වත්මන් අර්බුද ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5 ක් | සිළුමිණ

වත්මන් අර්බුද ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5 ක්

1.IMF යාමෙන් පවතින අර්බුදයට සාධනීය පිළිතුරක් ලැබෙයිද?

2.මේ උද්ඝෝෂණ මඟින් ජනතා අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට හැකි වෙයිද?

3.යෝජිත අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් ඔබේ පක්ෂයේ ස්ථාවරය?

4.ඖෂධ හිඟය වැළැක්වීමටගත යුතු පියවර කුමක්ද?

5.රටේ පවතින දේශපාලනික අස්ථාවරත්වය සංචාරක කර්මාන්තයට කෙසේ බලපායිද?

 

 

පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී - සංජීව එදිරිමාන්න

පවතින අර්බුදයට මුහුණ දෙන්න ආණ්ඩුව සූදානම්

1.අපි ඉන්න මේ වර්තමාන විදෙස් සංචිත අර්බුදය ප්‍රමුඛ කරගත් රටේ මුල්‍ය අර්බුදයකයි. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මූලික විසඳුම් වර්ග තුනකට අවතීර්ණ වී තියෙනවා. කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිර්ඝකාලීන ලෙස වෙයි. කෙටි විකල්පය බවට පත් වූයේ ඉන්දීය රජය සමඟ ඇති කරගත් එකඟතාවන්ය. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5 අධික ක්‍රෙඩිට් ලයින් පහසුකමක් ඔස්සේ ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ඖෂධ සහ ඉන්ධන සඳහා ඇති කර ගත් එකඟතාවයි. ඊට අමතරව කෙටිකාලීන විසඳුමක් ලෙස අපේ රටින් විදෙස් රැකියා සඳහා පිටත් කර හරින පිරිස් වැඩි කිරීම හරහා ලබන ආදායම සහ ඊට අමතරව සංචාරක කර්මාන්තයට අවශ්‍ය සුරක්ෂිත වටපිටාවක් සකස් කර සංචාරක කර්මාන්තයෙන් අදායම් ලැබීම මෙහි මූලික පියවරයි. මධ්‍යකාලීන විසඳුම් ලෙස අපි රජයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර මුල්‍ය ආයතනයන් හි සේවාවන් ලබා ගැනීමට මැදිහත් වුණා. ඒ සඳහා අඛණ්ඩ ක්‍රියා පිළිවෙළත් මුල සිට ක්‍රියාත්මක වුණා. කෙනකුට චෝදනා කරන්න පුළුවන් ඒ සඳහා නිශ්චිත අවතීර්ණ වීමක් ආණ්ඩුවේ තිබුණේ නැහැ කියලා. එයයි අපේ මධ්‍යකාලීන විසඳුම. අපේ දිර්ඝකාලීන විසඳුම් ලෙස අපනයනය වර්ධනයක් සහ ආයෝජන ක්ෂේත්‍රයේ සියලු අසාධාරණ සීමාවන් බිඳ නූතන ආයෝජන චින්තනයකට රට යා යුතුයි. දිර්ඝකාලීනව එයින් විශාල ප්‍රගතියක් අත්පත් කර ගත හැකියි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලැබෙන සහනය රටටත් සමස්ත ජන සමාජයටත් දැනෙන සහනයක් බව අපි විශ්වාස කරනවා.

 

2.උද්ඝෝෂණයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ බරපතළ සමාජ පීඩාවක් නිර්මාණය වී තිබෙනවා. ඒ දෛනික භාණ්ඩ හා සේවා ලබා ගැනීමේදී ඇතිවී තිබෙන දුෂ්කරතාවන් නිසයි. ඒ අනුව භාණ්ඩ සහ සේවා හිඟය අධික මිල පිළිබඳ ගැටලුවක් මතුවී තිබෙනවා. ඒ මත ස්වභාවික පීඩා ඇතිවිය හැකියි. ඒ අනුව එය ආණ්ඩු විරෝධයක් ජනතාව තුළින් මතුවෙලා තියනවා. අපි එය දේශපාලනික ව සහ සමාජයක් ලෙසත් නිරවුල්ව අවබෝධ කරගෙන තියනවා. ඒ අතරම මේ තුළ කවරදාකවත් මහජන ඡන්දයෙන් රටේ බලයට පත් වීමට නොහැකි පිරිසක්; කොවිඩ් ව්‍යසනය ඇතුළු අතීත හා වර්තමාන හේතු සාධක මත ගොඩනැගුණ මේ අර්බුදයෙන් තමන්ගේ දේශපාලන බල කණ්ඩායම රාජ්‍යයේ බලය අත්පත් කරගැනීම දක්වා වන ගමනකට අවතීර්ණ වෙලා ඉන්නවා. ඒ අතරින් ඇතැම් අයගේ ප්‍රචණ්ඩකාරී හැසිරිම් අපි දැක්කා. අපි පළමුවැනි පාර්ශ්වයන් සම්බන්ධයෙන් සංවේදිව බලනවා. දේශපාලනික බල අරගලයන්වල නිරත අය සම්බන්ධනේ අපිට වෛරයක් නැහැ. නමුත් අපිට යෝජනාවක් තියෙනවා. මෙය ඔබේ දේශපාලන ව්‍යාපෘතිය සඳහා අවස්ථාව නොවන බව තේරුම් ගත යුතුයි. විශේෂයෙන් විවිධ පාලන යුගවලට සාපේක්ෂව බැලුවත් නිරපේක්ෂව බැලුවත් තමන්ගේ ආණ්ඩුවට එරෙහි මහජන විරෝධයක් සම්බන්ධ ගෝඨාභය රාජ්‍ය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

 

3.අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම පොදු ජන පෙරමුණේ යෝජනාවක් නොවෙයි. මම නියෝජනය කරන්නේ ආණ්ඩුවේ ඇතුළේ ප්‍රධාන දේශපාලන ධාරාවයි. අපි පක්ෂවල බලාපොරොත්තුවට කිසිදු බාධාවක් කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ 113 බලය පෙන්නලා ඕනෑම කෙනකුට ආණ්ඩුවේ බලය අත්පත් කරගන්න කියලා විවෘතව කිව්වා. කැබිනට් මණ්ඩලයෙන් අයින් වෙලා පාර්ලිමේන්තුව ඇතුළේ සංවාදයක් නිර්මාණය කරලා; ඕනෑම කෙනකුට ආණ්ඩුව බාරගන්න කියලා විවෘත ආරාධනාවක් කරන්න තරම් නිහතමානි වුණා. කවදාවත් මින් පෙර එසේ වෙලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එවැනි දෙයක් කිරීමට තරම් නිහතමානී වුණා. සියල්ල මැද්දේ අපි අවධාරණයෙන් කියනවා ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රිවාදීවත් නිහතමානිව අවංකව සහ විවෘතව මේ අවස්ථාව සියලු දේශපාලන කණ්ඩායම් වෙත බාර කළා. පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගෙන් ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ප්‍රකාරව තමන්ගේ බලය පෙන්නුවොත් පමණයි පාර්ලිමේන්තුව ඇතුළේ බලය අත්පත් කරගත හැකිවන්නේ.

 

4.ඖෂධ හිඟයට විශේෂ අවධානයක් යොමුවෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය අංශයත් සැපයුම් අංශයත් සඳහන් කරනවා; එහි තවම බරපතළ තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ කියලා. යම්යම් හිඟතාවයන් ඇතිවෙලා තියෙනවා. නමුත් ඉන්දියානු ණය පහසුකම යටතේත් ඒ වගේම අනෙකුත් සියලු ප්‍රමුඛතාවයන් අතර ඖෂධ සැපයුමට ප්‍රමුඛ කාරණාවක් වී තිබෙනවා. ඖෂධ හිඟයේ යම් යම් තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මූලික පැහැදිලි කිරිම් මීට අදාළව මේ වනවිට ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා.

 

5.සංචාරක කර්මන්තයට කරන්න තියෙන ලොකුම බලපෑම කරලා ඉවරයි.කවුරුහරි හිතනවා නම් මේ අරගලය තුළින් යම් ජයග්‍රහණයක්‌ ලැබුවයි කියලා; මම ඒ කියන අයට පෑනක් කොළයක් දෙනවා; ඔබේ ජයග්‍රහණ ලැයිස්තුගත කරලා පෙළ ගස්වන්න. නමුත් අපිට එහෙම පේන ජයග්‍රහණයක්‌ නැහැ. නමුත් මේ අරගලයේ පොදු සමාජ පරාජයන් පිළිබද ලැයිස්තුවක් අපි දකිනවා. ඒ ලයිස්තුවේ උඩම තියෙනවා මේ රටේ සංචාරක කර්මාන්තයට සිද්ධ වෙච්ච හානිය. අපි බොහොම අමාරුවෙන් මේ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීම සඳහා වන වටපිටාව හදාගත්තේ. කොවිඩ් ව්‍යසනය නිසා බිදවැටුණු හා මුළුමනින්ම නතරවූ සංචාරක කර්මාන්තය එන්නත්කරණයේ සාර්ථකත්වයේ සහ කොවිඩ් මර්දන ව්‍යාපෘතියේ සාර්ථකත්වය මතින් තමයි අපි සංචාරක කර්මාන්තය නැවත පටන් ගන්න තැනට ආවේ. ඒ තියෙන සියලුම ඇණවුම් අවලංගු වීමක් මේවිට සිදුවෙලා තියනවා. ඒතැනටම මේ තත්ත්වය දුරදිග ගිහින් තියෙනවා. විරෝධතාකරුවන්ට ආණ්ඩු විරෝධයක් තිබුණට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන්ගේ උපන් රටේ අනාගතයට සහ ඒ වර්තමානය සම්බන්ධයෙන් තමුන්ගේ දේශපාලනික වෛරය තමයි සංචාරක කර්මාන්තය බිඳවැටීම විදිහටත් දකින්නේ. ආණ්ඩුව ඔබේ වෛරයට මුහුණ දෙන්න ලෑස්තියි. හැබැයි එයට එලෙස මුහුණ දෙමින් අපි විරෝධතා කරුවන්ගෙන් ඉල්ලනවා තමන්ගේ අරගලයේ අතුරු ප්‍රතිඵල පිළිබඳව සාධාරණ විනිශ්චයකට එන්න කියලා. එය දේශපාලන විනිශ්චයක්‌ විය යුතු නැහැ. අපි කියනවා තමන්ගේ හෘදය සාක්ෂියේ එක්ක සංවාදයකට යන්න කියලා.

 

 

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී - පාඨලී චම්පික රණවක

දැන් සිදුවන්නේ ජනතා පරමාධිපත්‍ය බලය සෘජුව ක්‍රියාත්මක වීමක්

1.පවතින ආර්ථික අර්බුදයට IMF යන්න දැන් පරක්කු වැඩියි. IMF අපි යන්නේ නෑ. අපිට තනියෙන් පුළුවන් කියලා මේ ආණ්ඩුව කයිවාරුව ගැහුවානේ කලින්.

දැන් IMFයන්න පමා වැඩියි. මොකද IMF එකට යන්න මාස අටක් දහයක් යනවා. ඊළඟට රටක් බංකොලොත් වෙන්න තියෙනව නම් IMF එක ඒගොල්ලන්ගේ වැඩපිළිවෙළකට ඒ රට අත්පත් කරගන්නේ නෑ. ඒ නිසා IMF නොගිහින්ම යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රජය ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයට තමයි දැන් පත්වෙලා තියෙන්නේ.

IMF ගිහින් දැන් ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒ කාලේ පැන්නා. උදාහරණයකට පිළිකාවක මූලික ලක්ෂණ ආවට පස්සේ දොස්තර හම්බවෙන්නේ නැතුව පිළිකාව වර්ධනය වෙලා ගියාට පස්සේ ගිහින් දොස්තරට බෙහෙත් කරන්න කිව්වට එය කරන්න බැහැනේ.

 

2.ඉතිහාසයේ පළවෙනි වතාවට ජනතාව තමන්ගේ අතට බලය අරන් තියෙනවා. බලය අරන් තියෙන්නේ ආණ්ඩුවේ හොඳකම නිසා නෙවෙයි. ආණ්ඩුව මේවා මර්දනය කරන්න හැදුවා.

නමුත් අධිකරණ සේවයේ ඒ සියලු තැන්වලින් මේ අරගලයට සහය දීලා තියනවා. සියල්ලට මෙය බලපාන අරගලයක්. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මෙවැනි ජනතාවගේ අරගලයක් ඇතිවුණේ. ජනතාව අතට ව්‍යවස්ථාව ගැනීමක් සිදුවෙලා තියනවා.

ජනතාවගේ පරමාධිපත්‍ය බලය සෘජුව ක්‍රියාත්මක වීමක් සිදුවෙලා තියෙනවා. දැන් 225 ම එපා කියන තේමාව තුළ තියෙන්නේ එයයි. ජනතාව අතට කෙළින්ම බලය ගැනීමක් වෙලා තියෙනවා.

ඒක නිසා දැන් ඉස්සරහට කටයුතු කිරීමේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා හා පාර්ලිමේන්තුව මේ සියලුදෙනාම මතක තබා ගත යුතුයි; එළියේ ජනතාවක් ඉන්නවා මේක ප්‍රතික්ෂේප කරන කියන කාරණාව.

ඒ නිසා ඒ ජනතාවගේ අපේක්ෂාවන් වලට අනුකූල වෙන විදිහට කටයුතු කිරීමත්, එළියේ විරෝධතා දක්වන ජනතාවගේ වුවමනාවන් නිරූපණය වෙන ආකාරයට ඔවුන් පාලන ව්‍යූහයට ඇතුළු කර ගැනීමත් දැන් අවශ්‍යයි. විප්ලවීය තත්ත්වයක් මේ ඇතිවෙලා තියෙන්නේ. ජනතාව අතට සෘජුව බලය යෑමක් තමයි මේ සිදුවෙලා තියෙන්නේ.

ආණ්ඩුවේ සැක කටයුතු ඒජන්තයන් මේක කඩාකප්පල් කළොත් මෙය බඩු භාණ්ඩ කොල්ලකෑම්, ලේ වැගිරීම් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා බලයේ ඉන්න දඟලන පැයක් පාසාම රටේ අස්ථාවරත්වය වර්ධනය වෙනවා. රටේ ආර්ථික හා දේශපාලන අර්බුද ඇතිවෙනවා.

ප්‍රභාකරන් එදා දෙමළ මිනිස්සු ලක්ෂ තුනක් ප්‍රාණ ඇපයට අරගෙන තමන්ගේ ගැලවීම හොයාගත්ත වගේ තමයි මේ අය බලයේ සිටීම සඳහා පවුල් ලක්ෂ පනස් පහක මිනිස්සු ප්‍රාණ ඇපයට ගැනීම තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ.

 

3.මගේ ස්ථාවරය ඒකට අපි පක්‍ෂයි. හැබැයි විධිමත් අවම වැඩපිළිවෙළක් සකස් කරගත යුතුයි. විවිධ කණ්ඩායම් ඉන්නවනේ. සමගි ජනබලවේගය, දෙමළ පක්‍ෂ ඉන්නවා මුස්ලිම් පක්‍ෂ ඉන්නවා. ආණ්ඩුවෙන් කැඩීගිය පිරිස් කොටස් හතරක් ඉන්නවා.

ඒ සියලුම දෙනාට එකඟ වෙන්න පුළුවන් පොදු වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒ වගේම ඔය දැන් තියෙන අමාත්‍යධුර වෙනුවට පාර්ලිමේන්තුවේ අධීක්ෂණ සභා බලවත් කිරීමත් ඒ වගේම තීරක රාජ්‍ය ආයතන ලංකා බැංකුව, මහජන බැංකුව, මහා භාණ්ඩාගාරය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, විදුලි බල මණ්ඩලය වැනි තැන් වෘත්තීය මට්ටමේ පාලනයකට පළපුරුදු, අත්දැකීම් බහුල රටට අවංක දුෂිත නොවුණ, දේශපාලන ගැති නැති පිරිසකගේ පාලනයට යටත් කළ යුතුයි. මේ රට බංකොලොත් කළා ඇති මේ අය.

අපි අපේ වගකීම ඉෂ්ට කරන්න ඕන. අපි එයට ඕන වෙලාවක ලෑස්තියි. මේ රටේ අමාත්‍යාංශ කරලා පෙන්වපු අය.

 

4.රජය තමන්ගේ ප්‍රමුඛතා හඳුනා නොගැනීමේ වරද තමයි මේ තියෙන්නේ. රජය අධිවේගී මාර්ග හදන්න පාරවල් ලක්‍ෂයක් කාපට් කරන්න ගමේ වැඩ ලක්‍ෂයක් කරලා තමන්ගේ පාක්ෂිකයන් වැඩි කරගන්න හදනවා.

රටේ මිනිස්සුන්ගේ ඖෂධ ගැනවත් රටේ මිනිස්සුන්ගේ ඉන්ධන අවශ්‍යතා ගැනවත්, රටේ මිනිස්සුන්ගේ විදුලි බල අවශ්‍යතා ගැනවත්, ගෑස් අවශ්‍යතා ගැනවත් බැලුවේ නැහැ.

එහි ප්‍රතිඵල නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා වහාම ඖෂධ ප්‍රශ්නය විසඳිය යුතුයි. මෙය අත්‍යවශ්‍ය කාරණයක්‌. සෞඛ්‍ය සංවිධාන, ලෝක බැංකුව වැනි ආයතනත් තියෙනවා.ඊට අමතරව ඖෂධ නිපදවන මිත්‍ර රාජ්‍ය තියෙනවා. ඒ අයට කතාකරලා අපිට අවශ්‍ය ඖෂධ තොග ගෙන්න ගන්න ඕනි. නැත්නම් ජුනි මාසේ වෙනකොට ඉතාමත් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.

5සංචාරක කර්මාන්තය බිඳ වැටු‍ණේ මේ රටේ අස්ථාවරත්වය නිසා නෙවෙයි. ලයිට් නැතුව, ගෑස් නැතුව, කෑම නැතුව තියෙන කොට රෙදි ටික සෝදාගන්න බැරිව තියෙනකොට කොහොමද සංචාරක ව්‍යාපාරය කෙරෙන්නේ. ඩීසල් නැතුව, වාහන නැතුව කොහොමද සංචාරක ව්‍යාපාරය කරන්නේ. මේ තත්ත්වය ඒ නිසා ඇතිවුණු තත්ත්වයක්. දේශපාලන අස්ථාවරත්වය නිසා ඇති වූවක් නොවෙයි. ඊට කලින් මේක බිඳ වැටුණේ.

 

 

ලයිට් නැතුව, තෙල් නැතුව, කෑම නැතුව රටකට සංචාරකයන් එයිද? - ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය

 

ආර්ථික අස්ථාවරත්වයට වඩා දැන් දේශපාලන අර්බුදය තිබෙනවා

1.ඔව් හෝ නැහැ කියන කිසිදු පිළිතුරක් සුදුසු නැහැ. තුන්වෙනි පාර්ශ්වයකගේ අවශ්‍යතාවයක්. ප්‍රතිව්‍යුහගත කිරීම පැහැදිලියි. නමුත් IMF එකට ගියා කියලා සියලු ප්‍රශ්න විසඳෙනවා කියලා බලාපොරොත්තු හදන එකත් භයානකයි.

IMF එකට යන එකේ පරමාර්ථය සහ IMFකොන්දේසි සැලසුම් මොනවද කියලා දැන ගන්නෙ නැතුව IMF යනවා කියන එක නිකම්ම කළු සුදු සාකච්ඡාව වෙනවා. ඒක තේරුමක් නැති එකක්.

ඔය තියෙන තත්ත්වයත් එක්ක මොන කොන්දේසි එක්කද එකඟ වෙන්නේ කියන කාරණාව මතයි ඒ සඳහා එකඟ වෙන්න පුළුවන් වෙන්නේ. අපි මොනවටද එකඟ වෙන්නේ; ඒක හොඳද නරකද කියලා තීරණයට එන්න පුළුවන්.

අනිත් කරුණ නම් දේශපාලන අර්බුදයක් රටේ තියෙනවා. දේශපාලන අස්ථාවරභාවයක් රටක තියෙන කොට ඒ දේශපාලන අස්ථාවරභාවය නිසා හරියට රජයක් නැතිකොට ආණ්ඩුවක් නැති නිසා IMF එක කාත් එක්කද සාකච්ජා කරන්නේ කියලා ගැටලුවක් තියෙනවා.

 

2.මේ උද්ඝෝෂණවලින් ජනතාව අපේක්ෂිත අරමුණු අනිවාර්යෙන්ම ඉටු වෙනවා. මොකද ආණ්ඩුව තවම හිතාගෙන ඉන්නේ ඔවුන්ගේ පාර්ලිමේන්තු බලයෙන් මේක මැඬ පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා.

හැබැයි ඒගොල්ලන්ට අමතක වෙලා තියෙනවා; පරමාධිපත්‍ය බලය තියෙන්නේ ජනතාවට බව.

අද වෙනකොට පැහැදිලියි මේ ආණ්ඩුවට පරධිපත්‍ය බලය තවදුරටත් නියෝජනය කරන්න අයිතියක් නැහැ කියලා. ඒගොල්ලෝ ආණ්ඩුවක් කියන්නේ ජනතා පරමාධිපත්‍ය තුළින් පත්වෙන එකක්. ඒ බලය ඒ අයව ප්‍රතික්ෂේප කරනවිට ඒ අය ඉවත්වෙන්න අවශ්‍යයි. එයයි ප්‍රජාතන්ත්‍රවාදය.

දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවෙලා තියෙන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්නොවන නිසා. ජනාධිපතිවරයා අස්වුණොත් ඉන්පසු ස්ථාවරභාවය හොයාගන්න ක්‍රම සහ විධි තියෙනවා ඕනි තරම්. අවශ්‍ය නම් අලුත් නීති ගෙන්න පුළුවන්.

ව්‍යවස්ථාවට සංශෝධන ගේන්න පුළුවන්. පාර්ලිමේන්තුව වුණත් විසුරුවා හරින්න පුළුවන්. මෙහෙම රටක් පාලනය කරන්න ඒ අයට බැහැ.

 

3.යෝජිත අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඉතාමත්ම පැහැදිලියි. ජනාධිපති අස්වෙන්න ඕනි.

මේ ආණ්ඩුව අස්වෙන්න ඕනි. ඊට පස්සේ අවශ්‍ය වන අන්තර් පාලන ව්‍යුහයක් ගැනත් පුද්ගලයන් ගැනත් සහ රාජපක්ෂවරු ඉවත්විය යුතුයි යන කොන්දේසියට යටත්ව අපි ඊළඟට එන්න ඕනි එක ගැන සාකච්ඡා කරන්න ලෑස්තියි.

 

4.එය ඉතාමත් බරපතළ ගැටලුවක්. ඒකට වහාම මැදිහත් වෙන්න වෙනවා. ඒකට මම හිතන්නේ ප්‍රමුඛතාව දෙන්න ඕනි. ඒ ගැන වෛද්‍ය සංගම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් දැන් අනතුරු අඟවමින් ඉන්නේ.

මේවා විසඳන්න අමාත්‍යංශයක්‌ තියෙන්න ඕනි; ඇමති කෙනෙක් ඉන්න ඕනි; ක්‍රියාත්මක වෙන්න ඕනි. හැබැයි මේ වෙලාවේ අර්බුදයට මැදිහත් වෙන්න වෙනවා. ජාත්‍යන්තර සංවිධාන වගේ ඒවටත් සම්බන්ධ කරගන්න අවශ්‍යයි. විදේශ ඇමති කෙනෙක් ඉන්නවනේ. ඒ අය වහාම මැදිහත් වෙන්න ඕනි.

 

5.මෙතන තියෙන ප්‍රශ්නය මේකයි. ආණ්ඩුවට පක්‍ෂ අය කියන්නෙ සංචාරක ව්‍යාපාරයට බලපෑමක් එන බව.

රටේ ආර්ථික අර්බුදයත් එක්ක විරෝධතාවයන් නිසා ඒ අර්බුදය තවත් වැඩිවෙනවා කියලයි ඔවුන් කියන්නෙ. හැබැයි එහෙම නෙවෙයි. ඒක එහෙමයි කියලා මේ තියෙන දේශපාලන අර්බුදය යටගහන්න බැහැ.

දේශපාලන අරගලයක්, දේශපාලන අර්බුදයක් තියෙනවා. දේශපාලන අර්බුදය නිසා තමයි මේ ආර්ථික අර්බුදය විසඳන්න බැරි. අපි හිතමු සංචාරක ව්‍යාපාරයට හානියක් කියලා අපි මෙය අකුළා ගත්තා කියලා. නමුත් මොකක්ද ඊළඟට වෙන්නේ.

මේ ආණ්ඩුවේ බැරිකම නිසානේ අර්බුදය ඇතිවෙලා තියෙන්නේ.

ඒගොල්ලෝ ඉවත් වෙන්නේ නැතිව මේ අර්බුදය විසඳන්න බැහැ. ආණ්ඩුවට පක්‍ෂපාති අය තමයි ආර්ථික අස්ථාවරභාවය ඉදිරියට ගේන්න හදන්නේ.

ආර්ථික අස්ථාවරභාවයට උඩින් දැන් දේශපාලන අර්බුදය තිබෙනවා. එය තමයි ප්‍රමුඛ. එය හරහා තමයි ආර්ථික ප්‍රශ්නත් විසඳන්න පුළුවන් වෙන්නේ.

Comments