මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන්ගේ වතගොත | සිළුමිණ

මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන්ගේ වතගොත

ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත බඳු මහ බැංකුවේ කළමනාකරණයට, මෙහෙයුම්වලට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීමේ දී වගකිව යුතු මුදල් මණ්ඩලයට නව සාමාජිකයන් පත් කර තිබේ. ඒ අනුව, මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ සාමාජිකයන් හතර දෙනකුගෙන් සමන්විත නව මුදල් මණ්ඩලය වැඩ අරඹා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සංස්ථාපිත ආයතනයක් නොවන නිසා එයට ම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් මහ බැංකුවට ඇත. මුදල් නීති පනතට අනුව සියලුම බලතල සහ කාර්යයන් හිමි මුදල් මණ්ඩලයට සංස්ථාපිත වගකීම පැවරී ඇත.

එහෙයින් මහ බැංකු මුදල් මණ්ඩලය, අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් (නිල බලයෙන්) සහ විධායක නොවන සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත විය යුතු වූවත් මේ අවස්ථාව වන විට එහි එක් සාමාජිකත්වයක් ඇබෑර්තු වී ඇත. සියලු නෛතික විධිවිධාන යන්ට යටත්ව සහ අනුකූලව කටයුතු කරාවි යැයි ජනතාව බලාපොරොත්තු වන මුදල් මණ්ඩලයේ වත්මන් සාමාජිකයන් ගේ අත්දැකීම් සහ සුදුසුකම් පිළිබඳ කළ කෙටි විමසුමකි මේ.

 

•මුදල් මණ්ඩලයේ අධිපති - ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ

ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වැනි අධිපතිවරයා ලෙස සිය ධූරයේ රාජකාරි අරඹා තිබේ. ආචාර්ය වීරසිංහ මුදල් සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ අත්දැක‍ීමක් සතු මහ බැංකු වෘත්තිකයෙකි. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී, 2011 සැප්තැම්බර් 27 වැනි දින නියෝජ්‍ය අධිපති පදවියට පත් වූ අතර අනතුරු ව 2012 සැප්තැම්බර් 01 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස සිය ධුරයේ කටයුතු ඇරැඹීය.

ඕස්ට්‍රේලියානු නැෂනල් යුනිවර්සිටියෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය හිමි කර ගත් ආචාර්ය වීරසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

නියෝජ්‍ය අධිපතිවරයා ලෙස ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ හා විදේශ සංචිත කළමනාකරණ කමිටුවේ සහාපතිත්වය දැරූ අතර, ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන, ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු, දේශීය කටයුතු, සාර්ව විචක්ෂණ අධ්‍යයන, විනිමය පාලන, ව්‍යවහාර මුදල් හා සන්නිවේදන යන දෙපාර්තමේන්තු බාර නියෝජ්‍ය අධිපති ලෙස කටයුතු කර ඇත.

ආචාර්ය වීරසිංහ 2010 ජනවාරි මස සිට 2012 අගෝස්තු මස දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා භූතානය භාර විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට මහ බැංකු සේවයෙන් මුදා හැරීමට ප්‍රථමයෙන්, 2009 අගෝස්තු මාසයේ සිට 2012 සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු ලෙසත් 2007 ජනවාරි සිට 2009 අගෝස්තු දක්වා ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කළේ ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සඳහා බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ ආචාර්ය වීරසිංහ, මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර පර්යේෂණ අර්ථශාස්ත්‍රඥයකු ලෙසත්, ඕස්ට්‍රේලියානු නැෂනල් යුනිවර්සිටිහි බාහිර පර්යේෂණ අධිසාමාජිකයකු ලෙසත් සේවය කළේ ය. තවද ඔහු ඕස්ට්‍රේලියානු නැෂනල් යුනිවර්සිටියේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ක්‍රොව්ෆර්ඩ් ප‍ාසලේ ව්‍යවහාරික සාර්ව ආර්ථික විශ්ලේෂණ මධ්‍යස්ථානයේ උපදේශක මණ්ඩලයේ සාමාජික‍යෙකි.

•භාණ්ඩාගාර ලේකම් - මහින්ද සිරිවර්ධන

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ. එම්. එම්. සිරිවර්ධන භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස මුදල් අමාත්‍යාංශයට මුදා හැර තිබේ. සිරිවර්ධන වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස පත්වීමට පෙර ඔහු ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව භාර සහකාර අධිපති ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ද සේවය කර ඇත.

ඔහු 2017 වසරේ ජූලි මාසයේ සිට 2019 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකු සේවයෙන් මුදා හරින ලදී.

ඔහු 2010 ඔක්තෝබර් මස සිට 2015 අප්‍රේල් මාසය දක්වා මුදල් අමාත්‍යාංශය වෙත මුදා හරින ලද අතර, එහි රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කර ඇත.

සිරිවර්ධන ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු/භාණ්ඩාගාර නියෝජිතයකු ලෙස ද සේවය කර ඇත.

සිරිවර්ධන ඇමෙරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් (Vanderbilt University) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති අතර, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක්ද ලබා ඇත. ඔහු සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය වැඩසටහන්කරණය සහ ප්‍රතිපත්ති යනාදී ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර පුහුණුකරණ වැඩසටහන් ගණනාවකට සහභාගී වී තිබේ.

•පත් වූ සාමාජික - ආචාර්ය රාණි ජයමහ

මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකාවක ලෙස පත් වන විටත්, ආචාර්ය රාණි ජයමහ මුදල් මණ්ඩලයේ විගණන උපදේශන කමිටුවේ සභාපතිනිය සහ සීමාසහිත ඕවර්සීස් රියැලිටි (සිලෝන්) සමාගමේ ද උපායමාර්ගික අධ්‍යයන පිළිබඳ ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ද මාර්ග ආයතනයේ පාලක සභාවේ ද අධ්‍යක්‍ෂවරියයි.

ඇය මහ බැංකු කටයුතු, බැංකු රෙගුලාසි සහ අධීක්ෂණය, ඉලෙක්ට්‍රොනික ගෙවීම් පද්ධති, මූල්‍ය අන්තර්ග්‍රහණය මෙන්ම, මුදල් සහ සාර්ව ආර්ථික විද්‍යාව පිළිබඳව ද වසර 45කට අධික අත්දැකීම් රැසකට හිමිකම් කියයි. මහ බැංකු කටයුතු පිළිබඳ අත්දැකීම් සපිරි වෘත්තීයවේදිනියක් වන ඇය, ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 38ක සේවාවකින් පසු ව නියෝජ්‍ය අධිපතිවරියක ලෙස 2009 වසරේ දී විශ්‍රාම ලබද්දී, මූල්‍ය පද්ධති ස්ථායිතාව භාර නියෝජ්‍ය අධිපතිනිය ලෙස සේවය කරමින් සිටියා ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් පද්ධති සහ ගිණුම් වාර්තාකරණ පද්ධති නවීකරණය කිරීමේ දී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ ආචාර්ය ජයමහ සිය මහ බැංකු සේවා කාලය තුළ දී ම ද්වීතීයනය කිරීමේ පදනම මත එවකට පැවති මූල්‍ය සහ බැංකු කටයුතු පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරිය ලෙසත්, මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරියක ලෙසත්, එක්සත් රාජධානියේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ විශේෂ උපදේශකවරියක ලෙසත් වරින්වර සේවය කළා ය.

එම කටයුතුවලට අමතරව, 2009 සිට 2015 දක්වා බැංකු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරියක ලෙසත්, 2011 සිට 2015 දක්වා හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙසත් කටයුතු කළ ඇය, මූල්‍ය සහ බැංකු කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ වගකීම් රාශියක් ද දරා ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කණ්ඩායමේ ප්‍රධාන උපදේශක, බංග්ලාදේශ, බෘනායි, භූතාන, ඉරාන සහ මාලදිවයින් යන රටවල මහ බැංකුවල ගෙවීම් පද්ධති පිළිබඳ උපදේශක, ලෝක බැංකුවේ ගෝලීය ගෙවීම් කණ්ඩායමේ සාමාජික, G-8 කණ්ඩායමේ ප්‍රේෂණ කටයුතු පිළිබඳ උපදේශක සහ ජාත්‍යන්තර පියවීම් බැංකුවේ ගෙවීම් පද්ධති මාර්ගෝපදේශ කමිටුවේ සාමාජික යන තනතුරු ද ඒවා අතර වෙයි.

ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපයෙන් මුදල් සහ බැංකු කටයුතු පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සමත් වූ ආචාර්ය ජයමහ එක්සත් රාජධානියේ ස්ටර්ලිං විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය ලබාගත්තා ය. ඉන් පසු එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් මුදල් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සමත් වූවා ය. 1949 මැයි 27 වැනි දා උපන් ඇය කොළඹ දේවි බාලිකාවේ ආදි සිසුවියකි.

•නිල සාමාජික - ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන

සංජීව ජයවර්ධන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් වූ ප්‍රථම ජනාධිපති නීතිඥවරයා ද වේ. ඔහු වර්තමානයේ දී විදේශ ණය අධීක්ෂණ කමිටුවෙහි මුදල් මණ්ඩල මට්ටමේ සභාපතිවරයා ලෙසත්, අවදානම් අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර ධර්ම කමිටුවෙහි සභාපතීත්වය ද දරයි.

අභියාචනා නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය මෙන්ම පොදු නීතිය පිළිබඳව ද විශේෂඥ දැනුමකින් හෙබි ඔහු සිවිල්, ගිවිසුම්, වාණිජ, දේපළ, බදු, බැංකු ආදී නීති ක්ෂේත්‍ර ගණනාවක ම මනා පරිචයකින් යුතු නීති වෘත්තිකයෙකි. 2015 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ කොමසාරිස් ලෙස සංජීව ජයවර්ධන පත් කෙරුණු අතර, අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් ද එම තනතුර සඳහා වසර 5ක ධුර කාලයක් සඳහා ඔහු නැවත පත් කරන ලදී. ශ්‍රී ලංකාව උදෙසා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවේ සාමාජිකයකු වන ඔහු, ශ්‍රී ලංකාවෙහි දත්ත ආරක්ෂණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව වන ජනාධිපති විශේෂඥ කමිටුවේ ද සභාපතීත්වය දරයි.

ජනාධිපති නීතිඥ ජයවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයෙකි. එමෙන්ම,අග විනිසුරුතුමන් විසින් සභාපතීත්වය දරනු ලබන, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පාලක මණ්ඩලය වන සංස්ථාපිත නීති අධ්‍යාපන සභාවේ මෙන්ම, නීති විද්‍යාලයේ ශාස්ත්‍රීය මණ්ඩලය වන, නීති විද්‍යාලයීය අධ්‍යයන මණ්ඩලයෙහි සාමාජිකයකු ලෙස ද සේවය කරයි.

ජනාධිපති නීතීඥවරු පත් කිරීමේ දී ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටුවේ සාමාජිකයකු ලෙස ද, ජනාධිපතිවරයා විසින් සංජීව ජයවර්ධන පත් කළේය. ජනාධිපති නීතිඥ ජයවර්ධන 2004 වසරේ දී “ශ්‍රී ලංකාවේ විශිෂ්ටම තරුණයන් දස දෙනා වෙනුවෙන් පිරිනැමෙන සම්මානයෙන්” (TOYP) ද පිදුම් ලැබී ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී (ගෞරව) උපාධිධරයකු වන ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන එම විශ්වවිද්‍යාලයෙන් ම දර්ශනපති උපාධිය ද ලැබී ය.

ජනාධිපති නීතිඥ ජයවර්ධන, රාජකීය විද්‍යාල සංගමයේ භාරකාර මණ්ඩලයෙහි සාමාජිකයකු ලෙස කටයුතු කරන අතර, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතිය සහ නීති සංවර්ධන කමිටුවෙහි උප සභාපතීත්වය මෙන්ම, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ශ්‍රේෂ්ඨාධිකරණ කමිටුවෙහි සාමාජිකත්වයද දරයි.

 

Comments