
ඉකුත් අප්‍රේල් මස 13 වැනිදා කඩවත ප්‍රධානතම රෙදිපිළි වෙළෙඳසලක් අලුත් අවුරුදු වෙනුවෙන් වසා දැමුණේ එහි සේවය කරන සිය ගණනක් වන සේවකයන්ට ද නිවාඩු ලබා දෙමිනි. අවුරුදු නිවාඩුවෙන් පසු වෙළෙඳසල ඉකුත් 15 වැනිදා දින පෙරවරු 9.30ට පමණ එහි මූල්‍ය කළමනාකරු ඇතුළු සේවකයෝ කිහිප දෙනෙක් එක්ව විවෘත කළහ. තට්ටු පහකින් යුත් ගොඩනැඟිලි සංකීර්ණයක් වන එකී වෙළෙඳසලේ පහත මහලේ වූ විදුලි ස්විචයකින් මුළු ගොඩනැඟිල්ලේම විදුලි පහන් එකවර දැල්වීමට හැකිවීම එහි විශේෂත්වයකි. එකී විදුලි ස්විචයෙන් මුළු වෙළෙඳසලේම විදුලි පහන් දැල්වූ මූල්‍ය කළමනාකරු ගනුදෙනු සඳහා අවැසි මුදල් රැගෙන ඒමට සේප්පු පිහිටි කාමරය වෙත යන්නට වූහ.
කාමරය අසලට ගිය කළමනාකරු දුටු දෙයින් තුෂ්ණිම්භුත වී ගියේය.
සේප්පු කාමරයේ දොර කඩා තිබෙනු දුටු මූල්‍ය කළමනාකරු කලබලයට පත්විය. ඔහු විසින් ඒ බව සේවකයන්ටද දන්වන්නට වූයේය. විවෘත කර තිබූ දොරෙන් කාමරයට ඇතුළු වූ පිරිස දුටුවේ මුදල් තැන්පත් කර තිබූ සේප්පුවකද අඟල් තුනක පමණ විෂ්කම්භයකින් යුත් සිදුරක් විද මුදල් රැගෙන ගොස් ඇති ආකාරයයි.
වහා මූල්‍ය කළමනාකරු විසින් සිදුව ඇති මංකොල්ලය පිළිබඳව වෙළෙඳසල හිමිකරුවන්ද දැනුවත් කොට කඩවත පොලිසියද දැනුවත් කෙරිණි.
පොලිසිය පෙනෙන දුරින් පිහිටි කඩවත 'කැන්ඩි' වෙළෙඳසලේ සිදුව ඇති මංකොල්ලය පිළිබඳව සැණින් ක්‍රියාත්මක වූ කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා ප්‍රමුඛ නිලධාරි කණ්ඩායමක් පැමිණ විමර්ශන ඇරැඹිණි. ඒ අතරේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම මංකොල්ලය පිළිබඳව ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ද දැනුම්වත් කිරීමට කටයුතු කළේය. ඒ අනුව කඩවත පොලිස් වසම අයත් කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් විසින් එකී විමර්ශන සඳහා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් සහ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරින්ද එක්කරමින් පුළුල් විමර්ශනයක් සිදු කරන්නට වූයේ සිදුව ඇති මංකොල්ලයේ බරපතළකම මනා ලෙස වටහා ගනිමිනි.
විමර්ශන නිලධාරින් වෙළෙඳසලේ විශාල ගොඩනැඟිල්ලේ සෑම අස්සක්-මුල්ලක් නෑරම සෝදිසියෙන් අනතුරුව අවට ගොඩනැඟිලිවල සීසීටීවී කැමරාවන්ද පරීක්ෂාවට ලක් කළේය.
විමර්ශන නිලධාරින් පැය කිහිපයක් පුරාවට පුළුල් පරීක්ෂාවක් සිදු කළේය. ඒ වන විට වේලාව පස්වරු 4.30ට පමණ විය. අවට ගොඩනැඟිල්ලක සීසීටීවී කැමරාවක් පරීක්ෂා කරමින් සිටි නිලධාරියෙක් දුටුවේ නිල් පැහැති ටී ෂර්ටයක් හැඳගත් එතරම් හැඩිදැඩි සිරුරක් නොවූ පුද්ගලයකු කොල්ලය සිදුවූ ගොඩනැගිල්ලේ ස්ථානයකින් පනින දසුනක් සටහන් වී තිබෙන ආකාරයයි. එම වීඩියෝ දසුන සටහන් වී තිබුණේ එදින පෙරවරු 9.50ට පමණය. එසේ පනින පුද්ගලයා අත කිසිදු බෑගයක් හෝ නොවීය. එම සීසීටීවී දසුන ඔස්සේ වැඩිදුරටත් ඒ අවට සීසීටීවී කැමරා පරීක්ෂා කළත් පැන ගිය පුද්ගලයා පිළිබඳ කිසිවක් සටහන් වී නොතිබීම විමර්ශන නිලධාරින්ට මහත් ප්‍රහේලිකාවක් ගෙන දෙන්නට විය.
ඒ අනුව පොලිස් නිලධාරින්ට ඒත්තු යන්නට වූයේ එම පුද්ගලයා අනිවාර්යයෙන්ම රෙදිපිළි වෙළෙඳසල් ගොඩනැඟිල්ලේම කිසියම් ස්ථානයක සැඟවී සිටින බවටයි. එම සැකය තව තවත් තීව්‍ර වූයේ සීසීටීවී කැමරාවෙහි සටහන් වූ පුද්ගලයා සන්තකයේ කිසිදු මල්ලක් හෝ දක්නට නොලැබුණු නිසාවෙනි. එහෙත් සේප්පුවෙන් කොල්ලකා තිබූ මුදල් තොගයද ඒ වන විටත් පොලිසියට හමු නොවිණි.
අනතුරුව පොලිස් නිලධාරින් එම කැමරා දසුන අනුව අවට පුළුල් සෝදිසියක් සිදු කෙරිණි. ඒ අතරේ එක් නිලධාරියකු වෙළෙඳසල් ගොඩනැඟිල්ලේ ඉහළම වූ ජල ටැංකි තුන රඳවා තිබූ ස්ථානයටද ගොස් පරීක්ෂා කළේ ඒ තුළට හෝ සොරාගත් මුදල් පාර්සලය දමා ඇද්දැයි යන සැකයෙනි. ඒ වන විට වේලාව එදින සවස 5.30ට පමණ විය. එහෙත් පොලිස් නිලධාරියා දුටුවේ වෙනකකි. එක් ටැංකියක් තුළ කැමරාවේ සටහන්ව සිටි පුද්ගලයා සැඟවී සිටින ආකාරය දුටු පොලිස් නිලධාරියා ක්ෂණයෙන් ඔහුව අල්ලාගත්තේ පැන යාමට කිසිදු ඉඩක් නොතබමිනි.
පැය හතක පමණ කාලයක් වතුර ටැංකියේ සැඟවී සිටි පුද්ගලයා පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කිරීමත් සමඟ වෙළෙඳසලේ වූ මහා පරිමාණ මුදල් කොල්ලයේ සියලු අගමුල අනාවරණය කරගැනීමටද පොලිසිය සමත් වූයේ පැය 7ක් වැනි කෙටි කාලයක් තුළදියි.
අත්අඩංගුවට පත් සැකකරුගේ පාපෝච්චාරණය අනුව වෙළෙඳසලේ රෙදිපිළි ගොඩ ගසා තිබූ කාමරයක සඟවා තිබියදී මුදල් තොගය ඇසිරු පාර්සලයද විමර්ශන නිලධාරින්ට සොයා ගැනීමට හැකි විය. එම පාර්සලයේ වෙළෙඳසල තුළට තනිවම ඇතුළු වූ එකී සැකකරුවා විසින් කොල්ලකෑ මුදලින් රුපියල් දෙකෝටි හැත්තෑදෙලක්ෂ දහනවදහස් තුන්සීය අසූවක මුදල් කන්දරාවක් විය. ඊට අමතරව සේප්පුව සිදුරු කිරීමට භාවිත කළ නවතම ඩ්‍රිල් මැෂිමද වෙළෙඳසලේ වූ සේප්පුවට යාබදව තිබී සොයා ගැනිණි.
එම නවීන ඩ්‍රිල් මැෂිම සැකකරු විසින් කුරුණෑගල ප්‍රදේශයේ වෙළෙඳසලකින් මෙකී කොල්ලය සඳහාම මිලදී ගෙන ඇත්තේ රුපියල් 27,000ක මුදලකටයි. ඔහු ඊට කුරුණෑගල වෙළෙඳසලට ලබා දී ඇත්තේත් ව්‍යාජ නාමයකි.
අත්අඩංගුවට පත් සැකකරු 32 හැවිරිදි රන්මිදේවගේ ධම්මික තුසිත කුමාර රාජපක්ෂ නමැත්තෙකි. ඔහු වැල්ලව, නාගොල්ලාගම, බක්මීවැව පදිංචිකරුවෙකි. කලක් යුද හමුදාවේ සේවය කළ සැකකාර තුසිත වත්තල, එඩේරමුල්ල ප්‍රදේශයෙන් විවාහ වී සිටී. දරුවන් දෙදෙනෙක්ද සිටින සැකකරු 2012 වසරේ සිටම මහා පරිමාණයෙන් මෙවැනි මුදල් කොල්ලකෑම්හි නිරතව සිටින දිවයිනේ නම ගිය ලියාපදිංචි අපරාධකාරයෙකි. (IRC)
සැකකරු විසින් මේ වන විට බැංකු, වෙළෙඳසල් ඇතුළු ආයතන රැසකම සේප්පු කඩා සිදුකර ඇති කොල්ලකෑම් සංඛ්‍යාව 16 ක් බවත් ඒ සඳහා නඩු කටයුතු පවතින බව පොලිසිය සඳහන් කරයි.
කඩවත වෙළෙඳසලේ කොල්ලයට හරියටම දින 8කට පෙර කොල්ලකරු කෑගල්ල බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඇත්තේ මූල්‍ය ආයතනයක සේප්පුවක් කඩා සිදුකළ මුදල් කොල්ලයකට වසර දෙකහමාරක කලක් සිරබත් කෑමෙන් අනතුරුවයි.
බන්ධනාගාරයෙන් නිදහස්ව බිරියගේ එඩේරමුල්ල නිවෙසට පැමිණි තුසිත විශාල ගොඩනැඟිලි සහිත වෙළෙඳසල් බැංකු පිළිබඳව අවධානය යොමු කරමින් මෙකී ‘කැන්ඩි‘ වෙළෙඳසලේ මංකොල්ලයට සූදානම් වී තිබුණේ දින කිහිපයක සිටයි.
මෙකී කොල්ලය සඳහාම කුරුණෑගලින් මිලට ගත් ග්‍රිල් මැෂිමේ විදින කොටසටද පිටතට ශබ්දය පිට නොවීම සඳහා ඔහු විසින්ම නවතම උපකරණයක්ද සවිකර ඇති බවත් අනාවරණය වේ. 13 වැනිදා අවුරුදු නිවාඩුවට වසා දැමුණු වෙළෙඳසල ගැන සෝදිසියෙන් සිටි කොල්ලකරු 14 වැනිදා රාත්‍රි 10ට පමණ පස් මහල් ගොඩනැඟිල්ලට ඇතුළු වී ඇත්තේ සිවුවන මහලට නඟිමිනි. ඒ සඳහා ඔහු භාවිත කර තිබුණේ කඩවත නගර මධ්‍යයේ ඇති වෙළෙඳසලට යාබද මංකඩ පාරෙන් පැමිණ වෙළෙඳසල සහ තවත් ගොඩනැඟිල්ලක් අතර වූ අඩි එකහමාරක පමණ වූ පටු මඟකි. ඒ ඔස්සේ වෙළෙඳසලේ ජනෙල්වල එල්ලෙමින් ඔහු සිවුවන මහලට ගොඩ වී ඇති බව විමර්ශනවලදී හෙළි විණි. වෙළෙඳසලට ඇතුළු වූ ඔහුට ඒත්තු ගොස් තිබුණේ දීර්ඝ අවුරුදු නිවාඩුවට වෙළෙඳසල අප්‍රේල් 18 වැනිදා දක්වා විවෘත නොකරන බවයි. 14 වැනිදා රාත්‍රිය පුරා සේප්පුවේ අඟල් 3ක පමණ විෂ්කම්භයකින් යුත් සිදුරක් විදගත් කොල්ලකරු අනතුරුව එම සිදුරෙන් සේප්පුව තුළට අත දමා මුදල් ලබාගෙන තිබුණේ පැය කිහිපයක් ගත කරමිනි. කාලය කෙමෙන් ගත වෙද්දී 15 වැනිදා දින අලුයම වෙද්දී කොල්ලකරුට උහුලාගත නොහැකි බඩගින්නක් ඇතිවී තිබුණේ මෙකී කොල්ලයේ ගමන්මඟ වෙනතකට යොමු කරමිනි. අත්අඩංගුවට පත් සැකකරු පොලිසියට පවසා තිබුණේ,
“මට බඩගින්න උහුලගන්න බැරිවුණා සර්... මම වෙළෙඳසලේ ස්විට් කෑම විකුණන තැනට ගියා... එතැනත් හරිහැටි කන්න දෙයක් තිබුණේ නෑ... කලුරේ පේන්නෙත් නෑ.... පස්සෙ කජු වගයක් තිබිලා කෑවා...“
අධික ලෙස කජු ආහාරයට ගැනීමත් සමඟ වූ මත් ගතියෙන් කොල්ලකරු එම ස්ථානයේම නින්දට වැටිණි. කිසිදු බිය සැකයකින් තොරව ඔහු නින්දට වැටුණේ වෙළෙඳසල තවත් දින කිහිපයක් යනතුරු විවෘත නොකරන බවට වූ සිතැඟියාවෙනි. 15 වැනි දිනට හිරු උදාවෙද්දීත් නින්දේ පසුවූ කොල්ලකරුවා නොසිතූ දෙයක් ඒ වන විට වෙළෙඳසල තුළ සිදුවෙමින් තිබිණි. එනම් එදින පෙරවරු 9.30ට පමණ වෙළෙඳසල විවෘත කරන්නට පැමිණි මූල්‍ය කළමනාකරු ඇතුළු සේවකයන් කිහිපදෙනෙක් ගොඩනැඟිල්ලේ විදුලි පහන් දැල්විණි. ඒ සමඟම එකවර මුළු ගොඩනැඟිල්ලේම විදුලි පහන් දැල්වෙන්නට ගත වූයේ නිමේෂයකි.
විදුලි එළිය වැටීමත් සමඟ නින්දෙන් ඇහැරුණු කොල්ලකරුට කිසිවක් සිතාගත නොහැකි වුවත් වෙළෙඳසල විවෘත කළ බවනම් ඒත්තු ගොස් තිබිණි. බැලු බැලු අත වූ රෙදිපිළි ‘රැක්‘ අතරින් රිංගා ගිය කොල්ලකරු මුදල් තොගය බහාලු පාර්සලය රෙදිපිළි ගබඩා කාමරයක සැඟවිණි. වෙළෙඳසලට ඇතුළු වූ මාර්ගයේම යමින් ඉහළ මහලටම ගිය කොල්ලකරු වතුර ටැංකියට බැස සැඟවෙන්නට තීන්දු කළේ මුදල් පාර්සලය නොමැතිව පලා යාමෙන් ඇති පළක් නොවන හෙයිනි. අනතුරුව වතුර ටැංකියට බැස සැඟවී සිටී ඔහු සවස් යාමයේ වෙළෙඳසල වසා සේවකයන් ගිය පසු මුදල් පාර්සලය රැගෙන යාමේ අටියෙන් එහි සැඟවී සිටින්නට විය. ඒ වන විට වේලාව එදින පෙරවරු 9.30ට පමණ විය.
එහෙත් මෙකී නමගිය කොල්ලකරුවාගේ ප්‍රයත්නය ව්‍යාර්ථ වී ගියේ පොලිස් නිලධාරින් සිදුකළ සූක්ෂ්ම මෙහෙයුමත් සමඟ ඔහුව පොලිසියට කොටු වීමත් සමඟිනි.
පැය 7ක් වැනි කෙටි කාලයකදී දෙකෝටි හැත්තෑදෙලක්ෂයකට අධික මුදලක් කොල්ලකෑ කොල්ලකාර තුසිත කොටුකර ගැනීමට පොලිසියට හැකි වූයේ පොලිස් නිලධාරින්ගේ දක්ෂතාවන් ගැන නැවතත් සමාජයට පණිවිඩයක් ලබා දෙමිනි.
අත්අඩංගුවට පත් සැකකාර තුසිත 18 වැනිදා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් කොල්ලකෑ මුදල් තොගය රෙදිපිළි වෙළෙඳසලේ හිමිකරුවන්ට බාර දෙන ලෙසටත් අධිකරණය නියෝග කෙරිණි.
මේ පිළිබඳ විමර්ශන කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ගේ උපදෙස් මත කැලණිය දිස්ත්‍රික් III බාර සහකාර පොලිස් අධිකාරි පෙරුමාල් පද්මනාදන්ගේ අධීක්ෂණයෙන් කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා සහ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේගේ මෙහෙයවීමෙන් කඩවත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නිරෝෂන් ප්‍රනාන්දු ඇතුළු පොලිස් සැරයන් 18889 පණ්ඩිතරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 76914 අසේල, 40423 ලැනරෝල්, 94038 ජයවික්‍රම ඇතුළු නිලධාරිහු සිදු කළහ.
ඡායාරූප - කේ.එස්. හැන්නදි රාගම සමූහ