ගුඩ් බායි මොස්ක්වා! | Page 2 | සිළුමිණ

ගුඩ් බායි මොස්ක්වා!

'මොස්ක්වා' රුසියානු යුධ නැව

මොස්ක්වා, මම කොහොම විශ්වාස කරන්නද? රුසියානු කළු මුහුදු බළඇණියේ දැවැන්තයා වෙච්චි ඔබ දැන් මුහුදු පතුලේ වග. ඒ 14 වැනිදා මහ බ්‍රහස්පතින්දාවේ ලංකාවේ අපි හිටියේ සිංහල අවුරුදු සමරමින්. තවත් පැත්තකින් මහා ජන අරගලයකට මුහුණ දෙමින්.යුක්රේනයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාර දෙකකින් ගිනිගෙන, පිපිරිලා මහා කරදර ගොඩකට මුහුණ දුන්නු ඔබ, දකුණු දිග යුක්රේනයේ පිහිටි ඔඩෙස්සා නගරයට සැතපුම් 60 ක දුරින් ගමන් කරමින් තිබියදී මහ මුහුදේ ගිලී ගිය වග ආරංචි වුණේ එදා හැන්දෑවේ.

සිරියානු වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණි මුහුදේ මුර සංචාරයේ යෙදී සිටිද්දී බදාදා වූ හදිසි පිපිරීමකින් හානියට පත් වෙච්චි ඔබ, වරාය වෙත ඇදගෙන යමින් සිටියදී කුණාටු සහිත මුහුදේ ගිලී ගිය බවයි ඔබේ රට කියා තිබුණේ. එහෙත් 'පෙන්ටගනයට' අනුව නම්,ඔබව විනාශ කරන්න හේතු වුණේ යුක්රේන මිසයිල ප්‍රහාරයක්. ඔවුන්ට අනුව නම් ඒ වෙලාවේ ඔබත් එක්ක උන්නු කපිතාන් ඇතුළු 510 දෙනකුගෙන් යුතු නැවේ සමස්ත කාර්ය මණ්ඩලය ම මිය ගිහින්. ඒත් ඔබේ රට ඒ කතාව පිළිගන්නේ නැහැ. හැමෝගෙම ජීවිත බේරුණා ය කියන ඔවුන්ගේ කතාව ඇත්ත නම් මේ වෙලාවේ ඒකත් සතුටක්.

මොකද, යුද්ධයවත් මනුෂ්‍ය ජීවිත විනාශයවත් අනුමත කරන්න බැරි නිසා.

ඒ විතරක් ම නෙවෙයි, පුංචි හිනාවකින් හරි සංග්‍රහ කරපු ඒ රුසියානු නැවියන් පිළිබඳ මතකයත් අමතක කරන්න බැරි නිසා.ඒ වගේම, දැවැන්ත යුද නෞකාවක් වෙච්ච ඔබ වෙත ගොඩ වෙලා, පැය කිහිපයක්ම මම ඔබ හා ගත කළ නිසා.

ඒ 2010 අගෝස්තු මාසේ දවසක්. ඔබ හිටියේ කොළඹ ජැටියේ. 'මොස්ක්වා.'''අපි හමු වූ පළමු වතාව. මොන තරම් අපූරුද... මට ඔබෙන් දැන ගන්න හුඟක් දේ තිබුණා. 'ස්ද්රාස්තුතියේ..! (ආයුබෝවන්..! ) ඔන්න, මං මගේ රටට ඔබව පිළිගත්තා.

'මොස්ක්වා' සිංහල අරුත, මොස්කව්.

ආවේ රුසියාවෙන්. යුද නැවක් නිසා වෙන්නැති ඔබ මේ තරම් තේජාන්විත. ඉතින්, ඔබේ දිග මැන ගන්න මං මේ ජැටියේ කොයි තරම් දුර ඇවිදින්න ද...එහෙම නම් හරියටම මීටර් 186ක් මං ඇවිද යා යුතුව තිබුණා.

මේ තරම් දිග යුද නැවකට ගොඩ වූ පළමු වතාව. ඒ නිසා මට ඔබ කොහොමත් විශේෂයි.

ඒත් නැව පෙනි පෙනී ජැටියට වෙලා පැය ගණනක් ඉන්න සිද්ධ වූ හැටිත් කිසිම ගනිච්චියක් අනුකම්පාවක් නැතිව, එදා පායලා තිබුණු ඒ කට්ට අව්ව අපේ ඇස් නිලංකාර කර දමන්න හදපු හැටිත් මට නම් අමතක නැහැ.

මහ දවාලේ අව් කූටකේ වරාය ජැටියක කර වෙන එක දරාගන්න අමාරු දෙයක් වුණත්, අපි හැමෝම ඒ පැය කිහිපය දරා ගත්තා. දමල ගහල යන්න හිතුණත් ඇත්තමයි මොස්ක්වා, ඒ අපේ රටට ආ ඔබ වෙනුවෙන්. ඒ පැය දෙක තුනට මොන තරම් දේවල් සිද්ධ වුණාද. නැව බලන්න ආ මහා සෙනඟත් හෙමි හෙමින් බැහැල යන්න ගියා. ටික වෙලාවක් මොකුත් ම නොවී ගත වුණා. තරුණ රුසියානු නැවියෝ එක එක රාජකාරිවල නිරතව හිටියා.

කට්ටියක් බස් දෙක තුනකින් සාප්පු ගියා. තව කට්ටියක් නැවේ රාජකාරිවල සීරුවෙන් හිටියා.

රුසියානු නැවියන්ටත් වඩා, මාධ්‍ය නඩයේ අපි ඒ තරම් වෙලා 'කට්ට' කෑවේ, එවකට අපේ රටේ හිටපු නාවික හමුදාපති ඇතුළු නිලධාරීන් පිරිසක් නැවට එනකල් බලා ඉන්න සිද්ධ වූ නිසා. අන්තිමේ ඒ මොහොතත් උදා වුණා.

ඔවුන් පිළිගන්නට, අපේ රටේ ජාතික ගීය සහ රුසියානු ජාතික ගීය මොස්ක්වා නැවේ වාදනය වෙද්දී අපිත් සීරුවෙන් හිටියේ දෙරට ම කෙරෙහි උපන් ගෞරවයෙන්.

ඊළඟට අපේ ඒ උසස් නිලධාරීන්, මොස්ක්වා කපිතාන් ඇතුළු පිරිස එක්ක නැව නැරැඹුවා. දවල් කෑමත් ඒ නැවේදී ම අරන් අපේ නාවික හමුදාපති ප්‍රමුඛ පිරිස බැස ගියාට පසුවයි, අපේ වාරය. ඒ අතරේ ෂොපින් ගිය නැවියොත් ආපහු ආවා. හැමෝගෙම අත්වල බඩුමලු. තේ කොළ, අන්නාසි, ඇපල්, ක්‍රීම් ක්‍රැකර් බිස්කට්, කෝඩියල් වගේ කෑම බීම ඔවුන්ගේ මලුවල පුරවලා තිබුණා.

'ඉස්සර නම් රුසියානු නැවියෝ මෙහෙන් පොල්පලා අරන් යනවා හරියට. ඔවුන්ටම සකස් වූ පොල්පලා මෙහෙ තිබුණා...' මාධ්‍ය නඩයේ හිටි ජ්‍යෙෂ්ඨයෙක් කියනවා ඇහුණා. වැඩිය වතුර නොපෙවෙන නිසා මුත්‍රා රෝගවලින් මිදෙන්නලු, ඔවුන් එහෙම කළේ.

1976 සෝවියට් යුගයේ යුක්රේනයේ නිෂ්පාදනය කරන ලද මේ යුද නැවට යුද උපකරණ සවි කළේ 1979 අවුරුද්දේ. නැව යාත්‍රා කරන්නේ එදා පටන්. Battle Gray හෙවත්, මුහුදු වතුරේ අළු පාට, යුද නැව්වල ජාත්‍යන්තර වර්ණය. ඒ Battle Gray පැහැය හින්දම මොස්ක්වා ගේ පෙනුමත් ගාම්භීරයි.

සුදු පැහැති පැතලි තොප්පි පැලඳ, සුදු ෂර්ට් එකට නිල් සේලය බෙල්ල වටේ ගැට ගහලා, කළු කලිසම් ඇඳපු රුසියන් නැවියෝ අපිව පිළිගත්තේ හිස නමා ආචාර කරමින්.

දෝබ්‍රපෂාලවන්...! (welcome..!)

හමු වුණේ අද වුණත් ඒ පිළිගැනීමේ මොකක්දෝ ළෙන්ගතුකමක් තිබුණා.

ඒ ඔවුන්,ආසියාවේ කරක් ගැසූ පළමු වතාව. මැලේසියාවේ ඉඳන් ආපහු යන ගමනේ මොස්ක්වා ලංකාවට ආවේ අපේ රටේ ආරාධනාවකට. රුසියානු මහා ගත්කරු ඇන්ටන් චෙකොෆ් ගේ 150වැනි ජන්ම සංවත්සරය සහ ඔහුගේ ලංකාගමනයට අවුරුදු 120 ක් සපිරුණු 2010 අගෝස්තු 15 වැනිදා, වැඩසටහන් කිහිපයක් ම අපේ රටේ පැවැත්වුණා.

චෙකෝෆ් දින 6ක් නවාතැන් ගත් කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ ඔහු වෙනුවෙන් එදා පිළිමයකුත් විවෘත වුණා. මේ සියල්ලට සමගාමීව සිදු වූ මොස්ක්වා පැමිණීම, අපේ රටට සුවිශේෂී වුණේ ඒ නිසා. ටොන් 11,490 ක් බර මොස්ක්වා, කිලෝමීටර 10,000ක් නොනවත්වා එක දිගට ධාවනය කළ හැකි බව ඇසීම, එදා අපි හැමෝම පුදුමයට පත් කළා.

ඒ විතරක් නෙවෙයි, කිලෝමීටර 700ක් දුරට පහර දෙන්නට පුළුවන් අධිබලැති මිසයිල 16ක පද්ධතියක්, හෙලිකොප්ටර් අංගණයක් සහ රොකට් මිසයිල පද්ධති සමූහයකින් මොස්ක්වා ඒ මොහොතේත් සන්නද්ධව හිටියා.

මධ්‍යම හා කෙටි දුර ආරක්‍ෂාවට අමතරව, අවසාන විසඳුම ලෙස කෙටි දුර සමීප ආයුධ පද්ධති (CIWS) හයක් යෙදවිය හැකි බවත්, එම පද්ධතියට මිනිත්තුවක දී උණ්ඩ 5,000ක් වෙඩි තැබිය හැකි අතර, එහි අවසාන ආරක්ෂක මාර්ගය වන නැව වටා පවුරක් නිර්මාණය කරන බවත් ඔවුන් පැවසුවේ බොහොම අභිමානයෙන්.

torpedo බෝම්බ අධිතාක්ෂණික ජීවිතාරක්ෂක බෝට්ටු ඇතුළු සන්නිවේදනයේ ප්‍රබල තාක්ෂණය මේ නැවේ අභිමානය කියා පෑ සෙසු සුවිශේෂී යුද අංගෝපාංග.

ඒ මොහොත වන විට ගෙවී තිබුණු, අවුරුදු 31ටම කවදාවත් මේ නැවේ එකම එක උණ්ඩයක්වත් පාවිච්චි කර තිබුණේ නැති අතර, මුහුදු පතුලේ සැඟව ගත් සබ්මැරීන පවා විනාශ කර දමන්න තරම් අධි-තාක්ෂණයක් මොස්ක්වා සතු වුණා. 2010 වන විට මොස්ක්වා ගමන් කෙරුණේ, රුසියානු නාවික යුද ක්ෂේත්‍රයේ රාජකීය සලකුණක් ලෙසින් පමණයි. රටින් රටට ගොස්, එම අභිමානය ප්‍රදර්ශනය කරනවා හැරෙන්නට, සූදානම් පිට තිබෙන මේ කිසිදු යුද අවියක් හෝ යුද උපකරණයක් පාවිච්චි නොකරන බව, එදා අපිට පැවසුවේ රුසියානු නැවියන්.

එසේම කිසිදු කරදරයක් නැතිව දින 30 ක ට අවශ්‍ය කෑම් බීම් මේ නැවේ කොයි මොහොතේ සූදානම් පිට තිබුණේ, එන ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න බලාගෙන.

නැව් තුඩේ සවිකරපු රුසියානු කොඩිය ලෙළ දෙනවා. යූරි, එතැන මුර කරන රුසියානු නැවියා.නැව බලන්න ආ හුඟ දෙනෙක් එතැන ඉඳන් යූරි එක්ක පින්තූර ගත්තේ සිහිවටනයක් ලෙසින්. අහම්බයකින් වුණත්, මොස්ක්වා හා ගත්තු ඒ හැම පින්තූරයක් ම මටත් අද සිහිවටනයක් නේද, කියලා දැනුණේ නැව මුහුදුබත් වුණා කියලා දැනගත්තට පස්සේ .

නැවේ තැන තැන සවි කළ සුදු පාට දැවැන්ත සිලින්ඩර, ජැටියට පෙනුණට වඩා මහා විශාලයි. මං ඒවා අතගාල ම බැලුවේ හිතේ උපන් කුකුසකින්.

' ඔය හැම සිලින්ඩරයක් ඇතුළෙම තියෙන්නේ, අධි තාක්ෂණික ජීවිතාරක්ෂක බෝට්ටු. විසි දෙනකුට සෑහෙන කෑම බීම සහ වතුර ඒකෙම තියෙනවා. මාළු බාන්න පුළුවන් උපකරණත් තියෙනවා. කොටින්ම නැව මහ මුහුදේ අකරතැබ්බයකට ලක් වුණත්, දවස් ගාණක් ජීවිතේ ගැටගහගන්න පුළුවන් විදියටයි, මේ හැම දේම හදලා තියෙන්නේ...'

හෙලිකොප්ටරේ නවත්වන තැනත්, මුර කරන රුසියානු නාවිකයෝ. මහා විශාල දොරපියන් දෙකක් ඇති දැවැන්ත ගරාජයක් ඇතුළෙයි, හෙලිකොප්ටරය. 1942 දෙවැනි ලෝක යුද සමයේ රුසියාව බෝම්බ අත්හැරපු කාලතුවක්කුවත් ඊට ඔබ්බෙන්.

' 1942න් පස්සෙ මේ කාල තුවක්කුවෙන් එක බෝම්බයක්වත් යවා නැහැ. අද අපි මේකෙන් විදින්නේ මල් වෙඩි විතරයි....' ව්ලැදිමීර් නම් නාවිකයා තවදුරටත් පැහැදිලි කිරීම් කළා.

කිලෝමීටර් 200ක් ඈතට විදිය හැකි විශේෂ සිනෙත් රොකට් මිසයිල එකවර හැටක් යවන්න පුළුවන් පද්ධතිය ළඟ අපි බොහෝ වේලා ගත කළා.

'මේවා ඉලක්කය ගන්නේ මීටර් 15ක් උඩට ගිහින්. 'ඔටෝමැටිකලි' හරියට ම ඉලක්කය ගන්න නිසා, මේ නැවේ එක මිසයිලයක්වත් නිකරුණේ අපතේ යන්නේ නැහැ...' ව්ලැදිමීර් කිව්වේ තරමක ආඩම්බරයෙන්. ඒ කියන්නේ, ගැහුවොත් ගැහුවමයි.

පව් පින් කොහොම වුණත්, මේ තමයි ලොව නාවික යුද ශිල්පයේ අධිතාක්ෂණය. මොස්ක්වා ඒ බොහෝ දෙයින් පොහොසත්. ඒ නිසාම මොස්ක්වා ඉතිහාසගත වන්නේ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ගිල්වා දැමූ විශාලතම රුසියානු යුද නෞකාව ලෙසින්. මොන බලවතෙක් වුණත් උඩු යටිකුරු වෙන්න ගත වෙන්නේ මොන තරම් පොඩි කාලයක් ද... එහෙව් අධි-තාක්ෂණය සපිරි ඔබ අද මුහුදු පතුලේ. ඔබව අතපත ගෑ, ඔබව නඩත්තු කළ සහ ඔබව මුර කෙරූ සියල්ලෝ අද නැවෙන් බැස ගිහින්. අඩි දහස් ගණනක් යට, පාළු ඉගැඹුරු අන්ධකාර මුහුදු පතුලේ ඔබ විතරක් තනිවෙලා.

ඉතින් අපි ආයේ කවදාවත් හමු වෙන්නේ නැති වේවි.

( දාස්විදානියා..! ) ගුඩ් බායි මොස්ක්වා..!

Comments