සුදු ඇත්තෝ වසඟ කළ දකුණේ අවුරුදු සිරි අසිරිය | Page 3 | සිළුමිණ

සුදු ඇත්තෝ වසඟ කළ දකුණේ අවුරුදු සිරි අසිරිය

අන්ධ­යාට කිරි කැවීමේ තර­ග­යට සහ­භාගි වූ විදේ­ශි­කයෝ

ටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන මාර්ගයක් වනුයේ සංචාරක ව්‍යාපාරයයි. පසුගිය වසර කිහිපය තුළ විවිධ හේතූන් හමුවේ ඒ තුළින් රටට එන විදේශ විනිමය බොහෝ සේ අඩු විය. කොවිඩ් ව්‍යසනය හමුවේ අඩාල වූ සංචාරක ව්‍යාපාරය යළි යන්තමින් හිස ඔසවන්නට පටන් ගත්තා පමණි. වර්තමානයේ පවතින ගැටලුකාරී වාතාවරණය හමුවේ යළිත් ඊට අභියෝග එල්ල විය. මේ තත්ත්වය තුළ රටේ සංචාරක හෝටල් රැසක් සංචාරකයන් නැතිව පණ අදිද්දී ම සංචාරකයන්ගෙන් පිරී ගිය හෝටලයක් අපට දැක ගත හැකි විය. ඒ කළුතර ‘රෝයල් පාම්’ හෝටලයයි.

කළුතර ‘රෝයල් පාම්’ හෝටලය තම හෝටලයේ නේවාසික සංචාරකයන් වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරනු ලබයි. වසංගතය හේතුවෙන් ඉකුත් දෙවසරේදීම පැවැත්වීමට නොහැකිවූ එම අලුත් අවුරුදු උත්සවය මෙවර පැවැත්වීමට හැකි විය.

ඒ වෙනුවෙන් පුරුදු පරිදි පැරණි අලුත් අවුරුදු ගම්මානයක් හෝටල් බිමේ තාවකාලිකව සකස් කර තිබුණි. ගමේ ප්‍රධානියා කෝරලේ මහත්තයා ය. කෝරලේ මහත්තයා පැමිණ ගමේ අවුරුදු උත්සවය ආරම්භ වූයේ කිරි ඉතිරවීමෙනි.

ඊළඟට ගමේ කතුන් රබන් ගැසූහ. සංචාරකයන් ද ඊට එක් වූහ. කැවුම්, කොකිස්, අතිරහ ආදී දේශීය රස කැවිලිවලින් පිරි අලුත් අවුරුදු මේසය වටා එක් රොක් වෙමින් සංචාරකයන් හරි හරියට ඒවායේ රස බැලූහ. විදෙස් සංචාරකයන් සහභාගි වුවද ගමක අලුත් අවුරුදු උත්සවයක දැකගත හැකි වූ අංග බොහොමයක් මේ අපූරු අලුත් අවුරුදු උත්සවයට ඇතුළත්ව තිබුණි. අලියාට ඇස තැබීම, කොට්ට පොර, කනා මුට්ටිය බිඳීම, අන්ධයාට කිරි කැවීම, කඹ ඇඳීම, බනිස් කෑම, පොල් අතු විවීම, අවුරුදු කුමරා හා කුමරිය තේරීම ආදී අංග රැසක් ඊට ඇතුළත් වූ අතර, මෙරට නර්තන ශිල්පිනියන්ගේ නැටුම්වලින් උත්සවය තවත් අලංකෘත විය.

මෙහිදී අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ ජර්මනියේ ලුඩ්මිලා සැල්සින් ය. දෙවැනි ස්ථානය සබීනා ඇලිසාමාට ද තෙවැනි ස්ථානය ස්ටෙෆනී ලෙන්මන්ට ද හිමි විය. ජර්මන් ජාතික ඩේවිඩ් රිවෝන්ට් අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබූ අතර දෙවැනි ස්ථානය මැක්සිමිලියන් ස්කෙවන්ගර්ට ද තෙවැනි ස්ථානය පැට්‍රික් කෝප්ට ද හිමි විය. ඉන් අනතුරුව දේශීය ආහාරවලින් සමන්විත දිවා ආහාරය නෙළුම් කොළයකට බෙදාගෙන කෑමට සංචාරකයන්ට අවස්ථාව සලසා දී තිබුණේ හෙළ ආහාර කලාවේ රස තවත් වැඩි කරමිනි.

මෙම අලුත් අවුරුදු උත්සව භූමියේදී තවත් විශේෂත්වයක් ද දැකගත හැකි විය. ඒ අවුරුදු ගම්මානයේ ‘රා’ පොළක් ද ස්ථාපිත කිරීමයි. පොල් කටුවකට දමාගත් ‘රා’ තොල ගාන සංචාරකයන් ඒ සඳහා කටගැස්මට ගත්තේ පොල් කෑල්ලක් හෝ මාළු බැඳුමකි.

මේ අලංකාර අවුරුදු උත්සවය සංවිධානය කළ පිරිසේ නායකත්වය දැරුවේ ‘රෝයල් පාම්’ හෝටලයේ සාමාන්‍යාධිකාරි රවි කුරුකුලසූරිය ය.

“අපේ හෝටලයට සංචාරකයන් ඇදගන්නා විශේෂ ක්‍රම අපි අනුගමනය කරනවා. ඒවා සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රචාරක කටයුතු කරනවා. මේ වනවිට අපේ හෝටලයේ කාමර 129 න් 93කම විදෙස් සංචාරකයන් නවැතැන් ගෙන සිටිනවා. ඒ අතර යුරෝපා රටවලින් ආ අය බොහොමයි. අප ඔවුන් වෙනුවෙන් කරන මෙම සත්කාරය ඔවුනට අමතක නොවන අත්දැකීමක්”

සුනිල් ස්ටැන්ලි, කළුතර මධ්‍යම සමූහ

Comments