරුන් වේ‘

පික්පොකට්කරුවන්ගේ ගේමක්

චානක්‍ය ලිපිය ආරම්භයේදීම පික්පොකට්කරුවන් ගැන ලියන්න තීරණය කළේ ඉතා වැදගත් කරුණක් නිසාය. නැතහොත් ඉතාම වැදගත් කරුණක් ගැන ඔබගේ අවධානය යොමු කළ යුතුව ඇති නිසාය. මේ නිසා වැල්වටාරම් කතා කියමින් ඔබව වෙහෙසට පත් නොකළ යුතුය. කතාව නම් මීට සති කිහිපයකට පෙර අදෘශ්‍යමාන ලෙස, නැතහොත් ඕපපාතිකව ආරම්භ වූ ‘ජනපතිවරයාට ගෙදර යන ලෙස බලකරන උද්ඝෝෂණ‘ රැල්ල පික්පොකට්කරුවන්ගේ තවත් ගේමක් බව මේ වන විට කරුණු කාරණා සහිතව (සාක්ෂි) ඔප්පු වෙමින් තිබීමය.

මේ ප්‍රකාශය ඔබව අන්දමන්ද කළ හැකිය. නැතහොත් ඔබව විමතියට පත්කළ හැකිය. එසේම ඔබව අපේක්ෂාභංගත්වයට ද පත්කළ හැකිය. එහෙත් තිත්ත වුවත් ඇත්ත නම් ඇත්තමය.

වත්මන් ආණ්ඩුවට එරෙහිව ආරම්භක යුගයේදීම දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වූයේ රසායනික පොහොර තහනම සමඟය. ජනපතිවරණයේදී ලබා දුන් පොරොන්දුවක් අනුව ‘හරිත කෘෂිකර්මාන්තයට‘ යාමට ජනපතිවරයා ගත් ඓතිහාසික තීරණයත් සමඟ රසායනික පොහොර තහනම ක්‍රියාත්මක වූ අතර එය ක්‍රියාත්මක කිරීමත් සමඟ රටපුරා ගොවීන්ගේ දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ විය. රසායනික පොහොර හේතුවෙන් වකුගඩු දෙකම අකර්මණ්‍ය වූ ගොවීන් පවා මහ පාරට ගෙන ආ මෙම උද්ඝෝෂණ රැල්ල පිටුපස සිටි ගාමක බලවේගය කවුරුන්ද යන්න මුළු රටම දැන සිටියේය. එහිදී ද සිදු වුණේ ගොවි උද්ඝෝෂණ පික්පොකට් ගැසීමකි. එහෙත් තමන්ට සිදු වූ දේ වටහා ගැනීමට තරම් සවිඥානික බවක් ගොවීන්ට නොවීය. ගොවි උද්ඝෝෂණ රැල්ල සමඟ ගුරු - විදුහල්පති වැටුප් වැඩිකර ගැනීමේ උද්ඝෝෂණ රැල්ල පැමිණියේය.

රසායනික පොහොර ඉල්ලා ගොවීන් කළ උද්ඝෝෂණය සේම වැටුප් විෂමතා ඉවත් කරන මෙන් ඉල්ලා ගුරු - විදුහල්පති උද්ඝෝෂණය ද පුළුල් සමාජ - සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය සහායක් නොලද හුදකලා අරගල වූ අතර ඔවුන් පිටුපස සිට ගැනීමට වෙනත් සමාජ කණ්ඩායම්, වෘත්තීය කණ්ඩායම් ඉදිරිපත් නොවීය. මේ තත්ත්වය වඩාත් සරලව සඳහන් කරන්නේ නම් මේ රටේ ආහාර සුරක්ෂිතභාවය සහ දරුවන්ගේ අනාගතය හා ඍජුව සම්බන්ධ ප්‍රමුඛම අරගල දෙක අදාළ වින්දිතයින්ගේ ‘හුදකලා අරගල‘ දෙකක් බවට පත් වුණේය.

එහෙත් ප්‍රශ්නය වන්නේ රසායනික පොහොර ඉල්ලා ගොවීන් කළ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලට සහ ගුරු - විදුහල්පති වැටුප් වැඩිකර ගැනීමේ අරගලයට කිසිදු ආකාරයකින් සහායක් නොදුන්, ආශිර්වාදය නොකළ කණ්ඩායම් තවත් කෙටි කාලයකින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කර සමස්ත රටම අකර්මණ්‍ය කරමින්, දේශපාලන අස්ථාවරත්වක් නිර්මාණය කරමින් ‘යකා නැටීම‘ය.

තරුණ හැඟීම් පික්පොකට් ගැසීම 

ජනපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරන වත්මන් උද්ඝෝෂණ රැල්ල පිටුපස ගාමක බලවේගය ලෙස ‘කල දුටුකල වළ ඉහ ගැනීමට තැත් කරන ‘අවස්ථාවාදී දේශපාලන පක්ෂ සේම අන්තවාදී කණ්ඩායම් සිටින බව පැහැදිලිව ප්‍රකාශ කළ හැකි වුව ද මේ ගැන වඩාත් සියුම්ව නිරීක්ෂණය කරන විද්වතුන්ගේ අදහස වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඔවුන් ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ අත්දැකීම් නැති, දැක්මක් නැති සහ නිසි නායකත්වයක් නැති තරුණ - තරුණියන්ගේ හුදු ආවේගයන් මත (උණ) නිර්මාණය වූ ඕපපාතික උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඉතාම කෙටි කාලයක් තුළ බලවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් පික්පොකට් ගසා ඇති බවය!

මෙවැනි ප්‍රකාශයක් ගැන ඇසීමත් ඔබට විස්මය දනවන සුලු කරුණක් විය හැකිය. එහෙත් ලෝක දේශපාලනය සේම ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන දන්නා කියන කිසිවකු මෙවැනි ‘පික්පොකට් ගැසීමක්‘ ගැන පුදුම නොවන්නේ එය දේශපාලනය තුළ දෛනිකව සිදුවන අඛණ්ඩ ක්‍රියාවලියක් නිසාය.

‘තම ව්‍යාපාරික අධිරාජ්‍යයට දැවැන්ත හානියක්, අගතියක් වන සෑම අවස්ථාවකදීම බලවත් ව්‍යාපාරිකයින් මේ ආකාරයෙන් හැසිරෙනවා. එසේ නැතිනම් එම කාලය තුළ නිර්මාණය වී තිබූ නොසැලකිය යුතු තරම්ව සිදුවන හුදකලා ආණ්ඩු විරෝධය ඉතාම කෙටි කාලයක් තුළ දැවැන්ත ආණ්ඩු විරෝධයක් බවට, ආණ්ඩුව පලවා හැරීමේ අවස්ථාවක් බවට පත්කර ගන්නවා‘ ශ්‍රී ලංකාව තුළ මේ මොහොත තුළ සිදුවන දේශපාලන ප්‍රවණතා ගැන සියුම්ව නිරීක්ෂණය කරමින් සිටින ප්‍රවීණ දේශපාලන විචාරකයෙක් චානක්‍ය සමඟ පැවසුවේය. ඔහු එහිදී පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල හැසිරෙන හා ගමන් කරන දිසාව අනුව මෙවැනි නිගමනයකට බැසීම අසීරු කරුණක් නොවන බවයි.

‘රසායනික පොහොර ඉල්ලා ගොවීන් කළ උද්ඝෝෂණවලට, ගුරු- විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඉල්ලා ගුරු සංගම් කළ උද්ඝෝෂණවලට මේ ආකාරයේ සමාජ, සමාජමාධ්‍ය ආකර්ෂණයක් ලැබුණේ නැහැ. එසේ නම් කොවිඩ් වසංගතය, රුසියානු - යුක්ක්‍රේන් යුද්ධය සහ ආණ්ඩුවේ පාලනයෙන් බොහෝ දුර ක්ෂණික සිදුවීම් ජාලයක් හරහා නිර්මාණය වූ වත්මන් ආර්ථික අර්බුදයේ, විශේෂයෙන් ඉන්ධන, ගෑස්, සහ කිරිපිටි හිගය නිසා නිර්මාණය වූ සමාජ අසහනය දේශපාලන අස්ථාවරත්වයක් දක්වා ගමන් කිරීමට උත්තේජනය ලැබුණේ කොහොමද? වත්මන් පාලනය ඉතාම කෙටිකාලයක් තුළ අස්ථාවර කර දේශපාලන පෙරළියක් ඇති කර ගැනීමට අවශ්‍යව ඇත්තේ කාටද ?“ ඔහු ප්‍රශ්න කළේය.

මෙහිදී ඔහු පැහැදිලිව පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය සහ රුසියානු - යුක්ක්‍රේන යුද්ධය නිසා නිර්මාණයව පවතින වත්මන් විදේශ විනිමය අර්බුදය හමුවේ කෙටි කාලීන බල හුවමාරුවකට ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජනබලවේගය පවා සූදානම් නැති බවය.

ව්‍යාපාරික කුමන්ත්‍රණය

‘ඔවුන්ට ආණ්ඩු බලය ගන්න අවශ්‍යතාවක් නැහැ. ඔවුන්ට එවැනි සූදානමකුත් නැහැ. ඔවුන් දන්නවා මේ අර්බුදයට මැජික් විසඳුම් නැහැ කියලා. එහෙත් වත්මන් ආණ්ඩුව අස්ථාවර කර කෙටිකාලීන දේශපාලන වෙනසක් අත්‍යවශ්‍ය කල්ලියක් රට තුළ සිටිනවා. ඔවුන් කිහිප දෙනා තමයි මේ තරුණ තරුණියන්ගේ හුදෙකලා උද්ඝෝෂණ ව්‍යාපාරය පික්පොකට් ගහලා ඒක ජනපති නිල නිවස, ජනපති කාර්යාලය හා පාර්ලිමේන්තුව වැටලීමක් දක්වා ගමන් කළ බලවේගයක් බවට පත් කළේ. මේ උද්ඝෝෂකයන්, ඔවුන්ට සහාය දෙන පිරිස් මේ ගැන කිසිම දෙයක් නොදන්න පුළුවන්. ඒත් ඇත්ත කතාව නම් මෙවැනි ව්‍යාපාර ඕපපාතිකව නිර්මාණය වුණත් ඒවා තමන්ගේ පටු ව්‍යාපාරික හා දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් යොදා ගන්න බලවත් ව්‍යාපාරික හෝ දේශපාලන මාෆියාවක් නොවුණොත් ඒවා ඉතාම කෙටි කාලයකින් දුර්වල වෙලා, ස්වභාවිකව අඩපණ වෙනවා. ඒත් බිලියන සිය ගණනක තම ලාභයට අහිමිවීමකට මුහුණ දී සිටින දැවැන්ත ව්‍යාපාරිකයන් ඉතා සූක්ෂමව තම අරමුණ වෙනුවෙන් ව්‍යසනකාරී ලෙස හෝ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල නඩත්තු කරනවා. අපි අද මේ කූඨ සැලසුමට ගොදුරව සිටිනවා‘ ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

මෙහිදී ඔහු පැහැදිලිව පෙන්වා දුන්නේ වත්මන් ආර්ථික දුෂ්කරතා නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය ආදායම ශක්තිමත් කර වර්ධනය කර ගැනීමට ආණ්ඩුව ගත් ප්‍රමුඛ පියවර දැවැන්ත ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ වෛරයට ලක්ව ඇති බවයි.

අධිභාර පනත අනුමත කිරීම

‘කරුණු කාරණා සඟවා කතා කළ යුතු නැහැ. ආණ්ඩුව විසින් පසුගිය දා සම්මත කරගත් අධිභාර පනත නිසා ලබන මාසය වන විට රජයට රුපියල් කෝටි 12,000ක් ලැබීමට නියමිතව තිබෙනවා. මේ රුපියල් කෝටි 12,000 ගන්නේ මේ රටේ ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම් 67කින් වුණත් ඒ සමාගම් 67ටම හිමිකම් කියන්නේ ව්‍යාපාරිකයන් 30 දෙනකු පමණයි. අධිභාර පනතේ ප්‍රතිපාදන අනුව රජයට හිමිවන රුපියල් බිලියන 120 බද්දෙන් 50%ක් ඉදිරි මස තුළදීම රජයට ගෙවීමට අදාළ සමාගම්වලට සිදු වෙනවා. මෙය රජයට ලැබෙන ඍජු බද්දක් වීමයි මෙහි ඇති විශේෂත්වය. එය පාරිභෝගිකයන් වෙත පැටවීමට අදාළ සමාගම්වලට කිසිම හැකියාවක් නැහැ. ඒ සඳහා දේශපාලන වාසි නොතකා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් එක්ව සිටීම රටට ආදර්ශයක්. මොකද මේ පනත සම්මත වීම වළක්වා ගන්න එහි ආරම්භයේ සිටිම මේ ව්‍යාපාරිකයින් සහ ඔවුන්ට සහාය දෙන කණ්ඩායම් ක්‍රියා කළා. ඔවුන්ගේ සැලසුම වුණේ සේවක අර්ථසාධක අරමුදල වැනි අරමුදල්වලින් ද බදු ගන්නා බවට සමාජ මතයක් නිර්මාණය කර අධිභාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ එය සම්මත වීම වළක්වා ගැනීමයි. ඒත් ආණ්ඩුව මේ සැලසුම පරාජය කිරීම සමග ඔවුන් වඩාත් ව්‍යවසනකාරී දෙවැනි සැලසුම වෙත දැන් යොමුව තිබෙනවා‘ ඔහු තම නිරීක්ෂණය වඩාත් සවිස්තරාත්මක ලෙස පැහැදිලි කළේය.

අතීත සිදුවීම් රැසක්

‘අපි මෙවැනි අවස්ථාවකට 1964දීත් මුහුණ දුන්නා. 1960 ජූලි මැතිවරණයෙන් බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයට 1964දී ආණ්ඩු බලය අහිමි කළ පාර්ලිමේන්තු කුමන්ත්‍රණය දියත් වුණෙත් මේ ආකාරයේ ව්‍යාපාරික කල්ලියක අවශ්‍යතාව අනුවයි‘

1964 රාජාසන කතා විවාදය අවසානයේ පැවැති ඡන්ද විමසීමේදී පරාජයට පත්ව ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවීමේ අතීත සිදුවීම ගැන සිය මතකය අවදි කරමින් ඔහු සඳහන් කළේය.

‘එදා සිදුවු‍ණේ තම ව්‍යාපාරික අරමුණු හා පැවැත්ම වෙනුවෙන් කොන්දේසි විරහිතව සන්ධානගත වුණ ව්‍යාපාරිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලදී ගෙන ආණ්ඩුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමයි. (රාජාසන කතාව) අද එය එදාට වඩා සූක්ෂම හා බිහිසුණු ආකාරයෙන් සිදුවෙනවා. වෙනස 1964ට වඩා 2022 දී සිදුවිය හැකි විනාශය අති දැවැන්ත වීම පමණයි‘ ඔහු පැහැදිලි කළේය.

විදේශ විනිමය අර්බුදය විසින් නිර්මාණය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් හටගත් හුදකලා, ක්ෂණික මහජන අසහනය හෝ කෝපය මේ වන විට ආර්ථික අර්බුදයක් සහ දේශපාලන අර්බුදයක් දක්වා ගමන් කර ඇති අතර මේ තත්ත්වයක් අප කිසිවකු සිහිනයකින් හෝ අපේක්ෂා කළ තත්ත්වයක් නොවේ. එහෙත් තම ව්‍යාපාරික ලාභය සහ අන්තවාදී දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සමාජයක්, රටත් මීටත් වඩා බරපතළ අර්බුද වෙත තල්ලු කිරීමට සූදානම් කණ්ඩායම්, කල්ලි දුර්ලභ නොවේ. මේ සඳහා වන පැහැදිලිව උදාහරණය වන ඊනියා අරාබි වසන්තයේ සිට පසුගිය දා පාකිස්ථානයේ සිදු වූ බල පෙරළිය දක්වා අපට කියන කතාන්දර වන්නේ ‘බොරදියේ මාළු බාන්නේ‘ දේශපාලනඥයන්ම පමණක් නොවන බවයි. ඊටත් වඩා බිහිසුණු සහ අති සූක්ෂම ලෙස බොරදියේ මාළු බාමින් අති දැවැන්ත ආර්ථික වාසි ලබා ගැනීමේ වුමනාවෙන් කටයුතු කරන ව්‍යාපාරිකයින් ද හිට්ලර්ට - මුසලෝනිට නොදෙවැනි මහත් විනාශයක් රටට, ජනතාවට අත්කර දෙන බව ඉතිහාසය සහ වර්තමානය අපට කියා දෙන බිහිසුණු පාඩමයි!

මිලියනයේ විරෝධතාව අවුලෙන් අවුලට

සමාජමාධ්‍ය ප්‍රමුඛ සන්නිවේදන මෙවලමක් බවට නාමවරණය වීමත් සමඟ පසුගිය සමයේ ගෝලීය වශයෙන් දැකගත හැකි වූ ප්‍රවණතාවක් වූයේ Hashtag activism/ hashtag movements ලෝකය පුරා පැතිර යාමය. එය ආරම්භක යුගයේ බටහිර රාජ්‍යවල වේගයෙන් ව්‍යාප්ත වූ අතර පසුව පෙරදිග සහ ආසියානු, අප්‍රිකානු සහ ලිතින් ඇමෙරිකානු රටවලට ව්‍යාප්ත විය. මේ ව්‍යාපාර අතර #MeToo, #NotInMyName, #HumFitToIndiaFit., #IceBucketChallenge, #BlackLivesMatter, #HeForShe ප්‍රකට අවස්ථා වශයෙන් සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවේ නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තික තරුණ තරුණියන් (ගෝලීය වශයෙන් ද මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛ කණ්ඩායම බවට පත්ව සිටියේ නාගරික සහ අර්ධ නාගරික මධ්‍යම පාන්තික තරුණ කණ්ඩායම්ය) විසින් මේ වන විට තැන තැන සිදුකරන උද්ඝෝෂණ මෙහි තවත් දිගුවක් වශයෙන් සැලකිය හැකිය.

මෙම උද්ඝෝෂණ කණ්ඩායම්වලට සාම්ප්‍රදායික ජාතික මධ්‍යවලට වඩා වඩාත් පුළුල් අවකාශයක් සමාජ මාධ්‍ය (විශේෂයෙන් මුහුණු පොත සහ යුටියුබ්) හරහා ලැබෙන අතර ඒවා වඩාත්ව පුළුල් හා සුනම්‍ය ලෙස මෙහෙයවීමට ද මෙම නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තික තරුණ කණ්ඩායම්වලට හැකියාව තිබේ. ඇතැම් සන්නිවේදන විද්වතුන් හා විශේෂඥයන් විසින් ‘හරසුන් මාධ්‍ය‘ ලෙස හඳුන්වනු ලබන මෙම සාමාජ මාධ්‍යවලින් ලැබෙන නියත අහිතකර ප්‍රතිවිපාක මේ වන විටත් අපට දැකගත හැකිව තිබේ. ඒ අතර ප්‍රමුඛ වන්නේ වත්මන් උද්ඝෝෂණ රැල්ලෙන් වඩාත්ම ප්‍රතිලාබ ලබන පිරිස බවට ඇතැම් යූ ටියුබ් නාළිකා සහ ෆේස්බුක් පිටු පත්වීමය. මෙම ව්‍යාපාරයට නායකත්වය දෙන කණ්ඩායම් අතර ප්‍රමුඛයකු වන කියන උපුල් ශාන්ත සන්නස්ගල පසුගිය දා යූ ටියුබ් සහ මුහුණ පොත හරහා සිදුවන දැවැන්ත ජාවාරමක්, සොරා කෑමක් ගැන හෙළි කරමින් කියා සිටියේ ජනපතිවරයා පලවා හැරීමට වීදි බැස සිටින තරුණ කණ්ඩාවම්වලට මුවා වී ඇතැම් යූ ටියුබ් නාළිකා සහ මුහුණුපොතේ පිටු හිමියන් දැවැන්ත ලෙස විදේශ ආධාර ජාවාරමක යෙදී සිටින බවය. (සන්නස්ගල විසින් මේ වන විට මෙම සටහන ඉවත්කර ගෙන ඇත)

කොළඹ එකේ දන්සල් මංකොල්ලය

ඇතැම් යූටියුබ්කරුවන් දන්සැල් මුවාවෙන් දන්සැල් මංකොල්ල කන බවටද සන්නස්ගල මහතා විසින් චෝදනා කළ අතර යූ ටියුබ්කරුවන් තවත් දෙතුන් දෙනෙකුම් මෙන්ම විරෝධතාවට සහාය දෙන ෆේස්බුක් පිටු කිහිපයක් විසින්ද මෙම අනතුරු අගැවීම කර ඇත්තේ මුදල් ආධාර ලබා දෙන්නේ නම් විශ්වාසවන්ත අයෙකුට පමණක් ලබා දෙන ලෙසයි. මේ අතර විරෝධතා ස්ථානයට ආධාර ලෙස ලැබුණු ජලබෝතල් විකිණීමක් සිදුව ඇති බවත් ඒ ගැනද ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවත් දැනගන්නට ඇත.

මේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ අනුහසින් හා අදෘශ්‍ය ආධාර මතින් ඕපපාතිකව නිර්මාණය වූ ජනපතිවරයා සහ ආණ්ඩුව පළවා හැරීමට තැත් කරන මිලියනයේ විරෝධතා ව්‍යාපාරයට අද අත්ව ඇති දෛවෝපගත ඉරණමයි. ඒ අතර පසුගිය 09 වැනිදා පැවැති මේ ඊනියා මිලියනයේ විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූයේ 10,000කට ආසන්න තරුණ තරුණියන් පිරිසක් බව ඉන්දියවේ ප්‍රකට රූපවාහිනී නාළිකාවක් වන NDTV නාළිකාවේ කොළඹ වාර්තාකාරිනිය සඳහන් කළ බව එම රූපවාහිනි නාළිකාව පසුගිය 10 වැනිදා හෙළි කළේය.

මේ අතර අදාළ ස්ථානයේ මාධ්‍ය වාර්තා දකින විට ද අපට පැහැදිලිව දැකගත හැකි වන්නේ වත්මන් ආර්ථික අර්බුදයෙන් බැටකන හෝ පීඩාවට පත්ව සිටින ගොවීන්, ස්වයං රැකියා කරන්නන් හෝ කම්කරුවන් වෙනුවට මෙම අර්බුදය ආශිර්වාදයක් කරගත් නාගරික මධ්‍යම පන්තිය සහ දැවැන්ත සමාගම්වලට විධායකයන් සහ එම ආයතනවලට සේවා සපයන කණ්ඩායම් අද මිලියනයේ (දහ දහසේ) විරෝධතා ව්‍යාපාරයේ බලය අල්ලා ගෙන යන තවත් කානිවල් එකක් බවට පත්කර ගෙන සැබෑ ජන පීඩනයක් වූයේ නම් එය පික්පොකට් ගසා ඇති බවය.

අගමැතිවරයා ජාතිය ඇමතීම

සංකීර්ණ හේතු රැසක් පදනම් කර ගනිමින් නිර්මාණය වූ ආර්ථික දුෂ්කරතා හමුවේ නිර්මාණය වූ ක්ෂණික ජනතා කලකිරීම / කෝපය සැලසුම් සහගතව නිර්මාණය කළ දේශපාලන අර්බුදයක් බවට ක්‍රමයෙන් ගමන් කරද්දී පසුගිය 11 වැනිදා අගමැතිවරයා ජාතිය අමතා කළ කතාව තුළින් අරගලයේ නිමාව සටහන් කරන කොළ එළි දක්වා ඇති බවක් දැකගත හැකිය.

ගැටුම් හා අර්බුද කළමනාකරණයේ මනාව හැකියාවක් හා නිපුණතාවක් ඇති අගමැතිවරයා ජාතිය අමතා කළ කතාවේදී යුද්ධය ජය ගන්න අභියෝගවලට මුහුණ දුන් ධෛර්යය සහ පන්නරය අදත් ඇති බවත් අද මුහුණදී ඇති අර්බුදය ජය ගැනීමට දැවැන්ත වැඩපිළිවෙළක් ඇති බවත් සඳහන් කළේය. කාබනික පොහොර වැඩපිළිවෙළ යහපත් වුව ද එය ඉදිරියට ගෙන යෑමට මෙය අවස්ථාව නොවන බවත්, පොහොර සහනාධාරය යළි ලබා දීමට තීන්දු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය. මේ රටේ ප්‍රාජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය කඩා බිඳ නොදැමෙන ආකාරයේ තීන්දුවක් ගැනීම ජනතා පරමාධිපත්‍යය ලබාගත් ආණ්ඩුවේ වගකීම යැයි කී අගමැතිවරයා ආණ්ඩුව කටයුතු කරන්නේ එම අරමුණ ඇතිව පමණක් බවත්, අහිමිවීම වගේම අත්හැරීම ද දේශපාලනයේ දී තමාට හොඳට හුරුපුරුදු බවත් අගමැතිවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ 225ම එපා කියන සටන් පාඨය දැන් අහෙන බව කී අගමැතිවරයා එයින් අදහස් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම නම් එහි භායානකකම ඉතිහාසය දෙස බලා තේරුම්ගත යුතු බවද කීවේය.

ඔහු එම කතාවේදී විරෝධතාවල නිරත තරුණ තරුණියන්ගෙන් විශේෂ අවධානයක් යොමු කරමින් අගමැතිවරයා කළ අවසන් සඳහන ද අතිෂය වැදගත්ය. ‘විරෝධතාවලදී ඔබගේ අතේ ජාතික කොඩිය ලෙල දෙනවා මම දකිනවා. ජාතික කොඩිය අපි උපන්න මේ බිමේ ඕනෑම තැනක ඔසවන්න පුළුවන් රටක් හදා දුන්නේ අපි. එදා ඒ අභියෝග වලට මුහුණ දුන්න ධෛර්ය වගේම පන්නරය තවමත් අපට තියෙනවා‘

අර්බුදය කළමනාකරණය කර ගැනීම

මේ අතර ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාන්ත බණ්ඩාර සහ ප්‍රියංකර ජයරත්න යන තරණ අමාත්‍යවරු යළි රාජ්‍ය අමාත්‍යධුර ලබා ගැනීම සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම තුළ අලුත් අර්බුදයක් නිර්මාණය වී ඇති අතර එය තව දුරටත් සංකීර්ණ වන බවක් නිරීක්ෂණ කළ හැකිය. ඒ අනුව අද හෙටම ශ්‍රී ලනිපයේ තවත් පළුවක් ආණ්ඩුවට එක්වනු ඇති අතර ඒ සමඟ මෙම අර්බුදයේ තීරණාත්මක කඩඉමක් සනිටුහන් වනු ඇති බව පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය.

චානක්‍යගේ සතියේ දේශපාලන විග්‍රහය - දමිත් කෝට්ටේගොඩ ලියයි

Comments