නැටුව නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ | සිළුමිණ

නැටුව නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ

‘පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා’ යැයි අප අතර කතාවක් තිබේ. ජනපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණ ව්‍යපාරයට සහ ඉන්ධන පිරවුම්වල් අසල මහා මාර්ග අවහිර කරමින් තැනින් තැන සිදුවන උද්ඝෝෂණවලටත් මේ ඉහත සඳහන් කළ ආනිසංසයම උදාවෙමින් පවතින බවට ලකුණු දැන් දැන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දිස් වෙමින් තිබේ. මේ සඳහා දැක්විය හැකි ආසන්නතම උදාහරණය වන්නේ පසුගිය 21 වැනිදා මදුරන්කුලිය නගරයෙන් වාර්තා වූ සිදුවීමයි. පෙට්‍ර්ල් ඉල්ලා පිරිසක් පසුගිය 21 දින මදුරන්කුලිය නගරයේ විරෝධතාවයේ යෙදුණ පිරිස් මාර්ග වසා දැමිමත් සමඟ කෝපයට පත් වු ගම්වැසියන් පිරිසක් එයට කඩා වැදි විරෝධතාකරුවන් ඉවත් කර වාහන ගමනාගමනයට ඉඩ කඩ ලබා දුන් බව මදුරන්කුලිය පොලිසිය ප්‍රකාශ කළේය. 

උද්ඝෝෂණවලට ගම් වැසියන්ගේ විරෝධය

‘... මේ මොහොතේ කිසිවකුටවත් සිතා ගත නොහැකි අයුරින් කඩා වැදුණ ගම්වැසියන් පිරිසක් විරෝධතාකරුවන් වෙත කඩා වැදි මාර්ගයෙන් ඉවත් වී විරෝධතා කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ඉවත් කරන බවට පැවසීමත් සමඟ උණුසුම් තත්වයක් හට ගන්නා ආකාරය දැක ගත හැකි විය. කෙසේ වෙතත් අදාළ විරෝධතාකරුවන් බලා සිටියදීම ගම්වැසියන් මාර්ග හරස් කර තිබු වාහන ඉවත් කර සියලුම වාහනවලට ගමන් කිරීමට ඉඩ ලබාදෙන ආකාරය දැක ගත හැකි විය’ මේ අදාළ සිදුවීම ජාතික පුවත්පත් කිහිපයක් විසින් වාර්තා කර තිබූ ආකාරයයි. මීට පෙර ගාලු - කොළඹ පාර සම්පූර්ණයෙන් අවහිර කරමින් පානදුර නගරයේ පැවැති මේ ආකාරයේම විරෝධතාවක් ගම්වාසීන් විසින් විසුරුවා හැරීමේ සිදුවීමක් වාර්තා විය. එසේම කළුතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසක් වෙත ගමන් කරමින් තිබූ විරෝධතා පාගමනක් ද මේ ආකාරයෙන් ගම් වැසියන් විසින් විසිරුවා හැරීමේ සිදුවීමක් පසුගිය සතියේ වාර්තා වුණේය.

මේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල ගාලු මුවදොරින් ගම් පළාත්වලටට සංක්‍රමණය වීමේදී සිදුවිය හැකි ජනතා විරෝධයේ පෙරමඟ සලකුණු කිහිපයක් පමණකි. ඉදිරියේදී මේ ආකායේ සිදුවීම් බහුලව දැකගත හැකි වනු ඇතැයි නියත වශයෙන්ම අනුමාන කළ හැකි අතර ඒ සමඟ මෙම ඊනියා උද්ඝෝෂණ රැල්ල ආගිය අතක් සොයා ගත නොහැකි ආකාරයට වාෂ්ප වී යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එය තහවුරු වීමට තවත් හේතුවක් වන්නේ පසුගිය දා රඹුක්කන ඉන්ධන පිරවුම්හල අසල දී සිදු වීමට ගිය දැවැන්ත විනාශයයි. යම් එහිදී කිසියම් ආකාරයට කඩාකප්පල්කාරීන්ගේ සැලසුම ජනපතිවරයාගේ පෞද්ගලික නිවස අසලදී මෙන් සාර්ථක වූවා නම් තවත් පාස්කුවක් රඹුක්කන කේන්ද්‍රගතව නිර්මාණය විය හැකිව තිබුණේය. මෙය කිසිසේත් අදාළ සිදුවීම පාලනය කිරීමට යාමේදී සිදු වූ අවාසනාවන්ත සිදුවීම සාධාරණීකරණය කිරීමක් නොවන නමුත් යථාර්ථය වත්මන් ජනප්‍රිය රැල්ල අපේක්ෂා කරන, ප්‍රාර්ථනා කරන තත්ත්වයට වඩාත් හාත්පසින්ම වෙනස් බව පමණක් සඳහන් කළ යුතුය.

‘අපි තලියේ කිඹුලන් දකින්න කැමැති නැති වුණත් තලියේ පොළෙං පැටියෙක්, නයි පැටියෙක් ඉන්න බැරිකමක් නැහැ. ඒ වගේම අපි මේ දක්වා මුහුණ දී තිබෙන බොහොමයක් අවාසනාවන්ත සිදුවීම් අවස්ථාවාදීන් හෝ අන්තවාදීන් කිහිප දෙනකුගේ සැලසුම් මත නිර්මාණ වූ ඒවා. ඒ නිසා අපි කියන්නේ ආගමික අන්තවාදයට වඩා දේශපාලන අන්තවාදය අතිශය බිහිසුණුයි. මේ වන විට රට පුරා සිදුවන සියලුම උද්ඝෝෂණ ව්‍යාපාර පිටුපස මේ අති සුළුතරක් වන දේශපාලන අන්තවාදීන් සිටින බව තහවුරු වෙලා, ඔවුන් විසින්ම තහවුරු කරලා තිබෙනවා. ඒ නිසා මේ ගැන රජය, අරක්ෂක අංශ වගේම හුදු විරෝධය, ක්ෂණික කෝපය හෝ විනෝදයට ඒවාට සහභාගී වන තරුණයින් ද දැඩි අවධානයක් යොමු කළ යුතුයි. මේ දේශපාලන අන්තවාදීන් කෙක්කෙන් කරගන්න බැරි වුණ දේ දැන් කොක්කෙන් හෝ කර ගැනීමට මාන බලනවා’ වත්මන් උද්ඝෝෂණ රැල්ල ගමන් කරමින් තිබෙන දිසාව සහ එහි ප්‍රවණතා ගැන සිය අදහස් පළ කරමින් ප්‍රකට දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙක් ප්‍රකාශ කළේය. ඔහු එහිදී යළි යළි අවධාරණය කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක හිඟය හේතුවෙන් ස්වභාවිකව නිර්මාණය වූ මහජන විරෝධය මේ වන විට දේශපාලන අවස්ථාවාදීන් සහ අන්තවාදීන් විසින් පිට්පොකට් ගසා ඇති බවයි.

ගාලු මුවදොර පිටිය නිදහස් වෙන්නේ කවදාද?

මේ අතර ගාලු මුවදොර පිටියේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය ද බලාපොරොත්තු විය යුතු ගමනාන්තය කරා ළං වෙමින් තිබෙන බවක් නිරීක්ෂණය කළ හැකිය.

‘අන්තිමට අපි නැටුව නැටුමකුත් නෑ - බෙරේ පළුවකුත් නෑ’ දින ගණනාවක් පුරා උද්ඝෝෂණ භූමියේ ගත කළ, සමාජමාධ්‍ය හරහා එහි ප්‍රචාරක කටයුතු කළ කොළඹ සරසවියේ සිසුවෙක් චානක්‍ය සමඟ පැවසුවේය.

‘අපි වටින් ගොඩින් දැනගෙන හිටියා මේක පිටිපස්සේ අදෘශ්‍යමාන බලවේගයක් තිබෙනවා, ධනපති සමාගම් කිහිපයක අයිතිකාරයෝ මේකට වියදම් කරනවා කියලා. ඒත් ඒක මේ තරම් සූක්ෂමයි කියලා අපිට වටහා ගන්න බැරි වුණා. අපි මේකට සහභාගී වුණේ තරුණකම නිසා වුණත් ග්‍රවුන්ඩ් එක අපිට වටහා ගන්න බැරි වුණා. ඒක වෙනම ලෝකයක්. අපි වගේ ගම්වලින් ආපු තරුණයන්ට ඒකේ කිසිම තැනක් නැහැ. ඒ නිසා අපි දැන් ඒකෙන් ඉවත් වුණා’ ඔහු වැඩි දුරටත් තම කලකිරීම හා අපේක්ෂා භංගත්වය හෙළි කරමින් පැවසුවේය.

‘මේක සල්ලිකාර පුත්තුන්ගෙයි තවත් කිහිප දෙනකුගෙයි කානිවල් එකක්’ ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මේ අතර ගාලු මුවදොර උද්ඝෝෂණ ව්‍යාපාරයේ යටිතල පහසුකම් සම්පාදනය කළ වුන් බව කියන සිවුදෙනකු පසුගියදා ප්‍රකට රූපවාහිනී නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වීමත් සමඟ ඊනියා අරගලයේ සැබෑ තත්ත්වය හෙළි වූ බව මේ ගැන උනන්දුවක් දක්වන අයගේ මතයයි. මේ රූපවානිහී සම්මුඛ සාකච්ඡාව සමඟ අදාළ අරගලයේ ප්‍රකට භූමිකාවන් ඉටුකළ බව කියන යූ ටියුබ්කරුවකු සිය යූ ටියුබ් නාළිකාව මගින් අදාළ පුද්ගලයන් සිවුදෙනාගේ ක්‍රියාකාරීත්වය දැඩිව හෙළා දකිමින් දැඩි විවේචනයක් සිදු කළේය.

මේ දැඩි විවේචනය සමඟ මීට පෙර අදාළ උද්ඝෝෂණය දඩමීමා කර ගනිමින් විදේශ ආධාර කොල්ලයක් සිදුවන බවට උපුල් ශාන්ත සන්නස්ගල විසින් සිදුකළ විවේචනය, හෙළිදරව්ව මෙන් දැඩි කම්පනයක් උද්ඝෝෂකයන් තුළ මෙන්ම ඊට සහාය දක්වන පාර්ශ්වයන් තුළ ද වර්ධනය වෙමින් පවතී.

වික්ටර් අයිවන් හා අරාජිකත්වය

‘මේක අපි බලාපොරොත්තු වුණ දෙයක් නොවුණත් එවැනි අභාග්‍ය සම්පන්න බෙදීමක් සහ හෙළිදරව්වක් මෙතරම් ඉක්මනින් සිදුවෙයි කියලා අපි හිතුවේ නැහැ’ පසුගිය කාලය පුරාම මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට අඛණ්ඩව සහාය දුන් වෙබ් අවඩි සංස්කාරකවරයෙක් පවැසුවේය.

‘අපි දැනගෙන සිටියා ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් තමයි මේකට සල්ලි දාන්නේ කියලා. ඒ වුණත් දැන් මේක යූ ටියුබර්ලා කීප දෙනකුගේ ගරානාවක් බවට පත් වෙලා තියෙන්නේ. අනික මුල් දවස්වල වාගේ ජවයක් සහ දැක්මක් ඇතිව වැඩ සිදුවන බවක් නැහැ. දැන් මේක තවත් ගොල්ෆේස් කානිවල් එකක් තත්ත්වය පත්වෙලා’ ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ඔහු කියන කතාව තව දුරටත් තහවුරු වන්නේ රාවය පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයා වන වික්ටර් අයිවන් ද සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසාය. පසුගිය 18 වැනිදා යූ ටියුබ් නාළිකාවක් වෙත අදහස් දක්වමින් වික්ටර් අයිවන් මහතා කියා සිටියේ ‘ගාලු මුවදොර අරගලය අරාජික’ බවය. ඔහු පෙන්වා දෙන්නේ එම විරෝධතාකරුවන් පළමුකොට ම එහි දැක්වෙන අරාජික ස්වරූපයෙන් වෙනස් විය යුතු බවය.

‘දේශපාලන පක්ෂයක් හදා ගැනීම හෝ උපදේශක මණ්ඩලයක් පත්කර තම නායකත්වය ඔවුන් විසින් ප්‍රසිද්ධ කළ යුතුයි. එසේ නොවී පවතින ආණ්ඩුව පෙරළා දැමිය හැකි ක්‍රමයක් මම දන්නේ නැහැ. ආණ්ඩුව ඉවත් වුවහොත් අරගල කරුවන්ට බලය ලබාගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි’ රාවය හිටපු කතුවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.

මේ හා සමාන ප්‍රකාශයක් පසුගිය දා රාවය කර්තෘවරයා මෙන්ම 1971 කැරැල්ලට ඍජුව දායක වූ කැරලිකරුවකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ද සිය මුහුණු පොත හරහා කළේය.

‘දැනට තිබෙන පුරවැසි විරෝධතා ව්‍යාපාරය, මෙම පසුබිම තුළ මතුකළ යුතු තවත් ප්‍රශ්න දෙකක් තිබේ. පළමුවැන්න නම් තමන් විසින් පුපුරුවා මතුකරනු ලැබ ඇති දේශපාලන අර්බුදය විසඳීමේ හැකියාව තමන්ට පමණක්, සමාජමය වශයෙන් හුදකලාව හැකිවේද යන්නයි. එම ව්‍යාපාරයේ පන්ති හෝ සමාජ පදනම වී තිබෙන්නේ මධ්‍යම පන්තියයි.

ආර්ථිකය වළපල්ලට යවන හැටි

එය දේශපාලන වශයෙන් ප්‍රබල පන්තියක් වී තිබෙන බව ඇත්තය. එහෙත් මතු කළ යුතු දෙවන ප්‍රශ්නය වන, රටේ බහුතර වන කම්කරු සහ ගොවි ජනතාවගේ ව්‍යාපාර සමඟ, ගොවි සහ වෘත්තීය සමිති අරගල සමඟ ද යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උතුරේ සහ නැඟෙනහිර ජනතාව සම්බන්ධ වන්නේ කෙසේද යන්න ද මෙතැනදී වැදගත්ය. ප්‍රතිෂ්ඨාපිත දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන්නේ නම් අයුක්තියට, අසාධාරණයට විරුද්ධව, අයිතිවාසිකම් සඳහා අරගල කිරීමේ සම්ප්‍රදායක් ඇති වැඩ කරන ජනතාවගේ, එනම් කම්කරු සහ ගොවි ජනතාවගේ ව්‍යාපාර සමඟ ද සංවාදයක් ද සහයෝගතාවක් ද ගොඩනැඟීම, දේශපාලන පරිවර්තනයේ කර්තෘකයකු වීම සඳහා පුරවැසි ව්‍යාපාරය ඉදිරියේ ඇති ඉතා සාධනීය විකල්පයකි’

මහාචාර්ය ජයදේව උයන්ගොඩ අවධාරණය කරන කරුණට සමීප හෝ සමගාමී ප්‍රකාශයක් හිටපු ඇමැති ගම්මන්පිල විසින් ද පසුගිය 19 වැනිදා කළේය. එහිදී ඔහු අවධාරණය කළේ වත්මන් තරුණ අරගලයට නිසි නායකත්වයක් නැති නම් එය එකතැන පල්වෙන තත්ත්වට පත්වනු ඇති බවය.

දේශපාලන විද්‍යාඥයන්, දේශපාලන විචාරකයන්, මාධ්‍යවේදීන් පමණක් නොව මේ වන විට මධ්‍යස්ථ සාමාන්‍ය ජනතාව පවා කියන්නේ ගාලු මුවදොර අරගලය අයාලේ යන, ආරාජිකත්වය වපුරන බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදයක් කරා රට රැගෙන යන ව්‍යවසනකාරී මවතක් පමණක් වනු ඇති බවය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදයේ මූල බීජය වන්නේ විදේශ විනිමය හිඟය බව අප කිසිවකුට රහසක් නොවේ. විදේශ විනිමය හෝ විදේශ සංචිත අහිමි වුණේ, දියවුණේ කෙසේද යන්න ගැන සෙවීමට යාම මේ අවස්ථාවේ දේශපාලන මුග්ධත්වය ප්‍රකට කිරීමක් පමණක් වන අතර අවශ්‍ය වන්නේ අර්බුදයට කඩිනමින් තිරසර විසඳුමක් සොයා ගැනීමය. ජනපතිවරයා නව මුදල් අමාත්‍යවරයකු, මහ බැංකු අධිපතිවරයකු සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයකු පත් කර මේ වෙනුවෙන් අලුත් ආරම්භයක් දී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ තවත් ආයතන සහ මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කිරීමද ආරම්භ කර ඇත. මෙහිදී රජයේ අපේක්ෂාව වන්නේ කඩිනමින් හා තිරසර ලෙස විදේශ සංචිත අර්බුදයට විසඳුමක් ලබා ගැනීමය.

සංචාරක ව්‍යාපාරයට වෙච්ච දේ

එහෙත් රජය විදේශ විනිමය අර්බුදය කළමනාකරණයට ගන්නා මේ ප්‍රයත්නයට වත්මන් දේශපාලන අර්බුද, විශේෂයෙන් ගාලුමුවදොර පිටිය ඇතුළු රට පුරා අඛණ්ඩව සිදුවන උද්ඝෝෂණ රැල්ල බරපතළ හානියක්, අගතියක් සිදුකර තිබේ. විශේෂයෙන් මේ තත්ත්වය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය බරපතළ ලෙස පිරිහෙමින් තිබෙන අතර විදේශ ආයෝජන ද අහිමි වන තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

සංචාරක ව්‍යාපාරයට අත්වෙමින් පවතින මේ බියකරු ඉරණම ගැන ඍජු වගකීම පැවරෙන්නේ වත්මන් උද්ඝෝෂණ රැල්ලටය. පටු - අවස්ථාවාදී හා අන්තවාදී දේශපාලන අරමුණු ඉටුකර ගැනීමම වෙනුවෙන් ක්‍රියාත්මක වන වත්මන් උද්ඝෝෂණ රැල්ල සංචාරක ව්‍යාපාරයට සිදුකර ඇති විනාශය ගැන පසුගිය දා මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති සනත් උක්වත්ත ප්‍රකාශ කළේ මේ හේතුව මූලික කර ගනිමින් මෙම වසර තුළ ගත වූ මාස කිහිපයට ඇ‍ෙමරිකානු ඩොලර් බිලියනයක පමණ පාඩුවක් සිදුව ඇති බව ය.

ජනාධිපතිවරයාට මෙන්ම රජයට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මෙන්ම ගෝල්ෆේස් පිටිය අසල ද පැවැත්වෙන විරෝධතාවන් හේතුවෙන් ඒ අවට පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි සංචාරක හෝටල්හි නවාතැන් ගෙන සිටි විදේශ සංචාරකයන් විශාල ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බවත්, ඉදිරි දින සඳහා වෙන්කළ හෝටල් කාමර ද අවලංගු කිරීමට සංචාරකයන් බොහෝදෙනකු පියවර ගෙන තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

‘කොළඹ ගෝල්ෆේස් පිටිය අවට රැඳී සිටින විරෝධතාකරුවන්ගේ ඝෝෂාකාරී හඬ මෙන්ම එහි රැඳී සිටින විරෝධතාකරුවන් නිසා ඒ අවට සංචාරක හෝටල්හි රැඳී සිටින විදේශ සංචාරකයන් දැඩි සේ බියට පත්වීම හේතුවෙන් මානසික කම්පනයකට ලක්ව සිටිනවා. ඒ අවට ප්‍රදේශයේ පවතින දැඩි මාර්ග තදබදය ද එයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත්’ අදාළ හෝටල් හිමියන් ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයට දැනුම් දී ඇතැ යි ඔහු පැවසුවේය.

මේ නිසා එම විදේශ සංචාරකයන් තම නිවාඩුව අවසන් වන තෙක් රැදී සිටීම සඳහා වෙනත් ප්‍රදේශවල අඩු පහසුකම් සහිත හෝටල් කාමරවලට සංක්‍රමණය වී ඇති අතර ඒ හේතුවෙන් කොළඹ අවට පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි හෝටල්හි කාමර විශාල ප්‍රමාණයක් හිස් වී තිබෙනවා. මෙම කාරණා හේතු පාදක කර ගනිමින් අදාළ ප්‍රදේශය තුළ පිහිටි ප්‍රධාන සංචාරක හෝටල් වෙත ලැබිය යුතු ආදායම 60%කින් පමණ අඩු වී තිබෙනවා. රට තුළ විවිධ ප්‍රදේශවල දිනෙන් දින වර්ධනය වන විරෝධතා හේතුවෙන්, විදේශිකයන් නිවාඩුව ගතකිරීමේ අරමුණින් ඉදිරි මාස කිහිපය සඳහා වෙන්කළ හෝටල් කාමර අවලංගු කිරීමට පියවර ගනිමින් සිටින බව’ ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා පවසන මේ කරුණ කිසිසේත් පහසුවෙන් බැහැර කළ හැකි කරුණක් නොවන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් සම්පූර්ණයෙන් බිඳවැටී මිලියන 4000ක් අහිමි වූ සංචාරක ව්‍යපාරය යළි පුනර්ජීවනය ලබමින් සිටියදීම වත්මන් අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ දීමය.

මේ උද්ඝෝෂණ නිසා නිර්මාණය වූ හදිසි දේශපාලන අස්ථාවරත්වය විදේශ ආයෝජනවලටත් ඍජුව බලපානවා. ඒ කියන්නේ මේ උද්ඝෝෂකයන් ආර්ථික ඝාතකයින් ලෙසයි දැන් ක්‍රියා කරන්නේ. ඉදිරියේ දී සිදුවන සියලුම ආර්ථික දුෂ්කරතාවලට මේ උද්ඝෝෂකයන් ඍජුව වගකිව යුතුයි’ තම අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ සංචාරක හෝටල් හිමියෙක් ප්‍රකාශ කළේය.

මේ ඍණාත්මක තත්ත්වය ගැන චානක්‍ය සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහගෙන් කළ විමසීමකදී ඇය ප්‍රකාශ කළේ රටේ පවතින විරෝධතාවයන් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය විසින් ධනාත්මක නොවන මාධ්‍ය වාර්තා ඉදිරිපත් කිරීමත් සංචාරකයන්ගේ පැමිණීමට බාධා එල්ල කර ඇති බවය.

‘ඇතැම් රටවල් විසින් මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ට ආරක්ෂාව මෙන්ම පහසුකම් සම්බන්ධව අවවාදනාත්මක ලෙස නිවේදන (ට්‍රැවල් වොර්නින්ගස්) නිකුත් කිරීම නිසාත් සංචාරකයින්ගේ පැමිණීමට යම් හේතුවක් වී තිබෙනවා. විරෝධතා මතු වීමට පෙර දිනකට විදේශ සංචාරකයන් 3800ක් පමණ පැමිණියත් එම පිරිස මේ වනවිට 2430ක් දක්වා අඩු වී තිබෙනවා’ යැයි පැවසූ ඇය ‘කොළඹ ගෝල්ෆේස් අවට පැවැත්වෙන විරෝධතාවයන් නිසා විදේශ සංචාරකයන් අපහසුතාවට ලක් වී ඇති බවට පැමිණිලි කිහිපයක්ම සංචාරක සංවර්ධන අධිකාරිය වෙත ලැබී ඇති බව ද සඳහන් කළාය.

අගමැති සමඟ රජය ස්ථාවරයි

ඊනියා උද්ඝෝෂණ හමුවේ ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉතාම පහසුවෙන් පලවා හැරිය හැකි යැයි සිහින දුටු අවස්ථාවාදීන්ගේ සහ දේශපාලන අන්තවාදීන්ගේ සිහිනය දැන් දැන් බොඳ වෙමින් පවතින අතර ඒ සමඟ උනුන් අතර කා කොටා ගැනීම් ද වඩ වඩාත් උත්සන්න වෙමින් තිබෙන බවක් නිරීක්ෂණය කළ හැකිය. මීට ප්‍රධාන හේතුවක් වූයේ අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පසුගිය 21 වැනිදා ඒකමතිකව තීරණය කිරීමය. ඒ සඳහා වන යෝජනාවක් ද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සම්මත වූ අතර මේ අවස්ථාවේ ආණ්ඩුවේ සියලු දෙනා එකට සිටිමින්, අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවද මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේය.

ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් ගත් මේ ඒකමතික තීන්දුව දේශපාලනිකව අතිශය වැදගත් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ වත්මන් පාර්ලිමේන්තු භූමිකාව සම්බන්ධයෙන් එම පක්ෂයේ නායකයන්, විශේෂයෙන් සරත් ෆොන්සේකා ඇතුළු පිරිස සිය බලවත් අප්‍රසාදය පළ කරමින් සිටින අවස්ථාවකදී වීමය. පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, රීති ආදිය නොකතා හරිමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරය ගැන දේශපාලන නිරීක්ෂකයන් අතර ද බලවත් අප්‍රසාදයක් දැකගත හැකිය.

මෙහි කූඨප්‍රාප්තිය සටහන් කරමින් ඇමති ප්‍රසන්න රණතුංග විසින් පසුගිය 22 වැනිදා හෙළි කළේය.

‘විපක්ෂ නායකතුමාට න්‍යාය පත්‍රයට අනුව කතා කරන්න කියන්න. මේ කතා කරන්නේ මාධ්‍යවලට. ඉතින් වෙනම මාධ්‍ය සාකච්ඡා පවත්වා කතා කරන්න කියන්න’ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග කළ මේ ප්‍රකාශ මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ‘හොඳ තල්ලුවක්’ වී තිබේ.

මේ සියලු දේශපාලන සිදුවීම් හා ප්‍රවණතා හමුවේ අපට සක්සුදක් සේ පැහැදිලි වන්නේ ජනපතිවරයා පලවා හැරීමට විපක්ෂය දකින සිහින බොඳ වෙමින් තිබියදී උද්ඝෝෂණ රැල්ල ද ස්වභාවික මරණයකට ලක්වනු ඇති බවය.

Comments