
පොලිසිය, මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුළු ආරක්ෂක අංශවලින් බේරී නිරුපද්‍රිතව සිය ජාවාරම් සිදුකර ගෙන යාම සඳහා පාතාල කල්ලි නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් ඩුබායි රාජ්‍යයට පලාගොස් එහි සිට ක්‍රියාත්මක වන බව රහසක් නොවේ.
පොලීසිය සහ මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් ගැලවී සිටීම සඳහා හොර රහසේම ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලකිය යුතු පිරිසක් එහි නිරුපද්‍රිතව සිටිමින් මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා මත්ද්‍රව්‍ය බෙදා හැරීම, මිනිමැරීම සහ කප්පම් ගැනීම සිදුකරගෙන යන්නේ රුපියල් ලක්ෂ කෝටි ගණනින් මුදල් ද හරිහම්බ කර ගනිමිනි.
අතුරුගිරියේ ‘ලඩියා’, මිදිගම ‘හරක් කටා’, දික්වැල්ලේ ‘රන්මල්ලි’, නවගමුවේ චමින්ද පානදුරේ ‘කුඩු සලිඳු, රත්මලානේ ‘ධර්මේ’, ‘කුඩු අංජු’ සහ කෙසෙල්වත්ත පාතාලේ ප්‍රබලයන් ඇතුළු සැලකිය යුතු පිරිසක් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනී මැරුම්, කප්පම් ගැනීම් ආදිය මෙහෙයවන්නේ ජංගම දුරකථන සහ තාක්ෂණය උපයෝගී කරගෙනය.
තමන්ගේ හොරමැර ජාවාරම්වලට විරුද්ධ වන පුද්ගලයන් තරාතිරම නොබලා ඝාතනය කිරීමට මේ පාතාල නායකයන් සහ ජාවාරම්කරුවන් පසුබට නොවන්නේ ඒ සඳහාම සැදී පැහැදී සිටින ගෝල බාලයන් රොත්තක්ද මෙරට සිටින බැවිනි.
මිනුවන්ගොඩ හීනටියන, කටුනායක ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම්වලට නායකත්වය දුන් මිනුවන්ගොඩ හීනටියන ගුරුගොඩ පදංචි මහේෂ් සහ කෙහෙල් බද්දර ‘නෙවිල්ගේ පුතා’ හෙවත් ‘පද්මේ’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා මෙරට සිට ඩුබායි රාජ්‍යයට පලාගොස් එහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම සහ කප්පම් ගැනීම සිදුකරන්නේ මීට ටික කලකට පෙර සිටය. මිනුවන්ගොඩ හීනටියන ගුරුගොඩ පදිංචි මහේෂ්ගේ වයස අවුරුදු 31කි. ඔහු එම ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ පාතාල ක්‍රියා රැසකට සම්බන්ධ පුද්ගලයෙකි. ‘මහේෂ්’ට විරුද්ධව අධිකරණයේ නඩු කීපයක් ද විභාග වන අතර මිනීමැරුම්, පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම, මංකොල්ලකෑම, කප්පම් ගැනීම, පුද්ගලයන්ට පහරදීම, ගිනිඅවි සන්තකතයේ තබා ගැනීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකි.
අධිකරණය මඟ හැරීම නිසා පොලීසිය ඔහු සොයද්දී වතාවක් හොර රහසේ ඩුබායි රාජ්‍යයට පලායාමට තැත් කළත් අතරමඟදි එය වැළැක්වී යාම නිසා ඒ අදහස අතහරින මහේෂ් දෙවැනි වතාවේ කෙසේ හෝ ඩුබායි රාජ්‍යයට පලා යන්නේ නිරුපද්‍රිතවය. ඒ පෙබරවාරි මාසයේ මුල් සතියේදීය.
කෙහෙල්බද්දර ‘නෙවිල්ගේ පුතා’ හෙවත් ‘පද්මේ’ මිනුවන්ගොඩ, මීගමුව, කටුනායක, හීනටියන ප්‍රදේශවල හෙරොයින් මත්ද්‍රව්‍ය සරුවටම බෙදා හරිමින් සිටි ප්‍රබල ජාවාරම්කරුවෙකි. ඔහු කාලයක් තිස්සේ මේ ජාවාරමෙන් ඉතා විශාල මුදලක් ද උපයාගෙන තිබූ අතර හෙතෙම ඩුබායි රාජ්‍යයට පලා ගියේ මීට ටික කාලයකට පෙරය.
ඩුබායි රාජ්‍යයට පලා යාමෙන් අනතුරුව එහි රැඳී සිටින හීනටියන ‘මහේෂ්’ සහ කෙහෙල්බද්දර ‘පද්මේ’ මිනුවන්ගොඩ හීනටියන කටුනායක ප්‍රදේශවල සිටින සිය ගෝල බාලයන් ලවා හෙරොයින් ජාවාරම් සහ ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීම සිදුකරන්නේ කිසිම බියක් සැකක් නොමැතිවය. ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින මිනුවන්ගොඩ පාතාල කල්ලි නායකයකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්ක්කරුවකු කටුනායක මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශවල සිය ගෝලබාලයන් යොදා ගනිමින් ව්‍යාපාරිකයන්ට තර්ජනය කරමින් කප්පම් ලබා ගැනීමට තැත් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ගැන පැමිණිලි රැසක් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාට ලැබෙන්නේ මේ අතරය.
මේ ගැන විමර්ශන මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් බාර දෙන්නේ ඒ අනුවය.
හීනටියන ගුරුගොඩ මහේෂ් සහ කෙෙහල්බද්දර ‘පද්මේ’ ගැන තොරතුරු මුලින් සොයා බලන පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර ඇතුළු කණ්ඩායම අනාවරණය කර ගන්නේ මේ දෙදෙනා ඩුබායි රාජ්‍යයේ සිට මෙරට සිටින සිය ගෝල බාලයන් ලවා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ලබා ගැනීම දිගින් දිගටම සිදුකරමින් සිටින බවයි.
කෙහෙල්බද්දර ‘පද්මේ’ගේ මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කිරීමට පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර ඇතුළු කණ්ඩායම සැලසුම් සකස්කරන්නේ ඉන් අනතුරුවය.
‘පද්මේ’ගේ හෙරොයින් ජාවාරම් සිදු කළ ප්‍රබලයන් දසදෙනෙකු කටුනායක මිනුවන්ගොඩ කටාන ප්‍රදේශවලදී පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර ඇතුළු කණ්ඩායම විසින් අත්අඩංගුවට ගන්නේ එම නිලධාරින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදීය.
මේ අතර හෙළිවූ තවත් සුවිශේෂී තොරතුරක් ගැන පොලිස් කණ්ඩායම විමර්ශන ආරම්භ කරන්නේ එතැන් සිටය. ඒ හීනටියන ‘මහේෂ්’ ඒ වන විට මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින බවටය. මහේෂ් විසින් ඩුබායි හි සිට ඒ වනවිටත් මේ ව්‍යාපාරිකයා ඇතුළු ව්‍යාපාරිකයන් සිව්දෙනෙකුට මරණ තර්ජන සිදුකර කප්පම් මුදල් ලබා ගැනීම සඳහා උත්සාහ කර තිබුණු අතර කටුනායක පොලීසියට ඒ පිළබඳව පැමිණිලි 03ක්ද ලැබී තිබිණි. නැදගමුවේ ව්‍යාපාරිකයකුට ද ‘මහේෂ්’ කල්ලියේ ඝාතන තර්ජන ඒ වන විට එල්ලවී තිබිණි. ‘හීනටියන මහේෂ්ගේ’ මරණ තර්ජනයට ලක්ව සිටි ප්‍රධාන පුද්ගලයා වූයේ මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හල්වලින් ඉවතලන රෙදි කැබලි විශාල ප්‍රමාණයෙන් මිලදී ගැනීමේ නිරතව සිටි අතර අබලි ද්‍රව්‍ය ද මිලදී ගැනීම සහ ප්‍රවාහනය කිරීමේ විශාල ව්‍යාපාරයක් සිදුකරගන යමින් සිටියේ කලක සිටය. හීනටියන මහේෂ්ගේ අරමුණ වූයේ මේ ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සැලසුම් කිරීමයි. ඒ ඉන් අනතුරුව එම ව්‍යාපාර සියල්ල අලුතෙන් තමා යටතට ගැනීමය. අදාළ ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් අනතුරුව එම ව්‍යාපාරවල නිරතව සිටින සෙසු ව්‍යාපාරිකයන් ද තමන්ට ජීවිත තර්ජන එල්ල වේ යැයි බියෙන් සිය ව්‍යාපාර අතහැර පලා යනු ඇතැයි මහේෂ් සිතා සිටියත් සිදුවූයේ අනෙකකි.
කෙහෙල්බද්දර පද්මේගේ හෙරොයින් ජාලය විනාශ කළාක් මෙන් හීනටියන ‘මහේෂ්ගේ’ සන්නද්ධ ගෝලබාලයන් අත්අඩංගුට ගැනීම සඳහා පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර ඇතුළු කණ්ඩායම ‘දැල’ එළන්නේ ඉන් අනතුරුවය.
‘නයින් එම් එම්’ පිස්තෝලයක්, අත්අබෝම්බයක් සමඟ කෝවින්නේ ‘කොණ්ඩ නිශාන්ත’ පොලීසියට කොටු වන්නේ ඔය අතරදීය. ‘මහේෂ්ගේ’ තවත් හොඳම ගෝලයකු වූ අංජන ත්‍රී එයිට් ස්පෙෂල් පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගැනීමට ද විමර්ශන නිලධාරින්ට හැකි වන්නේ ඉන් අනතුරුව සිදුකරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසය.
හීනටියන මහේෂ්ගේ ගෝලබාලයන් තවත් සැලකිය යුතු පිරිසක් මිනුවන්ගොඩ හීනටියන කටුනායක ප්‍රදේශවල ගැවසෙන බවට තොරතුරු විමර්ශන නිලධාරින් ඒ වන විට සොයාගෙන තිබිණි. මේ පුද්ගලයන් අත ස්වයංක්‍රීය තුවක්කු පිස්තෝල ඇති බවට ද පොලිස් කණ්ඩායමට තොරතුරු වාර්තා වී තිබිණි.
ටී 56 ස්වයංක්‍රීය තුවක්කුවක්, නයින් එම් එම් පිස්තෝල දෙකක් හීනටියන මහේෂ්ගේ ගෝලබාලයන් සතුව තිබෙන බවට ද පොලිස් කණ්ඩායමට තොරතුරු ලැබෙන්නේ මේ අතරදීය.
මහේෂ්ගේ ගෝලයකු වන ‘තින්නා’ විමර්ශන නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගන්නේ මේ අතරදීය. ඔහුගෙන් ලැබුණු ප්‍රධාන තොරතුර වූයේ ටී 56 ස්වංක්‍රීය තුවක්කුව හීනටියන මහේෂ්ගේ සොයුරියගේ නිවෙසේ වළ දමා ඇති බවයි. එහෙත් එය තින්නා’ගේ වැඩිමල් සොයුරා වන උපුල් සන්තකයේ තිබී සොයා ගැනීමට හැකිවිය. තින්නා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 7 යි මිලි ග්‍රෑම් 800ක්ද සොයා ගැනිණි. මහේෂ්ගේ ගෝලයන් දෙදෙනකු වන ‘රුවන්’ චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත නයින් එම් එම් පිස්තෝලයක් ජීව උණ්ඩ අටක් සමඟත් ‘සම්පත්’ චීනයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට ද පොලිසියට හැකිවිය.
ටී 56 කුවක්කුවක්, ජීව උණ්ඩ 11ක්, පිස්තෝල දෙකක්, ජීව උණ්ඩ 08ක්, ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාට දැනුම් දෙන්නේ ඉන් අනතුරුවය.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.
මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා, පොලිස් අධිකාරි නාලක සේනානායක යන නිලධාරීන්ගේ උපදෙස් මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහගේ මෙහෙය වීමෙන් පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර, සැරයන් (49370) චින්තක, කොස්තාපල්වරුන් වන (67021) දිසානායක, (67229) අමල්, (37928) වන්නිනායක, (82758) කුලතුංග නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
දීපාල් සමරසේකර