හැමදේම ඉහළ යද්දි එළවළු මිල අඩු වුණේ මෙහෙමයි | Page 2 | සිළුමිණ

හැමදේම ඉහළ යද්දි එළවළු මිල අඩු වුණේ මෙහෙමයි

ටේ ආර්ථික අර්බුදය දැන් දැන් ඉතා දරුණු වී තිබේ. විදේශ විනිමය සංචිත දුර්වල වී රටට එන ඩොලර් ප්‍රමාණය සීමිත වීමත් සමඟ වර්ධනය වෙමින් තිබෙන මේ ආර්ථික අර්බුදය හේතුවෙන් සමාජයේ සෑම තරාතිරමකටම අයත් ජනතාව අසීමිත ලෙස පීඩනයට පත්ව ඇත. ඒ පීඩනය පුපුරා ගොසින් ජනතාව මේ වන විට මහපාරේ අරගල කිරීමටද පටන් ගෙන තිබේ. නිදහසින් පසු කිසිම යුගයක මෙතරම් විශාල ආර්ථික අර්බුදයකට අප රට මුහුණ දී නොමැති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

සත්‍ය වශයෙන්ම ගෙවී යන මේ කාල සීමාව සමස්තයක් ලෙස මෙරට ජනතාවට එතරම් සුබදායී කාල සීමාවක් නම් නොවේ. ජනතාවගේ එදිනෙදා පරිභෝජනයට අත්‍යාවශ්‍ය සහල්, සීනි, කිරි පිටි, පරිප්පු, මස් මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය පමණක් නොව ඖෂධ, ගෑස්, ඉන්ධන හා සිමෙන්ති වැනි බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල පසුගිය සති කීපය තුළ ජනතාවගේ පසුම්බියට දරා ගත නොහැකි අයුරින් දිනෙන් දින ඉහළ යමින තිබෙනු දැකිය හැකිය.

කොවිඩ් වසංගතය, පොහොර ගැටලු හා කාලගුණ බලපෑම් හේතුවෙන් පසුගිය කාලයේ අවස්ථා කීපයකදීම එළවළු හා පළතුරු මිලද ඉහළ ගිය නමුත් වෙළෙදපොළේ එළවළු මිල මේ වන විට සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබීම එක්තරා ආකාරයකින් පාරිභෝගික ජනතාව ලබා ඇති අස්වැසිල්ලකි. එළවළු මිල පහළ යෑම මෙලෙස පහළ යාම පිළිබඳව "සිළුමිණ" විශේෂ සොයා බැලීමක් කළ අතර එහිදී අප ඒ සම්බන්ධයෙන් දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායකගෙන් අදහස් විමසුවෙමු. එහිදී අදහස් දැක් වූ ඔහු ප්‍රකාශ කර සිටියේ මේ වන විට රටපුරා එළවළු මිල සැලකිය යුතු අන්දමින් පහළ ගොස් ඇති බවයි. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ එළවළු ප්‍රවාහනයට බාධාවන් රැසක් මතු වී ඇති බවත්, ඒ සමඟ ආර්ථික මධ්‍යස්ථාන වෙත තොග වෙළෙදුන්ගේ පැමිණීමද අඩු වී ඇති බවත් පෙන්වා දුන් දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපතිවරයා රට පුරා සිදු කෙරෙන මහජන උද්ඝෝෂණ නිසාද එළවළු නිසි ලෙස ප්‍රවාහනය කිරීමට නොහැකි වී ඇති බව සඳහන් කළේය.

මෙම දුෂ්කරතා පමණක් නොව ජනතාව අත මුදල් හිඟ වීමද මෙලෙස එළවළු මිල අඩු වීමට හේතු වී ඇති බවත් මේ නිසා බොහෝ අපහසුතා මැද එළවළු විකිණීමට පැමිණෙන ගොවීන් හා වෙළෙදුන් තම අස්වැන්න අපතේ යාමට පෙර මෙලෙස අඩු මිලට විකුණා දැමීම හේතුවෙන් මෙලෙස වෙළෙදපොළ තුළ එම එළවළු මිල පහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වන බවද සඳහන් කළේය.මීට පෙර එක් දිනකට කිලෝ ලක්ෂ 20ත් 25ත් අතර අස්වනු ප්‍රමාණයක් තොග වෙළෙඳාම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ගොවීන් රැගෙන ආවත් මේ වන විට එම ප්‍රමාණය විශාල ලෙස අඩු වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. මේ වන විට තත්ත්වය එසේ වුවද රට තුළ දැනට පවතින ආර්ථික වාතාවරණය තුළ ඉදිරියේදී නැවතත් එළවළු මිල සැළකිය යුතු අන්දමින් ඉහළ යා හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පමණක් නොව දිවයින පුරා පිහිටි අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානයන් මඟින් අලෙවි කරනු ලබන එළවළු තොග මිල ද මේ වන විට සැළකිය යුතු අන්දමින් පහළ ගොස් තිබේ.ඒ අනුව කොළඹ මැනිං වෙළෙඳපොළ, මීගොඩ, නුවරඑළිය, වැලිමඩ, මාතර, නාරාහෙන්පිට, රත්මලාන, බෝකුන්දර ආදී ප්‍රදේශ රැසක ප්‍රධාන තොග මධ්‍යස්ථාන මගින් වෙළෙදපොළ වෙත අලෙවි කරනු ලබන සියළුම එළවළු වර්ගයන් හී මිල ගණන් පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට ඇත්තේ මේ වන විට ඇත්තේ ඉතා අඩු අගයකයි. ඒ අනුව කැරට්, බෝංචි, අමු මිරිස්, මාළු මිරිස්, ගෝවා, වම්බටු, තක්කාලි, තලන බටු, ලීක්ස්, බීට් රූට්, වැටකොළු, පතෝල ආදී එළවළු වර්ග රැසක මිල ගණන් මේ වන විට පහළ ගොස් තිබේ. 

එළවළු වෙළෙඳපොළේ ඇති වී ඇති වත්මන් වාතාවරණය පිළිබඳව නුවරඑළිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ගොවි මහතකුගෙන්ද අප අදහස් විමසා සිටි අතර එහිදී ඔහු ද සඳහන් කර සිටියේ ප්‍රවාහන වියදම් වැඩිවීම හා ජනතාවගේ ආර්ථික ශක්තිය දුර්වල වී ඉල්ලුම අඩුවී ඇති නිසා එළවළු මිල මෙසේ අඩුවී ඇති බවයි. "අද අල පොහොර මිටියක් රුපියල් 25000/- ක් වෙනවා.ඒ වුණත් අප ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වගාවන් හී නිරත ගොවී ජනතාව තවමත් ගොවි තැන අත් හැර දමා නැහැ. ඇත්තම කතාව තමන්ගේ ජීවිකාව කොහොම හරි පවත්වා ගෙන යා යුතු නිසා ඔවුන් තවමත් පොහොර මිල ප්‍රශ්නයක් කරගෙන නැහැ. මේ නිසා අපගේ අස්වනු හා ඵලදාව අඩු වුණෙත් නැහැ. රටේ දැනට පවතින මේ ආර්ථික අර්බුදය නිසා ජනතාව එළවළු මිලදී ගැනීම යම් ප්‍රමාණයකින් සීමා කර ඇති බව අපට දක්නට ලැබෙනවා."

වසර ගණනාවක් පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙළෙඳාමේ නිරත වී සිටින රාජිත බණ්ඩාර ද අදහස් දැක්වීමට එක් වූ අතර තොග හා සිල්ලර එළවළු මිල මේ දිනවල පහළ ගොස් ඇති බව ඔහුද ප්‍රකාශ කළේය."මේ වන විට එළවළු වලට ඇති ඉල්ලුම ඉතාමත්ම අඩුයි. මෙයට හේතුව අද රටේ පවතින තත්ත්වය අනුව ජනතාවට මුදල් නැහැ. ඒ නිසා වෙන්න ඇති එළවළවලට ඇති ඉල්ලුම අඩුවී ඇත්තේ" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ මැනින් පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්. එම්.උපසේන සඳහන් කර සිටියේ එළවළු මිල මිල අඩු වී තිබුණත් එම එළවළු මිලදී ගැනීම සදහා ජනතාව අත මුදල් හදල් නොමැති බවයි. "කෑම උයන්න ගෑස් අවශ්‍ය වගේම ප්‍රවාහනයට ඩිසල් අවශ්‍ය වගේම මිනිසුන්ට ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. ජනතාවගේ අත මුදල් හිඟවුණාම කොහොමද වෙළෙදපොළ ගනුදෙනු හරි හැටි සිදු වන්නේ. ඉතා ඉක්මනින් මේ ආර්ථික අර්බුදයට විසඳුම් හොයා නොගත්තොත් එළවළු ගොවීන්ටත් ඉදිරියේදී තම ගොවිතැන් හා ව්‍යාපාර අත් හැර දැමීමට සිදු වෙනවා නිසැකයි."ඔහු අවධාරණය කළේය.

Comments