
මේ වන විට රටතුළ පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවය කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහාද තීරණාත්මක බලපෑම් එල්ල කරමින් ඇති බව පෙනෙන්නට තිබේ. අනෙකුත් බොහෝ වෙළෙඳපොළවලට මෙන්ම කොටස් වෙළෙඳපොළෙහි ක්‍රියාකාරීත්වය ද දේශපාලන මෙන්ම සාමකාමී පරිසරයන්හි වෙනස්වීම්වලට ඉතා සංවේදී වන බැවින් පසුගිය මාස කීපය තුළ අවස්ථා ගණනාවකදීම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි පසුගාමී තත්ත්වයක් දක්නට ලැබුණු බව දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.
එම පසුගාමී තත්ත්වය පසුගිය සති කීපය පුරා රට තුළ වර්ධනය වෙමින් තිබෙන උද්ඝෝෂණ හා විරෝධතා හේතුවෙන් තවදුරටත් වර්ධනය වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස දින 5 ක කාලයක් සඳහා පමණක් කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමටද පියවර ගැණුනි. ඒ අනුව අප්‍රේල් මස 18 වැනි දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ දින 05 ක කාලයක් සඳහා මෙලෙස වසා දැමීමට තීරණය වුණු අතර එය නැවත විවෘත වන්නේ ලබන 25 වැනිදා බව ප්‍රධාන විධායක නිලධාරී රජිව් බණ්ඩාරනායක සිළුමිණට ප්‍රකාශ කර සිටියේය.
පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළෙදපොළ කෙතරම් සාර්ථක කොටස් වෙළෙඳපොළක් බවට පත් වූවාද කිවහොත් දෙස්, විදෙස් ආයෝජකයන් රැසක් ඒ සමඟ සම්බන්ධව සිය මුදල් ඉතා ඵලදායී ලෙස ආයෝජනය කිරීම සඳහා පෙලඹී තිබුණි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් ඕනැම තැනක සිට කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ විය හැකි මොබයිල් ඇප් පහසුකම් මෙන්ම අති නවීන ඩිජිටල් තාක්ෂණ පහසුකම්ද හඳුන්වා දෙන ලදී. මේ හේතු මත දේශීය ව්‍යවසායකයන් රැසක් ඉතාම උද්‍යෝගීමත්ව කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හා සම්බන්ධ වූ අතර විදේශීය ආයෝජකයන්ද කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙනු වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රමානුකූල වැඩපිළිෙවලක්ද ආරම්භ වී තිබුණි.
කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති දුමිත් ප්‍රනාන්දු පසුගියදා මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කර සිටියේ දැනට රට තුළ පවතින විශේෂිත ආර්ථික තත්ත්වය හේතු කොට ගෙන ආයෝජකයන්ට නිවැරදි ආයෝජන තීරණ ගැනීමට අපහසු වී ඇති බවත්, ආන්තික ණය පහසුකම් මත කොටස් මිලදී ගෙන ඇති ආයෝජකයන් පිළිබඳවද අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා නව පනතෙහි විධිවිධානවලට අනුව දින 5 ක කාලයක් සඳහා පමණක් කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත්ය.
“සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 24 වෙනි වගන්තිය අනුව කොටස් වෙළෙඳපොළ මඟින් ශ්‍රී ලංකාව තුළ සාධාරණ, විධිමත්, විනිවිධභාවයෙන් යුතු සහ කාර්යක්ෂම සුරැකුම්පත් වෙළෙඳපොළක් ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන වගකීමක්. 27 වගන්තිය අනුව ආයෝජකයින් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වමින් මහජන සුභසිද්ධිය උදෙසා කටයුතු කිරීම කොටස් වෙළෙඳපොළේ වගකීමක්. කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලික ලෙස දින කීපයකට වසා දැමීමට ගනු ලැබූ තීරණයේදී මෙම සියලුම කරුණු පිළිබඳව අප දැඩි අවධානයක් යොමු කළා. රට තුළ දැනට පවතින වාතාවරණය හමුවේ ආයෝජකයන් වෙත නිවැරදි තොරතුරු සන්නිවේදනය වීමක් සිදුනොවන බව නිරීක්ෂණය වී ඇති බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික දිල්ශාන් වීරසේකර ප්‍රකාශ කර සිටියේ.
“කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතුය යන පදනමේ තමයි අපි ඉන්නේ. දැන් තියෙන වාතාවරණය අනුව, ආයෝජකයන් වෙත නිවැරදි තොරතුරු සන්නිවේදනය වීමක් සිදුනොවන නිසා තාවකාලිකව මේ තීරණය අරගෙන තිබෙනවා“ දිල්ශාන් වීරසේකර වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ වත්මන් තත්ත්වය පිළිබඳ සිළුමිණට අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී රජිව් බණ්ඩාරනායක ප්‍රකාශ කර සිටියේ දැනට රට තුළ පවතින දේශපාලන හා ආර්ථික නොසන්සුන්තා හේතුවෙන් කොටස් වෙළෙඳපෙළහිද යම්යම් වෙනස් වීම් මෙන්ම පසුබැසීම්ද සිදුව ඇති බවයි. බැංකු පොලී අනුපාත අඩු අගයක් ගත් පසුගිය කාලය තුළ කොටස් වෙළෙඳපොළ යම් පිබීදීමක් ඇති වූ නමුත් පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකු පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගෙන ඇති නිසා මේ වන විට බොහෝ ආයෝජකයන් කොටස් වෙළෙඳපොළෙන් ඈත් වී ඊට වඩා ප්‍රතිලාභ ලබා ගත හැකි ස්ථාවර තැන්පතුවල මුදල් තැන්පත් කර එමඟින් මූල්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට පෙලඹෙනු ඇති බවත් පැවසූ ඔහු කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හීදී කොටස් මිල ශීඝ්‍රයෙන් පහළ යාමට එම තත්ත්වය හේතු වී ඇති බවද අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රජිව් බණ්ඩාරනායක සඳහන් කර සිටියේ කොටස් වෙළෙඳපොළ ඉතිහාසය තුළ මෙවන් අභියෝගාත්මක කාල සීමා රැසක්ම පසු කර ඇති බවයි.පසුගිය වසර දෙක තුළ වැඩි වශයෙන් එනම් 95 % කටත් වඩා වැඩියෙන් කොටස් වෙළෙඳපොළහි මුදල් ආයොජනය කර තිබුණේ දේශීය ආයෝජකයින් බවත් පවතින අර්බුදකාරී තත්ත්වය එම දේශීය ආයෝජකයන්ට සෘජුවම බල පා ඇති නිසා දැනට තියෙන තත්ත්වය පිළිබඳ සොයා බලා අධ්‍යයනය කර සිය මුදල් ආයෝජන පිළිබඳ බුද්ධිමත් තීරණයන් ගැනීමට අවකාශ සැලසීමේ අරමුණින් මෙසේ ඉතාම සීමිත දින ගණනකට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විරාමයක් ලබා දුන් නමුත් අප්‍රේල් 25 වැනි දින සිට නැවත එහි කටයුතු සක්‍රීය ලෙස ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පිළිබඳ කොළඔ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති ජාලිය විජේරත්න ගෙන් අදහස් විසූ අතර ඔහු කියා සිටියේ රට තුළ පවතින ආර්ථික අර්බුදය මෙන්ම පුනරාවර්තන විදුලිබල සැපයුම අඩාළ වීම හේතුවෙන් දෛනික වෙළෙඳ කටයුතු කරගෙන යාමේදී වෙළෙඳුන් මුහුණ දෙන බාධා සැලකිල්ලට ගනිමින් ව්‍යාපාරික දින 5ක් සඳහා කොටස් වෙළෙඳපොළ වසා දැමු බවයි.
එහිදී මෙසේ සඳහන් කර සිටියේ ය. "ආයෝජකයන් ආරක්ෂා කිරීම සහ 2021 අංක 19 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පනතේ 30 වැනි වගන්තිය තුළ ඇති විධිවිධාන අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වගකීමක් වන අතර එමඟින් හදිසි අවස්ථාවකදී විනිමය කොමිෂන් සභාව විසින් හුවමාරුව වසා දැමීමට අවශ්‍යයි. ශ්‍රී ලංකාව වඩාත් නරක අතට හැරෙමින් පවතින මොහොතක පවතින මූල්‍ය අර්බුදය මෙන්ම විදුලිබල සැපයුම අඩාළවීම, අන්තර්ජාල සහ විදුලි සන්දේශ සේවා සඳහා ඇති සීමිත ප්‍රවේශය, විශාල බාධා කිරීම් සහ එදිනෙදා වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාමේදී
අකාර්යක්ෂමතා ඇතුළු සැලකිය යුතු දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව බැවින් දින 5 ක කාලයක් සඳහා පමණක් කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට ද ගත් පියවර හි කිසිදු වරදක් නැතැයිද ප්‍රකාශ කළේය.
කොටස් වෙළෙඳපොළ යනු රටක ආර්ථික වර්ධනය හා ආර්ථික ගමන් මඟ පිළිබඳ පැහැදිලි පිළිඹුවක් පෙන්නුම් කරන කැඩපතක් ලෙස හඳුන්වා දිය හැකිය.මෙරට කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් වෙළෙදපොළද ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා මාහැහි වැඩකොටසක් ඉටු කළ සුවිශේෂ යාන්ත්‍රණයක් වන අතර එය ඉතා සක්‍රීය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදු කෙරෙන ලොව හොඳම කොටස් වෙළෙඳපොළක් ලෙසද නම් දරා තිබුණි.
මෙම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ආරම්භය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිට එනම් 1896 දී ස්ථාපිත වූ කොළඹ කොටස් තැරැව්කාර ආයතනයත් සමඟම ආරම්භ වූ අතර පසුව 1990 වසරේදී එය කොළඹ කොටස් වෙළෙඳපොළ ලෙස නම වෙනස් කරන ලදී.