
- ජන මතයට හිස නමන මෙන් රජයෙන් ඉල්ලයි
- පාසල්, රෝහල් , ජන ජිවිත අඩපණ වුණා
‘ජන මතයට හිස නමා ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාවෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සිය ගණනක් පසුගිය 28 වැනිදා ‘වැඩ වර්ජනය‘ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළේ පවත්නා රජයට ඉවත්වීමට බල කරමින්ය. සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය, විදුලි, තෙල්, වතු, තැපැල්, බැංකු, කම්කරු ඇතුළු වෘත්තීය සමිති ඇරඹී මේ වර්ජනය වෘත්තිය සමිති බහුතරයකගේ එකමුතුවෙන් පැවැති වැඩ වර්ජනයක් විය. මීට පෙර මෙරට විශාලතම වැඩ වර්ජනය පැවැතියේ මීට වසර 42 කට පෙර එනම් 1980 ජූලි 18 දාය. ඒ ජන අරගලයට රාජ්‍ය, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන හා පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාව ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගි වූ බව කාටත් අමතක නැත.
පසුගිය 28 වැනිදා පැවැත්වූ වර්ජනය ද සෑම නගරයකම ක්‍රියාත්මක වූ අතර, බස්නාහිර පළාතේ ප්‍රධාන විරෝධතා පා ගමන ආරම්භ වූයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ගෝල්ෆේස් අරගල බිම දක්වාය. මෙම වැඩ වර්ජනය හේතුවෙන් පසුගිය 28 වැනිදා පාසල්, බැංකු, සෞඛ්‍ය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේම වැඩ කටයුතු අඩපණ විය.
අප්‍රේල් 28 දා රටපුරා පැවැත් වූ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඒ ඒ වෘත්තීය සමිති නායකයන් දැක්වූයේ මෙවන් අදහස්ය.
“මේ ආණ්ඩුව මිනිසුන්ගේ හඬට කන් නොදී හිතුවක්කාර ගමනක යනවා. ගෝල්ෆේස් එකේ සටන් වඳින තරුණයෝ මේ සටන් කරන්නේ තමන්ගේ අනාගතය ඉල්ලමින්. පාලකයන්ට ගෙදර යන්න කිව්වත් මෙහා පැත්තේ සටන දිහා බලාගෙන ඒ අය ගෙදර නොයා ආණ්ඩු කරනවා. අපි ආණ්ඩුවට කියනවා, තව දුරටත් බස් එකේ එන්න බැහැ, ත්‍රී විලර් එකේ ඇවිත් වැඩ කරන්න බැහැ. මේ පඩියෙන් ජීවත් වෙන්න බැහැ කියලා. මේ සමස්ත වැඩ වර්ජනයම කෙරුවේ සියලු වැඩ කරන පංති ඒකාබද්ධව. රජය ඉල්ලා අස් නොවුණහොත් 6 වැනිදා හර්තාලයක් දියත් කරනවා“ ඒ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ ය.
පසුගිය 25 වැනිදා පැවැති ගුරු විදුහල්පති ඒකාබද්ධ වැඩ වර්ජනය මෙන්ම, 28 වැනිදා සමස්ත රාජ්‍ය සේවයේ වැඩ වැරුමේදීත් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුළුමණින්ම අඬපණ වන්නට විය. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ දැවැන්ත ආර්ථික අර්බුදය හේතුවෙන් පාසල් පැමිණීමේදී ගුරු සිසුන්ට විඳින්නට සිදුවන දුෂ්කරතාවයන්ට විසඳුම් ලබා දෙන්නට බල කිරීමය.
“අපි කියන්නේ රාජපක්ෂ රජයට ගෙදර යන්න කියලා. අද දරුවන්ගේ දිවා ආහාරය කප්පාදු කරලා; ගුරු පත්වීම් දීම නවත්වලා. දෙමවුපියන් දරුවන්ව පාසල් එවන්නේ අති දුෂ්කරතා රැසක් මැදයි. සපත්තු, බෑග්, නිල ඇඳුම් වියදම් මෙන්ම පාසල් වෑන් ගාස්තු අහස උසට වැඩි වෙලා. 25 වැනිදා ගුරු අරගලයත් අපි හිතුවාට වඩා අතිශයින් සාර්ථක වුණා. ගුරුවරු 99.9 % ආවේ නැහැ. දරුවෝ 80% ක් පාසල් ආවේ නැහැ. රජය වහාම ගෙදර යා යුතුයි. එසේ නොගියහොත් ඉදිරියේදී මීට වඩා දරුණුවට අරගලය දියත් කරනවා....“ ඒ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං හා ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහය.
ගුරු වෘත්තීය සංගම් පමණක් නොව විදුහල්පතිවරු ද සිය විරෝධය පළ කළේ පාසල් පවත්වාගෙන යාමට මේ වන විට ඇති වී ඇති බාධක පිළිබඳ අවධානය යොමු කරමිනි.
“දැනටමත් ඉන්ධන, ගෑස් ඇතුළු ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් මෙන්ම ගුරුවරුන් පාසල් පැමිණීම අඩුවෙලා. මේ නිසා සහනයක් දෙන්න කියලා අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. ඒත් එය ප්‍රතික්ෂේප කළා. මේ සියලු ප්‍රශ්න අත්තනෝමතික පාලනය නිසයි. අපි දින දෙකේදීම අපේ විරෝධය ප්‍රකාශ කළා. එය 100% ක් සාර්ථකයි. ගුරු විදුහල්පති සන්ධානය ලෙස ගුරු සංගම් 30 ක් එකතු වුණා. වෙනදාට වඩා මහන්සි නොවී මේ විරෝධතාව දියත් කරන්න හැකිවුණා. එසේම ඊට දෙමවුපියන්ගෙන් උපරිම සහය ලැබුණා. .....“ ඒ ශ්‍රි ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් මොහාන් පරාක්‍රම වීරසිංහය. ගුරු විදුහල්පතිවරු පමණක් නොව අධ්‍යයන අනධ්‍යයන සේවකයෝද මේ වර්ජනයට එක් වූයේ සිය ප්‍රවාහන හෝ දුෂ්කර දීමනා ලබා දෙන ලෙස ඉල්ලමිනි. “25 වැනිදා අපි පැවැත්වූ වැඩ වර්ජනය 100% ක් සාර්ථක වුණා. අපේ සංගමයේ සාමාජීකයෝ 35,000 ක් පමණ ඉන්නවා. මේ දිනවල අධික වියදම නිසා ප්‍රවාහන දීමනාවක් ලෙස රුපියල් 10,000 ක් හා දුෂ්කර, අති දුෂ්කර දීමනා ලබා දෙන්න ඉල්ලීමක් කළා. ඒ වගේම මේ වැඩ වර්ජනයේ ප්‍රධාන අරමුණක් තමයි, පවත්නා රජයට ඉල්ලා අස්වීමට බලපෑම් කිරීම“ අධ්‍යයන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්නය.
නමුත් පාසල් සිසුන්ගේ අධ්‍යාපනය කඩා ඉහිරිවමින් මෙසේ සිදුකරන වැඩ වර්ජන ක්‍රියාවලිය ගැන සමහරක් ගුරු සංගම් චෝදනා කරති.
“මේ අය සමස්ත ගුරුවරු රැවැට්ටුවා. ළමයින්ට ඉදිරියට විෂය ආවරණයට ඇත්තේ දින 130යි. මේ කාලය තවත් අඩු වීමක් තමයි මේ වෙන්නේ. ගුරුවරුන්ට දෙතුන් ගුණයකින් වැටුප් වැඩි කළා. අද මේ අය රට විනාශ කරන අතකොළුවන් වෙලා. ගුරුවරු මීට වඩා බුද්ධිමත් විය යුතුයි. අද අපේ දරුවෝ ගෙදර. ජාත්‍යන්තර පාසල් දරුවෝ ඉගෙන ගන්නවා. ...“ ඒ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩය.
කෙසේ වෙතත් පාසල් සෞඛ්‍ය පමණක් නොව සියලූම බැංකු සේවකයෝද මේ වැඩ වර්ජනයට එක්වූයෙන් 28 වැනිදා බැංකු කටයුතු සියල්ල අඩපණ වූ අතර සමහරක් බැංකු කටයුතු සිදුවූයේ පැය දෙකක පමණ කෙටි කාලයකට පමණි.
“රජය ජන මතයට හිස නමා ගෙදර යා යුතුයි. මෙම සටන ලංකාවේ සියලුම වෘත්තිය සමිති නියෝජනයක් ඇතිව හා පෞද්ගලික, රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවකයින්ගේ මානුෂික සටනක්. ප්‍රධාන නගර වල අපි උද්ඝෝෂණ සිදු කළා. ඒ වගේම බස්නාහිර පළාතේ ප්‍රධාන උද්ඝෝෂණය කොළඹ කොටුව දුම්රිය පළ ඉදිරිපිටින් ආරම්භ වී දැවැන්ත විරෝධතාවක් ගෝල්ෆේස් දක්වා ආවා. බැංකු 18 ක වෘත්තිය සමිති සාමාජිකයන් 28,000 ක් මේ සටනට එකතු වුණා. අරගලයට විසඳුමක් නොලැබුණහොත් 6 වැනිදා හර්තාලයකට යනවා. “ සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායකය.
මෙම ජන අරගලයට සමස්ත රාජ්‍ය අර්ධ රාජ්‍ය පමණක් නොව ඇඟලුම් ක්ෂේත්‍රයේ මෙන්ම වතු කම්කරුවෝද එකතු වූහ. සමහරක් නගරවල කළු කොඩි ඔසවා හර්තාල් මට්ටමින්ද වර්ජනය පවත්වන්නට කටයුතු යොදා තිබුණි.
“අද රට පත්වී ඇත්තේ බරපතළ සමාජ අර්බුදයක. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩකරන හා නොකරන ජනතාව බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දීලා. වැඩි වූ ජීවන වියදමට සරිලන ආකාරයෙන් වැටුප් වැඩි වූයේ නැහැ. අද අතිකාල දීමනා නැහැ.
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල පාලනයක් ඕන. අත්‍යවශ්‍ය ආහාර මිල පාලනය, ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ස්ථාපිත කිරිම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වැනි කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ගමයි, අපි පාරට බැස්සේ.“ ඒ ලංකා වෙළෙඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් ( CMU)සිල්වෙස්ටර් ජයකොඩිය.
“මේ රජය පත්වුණේ 69 ලක්ෂයෙන්. අද ඒ සියල්ලම පාරට බැහැලා කෑ ගහන්නේ මේ රජය එපා කියලා. රජය ජනතාවගේ හඬට සවන් දිය යුතුයි. රජය ජනතාවගේ හඬට සවන් නොදුන්නහොත් රජය ඉවත්වන තුරම ජනතාවගේ මේ සටන නොනවතින බව අපට ස්ථීරයි. ජනතාව දැන් වෘත්තීය සංගම් පවා අබිබවා යමින් ඉදිරියට ගොස් තියෙනවා. ඉදිරියේදි මෙය සිවිල් අරගලයක් බවට පත්වේවි. මේ නිසා ජනතා හඬට කන් දී රජය වහා ඉවත් විය යුතුයි. එසේ නොමැති වුවහොත් මේ සටන ඉදිරියටත් මීට වඩා දැඩිව ගෙනියන බව කිව යුතුයි...“ ඒ සමගි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්නයි.
මෙම උද්ඝෝෂණයට වෘත්තිය සමිති පමණක් නොව විශ්වවිද්‍යාල අධ්‍යයන අනධ්‍යයන මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ද එක් විම විශේෂත්වයකි. ඔවුන් මේ සඳහා තමන්ගේ ප්‍රදේශවල පැවැති විරෝධතාවයන්ට සෘජුව සහභාගිත්වය ලබා දුන්හ. “ දින 18 ක් මුළුල්ලේ විශ්වවිද්‍යාල සිසුන් අඛණ්ඩ අරගලයක යෙදී ඉන්නවා. රටේ ජනතාව සමඟ එකතු වී සිදු කළ අඛණ්ඩ වැඩ වර්ජනයට සමගාමීව නගර මට්ටමින් පසුගිය 28 වැනිදා විශ්වවිද්‍යාල සිසුන් අරගලයට එක් වුණා. ආණ්ඩුව ඉවත් නොවුණහොත් ඉදිරියේදි දැනෙන ක්‍රියාමාර්ගවලට යමෙට අපි සූදානම්.“ ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේය.
මෙම විරෝධතාවලට සමගාමීව බොහෝ නගරවල කඩ සාප්පුද වසා දැමුණු අතර කළු කොඩි ඔසවා තිබෙනු දැක ගත හැකි විය.