සබන් ඇයි මෙච්චර ගණන් | සිළුමිණ

සබන් ඇයි මෙච්චර ගණන්

බන් හිඟයක් ඇති වනවා සහ සබන් මිල ඉහළ යනවා ය යන කටකතා සමඟ, ගෙවුණු සතිය පුරා බොහෝ පිරිස් සබන් එකතු කරන්නට විය. උද්ගතව තිබෙන මේ තත්ත්වය පිළිබඳ අදාළ පාර්ශ්ව කිහිපයකගෙන් විමසීම් කළෙමු.

වෙළෙඳපොළේ සබන් හිඟයක් පවතිනවාද? යන ප්‍රශ්නයට හේමාස් සමාගම පැවසූයේ එවැනි හිඟයක් උද්ගතව නැති බවයි. 

නමුත් සබන් මිල ඉහළ දැමීමට සිදු වූ බවත්, ඒ සඳහා සාධක රැසක් බලපෑ බවත්, ඒ අතරින් රුපියලේ අගය 65% ක් පමණ අවප්‍රමාණය වීම, ගෝලීය සාධක නිසා අමු ද්‍රව්‍යවල මිල 70% - 75% කින් වැඩි වීම සහ පසුගිය මාස පහක කාලය ඇතුළත ඉන්ධන මිල 160%කින් පමණ වැඩි වීම, සියලු නිෂ්පාදන මෙන්ම සබන් මිල ඉහළ යාම කෙරෙහි ද දැඩි ලෙස බලපෑම් ඇති කළ බව ඔවුහු පැවසීය.

" මේ අතරින්, ඩොලර් අර්බුදය සහ අමුද්‍රව්‍ය මිල දැඩි බලපෑමක් ඇති කළා.සබන් නිෂ්පාදනය ආනයනික අමුද්‍රව්‍ය මත දැඩි ලෙස රඳා පවතිනවා. ඒ වගේම රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ ඩොලර් හිඟය හා ගෝලීය සාධක නිසා අමුද්‍රව්‍යවල මිල යෑමත් සමඟ, නිෂ්පාදන ක්‍රියාවලියට විශාල බලපෑමක් එල්ල වුණා.

බොහෝ දුරට සබන් නිෂ්පාදනය සඳහා අප ගෙන්වන අමතර අමුද්‍රව්‍ය වන්නේ, ඒ සඳහා භාවිත කරන ප්‍රධාන තෙල් වන DFA (ආසවනය කරන ලද මේද අම්ලය) යි. මේවා සබන් නිෂ්පාදනය සඳහා වැඩි පුර ගෙන්වන අමුද්‍රව්‍ය. ප්‍රධාන වශයෙන් ගෙන්වන්නේ ඉන්දුනීසියාවෙන් සහ මැලේසියාවෙන්.

අප සමාගම ඇති වී තිබෙන මේ අහිතකර බලපෑම රඳවා තබා ගත් නමුත් කර්මාන්තයේ පැවැත්ම අනතුරේ බැවින් මෙය තවදුරටත් රඳවා ගත නොහැකි තත්ත්වයට පැමිණ තිබෙනවා. ඒ නිසයි මෙවැනි ප්‍රතිශතයකින් මිල වැඩි කළ යුතු වුණේ..."

හේමාස් සමාගමේ ප්‍රකාශක තවදුරටත් පැවසීය.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සබන් මිල ඉහළ දමන්නට සිදු වීම පිළිබඳ මෙරට ප්‍රධාන සබන් නිෂ්පාදන සමාගමක් වන යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනය පැවසූයේ මෙවැනි අදහසකි.

"පසුගිය මාස කිහිපය පුරාම නිෂ්පාදන අමුද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් නිෂ්පාදන හා සම්බන්ධ මිල ගණන් අනපේක්ෂිත ආකාරයෙන් ඉහළ යමින් තිබෙනවා.

අපගේ සබන් නිෂ්පාදනවලින් 96%ක් දේශීයව නිෂ්පාදනය කරන නමුත් සෙසු අතවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්න වෙනවා. එසේ ආනයනය කිරීමේ දී රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටීම ඉතාමත් අහිතකර ලෙස බලපා තිබෙනවා.

මෙවැනි වාතාවරණයක් තුළ, ව්‍යාපාර අඛණ්ඩතාව පවත්වා ගැනීම ඉතාමත් අසීරු කටයුත්තක්. නමුත් හැකි උපරිමයෙන් අපගේ වියදම් කළමනාකරණය තුළ දැරිය හැකි මිලකට පාරිභෝගිකයා වෙත සබන් නිෂ්පාදන ලබා දීමට අප උත්සාහ කරනවා.

මොකද,100,000 කට අධික ශ්‍රම බලකායක් ඇතුළු පාර්ශ්වකරුවන් පිරිසක් අපගේ ව්‍යාපාර ජාලය සහ බැඳී සිටිනවා. මේ සියලු දෙනාගේ පැවැත්ම සඳහා කර්මාන්තයක් ලෙස අප ඉදිරියට යා යුතුයි..."

මිල පාලනයක් නැති වෙළෙඳපොළේ ඇති බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙන්, සබන් සහ සේදුම් ද්‍රව්‍ය මිල ද ව්‍යාපාරිකයන් මෙසේ මිල ඉහළ දමද්දී, පාරිභෝගික අධිකාරියට කළ හැකි යමක් නැති දැයි, එහි සභාපතිවරයාගෙන් විමසුවෙමු.

"සබන්වලට පාලන මිලක් නැති නිසා, සබන් මිල ඉහළ දැමීමට එරෙහිව පාරිභෝගික අධිකාරියට නීතිමය පියවර ගැනීමේ හැකියාවක් නැහැ.

ඒ නිසා සබන් නිෂ්පාදන සමාගම්වලට අප දැනුම් දී තිබෙනවා, නිෂ්පාදන වියදම් පිළිබඳ සියලු විස්තර අපට එවන ලෙස. ලෝක වෙළෙඳපොළේ අමුද්‍රව්‍ය මිල ගණන් සහ ඩොලර් අනුපාතය සමග සසඳා, අපි ඔවුන්ගේ මේ වැඩි වීමේ ප්‍රතිශතය නිවැරැදි ද කියා සොයා බලනවා. ඒවා හරි නම්, අපිට කරන්න දෙයක් නැහැ. නැත්නම් තමයි, අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ. අප ඉල්ලා තිබෙන මේ විස්තර ලැබුණාට පසු, ළඟදිම අපි ඔවුන් කැඳවා මේ පිළිබඳ ප්‍රශ්න කරනවා.

අපිට පාලන මිලක් දාන්න බැරි හේතුව තමයි, ඩොලරයේ අනුපාතය දවසින් දවස ඉහළ යෑම. ඩොලරය ස්ථාවර නම් අපිට පුළුවන් පාලන මිල අපේ යටතට ගන්න. නමුත් ඩොලර් එක මේ විදියට ඉහළ යද්දී අපි පාලන මිලක් දාන්න ගියොත් වෙන්නේ, වෙළඳපොළේ සබන් හිඟයක් ඇති වන එක.

මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් දේ තමයි, නිෂ්පාදකයන් කැඳවා මේ පිළිබඳ ප්‍රශ්න කිරීම. අප එය ළඟදී ම කරනවා..."

උද්ගතව ඇති මෙම තත්ත්වය තුළ නිවසේ දී මේ සබන් සාදා ගැනීමට ජනතාව උනන්දු කරවන පෝස්ටු ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන්නට පටන් ගෙන තිබේ. එය සුදුසු ද, සමට අහිතකර තත්ත්වයන් උද්ගත නොවන පරිදි සබන් නිෂ්පාදනය කර ගත හැකි ද යන කරුණු පිළිබඳ, රජයේ කාර්මික තාක්ෂණ ආයතනයේ, තාක්ෂණික ව්‍යවසායකත්ව සංවර්ධන හා නිෂ්පාදන කළමනාකරණ දෙපාර්තමේන්තුවේ, ආචාර්ය චන්දිම විජේසිරිවර්ධන මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.

සබන් කියන්නේ, අත්‍යවශ්‍යම පාරිභෝගික භාණ්ඩයක් නෙවෙයි. ඒ කියන්නේ, සබන් නොතිබුණු ඒ අතීත යුගයේ අපේ රටේ ජනතාව පිරිසුදු වන්නට ස්වාභාවික ආදේශක ඕනෑ තරම් යොදා ගත්තා. පෙණ එන ඕනෑම දෙයක් සබන් වෙනුවට පාවිච්චි කරන්නට පුළුවන්.

සබන් නිෂ්පාදනය සඳහා බහුලව යොදා ගන්නේ, Lard (ඌරු තෙල්) සහ Tallow (හරක් තෙල්) කියන සත්ත්ව තෙල් දෙවර්ගය. ඊට අමතරව ශාක තෙල්. ලංකාවේ නිෂ්පාදනය කරන සබන්වලට බොහෝ විට සත්ත්ව තෙල් භාවිත නොකරන නමුත් පිටරටින් ගෙන්වන සබන්වල සත්ත්ව තෙල් අඩංගුයි. සබන් සඳහා භාවිත කරන සත්ත්ව තෙල් ලබා ගන්නේ හරකුන් සහ ඌරන්ගේ ලේ උණුකර ලබා ගන්නා, තෙල් කැටිවලින්. 

ඖෂධීය ශාක සාර යොදාගෙන නිෂ්පාදනය කරන සබන්, සමට කිසි විටෙකත් අහිතකර නැහැ. නමුත් සබන් කැටයක් මිලදී ගනිද්දී ලංකාවේ අනුමත SLS 34 ප්‍රමිති සහතිකය තිබෙනවා දැයි බැලීම ඉතා වැදගත්. ඒ වගේම සබන් කැටයක අන්තර්ගත TFM ( Total Fatty Matter) අගය පිළිබදවත් පාරිභෝගික ඔබට දැනුමක් තිබිය යුතුයි. TFM අගය වැඩියි කියන්නේ, එම සබන් වර්ගයේ තෙල් ගතිය වැඩියි කියන එකයි. එය සමට හිතකරයි. සබන් සහ අනෙකුත් සේදුම්කාරකවල වෙනස වන්නේ, ඒවාට සබන්වලට මෙන් තෙල් මිශ්‍ර කරන්නේ නැහැ.

Toilet Soap හෙවත් ඇඟ ගැල්වීමට සුදුසු සබන් සඳහා TFM අගය 76.5% ක් විය යුතුයි. බේබි සබන් නම්, TFM අගය 80% ක් විය යුතුයි. රෙදි සෝදන සබන් නම්, එම අගය 56% ට වැඩි විය යුතුයි. Bathing Bar හෙවත්, සුවඳ සබන්වල TFM අගය 60%ක් විය යුතුයි.

සබන් මිල ඉහළ ගියා කියලා, නිසි ප්‍රමිතිය සහ ක්‍රමවේදය නොදැන ගෙවල්වල සබන් හදාගන්න යෑම ඉතාම භයානක තත්ත්වයක්. සබන් සෑදීමට ගන්නා ප්‍රධාන ද්‍රව්‍ය වන්නේ කෝස්ටික් සෝඩා. කෝස්ටික් සෝඩා පතුරක් අල්ල උඩ තැබුවොත්, අල්ල සිදුරු වෙලා හමයි කටුයි දියවෙලා අනිත් පැත්තෙන් ගලා යනවා. ඒවා ඇසිඩ්වලටත් වඩා දරුණුයි. කෝස්ටික් සෝඩා අල්ලද්දී, දෑත්වලට රබර් ග්ලවුස් පාවිච්චි කරන්න ඕනේ. ඇහැට ගොගල් දාන්න ඕනේ. ඒප්‍රනයක් අඳින්න ඕනේ. ඒවාටම සැකසුම් විශේෂ උපකරණ සහ භාජන භාවිත කරන්න ඕනේ. හරි සූදානමක් නැතිව, හදිසි වෙලා නොදැන ගෙවල්වල සබන් හදන්න යන්න එපා. හමේ ගෑවුණොත් හම දිය වෙලා යනවා. හරි විදියට ඉගෙන ගෙන නිසි ප්‍රමිතියට අනුව හැදුවොත් විතරයි, ඒ සබන් ඇඟ ගැල්වීමට සුදුසු වන්නේ. සබන්වලට SLS ප්‍රමිතියක් දී තිබෙන්නේ ඒකයි. සබන්වලට අනුමැතිය දෙන්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියයි. එම අනුමැතිය නොමැති, ගෙවල්වල හදන කිසිදු සබන් වර්ගයක් ඇඟ ගැල්වීමට සුදුසු වන්නේ නැහැ.

ඒ වගේම ගෙවල්වල හදන සබන්වලට හිතුමතේ සුවඳ වර්ග යෙදීමත් එවැනිම භයානක කාර්යයක්. පිටකොටුවේ ඇති ප්‍රමිතියෙන් තොර සුවඳ වර්ග සම ආසාදනය කරනවා. IFRA හෙවත්, International Fragrance Regulatory Authority හි අනුමැතිය සහිත සුවඳ වර්ග විතරයි සබන් සඳහා භාවිත කළ යුතු වන්නේ.

මේ සියලු දැනුම ලබා දෙමින්, රටට ව්‍යවසායක අවස්ථා උදා කරමින්, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය, රෙදි සෝදන සහ ඇඟ ගල්වන සබන් හදන එක් දින පාඨමාලා පවත්වනවා. ස්වාභාවික පරිසරයෙන් ගත හැකි සුවඳ වර්ග යොදා ගනිමින් ඒවා නිෂ්පාදනය කරන හැටි අප කියා දෙනවා.

ඉතින් සමාජ මාධ්‍යයේ ගිය පළියට නොදැන මේ දේවල්වලට අත ගහන්න එපා! කියන පණිවුඩයි, මට දෙන්න තිබෙන්නේ..."

Comments