උද්ඝෝෂණයේ කානිවල්කරණය | සිළුමිණ

උද්ඝෝෂණයේ කානිවල්කරණය

සුගිය 27 වැනිදා චානක්‍ය අපූරු අත්දැකීමකට මුහුණ දුන්නේය. 28 වැනි දින සිදු කිරීමට නියමිත වැඩවර්ජනයට හා උද්ඝෝෂණයට සෙසු නිලධාරීන් පොලඹවමින් සිටි කිහිප දෙනකු කාර්යාලයේ පත්තර ලෑල්ල අසල සිටියේය. ඔවුන් සියලු දෙනාම සාමාන්‍ය සේවකයින් වූ අතර ඔවුන්ගෙන් අයෙකු චානක්‍යට ද කතා කළේය. මේ අතර මොනරාගල - අම්පාර මායිමේ ජීවත් වන තරුණ කාර්යාල කාර්ය සහයකයෙකු තමා වැඩවර්ජනයට එක් නොවන බව කියමින් ඊට හේතු පැහැදිලි කරමින් සිටියේ තරමක ආවේගයකිනි. 

‘උඹලට වගේ නෙමෙයි ගම්වල ජීවත් වෙන අපිට කෙලෙහිගුණ කියලා එකක් තියෙනවා. ඒ කාලේ අපි ජීවත් වුණේ යුද්දේ එක්ක මර බයෙන්. අපේ ගමේ වැවට එහායින් තමයි කරුණා අම්මාන්ගේ කොටි හිටියේ. අපේ ගමට හතර පස් වතාවක් කොටි ගැහුවා. පවුල් පිටින් කැතිගාලා මරුවා. ඒ කාලේ අපි රැ ගත කළේ කැලෑවේ. ඒ කාලේ අපිට කියලා ජීවිතයක් තිබුණේ නැහැ. තිබුණේ මර බය විතරයි. ඒත් මහින්ද මහත්තයා යුද්දේ ඉවර කළා. අද අපි ජීවත් වෙන්නේ යුද්දේ අවසන් වුණ නිසා. අපිට කවදාවත් ඒක අමතක කරන්න බැහැ‘ ඔහු ආවේගය මුසු ස්වරයෙන් කීවේය. ඊට පසු තම මිතුරන් දෙස බැල්මක් හෙළා පිටව ගියේය.

චානක්‍ය සෙසු පිරිස දෙස මොහොතක් බලා සිටියේය. ගම්වලින්ම පැමිණ අද කොළඹ හතේ ප්‍රමුඛ රාජ්‍ය ආයතනයක රැකියාව කරන ඔවුන් තුළ කිසියම් පශ්චාත්තාප ස්වභාවයක් දැකගත හැකි වුණේය. තවත් මොහොතක් ගත් කළ ඔවුන් සියලු දෙනා තම තමන්ගේ රාජකාරී ස්ථාන වෙත ගමන් කරන ආකාරය චානක්‍ය විමතිය මුසු මුහුණින් යුතුව බලා සිටියේය.

‘මම ඇත්ත කීව්වේ මහත්තයා. මුන්ට හෙණ ගහනවා මේ කරන අපහාසවලට‘ අතරමඟ රැක සිටි මොනරාගල සගයා චානක්‍ය සමඟ කීවේය.

ඊනියා විරෝධතා ව්‍යාපාර

මැයි මාසයේ මුල්ම සති අන්ත දේශපාලන විග්‍රහය ලිවීමට ආරම්භයක් ලෙස චානක්‍ය මේ සිදුවීම මුල්කොට ගත්තේ නාගරික මධ්‍යම පාන්තික තරුණයන් විසින් නායකත්වය දෙන ඊනියා උද්ඝෝෂණ රැල්ල තුළ තිස් අවුරුදු ත්‍රස්තවාදයෙන් බැටකෑ, එහි ඍජු වින්දිතයන් වූ මේ ග්‍රාමීය ජනතාවගේ, සාමාන්‍ය පන්තියේ ජනතාවගේ අවම නියෝජනයක් හෝ නොමැති බව පැහැදිලිව පෙනෙන නිසාය. ගාලු මුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයක සිදුවන ඊනියා විරෝධතා ව්‍යාපාරවල මොර දෙන සුලභ සටන්පාඨ, නිරන්තරයෙන් සිදුවන අපහාස - උපහාස අබමල් රේණුවක තරම් හෝ හෘදය සාක්ෂියක් ඇති කිසිවකුට කළ නොහැකි තරම් ඒවා බව චානක්‍ය පමණක් නොව රටේ ඉතිහාසය දන්නා, ඒ පදනම මත සිට හෙට සිදුවිය හැකි දේ ගැන දන්නා බොහෝ දෙනකු කියන නිසාය.

‘මම ඇත්ත කීව්වේ මහත්තයා. මුන්ට හෙණ ගහනවා මේ කරන අපහාසවලට‘ යැයි යුද්ධයේ ඍජු වින්දිතයෙක් වූ චානක්‍යගේ කාර්යාල සගයා කළ ප්‍රකාශය ගැන චානක්‍ය යළි යළි මෙනෙහි කරන්නේ අබමල් රේණුවක හෝ හෘද සාක්ෂියක් ඇති, කළගුණ දත් මිනිසුන් මේ ලිපිය කියවන නිසාය.

ගාලු මුවදොර පිටියේ සිදුවන උද්ඝෝෂණය ‘තවත් එක කානිවල් එකක්‘ යැයි කියන්නේ ආණ්ඩු පාක්ෂිකයන් පමණක් නොවේ. එයට සහභාගී වී අපේක්ෂාභංගත්වයට පත් තවත් බොහෝ දෙනෙක් කියන්නේ ‘මෙය තනිකරම නාගරික මධ්‍යම පාන්තියේ ආතල් පොට් එකක්‘ කියාය.

අරගලය පොකැට් ගැසීම

‘පසුගිය කාලේ මේ රටේ මොන තරම් අරගල සිද්ධ වුණාද ? සයිටම් ප්‍රශ්නේ, කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාලයට අදාළ ප්‍රශ්න, කාබනික පොහොර ප්‍රශ්නේ. මේ කිසිම එකකට අබමල් රේණුවක තරම්වත් සංවේදී නොවුණ, ඒවා දිහා හාස්‍යයෙන් බැලුව කට්ටිය තමයි අද මේ කානිවල් කරන්නේ. එදා ඉන්ධන මිල ඉහළ දාන කොට, ඊටීඑෆ් අරගලේදී, බඩුමිල ඉහළ යන කොට මේ කවුරුත් පාරට ආවේ නැහැ.

විශේෂයෙන් කාබනික පොහොර ප්‍රශ්නෙදී ගොවියෝ පාරට බැහැලා අරගල කරන කොට මේ මහත්තරු හිටියේ වසවිස නැතිව කාබනික කෑම කන්න හීන දැක දැක. ඉතින් කොහොමද මේක පොදුජන අරගලයක් වෙන්නේ. මේක තනිකරම වෙන අවුලකට කරන දෙයක්‘ චානක්‍ය සමඟ අදහස් දැක්වූ ගොවි වෘත්තීය සමිති නායකයෙක් පසුතැවීමකින් යුතුව කීවේය.

මේ ඔහුගේ හුදකලා අදහසක් නොවේ. පසුගිය කාලය පුරා අඛණ්ඩව පොදුජන අරගල භූමියේ සිටි බොහෝ දෙනකු දැන් දැන් කියන්නේ තමන් විසින් ආරම්භ කළ අරගලය පික්පොකැට් ගසා ඇති බවකි. නැතහොත් ඊනියා සමාජමාධ්‍ය මෙහෙයුම හමුවේ තමන් විසින් සවිඥානිකව හා දැක්මක් සහිතව නායකත්වය දුන් අරගලය තුළ තමන් අවලංගු කාසියක් බවට පත්ව ඇති බවය.

මෙය හුදු විවේචනයක් හෝ වෘත්තීය අරගලකරුවන්ගේ හුදු පශ්චාත්තාප වීමක් ලෙස සලකා පහසුවෙන් බැහැර කළ නොහැකි කරුණකි. මන්ද ‘කානිවල් වසන්තයට‘ ඊනියා මතවාදී පදනම හා න්‍යාය පත්‍රය සකසන්නේ අදෘශමාන දේශපාලන හා ආර්ථික හස්තයන් විසින් බව මේ වන විට පැහැදිලිව හඳුනා ගෙන ඇති නිසාය. නිසි දැක්මක් හෝ සැලසුමක් නැති මේ උද්ඝෝෂණ ව්‍යාපාරවල අවසානය ගැන මේ රටේ දේශපාලන හා සමාජ චර්යාවන් ගැන නිසි අවබෝධයක් ඇති බොහෝ දෙනෙක් මේ වන විට ද පැහැදිලිව අනතුරු අගවා ඇති බැවිනි.

අර්බුදයේ උරුමකරුවෝ

69 ලක්ෂයක අති බහුතර ජනවරමකින් බලයට පත් වූ ජනපතිවරයාට සහ ඊට පසුව තුනෙක් දෙකක අති බහුතර පාර්ලිමේන්තු බලයක් හිමිකර ගත් වත්මන් ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරන වත්මන් උද්ඝෝෂණ රැල්ල ආරම්භ වූයේ ඉන්ධන - ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගවීම මත සාමාන්‍ය ජනතාව විසින් ආරම්භ කළ හුදකලා විරෝධය පළ කිරීම් වලට පසුව කිසියම් අදෘශ්‍යමාන කල්ලියක් විසින් එහි න්‍යාය පත්‍රය අතට ගැනීම සමඟය. ජනපතිවරයාගේ මිරිහානේ පෞද්ගලික නිවස ඉදිරිපිට සිදුකළ ඊනියා උද්ඝෝෂණ එහි හැරවුම් ලක්ෂ්‍යය වශයෙන් සැලකිය හැකි අතර එහි කූඨප්‍රාප්තිය ගාලුමුවදොර කඳවුරු බැදීම සමඟ සටහන් කළේය.

අඩු හා මධ්‍ය ආදායම් ලබන පොදුජනතාවගේ දෛනික ජීවිතයට බලපෑම් කළ සිදුවීමක් බරපතළ දේශපාලන හා අර්ථික අර්බුදයක් දක්වා ක්ෂණිකව තල්ලු වුණේ පොදුජන ජීවිතය ගැන අබමල් රේණුවක සංවේදීභාවයක් නැති නාගරික මධ්‍යම පන්තියේ තරුණයන් හා අන්තවාදී දේශපාලන කල්ලියක් ඊට මැදිහත් වීම හා අධිභාර බදු පනතින් තමන් අගතියට පත්විය හැකි යැයි බියට පත් ප්‍රමුඛ ව්‍යාපාරිකයින් කිහිප දෙනකු ඊට මුදල් පොම්ප කළ නිසාය. මෑත ඉතිහාසයේ වඩාත්ම සංවේදී උද්ඝෝෂණ ව්‍යාපාරය වූ රසායනික පොහොර ඉල්ලා ගොවීන් කළ උද්ඝෝෂණයට නොලද ශක්තියක් හා බලයක් වත්මන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයට හිමි වුණේ මේ ‘අවස්ථාවාදී හා අන්තවාදී මැදිහත්වීම‘ නිසාය.

එහෙත් ඩොලර් අර්බුදයේදී පමණක් නොව රාජ්‍ය ආදායම හීන වීමේදී ද වත්මන් උද්ඝෝෂකයින්ට කිසිසේත් ‘සුදනා වීමේ‘ හැකියාවක් නැති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයින්, විද්‍යාඥයින් කිහිප දෙනකු පසුගිය දිනවල අවධාරණයෙන් පැවසුවේය. මේ අතර වත්මන් මුදල් අමාත්‍ය අලි සබ්රි කළ අවධාරණය අතිශය වැදගත්ය. රාජ්‍ය ආදායම අහිමි වීම හා රාජ්‍ය වියදම අසීමිත ලෙස ඉහළ යාමට බලපෑ කරුණු ගැන අලුත් හෙළිදරව්වක් කරමින් මුදල් අමාත්‍යවරයා පසුගිය දා කියා සිටියේ පසුගිය යහපාලන ආණ්ඩුව කිසිදු වගවිභාගයකින් තොරව එක්වරම රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීම වත්මන් අර්බුදයේ කිසිවෙකු අවධානය යොමු නොකළ පැතිකඩක් බවය.

‘මේ මුදල් ගෙවන්නේ කොහොමද කියා කිසිම අවබෝධයක් හෝ සැලසුමක් නැතිව යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහළ දැම්මා. ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයින්ට මේ නිසා වාර්ෂිකව බිලියන 1600ක් පමණ අමතරව ගෙවන්න සිදු වුණා. ඒ වියදම අද දක්වාම රජය විසින් දැරිය යුතුව තිබෙනවා. වත්මන් රාජ්‍ය ආදායම ඉහළ යාමට මේ වැටුප් වැඩි කිරීමක් ප්‍රබල හේතුවක්. ඒත් ඒ ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ‘ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ප්‍රකට දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයෙකු වන ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ද පසුගිය දා ප්‍රමුඛ ජාතික පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී වත්මන් ආර්ථික අර්බුදයේ මූලබීජය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.

ලලිතසිරි ගුණරුවන්ගේ අදහස්

‘අප රටේ ආර්ථිකය සම කළ හැක්කේ බහු-අවයව අකර්මණ්‍ය තත්ත්වයකට පත් කෙරෙමින් අසාධ්‍යව රෝහල්ගත කෙරුණු රෝගියකුටය. අක්මාව නරක් වී ඇත. වකුගඩු අකර්මණ්‍ය වී ඇත. පෙනහලු‍ ඇහිරී ඇත. හෘදය ද දුර්වල වී ඇත. එවන් තත්ත්වයක සිටි රෝගියාගේ වර්තමාන අසාධ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රෝහලට ඇතුළු කරන විට වාට්ටුවේ සිටි වෛද්‍යවරයාට පූර්ණ වගකීම පැවැරිය හැකි ද ? වැරැදි බෙහෙත් බොමින්. වැරැදි උපදෙස් පිළිපදිමින්, වැරැදි ජීවන රටාවක නියැළෙමින් පසුගිය 40 වසරක් තුළ රෝගියා තම සෞඛ්‍යයට කරගත් හානිය පහසුවෙන් සුව කළ හැක්කක් නොවේ‘

සිය ලිපිය ආරම්භ කරමින් ලලිතසිරි ගුණරුවන් විසින් සිදුකර විවේචනය අපට පහසුවෙන් වටහා ගත හැකිය. ඔහු මේ කියන්නේ වත්මන් ජනප්‍රිය උද්ඝෝෂණ රැල්ලට නායකත්වය හා ශක්තිය දෙන පාර්ශ්ව සිහිනෙන් පවා අපේක්ෂා නොකරන ‘කටුක විවේචනයකි.

ලලිතසිරි ගුණරුවන් සිය තර්කය සනාථ කරමින් තව දුරටත් තිත්ත ඇත්ත හෙළි කළේය. 

‘‘දොස්තර ගෙදර යනු”‍ කියන්නන් පසුගිය 40 වසරක් තුළ රෝගියාව මේ තත්ත්වයට පත් කළ, වැරැදි බෙහෙත් නිර්දේශ කළ, වැරැදි සැත්කම් කළ, වැරැදි ජීවන රටාවකට හුරු කළ මෙතෙක් ඒ සා කාලයක් රෝගියාව බලා කියාගත් සහ හැසිර වූ දොස් ‘‘තර”ලාට වගකීම නොපවරන්නේ ඇයි ? ඒ දොස්තරලා දැන් ‘‘දොස්තොර”‍ ලා ලෙස පෙනී සිටිති.

ඔවුන් දැන් වර්තමානයේ සිටින දොස්තරවරුන්ගේ වැරදි මහ හඬින් කියන්නේ මේ රෝගියාගේ වර්තමාන අභාග්‍යසම්පන්න තත්ත්වයට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැතිවාක් මෙනි. සත්‍යය නම්, මේ තත්ත්වයට වඩාත්ම වගකිව යුත්තේ වර්තමාන දොස්තරවරුන් නොව දොස්තොරලා වෙන්න හදන පැරණි දොස්“තර” ලා බවයි. පසුගිය කාලයේ අප දුටුවේ ඒ පැරණි දොස්තරලා යළිත් මේ රෝගියාට බෙහෙත් දීමට වාට්ටුවට පැමිණි බව හා පවත්නා තත්වය දඩමීමා කරගනිමින් තව තවත් පැමිණෙමින් සිටින බවයි. ඒ සම්බන්ධයෙන් නම් වර්තමාන පාලනය පිළිබඳව මට ද ඇත්තේ බරපතළ විවේචනයකි‘

සිය විවේචනය තුළ ඔහු වැඩි දුරටත් මෙසේද සඳහන් කරන්නේය.

‘මහපාරේ කෑ ගසන අහිංසක ජනතාව වැරැදි යැයි මම නොකියමි. එහෙත්, මේ තත්ත්වය ගැන ගැඹුරු කියවීමක් ඔවුනට නැති බව මගේ අදහසයි. තමන් මුහුණ දී සිටින දුෂ්කරතා නිසා ඒ ජනතාව සිටිනුයේ බලවත් පීඩාවකිනි. ඒ නිසා පොදු ජනතාවගෙන් නැඟෙනුයේ වේදනාවේ නිර්ව්‍යාජ හඬකි. එහෙත්, ‘‘ගෙදර පල”‍ කියමින් කෑ මොර දෙන කොළඹ මධ්‍යම හා ඉහළ පාන්තික පිරිස් මේ තත්ත්වය හමුවේ කිසි සේත් සුදනෝ නොවෙති. කාර් එක නැතිව යාම් ඊම් බැරි, මතක ඇති කාලෙක බස් එකක දුම්රියක නොගිය - වායු සමනය නැතිව දහඩිය නිසා නින්ද නොයන, ඉහළ ආදායම් පන්තිය හා ඒ තත්ත්වය දකිමින් තමන් ද එතැනට තල්ලු‍ වීමට කැස කවන ප්‍රදර්ශනාත්මක පරිභෝජනය පස්සේ දුවන සමහර මධ්‍යම පාන්තිකයන් අපේ ආර්ථිකයේ ආනයන සූක්ෂ්මතාවට බරපතළ ලෙස වගකිවයුතු වුවත්, මේ රටේ ජනගහනයෙන් හරි අඩකට කිට්ටු අඩු ආදායම් ලාභීන් ඊට වගකිවයුතු නැත.

මේ අතර තවත් ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් කිහිප දෙනකුම පසුගිය දා කළ පොදු චෝදනාවක් වූයේ විදේශ ණයමත පසුගිය කාලය පුරාම සිදු වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලට කිසිම ආකාරයක විරෝධයක් නොදැක්වූ දේශපාලන පක්ෂ සහ වෘත්තීය කණ්ඩායම් විදේශ ආයෝජනවලට බරපතළ ලෙස විරෝධය දැක්වූ බවය. තම පටු පක්ෂ හා වෘත්තීය සමිති න්‍යාය පත්‍ර මත සිදු වූ මේ විරෝධය පෑම් හමුවේ රටට ලබාගත හැකිව තිබූ ඩොලර් බිලියන ගණනක විදේශ ආයෝජන රටට අහිමි වූ බවත්, ඒ සමඟ ශ්‍රී ලංකාව ගැන විදේශ ආයෝජනයන් තුළ තිබූ විශ්වාසය දැඩි ඛාදනයකට ලක්වූ බවටත් ඔවුහු චෝදනා කළහ.

‘අපිටත් පුදුමයි ඉහළ පොලියකට විදේශ ණය අරං කරන ප්‍රදර්ශනකාමී සංවර්ධන ව්‍යාපෘතිවලට ආශිර්වාද කළ බොහෝ පක්ෂ හා කණ්ඩායම් විදේශ ආයෝජනවලට මාරාන්තික ලෙස විරුද්ධ වුණා. අද අපි මුහුණ දෙන මේ අර්බුදයට ඔවුන් ද ඍජුව වගකිව යුතුයි‘ මේ ගැන සිය මතය ප්‍රකාශ කළ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් චානක්‍ය සමඟ කීවේය.

වත්මන් දේශපාලන කරළියේ තීරක බලවේග බවට ඕපපාතිකව නාමකරණය වූ ඊනියා නාගරික මධ්‍යම පන්තිය සහ මධ්‍යම පාන්තික නාගරික තරුණයින්ගේ අදේශපාලනික ළාමකත්වය නිසා රට බලවත් දේශපාලනික හා ඒ හා සමගාමීව නිර්මාණය වූ ආර්ථික අර්බුදයක ගිලෙමින් තිබෙන බව තව දුරටත් නොරහසකි. විශේෂයෙන් වත්මන් උද්ඝෝෂණ රැල්ල සමඟ සංචාරක ව්‍යාපාරය විනාශ මුඛයට ඇද වැටී ඇති අතර අපනයන සැලසුම් කලාප තුළ ද වර්ධනය වන උද්ඝෝෂණ තවත් වටයකින් විදේශ විනිමය අර්බුදය උග්‍ර කරන්නේය.

මේ අතර උද්ඝෝෂකයන්ගේ ජනප්‍රියම හා ප්‍රබලම සටන්පාඨය වන ‘ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම‘ ගැන මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ද දේශපාලනිකව සවිඥානික පිරිස අතර ඇත්තේ බලවත් විමතිකයක් මෙන්ම විරෝධයකි. විශේෂයෙන් ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හෝ නෙරපා හැරීම ගැන උද්ඝෝෂකයන් දක්වන බොළඳ හා අනීතික අදහස් ගැන ඔවුන් අතර බලවත් කණස්සලක් තිබෙන්නේය.

ජනපති ඉවත් කිරීම?

ජනාධිපතිවරයා ඉවත් කිරීමේ ව්‍යවස්ථාපිත ක්‍රමවේදය ගැන මේ තරුණයන්ට කිසිම අවබෝධයක් අති බවක් නොපෙනේ. ඔවුන් අරාබි වසන්තය වාගේ දේවල් හිතේ තියාන හීන දකින අතර 1978 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙක් ඉවත් කිරීම කිසිසේත් පහසු හා සරල කටයුත්තක් නොවන බවට අවබෝධයක් ඔවුන්ට නැත.

‘1978 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙක් ඉවත් කරනවා කියන එක අති සංකීර්ණ හා දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියක්. ඒ ගැන විපක්ෂයේ බුද්ධිමත් නායකයන් දන්නවා.

ඒත් අදේශපාලනික හා අවස්ථාවාදී අන්තවාදීන්ට ව්‍යවස්ථාව වලංගු නැති බවයි පේන්නේ. මේ නිසා සිද්ධ වෙන්නේ රට තව තවත් අර්බුදයට යාමක් පමණයි‘ ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙක් චානක්‍ය සමඟ පැවසුවේය. ඔහු එහිදී කියා සිටියේ දේශපාලනය ගැන සංවිඥානික නැති පුද්ගලයන් හා කල්ලි අතට වත්මන් ජන අරගලය පත්වීම අනාගතයේදී බරපතළ ප්‍රතිවිපාක ඇතිකරනු ඇති බවය.

මේ අතර ආර්ථික අර්බුදයේ තවත් වැදගත් පැතිකඩක් ගැන ද බලධාරීන් හා ඒ ගැන අවධානය යොමු කරන පාර්ශ්ව අවධානය යොමු කළ යුතුය. ඒ ඩොලර් හිඟය, ඉන්ධන හිඟය හා මිල ඉහළ යාම දඩමීමාකර ගෙන අතිවිශාල ලෙස, අතාර්කික ලෙස සිය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දමමින් බොරදියේ මාළු බාමින් සිටින ව්‍යාපාරිකයින් සහ ඇතැම් සේවා සපයන්නන් ගැනය.

කල දුටු කල වළ ඉහ ගැනීම

අවසාන වශයෙන් මේ අර්බුදකාරී අවස්ථාවේදී කලදුටු කල වළ ඉහ ගැනීමේ භූමිකාව අපූරුවට සිදුකරමින් සිටින අවස්ථාවාදී හා අන්තවාදී දේශපාලන හා ව්‍යාපාරික කල්ලිවල පහසු ගොදුරු නොවී අර්බුදයට තිරසර, කාටත් පිළිගත හැකි විසඳුමක් ලබාදීමට රජය ගන්නා උත්සාහයට තවත් අවස්ථාවක් ලබාදිය යුතු බව චානක්‍යගේ අදහසය. මන්ද වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදය ජයගත හැකි වන්නේ එවැනි සාමූහික, සර්වපාක්ෂික උත්සාහයක් මඟින් පමණක්ම වන නිසාය.

Comments