
මිල ඉහළ යෑම දැන් මෙරට ජනයාට ආගන්තුක නැත. බොහෝ දෙනා කියන්නේ රැයක් ගෙවී පසුදිනට හිරු නැඟෙන විට කුමන හෝ ද්‍රව්‍යයක මිල ඉහළ ගොස් නොතිබුණි නම් එය අරුමයක් බවය. එසේ මිල ඉහළ යන ද්‍රව්‍ය අතර ඉන්ධන නැතහොත් තෙල් මිලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ලංකා IOC සමාගම මේ වසරේ පෙබරවාරි මස 06 වැනිදා සහ පෙබරවාරි 25 වැනිදා ලෙස එක් මසක් තුළ දෙවරක්ම ඉන්ධන මිල ඉහළ දමනු ලැබීය.
ලංකා IOC සමාගම මාර්තු 10 වැනිදා ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දැමූ අතර, ඒ අනුව සියලු වර්ගවල ඩීසල් ලීටරයක් සියයට 54කින් එනම් රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් සියයට 12කින් එනම් රුපියල් 50කින් ඉහළ ගියේය. ඒ අනුව ඩීසල් ලීටරය රුපියල් 214ක් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 254ක් විය. මෑත ඉතිහාසයේ වැඩිම අගයකින් ඉන්ධන මිල ඉහළ දැමු පළමු අවස්ථාව එය ලෙස සැලකුණු අතර, නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC සමාගම සඳහන් කළේ, රුපියලේ අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම මත ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි. එම වැඩිකිරීම අනුව ලංකා ඛනිජතෙල් සංස්ථාව ද මාර්තු 11 වැනිදා නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඉන්ධන මිල වැඩි කළේය. මිල වැඩිවීමෙන් අසීරුතාවට පත් ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් ඉන්ධන හිඟයකට මුහුණ දීමට ද සිදුවිය. ඒ අනුව රට පුරා ඉන්ධන පෝලිම් නිර්මාණය වූ අතර, අප්‍රේල් 15 වැනිදා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට කටයුතු කළේ පෝලිම් තදබදය යම් තරමකට හෝ මගහරවා ගැනීමේ අපේක්ෂාවෙනි.
මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරමින් සිටි ජනතාවට අවුරුදු තිළිණයක් ලෙස යළිත් වරක් ඉන්ධන වැඩිකිරීමක් ලැබිණ. ලංකා IOC සමාගම අප්‍රේල් 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීම ඊට හේතුවයි. ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 338ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 367ක් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289ක් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 327ක් දක්වා ඉහළ ගියේය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊට පසු දින එනම් 18 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමූ අතර, ඒ අනුව සිපෙට්කෝ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 338ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 373ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289ක් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 329ක් දක්වා මිල ඉහළ ගියේය.
ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ ඊට ප්‍රමාණවත් බස් ගාස්තු වැඩිකිරීමකට වහාම අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් බස් රථ ධාවනයෙන් ඉවත් වී විරෝධතාවයේ යෙදීමට පෞද්ගලික බස් සංගම් කටයුතු කළේ මගී ජනතාව දැඩි අසීරුතාවට පත්කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 35කින් ඉහළ දැමීමට අවසර ලැබුණු අතර ඒ වනවිට රුපියල් 20ක් ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 27 ක් දක්වා ඉහළදැමිණි.එම ගාස්තු වැඩිකිරීමෙන් වැඩිවූ ඉන්ධන මිලට යම් සාධාරණයක් ඉටුවිණි දැයි අප ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ගෙන් විමසුවෙමු.
“ඉතිහාසය තුළ වැඩිම පරාසයකින් ඩීසල් මිල වැඩිවුණු මේ අවස්ථාවේදී ඊට සාපේක්ෂවයි බස් ගාස්තු ඉහළ නැංවුණේ. මෙය අනපේක්ෂිත වැඩිවීමක්. මූල්‍ය අර්බුදයක් තිබෙන වෙලාවක තමයි මෙය සිදුවුණේ. එසේ නොවුණා නම් මේ තරම් ගාස්තු ඉහළ යෑමක් වෙන්නෙ නැහැ. ඩීසල් මිල වැඩිවීම නිසා මේ වසරේ අවස්ථා දෙකකදි බස් ගාස්තු වැඩිවීමක් සිදුවීම ජනතාවට දරාගැනීමට අසීරු බව අපි දන්නවා. ඊට හේතුව භාණ්ඩ මිල වැඩිවුණාට ඔවුන්ගේ වැටුප් වැඩි වී නොමැති වීමයි. නමුත් බස් කර්මාන්තය පවත්වාගෙන යෑම සඳහා බස් ගාස්තුව වැඩි කිරීමට සිදුවුණා. ඩීසල් මිල වගේම මේ කර්මාන්තයට අදාළ අනිත් සියලුම දේවල්වල මිල වැඩිවෙලා. මාස දෙකක් ඇතුළත ටයර් මිල සියයට 40කින් සහ බැට්‍රි මිල සියයට 35කින් වැඩිවී තිබෙනවා. ඇන්ජින් ඔයිල් මිල සියයට සීයකින් වැඩිවෙලා. රුපියල් 6,000ට තිබුණු තහඩුවක් රුපියල් 30,000 දක්වා ඉහළ ගිහින්. අලුත්වැඩියා කිරීමේ ගාස්තු වැඩිවී තිබෙනවා. එවැනි බරපතළ ගැටලු නිසා බස් ගාස්තු වැඩි නොකර අපිට බස් කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැ. එසේ වුවත් අපි දන්නවා ගාස්තුව වැඩිවෙන්න වැඩිවෙන්න ජනතාව බස් සේවාවෙන් ඈත්වෙන බව. එය බස් කර්මාන්තයට විශාල අවදානමක්. ඒ අවදානමෙන් මිදීම සඳහා ඉන්ධන මිල අඩු වුණොත් නැවත බස් ගාස්තුව අඩු කිරීමට අපි සූදානම්”
මගී ජනතාව පත්ව සිටින අසීරුතාව පිළිබඳ හැඟීමෙන් ඔහු එසේ කීවේය. ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ සියයට 40ක බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ රජය අනුමත කළ සියයට 35ක බස් ගාස්තු වැඩිවීම බස් කර්මාන්තය පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් නොවන බවයි.
“ඒ නිසා ඉදිරි කාලයේදී බස් කර්මාන්තයේ කඩාවැටීම නතර කරන්න බැහැ. ඉන්ධන මිල වගේම වාහන අමතර කොටස් මිල, වාහන අලුත්වැඩියා කිරීම් ගාස්තු, සර්විස් කිරීමේ ගාස්තු මේවන විටත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා වගේම මේවා දිනෙන් දින අධික ලෙස තවත් ඉහළ යනවා. පෞද්ගලික බස් කර්මාන්තය ඇදවැටීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි. ඉදිරිකාලයේදී මේ පිළිබඳ යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට අපි සාකච්ඡා කරමින් සිටිනවා.”
වැඩිවූ ඉන්ධන මිල මගී ජනතාව එසේ අපහසුතාවට පත්කරද්දී එය මෙරට බේකරි කර්මාන්තයට ද බලපෑවේය. ඊට හේතු වූයේ ඉකුත් 19 වැනිදා සිට ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක මිලරුපියල් 40කින් ඉහළ දැමීමයි. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු 240 සිට රු 250 දක්වා ඉහළ ගිය අතර එයින් වැඩි පහරක් වැදුණේ පාන් ගෙඩිය සමීප ආහාරයක් බවට පත්කරගෙන සිටින සාමාන්‍ය ජනතාවටය. ඒ, ඉකුත් 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 බරැති පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කිරීමත් සමඟය.
“පාලන මිල ඉවත් කිරීමත් සමඟ රුපියල් 84ට 84.50ට තිබුණු පිටි කිලෝ එකක මිල රුපියල් දෙසීයත් ඉක්මවා ගියා. ලංකාවේ තිබෙන බේකරිවලින් සියයට 30ක් පමණ තනිකරම වැඩ කරන්නේ ඩීසල්වලින්. මහා පරිමාණ අවන් සියල්ල වැඩකරන්නේ ඩීසල්වලින්. ඒ වගේම බේකරි කර්මාන්තයට යොදාගන්න පිටි, සීනි, මාගරින්,බිත්තර ආදී අමුද්‍රව්‍ය සියල්ලේම මිල එකකට එකකින් වැඩිවෙලා. නව මිල වැඩිවීමත් එක්ක රුපියල් 110ට තිබුණු පාන් ගෙඩියක් රුපියල් 140ක් වෙනවා. 120ට අලෙවි වූ පාන් ගෙඩියක් රුපියල් 150ක් වෙනවා.”
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන එසේ පවසද්දී වැඩිවූ ඉන්ධන මිල හේතුවෙන් බත් පාර්සලයක සහ කොත්තුවක මිල ද රුපියල් 20කින් ඉහළ දැමීමට සිදුවූ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය. පාරිභෝගිකයන් මෙන්ම ආපන ශාලා ද ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් ඔහු සඳහන් කළේය.
පොදු ජනතාවගේ මහමඟ හිතවතා වන්නේ ත්‍රිරෝද රථයයි. ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තුව ද ඉහළ ගිය පසුබිමක් තුළ ත්‍රිරෝද රථ ගාස්තුව ද වැඩි නොවන්නේ යැයි සිතීම දුෂ්කරය. මේ පිළිබඳ අප සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර ගෙන් විමසුවෙමු.
“ මේ වෙලාවේ ගාස්තු වැඩිකරනවාද කියන කාරණයට කලින් අපි බැලිය යුත්තේ මිල තිබුණේ කොහොමද කියන කාරණාව ගැනයි. විධිමත් යාන්ත්‍රණයකට යටත් වී නැති ත්‍රිරෝද රථ කර්මාන්තය ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ පාරිභෝගිකයාත් ත්‍රිරෝද රථ රැකියාවේ යෙදෙන පිරිසත් ආරක්ෂා කරගෙන විද්‍යානුකූල ක්‍රමයකට මේ වැඩිවීම කරන්නේ කොහොමද කියන කාරණාව ගැටලුවක්. දළ වශයෙන් මේ රටේ කුලී ත්‍රිරෝද රථ ලක්ෂ අටක් අටහමාරක් පමණ තිබෙනවා.
මගීන් ගෙනියන ත්‍රිරෝද රථවලින් හතරෙන් එකක් පමණයි මීටර් ක්‍රමයට ගාස්තු අයකරන්නේ. ඒවායේ ගාස්තු අය කරන ක්‍රමයත් එකිනෙකට වෙනස්. එවැනි තත්ත්වයක් තුළ මාස 2ක් තුළ 4වරක් ඉන්ධන මිල ඉහළ ගියා වගේම ඉන්ධන ලබාගැනීමට පැය ගණන් ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ රැඳී සිටීමටත් සිදුවී තිබෙනවා. යම් භාණ්ඩයක මිල තීරණය කිරීමේදී ඒ සඳහා ගතවන කාලය ගණනය කළ යුතුයි. අපි එකිනෙකාගේ පැයක කාලයේ වටිනාකම විවිධාකාරයි. එහෙම නම් ඉන්ධන ලබාගැනීමට ත්‍රිරෝද රථ රියදුරෙක් දවසකට වැය කරන පැය ගණනේ වටිනාකම ගණනය කරන්නේ කොහොමද? එවැනි අවිනිශ්චිත භාවයක් තුළ කොහොමද අපි ගාස්තුවක් නියම කරන්නේ. ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයට විධිමත් භාවයක්, නියාමනයක් ඉල්ලමින් ගාස්තු මීටරයක් හඳුන්වා දුන් සංගමයේ සභාපතිවරයා ලෙස මම කියන්නේ ත්‍රිරෝද රථ ගාස්තුව තවදුරටත් පාලනය කළ නොහැකියි. ඒ නිසා මේ වෙලාවේ කුලී ත්‍රිරෝද රථ රැකියාවේ නියුතු සියලුදෙනාට කියන්නේ මේ දුෂ්කර මොහොතේ මගියා තවත් අපහසුතාවට පත්නොකර ඔහුත් සමඟ කතාකර එකඟතාවයෙන් ගමන් ගාස්තුව තීරණය කරගෙන රැකියාව කරන්න කියලයි. ඒ වගේම වසර 20ක් තිස්සේ අපි ඉල්ලූ නියාමනය ලබානොදුන් පාලකයන් නිසා ත්‍රිරෝද රථ රැකියාවට මේ අයහපත් ඉරණම අත්වූ බවත් මතක් කළ යුතුයි”
පාසල් ළමුන් ප්‍රවාහනය කරන පිරිස් ද වැඩි වූ ඉන්ධන මිල නිසා අපහසුතාවට පත් තවත් පාර්ශ්වයකි. වැඩිවූ ඉන්ධන මිලට අනුව ප්‍රවාහන ගාස්තුවද වැඩි කළ යුතුව ඇතත් ළමුන්ගේ මවුපියන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවී නැති බැවින් ඒ පිළිබඳ තීරණය කිරීම අසීරු බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි පැවසීය.
“මේ ඩීසල් මිල උපරිමයටම වැඩිවී තිබෙන අවස්ථාවක්. පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට දවසකට කිලෝමීටර් 125ක් විතර යන වාහනයක් වෙනුවෙන් මාසයකට රුපියල් 50,000ක පමණ අමතර වියදමක් දැරීමට සිදුවී තිබෙනවා. ඒ මුදල පියවා ගැනීමට නම් දෙමවුපින්ගෙන් අය කරන ගාස්තුව වැඩිකළ යුතුයි. නමුත් කීයකින්ද වැඩි කරන්නේ. ඔවුන්ට ඒ මුදල දරාගත හැකිද යනාදී කරුණු ගැනත් හිතලා යම් ප්‍රමාණයකට වැඩිකිරීමක් කිරීමට සිදුවී තිබෙනවා. නමුත් ඒ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස දැක්වීම අසීරුයි. දෙපාර්ශ්වයම ගැනම හිතලා සාධාරණ වැඩිකිරීමකට යෑම තමයි මේ අවස්ථාවේ කළ යුත්තේ. ඉන්ධන මිල වැඩිවීමට අමතරව ඉන්ධන ලබාගැනීමට පැය ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදුවී තිබෙන නිසාත් අපි අසීරුතාවට පත්වී සිටිනවා. මාර්තු 30 වැනිදා අපි ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර හමුවෙලා ඉල්ලීමක් කළා පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහනවලට ඉන්ධන ලබාගැනීම සඳහා ප්‍රමුඛතාව ලැබෙන වැඩ පිළිවෙළක් හදලා දෙන්න කියලා. ඒ සඳහා අපි යෝජනාවකුත් ඉදිරිපත් කළා. නමුත් අද වනතුරු ඒ ගැන පිළිතුරක් නැහැ.”
ඉන්ධන මිල ඉහළ යෑම, ඩොලර් අර්බුදය ආදී මේ සියල්ලෙන් බැට කන්නේ පාරිභෝගිකයාය. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පැවසුවේ ලංකා ඉතිහාසයේ මෙතෙක් මුහුණු නොදුන් ආකාරයේ ප්‍රශ්න රැසකට දැන් පාරිභෝගිකයාට මුහුණ දීමට සිදුව ඇති බවයි. “ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල දැන් පාරිභෝගිකයාට ගෙවන්න සිදුවී තිබෙනවා. ඕනෑම රැකියාවක් කරන පුද්ගලයකුගේ වියදම අද දෙගුණයක් දක්වා වැඩිවෙලා තියෙනවා.
මෙය පවුලකට කිසිසේත් දරාගත නොහැකි බරක්. මේ වැඩිවන වියදම ණය නොවී ජනතාව දරාගන්නේ කොහොමද යන්න ප්‍රශ්නයක්. භාණ්ඩ මිල වැඩිවීම, භාණ්ඩවල ප්‍රමිතිය සහ ප්‍රමාණය අඩුවීම ආදී වශයෙන් පාරිභෝගිකයාට අවස්ථා 3කදී අසාධාරණයක් සිදුවී තිබෙනවා. පාරිභෝගික අධිකාරියට පුළුවන් අදාළ සංගම් කැඳවලා සාකච්ඡා කරලා පාරිභෝගිකයා යම් සාධාරණයක් කරන්න.
ඒ වගේම භාණ්ඩවල ප්‍රමාණ සහ ප්‍රමිතිය පිළිබඳ නිරීක්ෂණය කළ හැකි ක්‍රමයකට පාරිභෝගික කටයුතු අධිකාරිය මෙහෙවන්න මැදිහත් වෙන්න කියලා අපි පාරිභෝගික කටයුතු භාර ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.
භාණ්ඩ හිඟ රටක පාලන මිල ඉවත් කිරීමෙන් සිදු වන්නේ වෙළෙන්දා විසින් පාරිභෝගිකයා සූරාගෙන කෑමයි. දැන් සිදුවී තිබෙන්නේ එයයි. ඒ නිසා අපි කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ යම්කිසි ප්‍රමාණයකට හෝ පාලන මිලක් පැනවීම අනිවාර්යයෙන්ම කරන්න. ඒ සඳහා මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.”
මේ අතර බලශක්ති අමාත්‍යාංශයේ ඉකුත් 19 වැනිදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දීය ඔයිල් සමාගම එක්ව ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවයි. මිල වැඩි කිරීමට සිදුවීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කළ අමාත්‍යවරයා පීඩනයට පත්වී සිටින ජනතාව ඉන්ධන මිල වැඩි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත්වුවද ඉන්ධනවලින් ලබන පාඩුව අවම කරගැනීමට එම තීරණය ගැනීමට සිදුවූ බව ද පැවසීය.
පිරිවැයට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමෙන් ඛනිජ තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 1,613ක පාඩුවක් ලබන බවත් මෙම මිල වැඩි කිරීමෙන් ද තෙල් සංස්ථාව ඉන්ධන වෙනුවෙන් වැය කරන පිරිවැය ආවරණය කරගෙන නොමැති බවද සඳහන් කළේය. ඒ අනුව මේ වන විටත් ඩීසල් ලීටරයකින් රුපියල් 162කට ආසන්න පාඩුවක් ලබන බවත් භූමිතෙල් ලීටරයකින් රුපියල් 217ක පාඩුවක් ලැබූවත් භූමිතෙල් මිල ඉහළ නොදැමූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.