
ගෑස් පිපිරීම් මරණවලට අනිවාර්යෙන්ම වන්දි ගෙවනවා
- ලිට්රෝ සභාපති
මෙරට මධ්‍යම පාන්තික හා ඉහළ පෙළැන්තියේ ජනතාවගේ අතවශ්‍යම භාණ්ඩයක් ලෙස ගෑස් සිලින්ඩරය පත්ව තිබේ. ගෑස් නැත්නම් කෑමත් නැත. එපමණක් නොව ගෑස් නැත්නම් කඩේ කෑමත් නැත. මේ අද වන විට මෙරට තත්ත්වයයි. එයට විකල්ප ලෙසින් ආදේශයක්ද නැත. විදුලිය බලය හෝ වෙනත් ආදේශ භාවිත කරමින් ඊට විකල්ප සපයා ගන්නට අද පවත්නා තත්ත්වය අනුව හැකියාවක්ද නැත.
සපුගස්කන්ද පිරිපහදුවෙන් අපේ ගෑස් අවශ්‍යතාවයෙන් 1%කටත් වඩා අඩු ගෑස් ප්‍රමාණයක් නිෂ්පාදනය කළද ශ්‍රී ලංකාව ගෑස් නිපදවන රටක් නොවේ. ගෑස් ආනයනය කළ යුතුමය. මෙරට සියලු ගෑස් අවශ්‍යතා සපුරාලන්නේ ප්‍රධාන සමාගම් දෙකකිනි. එකක් රජය සතු ෂෙල් ගෑස් සමාගමය. අනෙක පෞද්ගලික ලාෆ්ස් ගෑස් සමාගමය. එය කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමකි.
එයින් ලාෆ්ස් ගෑස් සමාගම මෙට්‍රික් ටොන් 30,000ක ගබඩා පර්යන්තයක් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකරන ලදී. එහි මාසයකට අවශ්‍ය ගෑස් තොග ගබඩා කළ හැකිය. එහි තවත් පර්යන්තයක් මාබිම ප්‍රදේශයේ ස්ථාපිතය.
හම්බන්තොටට වරාය ගැඹුරින් වැඩිවීම නිසා සහ විශාල පර්යන්තයක් ඉදිකර තිබීම හේතුවෙන් එකවර මෙට්‍රික් ටොන් 40,000 ක් පමණ ගෑස් ආනයනය කළ හැකිය. හම්බන්තොටට ගෑස් ආනයනය කරන්නේ නම් විශාල පිරිවැයක් ද ඉතිරි කරගත හැකි බව අධ්‍යයනයන්හිදී හෙළි ව තිබේ. ඒ අනුව හම්බන්තොටට ගෑස් ආනයනය කිරීමේදී නැව් හා රක්ෂණ ගාස්තු වශයෙන් ඇමරිකන් ඩොලර් 40කට ආසන්න මුදලකට ගෑස් මෙට්‍රික් ටොන් එකක් ගෙන ආ හැකිය. එය කෙරවලපිටියට ගෙන ඒමේදී ගෑස් මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන් ඩොලර් 105 ගෙවිය යුතුය. ලිට්රෝ ගෑස් ගෙන්වනු ලබන්නේ කෙරවලපිටියටය.
හම්බන්තොට ගෑස් ආනයනය කළද කොළඹට ප්‍රවාහනය කළ යුතු අතර එහිදී මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන් තවත් ඩොලර් 25ක් හෝ 30 ක් පමණ වැය විය හැකිය. ඒ අනුව හම්බන්තොටට ගෑස් ආනයනය කරන්නේ නම් ලිට්රෝ සමාගමට වුවද සැලකිය යුතු විදේශ විනිමයක් ඉතිරි කර ගත හැකි වනු ඇත.
ඒ අනුව ලිට්රෝ සමාගමද හම්බන්තොට වරායට ගෑස් ආනයනය කරන්නේ නම් වසරකට අවම වශයෙන් ඩොලර් මිලියන 22.7 ක් ඉතිරි කරගත හැකිය. එනම් රුපියල් බිලියන 4.5 ක් රටට ඉතිරි කිරීමේ හැකියාව තිබේ. එසේම ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම එක්ව ගෑස් ආනයනය කරන්නේ නම් ටොන් එකකට තවත් ඩොලර් 20 ක පමණ ඉතිරියක් කරගත හැකිය. ඒ අනුව එයින් වසරකට ඩොලර් මිලියන 30 ක් ඉතිරි කර ගත හැකිය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු දැන්වීමෙන් පසුව එය අධ්‍යයනයට කමිටුවක්ද පත් කරන ලදී. කමිටුව යෝජනා කළේ ලාෆ්ස් ගෑස් සමාගමට ගෑස් ආනයනය කර ගබඩා කරනු ලබන හම්බන්තොට ලාෆ්ස් ටර්මිනල් සමාගමේ කොටස් සියයට 40 ක් පමණ ලිට්රෝ ගෑස් සමාගමට මිලදී ගෑස් ආනයනය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් (PPP) වශයෙන් ක්‍රියාත්මක වුවවොත් රටට විශාල විදේශ විනිමයක් ඉතිරිකරගත හැකි බවය. එපමණක් නොව පවතින මිල ගණන් යටතේ දිගුකාලීනව පාරිභෝගිකයන්ට ගෑස් ලබාදිය හැකි බවද කමිටුව පෙන්වා දී තිබුණි. එසේම ගබඩාවන්හි නිරතුරුවම ආරක්ෂණ තොගයක් පැවතීම නිසා රටේ ගෑස් හිඟයක් ඇති නොවන බවත් කමිටුව පෙන්වා දුන් විශේෂ කරුණකි.
වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා විට අඩු මිලක් යටතේ මිලදී ගත හැකිය. අතරමැදියන්ට හෝ කොමිස් ලබා ගන්නන්ට හෝ අවස්ථාවක් නැත.
එහෙත් කොවිඩ් 19 දෙවන රැල්ලත් සමඟ ගෑස් සැපයීම එක්වරම අඩාළ විය. වරෙක ලිට්රෝ ගෑස් සමාගම විසින් දෙමුහුන් ගෑස් සිලින්ඩර් නමින් හඳුන්වා බර අඩු ගෑස් වෙළෙඳපොළට නිකුත් කෙළේය. අවසානයේ එයට තහංචි වැටුණි. පසුව ප්‍රොපේන් - බියුටේන් අනුපාතය වෙනස් කර ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොළට නිකුත් කළ අතර එයින් ජනතාවගේ ජීවිත 7ක් අපට අහිමි වූ අතර කෝටි ගණනක දේපළද අයට අහිමි විය.
පසුව ඩොලර් ප්‍රශ්නයක් නිසා බව පවසමින් ගෑස් සමාගම් දෙකම ගෑස් සැපයීමේදී සිදු කළ අඩෝවැඩියාව ක්‍රමයෙන් වැඩි වී ගෑස් පෝලිම් දිගු වන්නට විය.
එහි අවසන් ප්‍රතිඵලය වූයේ දිනපතාම ගෑස් අලෙවිසල් අසල දිගු පෝලිම් දක්නට ලැබීමත් එම ස්ථානයන්හි නිතර අඩදබර ඇති වීමත්ය. අවසානයේ ගෑස් අලෙවිසල් අසලට පොලිසියද යෙදවීමට සිදු විය.
පසුගිය වසරේ ඔක්තෝබර් මස වන විට සාමාන්‍ය කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පැවැතියේ රුපියල් 1493ක් ලෙසය. එය එක්වරම රුපියල් 1,257කින් ඉහළ ගියේය. ඒ අනුව එහි මිල රුපියල් 2,675ක් බවට පත් විය. එය පසුගිය 26 වැනිදා සිට .තවත් රුපියල් 2185කින් ඉහළ ගියේය. දැන් එහි මිල රුපියල් 4860කි. ඒ අනුව පසුගිය ඔක්තෝබර් රුපියල් 1493ක්ව තිබු ගෑස් සිලින්ඩරය මාස 6ක් ඇතුළතදී 325.5%කින් ඉහළ ගොස් ඇති බවයි.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල තීරණය වන්නේ ‘සෞදි අරාබියේ ඇරම්කෝ සමාගමේ මිල දර්ශකය අනුවය. එම සමාගම මාස් පතා ඉන්ධන සහ එල්.පී. ගෑස් මිල දර්ශකය යාවත්කාලීන කරයි. විවිධ රටවල ඉන්ධන මිල ගණන් වෙනස් වන්නේ මේ හේතුව නිසාය. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යනවිට අපේ ගෑස්ද ඉහළ යන නමුත් එහි මිල අඩු වනවිට මිල පහත දැමීමක් සිදුවන්නේ කලාතුරකිනි. මෙහි සඳහන් ප්‍රස්ථාරයෙන් ඒ බව මනාව පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ මාසික ගෑස් පරිභෝජනය මෙට්‍රික් ටොන් 44,000 පමණ වේ. ඉන් වැඩි ප්‍රමාණයක් සපයනු ලබන්නේ ලිට්රෝ ගෑස් සමාගම මඟිනි. ඔවුන්ගේ ගෑස් සැපයුම මසකට මෙට්‍රික් ටොන් 33000 අධික වේ. ලාෆ් ගෑස් සමාගම මෙරට ගෑස් අවශ්‍යතාවෙන් මෙට්‍රික් ටොන් 11000ක් පමණ සපයයි. ලාෆ් ගෑස් හිඟය පසුගිය වසරේ මැයි මාසයේ සිට පවතී. මේ වන විට ලාෆ් ගෑස් දකින්නටවත් නැත. ලිට්රෝ ගෑස්ද හාවා හඳ දකින්නා සේ අපට දැක ගත හැකිය. අපි මේ සම්බන්ධයෙන් ගෑස් සමාගම්හි හිටපු හා වත්මන් සභාපතිවරුන්ගේ අදහස් විමසා බලමු. ෂෙල් ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයකු වූ තෙෂාර ජයසිංහ මහා අල්ලස් දූෂණ බෝම්බයක් අත හැරියේය. ඔහු පැවසුවේ ගෑස් මාෆියාවක් පවතින බවය. ඒ හරහා සමාගමට ඩොලර් බිලියන 10ක පාඩුවක් සිදුව ඇති බවයි.
‘‘ගෑස් වෙළෙඳපොළට එන්නට නොදී එක කණ්ඩායමක් පමණක් ගෑස් ඒකාධිකාරයක් පවත්වාගෙන යනවා. එය වෙනස් කිරීමට උත්සාහ කළොත් එම පුද්ගලයාට හෝ එම ආයතනයට විරුද්ධව ඔවුන් නැඟී සිටිනවා. පසුගිය වසර 10ක කාලයේදී කිසිම කෙනෙකුට ගෑස් විකුණන්න නොදී එකම කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳපොළ අල්ලාගෙන සිටි බව පේනවා. එයට පක්ෂ, ආණ්ඩු අදාළ නැහැ. හොරු කියන්නේ එක කණ්ඩායමක්.
අප ගෑස් ලබාගත් ඕමාන සමාගමේ නැව කොළඹ වරායට පැමිණ කොන්ත්‍රාත්තුව තවත් වසර දෙකකට දීර්ඝ කරන්නේ නැත්නම් ගෑස් දෙන්න බෑ කිව්වා. ඒ විදිහට තර්ජනය කරන්න තරම් ඔවුන්ට හයියක් කොහෙන්ද? ඒ සඳහා ජනාධිපතිතුමාගෙන් උපදෙස් ගන්න සිද්ධ වුණා. එම සමාගමේ තර්ජනයට යටවී ගෑස් සැපයීමේ ගිවිසුම තවත් වසර දෙකකට දීර්ඝ කළා නම් අපේ රටට රුපියල් බිලියන දහයක පමණ අලාභයක් සිදුවීමට ඉඩ තිබුණා.‘‘
ඔහු පවසන්නේ හිටපු සභාපති වන අනිල් කොස්වත්ත විසින් අත්සන් කරන ලද ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාවට අඩු මිලට ගෑස් ලබා ගැනීමට තිබූ අවස්ථා මඟහැරී ඇති බවයි.
වෙළෙඳ පොළේ ගෑස් අඩුමිලට පැවතියත් ශ්‍රී ලංකාව අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කටයුතු කර නොමැති බව ඔහු පෙන්වා දෙයි.
තෙෂාර ජයසිංහ පැවසූ, පරිදි ඕමාන් ට්‍රේඩිං සමාගම සමඟ එම ගිවිසුම අත්සන් කර ඇත්තේ 2020 පෙබරවාරි 28 දාය. එය වසර දෙකක කාලයකට එනම් පසුගිය පෙබරවාරි 28 දක්වා එය වලංගු විය. මේ ගිවිසුම් හරහා අයුතු ප්‍රතිලාභ ලබන බව තෙෂාර ජයසිංහ එකල පවසන ලදී.
ලිට්රෝ සමාගමේ හිටපු සභාපති තෙෂාර ජයසිංහ විසින් කරන ලද එම චෝදනාව සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස තෙෂාර ජයසිංහට පෙර හිටපු සභාපති අනිල් කොස්වත්ත ලිපියක් මඟින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණි. එම පරීක්ෂණයන්ට කුමක් වූවාදැයි අපි නොදනිමු. අප දන්නේ ගෑස් වෙළෙඳ පොළේ නොමැති බව පමණි. තෙෂාර ජයසිංහගේ පම්පෝරිය කට වචනයට පමණක් සීමා විය. අවසානයේ ඔහු තනතුරින් ඉල්ලා අස්වූයේ ඇමැතිවරයා හා රාජ්‍ය නිලධාරීන් තමන්ට නිසි පරිදි සහාය නොදෙන බව පවසමිනි.
ඒ අතර ලිට්රෝ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති විජිත හේරත් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනුණි.
ඒ අතර පසුගිය අප්‍රේල් 23 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් සමාගම විසින් සාමාන්‍ය ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175ක් දක්වා ඉහළ දැමුවේය. එහෙත් පැයක් ඉක්ම යාමටත් පෙර රජය නිවේදනයක් නිකුත් කෙළේ එසේ මිල ඉහළ දැමීමට අවසර නොදුන් බවය. එම නිසා මිල යළි පහත හෙළූ නමුත් ඒ අතර කාලයේ නිකුත් කිරීමට සිලින්ඩර් වෙළෙඳ පොළ තුළ නොවුණි.
කරුණු කෙසේ වෙතත් පසුගිය 26 වෙනිදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ලිට්රෝ සභාපති විජිත හේරත් මාධ්‍ය හමුවක් පවත්වා දැනුම් දුන්නේ මිල වැඩි නොකර ගෑස් සැපයීම කළ නොහැකි බවයි. මාධ්‍යවේදීන් පුන පුනා විමසුවත් ඔහු මිල ඉහළ දැමීම ගැන පරිස්සමෙන් කතා කළ අතර මිල ඉහළ දැමීම කළ යුත්තේ රජය විසින් බවත් පාඩු විඳීම පමණක් ගැන දැනුම් දිය හැකි බවත් ඔහු පැවසුවේය. කෙසේ හෝ ඔහු මාධ්‍ය හමුව පවත්වා පැය කිහිපයකට පසුව ලිට්රෝ සමාගම ගෑස් මිල රුපියල් 2175කින් ඉහළ දැමුවේය. ඒ රුපියල් 4860ක් වන ලෙසිනි. ඒ අනුව සභාපතිවරයාගේ මාධ්‍ය හමුව මුට්ටිය දමා බැලීමක් වැනිය.
කෙසේ වුවත් සභාපතිවරයාගේ කතාවේ අපට සලකා අවධාරණය කර ගත යුතු විශේෂ වැදගත් තැන් කිහිපයක්ද ඇත.
‘‘ගෑස් හිඟය ඇතිවුණේ ඩොලර් ප්‍රශ්නයත් එක්ක නිෂ්පාදිත මිලට වඩා අඩුවෙන් දෙන්න වුණු නිසයි. ෂෙල් ගෑස් සමාගම 2021 වසරේ බිලියන 14කි ඉතිරිය තිබුණා. ඒ කියන්නෙ රුපියල් කෝටි 1400ක්. මේ වන විට ඒ මුදලත් වැය වෙලා. බැංකුවලට රුපියල් බිලියන 10ක් ණයයි. ඒ කියන්නෙ රුපියල් කෝටි 2400ක පාඩුවක් සමාගමට සිදුව තියෙනවා.
මේ වෙනකොට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 950ක් වනවා. ගෑස් මෙරටට ගෙනවිත් බෑමට එක ටොන් එකකට සාමාන්‍යයෙන් ඩොලර් 105ක් වැය වෙනවා. ඒ අනුව බැලුවහම එක් මෙට්‍රික් ටොන් එකක් ගෙනවිත් බාන්න ඩොලර් 1055 වගේ මුදලක් වැය වනවා. ඒ විදිහට 12.5 ගැස් සිලින්ඩරයකට අවශ්‍ය ගෑස් මෙරටට ගේන්න විතරක් රුපියල් 4600ත් පමණ වැය වනවා. ඒ ගාණට ගෙනවිත් පුරවලා සීල් කරලා, බෙදා හැරලා අලෙවි නියෝජිතයාටත් යම් ලාභයක් ලබා දීලා සමාගමට ලාභයක් ගන්න නම් රුපියල් 5500ක පමණ මිලකට අලෙවි කළ යුතු වෙනවා‘‘
ලිට්රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ සිලින්ඩර් 100,000 පමණ මේ වන විට දිනකට ඉල්ලුමක් පවතින බවත් පැරැණි මිලට ගෑස් අලෙවි කරන්නේ නම් දිනක පාඩුව රුපියල් කෝටි 25ක් බවයි. එහෙත් දිවයිනේ ජනතාවගෙන් 27%ක්ම සම්පූර්ණයෙන්ම ගෑස් පරිභෝජනය කරන්නන්ය. ඔවුන්ට වුවද පුනර්ජනනීය වැනි විකල්ප බලශක්ති කෙරෙහි ඉදිරියේදී අවධානය යොමු කරන්නට වන බව සභාපතිවරයා පෙන්වා දෙයි.
සිළුමිණ මේ සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටියගෙන් විමසන ලදී. ‘‘ඩොලර් ප්‍රශ්නය නිසා අපට ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වුණා. ඒ වගේම අපි ගෑස් සැපයුම නතර කරල නැහැ. උපරිම විදිහට දෙන්න කටයුතු කරනවා. ඒත් අධික මිල ගණනකට ගෑස් ගෙනත් අඩු මිලකට දෙන්න පුළුවන්කමක් නැහැ; ව්‍යාපාරයක් කරන්නෙ ලාබ ලබන්න. නමුත් ලාබ ලැබීම කෙසේ වෙතත් වියදම පියවා ගන්නවත් විදිහක් නැතිව අපි කොහොමද මේ සේවාව ඉදිරියට පවත්වාගෙන යන්නෙ. . සේවක සේවිකාවන්ට අපි වැටුප් ගෙවීම කිසි ලෙසකින් අඩු කර නැහැ. ඒ අතරේ මේ ආර්ථික අර්බුදයත් මැඬ පවත්වා ගෙන ගෑස් සැපයීම ලොකු අර්බුදයක්‘‘
වසර කිහිපයකට පෙර ඕනෑම සිලින්ඩරයකට ගෑස් නිකුත් කිරීම සම්බන්ධව අවධානය යොමු විය. ඒ ගැන පළමුවෙන්ම අවධානය යොමු කෙළේ ආරියශීල වික්‍රමනායක විසින් ස්ථාපිත මුන්ඩෝ ගෑස් සමාගමයි. ඒ අනුව ඕනෑම සිලින්ඩරයකට ගෑස් නිකුත් කරන්නට මුන්ඩෝ සමාගම කටයුතු කරන ලදී. එහෙත් අපේ ව්‍යාපාරිකයෝ බලා නොසිටියහ. ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනුණි. නඩුවෙන් මුන්ඩෝ ගෑස් සමාගම පරාජයට පත් වූ අතර මුන්ඩෝ සමාගම ද වසා දැමුණි.
පසුගිය වසරේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 350 ක් වූ අතර පසුව එය 605ක් දක්වා ඉහළ නංවන ලදී. එය පසුව ඩොලර් 625 ක් දක්වා ඉහළ ගිය අතර එය වරින් වර ඉහළ ගොස් ඩොලර් 757ක් දක්වා හා වර්තමානය වන විට ඩොලර් 950ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෑස් ආනයනයට ට ලිට්රෝ සමාගම (මසකට ඩොලර් මිලියන 23ත් 25ත් අතර ණය ) ලබාගත්තේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ස් බැංකුවෙනි. ගෑස් මිල ඉහළ යාම හා ලිට්රෝ ඉල්ලුම වැඩිවීම නිසා එය ඩොලර් මිලියන 30ද ඉක්මවා ගියේය. පසුව ලිට්රෝ සමාගම මහජන බැංකුව හා ලංකා බැංකුව සමඟ ණයවර ලිපි විවෘත කිරීමට කටයුතු කරන ලදී. අද තත්ත්වය අනුව ඉදිරියේදී ගෑස් ආනයනය කිරීම සැක සහිත යන්නට පුළුවන.
විශේෂයෙන්ම අපේ රටේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ගෑස් හා ඉන්ධන ගබඩා කර ගන්නට පහසුකම් හා හැකියාව තිබියදී මේ තරම් ජනතාව දුක් විදිමින් පෝලිම්වල මැරී වැටෙන තරමට යාම නම් අනුමත කළ නොහැකිය. ජනතාව පෝලිමේ ඉන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තිබියදීය. හම්බන්තොට මසකට ගෑස් ගබඩා කළ හැකිව තිබියදීය. අපට සිදුව ඇත්තේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නට බව පෙන්වා දිය යුතුමය.