
අම්මාගෙ දානෙ දා හැන්දෑවෙ
අවරගිර සොහොන් බිම හිරු දැවෙයි චිතකයක
කණ කොක්කු සුදුවතින් ඇදෙති ඒ මළගමට
චිතකයෙන් නැගෙන දුම පැතිර යයි හතර වට
නෙත ගැටෙන හැම දෙය ම සිහි කරයි මව ගැන ම
සුදුමැලි වූ බැනරයක් කළු අකුරු ඇස් අගින්
කඳුළු කැට වගුරවයි දුක් සුසුම් හා සෙමින්
මග දෙපස වැල් දෙකක එල්ලේය ගොක් රෑන්
සියල්ල ම ගලවලා විසි කරමි මුල්ලකට
හද වසා මුදුන් වෙයි දුක් වළාකුළු ගොඩක්
දෑස් යුග බරවෙමින් වැස්සකට අර අඳියි
ගේ තුළට දිව ගොසින් ඇදෙහි පෙරලෙමි මුණින්
දැනෙයි මට මව ඉන්නෙ මගේ හද පතුලෙ ම යි
• සිරිනිමල් ලක්දුසිංහ
සඳකැන්
හිරු මඩලින් එළිය ලබන්නේ
මුළු ලොවටම සිසිල ගෙනෙන්නේ
පෙම් හදවත් පුබුදු කරන්නේ
අඳුර නිසයි මා බබළන්නේ
පුංචි ළමයි කතා කරනවා
කිරිත් පැණිත් දෙන්න කියනවා
පැණි නැතුවට කිරි සපයනවා
කිරි දියරින් ලොව නහවනවා
හා පැටියකු ගැනයි කියන්නෙ
සක් දෙවිඳු ලු ඇඳල තියෙන්නේ
රොකට් එකෙන් දැන් එහි යන්නේ
හාවකු එහි නැතැයි කියන්නේ
ගල් ගසලා සඳට බුරන්නේ
ඉරෙන් ලැබෙන එළිය නිසයිනේ
අඳුරෙ ඉඳන් කිම ද කරන්නේ
අවිඳු අඳුර දුරු කරපන්නේ
හිරු වට මහ පොළොව දුවනවා
සඳට වැසී අඳුරු කරනවා
එළිය නිසා අඳුර දකිනවා
අඳුර නිසා එළිය දකිනවා
සක්වලෙ ලෝකයක් කියන්නේ
සමහරු දෙව් ලොවක් දකින්නේ
කළුවලාව උඩින් පෙනෙන්නේ
මනු ලොව දෙව් ලොවක් කරන්නේ
බන්දුල සේනානායක
අප්පච්චි
විදුලි මහ සැර වැදෙනවා
බුරුතුගල මහ කඳු ඉමේ
කැණි මඬල අද බර වුණා
පොළොව දෙදරපු වංගියෙ..
ලිග්ගලේ ළඟ සන්හිදේ
කඳුළ වට කර පාමුලේ
මෙරු පැටව් වට කරන් අම්මා
ජප කරයි මහ මන්තරේ...
මුක්කුවල බර මදි වුණා
පරණ බොල් මැටි මාලිගේ
වී දෙපෑලත් සින්න වෙනවා
තට්ට නානගෙ අතකොණේ....
අඳුර භාරගෙන පළගැටිත් එයි
ඈත දුෂ්කර මණ්ඩියෙන්
අනේ ගම්බර දෙය්යනේ
ඇන්න ගියෙ ඇයි දියවරේ....
• සංජය ප්‍රියදර්ශන
වෙනස
කටු මැටි
දියවී
එබිම හැඩ කළ
මහා මන්දිර,
නිල් අහස
සිඹිනයුරු...
සුළං පොදට
ගුරු පාරේ
රූං පෙති
කරකවන
පොඩි උන් හට,
සිනා ගෙනෙයි
සැමදාමත්...
• කීර්ති කපුවත්ත
සතුටු සිනා
දසකඩ මසක් කුසතුල මා හොවාගෙන
අපමණ දුකක් මා වෙනුවෙන් දරාගෙන
සිත තුළ බියක් නොතබා පසු නොබාමින
සුන්දර ලොවක් ඇත දැන් ඔබ දිනාගෙන
නියඟපිට නියඟ ආවත් මිහිමතට
නොදැනෙන ලෙසින් මහසයුරට
විඳගෙන දුක වුවත් සතුටක් ලෙසට
සෙනෙහස පිදුවෙ ඔබ මහමෙර ලෙසට
මා වෙනුවෙන් ඉපදුණු දරු සෙනෙහසට
ගතේ රුහිරු හැරුණේ රන් කිරිවලට
සමනොමවේ මේ ලොව අන් කිසිවකට
අම්මේ ඔබ මට දුන් සෙනෙහසට
පැමිණිදා පටන් මා ඔබේ කුස තුළට
ඉවතදා සිතින් අන් සැප මුල්ලකට
බිහිවූදා කුසින් ඔබෙ පුතු මේ ලොවට
සතුටින් සිනා පෑවේ මා තුරුළු කොට
• ඒ. එම්. අබේසිංහබණ්ඩා
රුවල
රුවල ගැන
සැක කළා නම්
ඇරඹුමම නිමාවක් වේවි
තොටියනට
• තුෂාරී ජයසිංහ
පුෂ්පය
හනික නෙලාගමි මේ පුෂ්පය
නොපමාව
බියක් දැනේ මට
අනතුරක් වේ යැයි එයට
දනන් නෙත් අදන
මල් දමක නිසි තැනෙක
පළඳන්නට නැතිය රිස්සක්
ගරු කරමි එයට
සෙනෙහෙවන්තව
වේදනා බරිතව ම දෑතට ගෙන
අද මෙන් පෙරත්
බියවුණෙමි සැකයෙන්, කුහුලෙන්
විමසිලිමත්වීමි
පුද කරන්නට ම සිත් පියතාව
පැහැය වියැකෙන්නට පෙර
සුවඳ මියැදෙන්නට පෙර
එළැඹි කල නිසි කල
නෙලාගන්නට එ මල
රවීන්ද්‍රනාත් තාගෝර්
(1861 - 1941)
මෙය නොබෙල් සම්මානලාභී රවීන්ද්‍රනාත් තාගෝර්තුමා (1861 - 1941) විසින් රචිත පැදි පෙළක පරිවර්තනයයි. ලොව සුමධුර
භාෂාවක් වූ බෙංගල් බසින් සිය
ලේඛන කටයුතු කළ එතුමා කවියෙකු, නාට්‍යකරුවෙකු, රචකයෙකු,
දර්ශනවාදියෙකු, සිත්තරෙකු මෙන් ම
ප්රතිසංස්කරණවාදියෙකු විය. ශාන්ති නිකේතනය නම් මහා විශ්ව සිප්හල ඇරඹූ එතුමාගේ නිර්මාණ අතර ගීතාංජලී (1910) ගෝරා (1910) The Stream of Life, Dancing woman හා woman's face ආදිය වේ.
• සමන් හේරත්
ඔවදන
මහ වන මැද
කුසුමකි නුඹ
මල් ගොමුවක සුපිපී
සුවඳ විහිදුවාලන
රන් සමනලයනුත් ඒවි
විෂ බඹරු අත වනාවි
මී මැසියන් ගුමු ගුමු ගාවි
නුඹෙන් සුවඳ ලැබ ගන්නට
හිරි පොදය සුන්දරයි
ගංවතුර බිහිසුණුයි
මද පවන පිවිතුරුයි
සැඩ සුළඟ බියකරුයි
පැහැයට වඩා සුවඳ වටී
රොන් ගත් පසු මල නොවටී
අත වැනුමට ගුමු ගුමුවට මුලාවී
අකලට මිලින නොවෙන්
නොරැවටී
• ගයාන් නිරෝෂන්
ජීවිතයක සේයා
අතීතයේ
කුළුණු කණුවක් සේ මහා
හැදුණු වැඩුණු මා
මේ වයසේ දිරාපත් වූ
පරඬැලක් සේ
සෙලවී සෙලවී
කැඩී කැඩී
කැබැලිති වී යතේ
• නාමෙල් වීරමුනි
මා කැමති වන මලටයි
වන දෙව් ලියගෙ අම පහසින් ඔකඳ වන
මදනල සිසිල ලැබ අත්තක අග පිපුන
අහිංසකව පෙති විදහා සලිත වන
වන මලකටයි මාගේ හදවත පිපෙන
දුකකට අහිංසක ඇගෙ මත පොපියව න
සැපතට පෙති විදා කාගෙත් සිත් ගන් න
දුක සැප දෙකට අප‘තර පමුකව ඉන් න
වන මල මට හොඳයි මගෙ සිත සනසන් න
බාහිර ඔපය නැහැ විසිතුරු කර ගන් නේ
බටහිර සිරිත් නැහැ ඇය නම් පිළිගන් නේ
සුන්දර සොබාවික බව ඇය රැක ගන් නේ
පෙම්බර හදවතට වනමල් පිය වන් නේ
දෙඅදර විදා මුතුකැට එළියට දෙන් නේ
අම්බර දිලෙන පුන්සඳ මෙන් බබලන් නේ
ගම්වර දහසකට වැඩියෙන් මිල වන් නේ
පෙම්බර වන මලේ ඔබ මගෙ සිත් ගන් නේ
බටහිර වෙස් ගත්ත නගරයෙ පිපුන කුසු ම්
පරදියි වන මලට ගෙන දෙයි නොයෙක් උවම්
හිරු දුටු විටදි විකසිත වන ලෙසට කුසු ම්
වන මලකට හදවතෙ පෙම පහන පුද ම්
• ඒ. කේ. ඩබ්ලිව්. පෙරේරා
වන වදුලෙ පොරමොලා
රන්දුනක් එක්ක මං
උඹව හදි ගැහෙන්නට
රූටගෙන ආවෙ නං
හඳුන්පත කීගාපු
ආදරේ කැක්කුමෙන්...
කරදැත්ත ඔය අයිනෙ
මැණිකො උඹ ළඟට වී
කැලෑ පොජ්ජේ පුසුඹ
විඳ ගත්ත හැටි එදා
හිත් පොජ්ජ ළඟට එයි...
ගල්ලෙනෙන් නික්මිලා
පැණි වදත් ළං කරන්
මහ හිමේ තනි වෙන්ඩ
උඹේ උණුහුම ළඟට
එන්ට මට බැරි වුණා....
හිමේ හිටි වලස් දෙන
මගේ ඇස් උගුළලා
හකු පොඩ්ඩ කා දමා
ඉල ඇටත් බිඳ දමා
මං හිමේ බෑවුවා....
අපේ රැහේ උන් ඇවිත්
ගෝන හමෙ බාවලා
මහ ඔයට ගෙනාවා
වෙද ඇත්තො ළඟ මගේ
පණ කෙන්ද ඇදෙනවා....
‘පොරමොලා‘ කියල උඹ
කෑ ගැහුවෙ මං දැකල
හිත් පොජ්ජෙ ඉතිරි වුණු
ආදරේ කැක්කුමට
කියල මං දන්නවා....
ඒත් දැන් වැඩක් නෑ
රූටන්ඩ වෙන්නෙ නෑ
උඹව හදි ගැහෙන්නට
කළුවරේ කවුරුදෝ
මගෙ අතින් අඳිනවා...
• කුමාරි රණසිංහ
තීරණය
ගමන අවහිර කරන අටියෙන් ‘හූ‘ කීවත් මග රකින කැනැහී
නගන පාදෙක පෙරට ඔසවමි සැකෙන් දුරුවී සැනහි සැනැහී
දරණ අදිටන සුපරිසිදු සිත නිසා යයි අවහිරය වැනැහී
ගලන වතුරට ගල් ගැහැව්වත් ගඟ ගලා යයි හිනැහි හිනැහී
රුවන් මැද තඹ කඳන් තැබුවම එයින් ලොකු වෙනසකි දැනෙන්නේ
මලෙන් රොන් ගෙන බමන බඹරා නොමැත නටුවෙන් එය ලබන්නේ
වළං අමු මැටි වළං වල නැත රිදී බඳුනෙහි හඬ නැගෙන්නේ
සුළං සැරයට පුළුන් රොද මිස කොහිද ගල් කණු සසල වන්නේ
අවුල් මැද යළි අවුල් ඇදගත් කලට නිරවුල් ගතිය පිටවේ
වවුල් ගති සහජයෙන් ඇතියෙක් රජ වුවද ඔහු දෙපිළ නැටවේ
යවුල් අනිතා විලස කොට්ටෝරුවා ඇන්නොත් හොටය මොටවේ
අගල් අතරෙන් නැගෙන මැඩිහඬ දවුල් හොරණෑ හඩට යටවේ
කැලයෙ ගස ගෙඩි බරව ඇති අතුරිකිලි සමඟින් නෙතට සුවදී
හෙළන ලෙස කටු මැදින් යයි අය ගිජු හිතින් කෑදරව දිවදී
පෙළට එහි යයි වවුල් රෑනද සුවඳ ඉව දැන වෙමින් අවදී
පල නොමැති ගස හතර මං හන්දියක තිබුණත් ගලක් නොවදී
බැඳුණු හුලු එළි ඇතිව ආලෝකයක් දෙන්නට විලස නැවතී
කුළුණු ගති නැති කෙනෙක් ලා දළු කරටි අතු ඉතිරිකිලි දවතී
දරුණු කම හද පිටින් මී පැණි ලුවත් හද ගිනි අඟුරු හොවතී
කැඩුණු බඳුනක් කොහොම පිළියම් කළත් සදහට කැළල පවතී
මකර කට තුළ ඇතුන් දැමුවද නොමැත ඉන් අඩකුදු පිරෙන්නේ
සයුර එක අහුරකට කෙලෙසද රැගෙන ජල කඳ නිම කරන්නේ
තිසර යන්මය කණ කොකුන් නැත කිරෙන් දිය වෙන්කර උරන්නේ
කෙසර සිහ හඬ සිංහයන් මිස බැටළුවන් කොහොමද නඟන්නේ
ගෙවෙයි දැයි නොහැඟෙයි හිමාලය දහස්වසරක් දෙපය මැද්දත්
රැඳෙයි ගිරිහෙල් තිබුණු තන්හිම යකඩ දම්වැල් දමා ඇද්දත්
දුවයි පෙරටම තරුණ සෙබළා තියුණු හී සර පෙළට විද්දත්
කොබෙයියා නම් කොබෙයියාමය කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත්
දියෙන් ගින්දර රැගෙන යති අය මුහුණ ඉදිරිය මල් හිනාවෙන්
දැවෙන් නට වෙයි නොදැනුවත්වම යටින් උන් ගිනි උල් ගෙනාවෙන්
මෙවන් මිනිසුන් අතර ගැවසෙන අතර සසරෙහි වේදනාවෙන්
කියන්නා ඔය කොහොම කීවත් ඇසිය යුත්තේ කල්පනාවෙන්
• කරුණාරත්න අබේසේකර
(ප්‍රතිභාපූර්ණ කවියකු, ගී පද රචකයකු මෙන්ම ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකවරයකු වූ කරුණාරත්න අබේසේකරයන් වියෝවී ඉකුත් අප්‍රේල් 29 වැනි දිනට වසර 39 පිරිණි. ඔහු විසින් 1964 වසරේදී ලියන ලද “ක්ෂේම භුමි“ පද්‍ය සංග්‍රහයේ එන පැදි පෙළකි මේ.)
පිණි බිඳකි ජීවිතය
නොවේද ජීවිතේ ඔරලෝසුවක්
කැරකිලා කැරකිලා කාලයක්
එක පාර ඔහේ නතර වෙන එකක්
වැනි නොවේද එය දම්පාට වලල්ලක්
දැක්කම හිත ඇදෙන ලස්සනක්...
ඒත් හිටි හැටියෙ නොසිතාම
බිඳෙන වීදුරුවක්...
• ඔමේෂ් ශෙහාන් දහනායක
ආදරයක මිහිර
වෑහෙයි සුවඳ පැතිරෙයි සුළඟට මුසුව
දෙනුවන් දිලෙයි නිල්මිණි කැටයට අසුව
සියුමැලි දෙතොල් නාමල් පෙති ගෙන මැසුව
සතුටකි හිතට පමණින් නම ගැන ඇසුව
පවසයි සයුර හද ආදරයෙහි තරම
බැඳියාවක්ය නොනැසෙන සුන්දර බරම
සෙනෙහස තමයි දිදුලන උරුමය පරම
සංකේතයයි ආදරයෙහි තනි කරම
සීමාවක් නොමැත පෙම්බර හැසිරීම
අරමුණ දෙන බවයි උපරිම සැනසීම
ආදරයෙන් ම ආදරයට සැළකීම
සුදුසුම බවයි සිත තෙරපෙන වැටහීම
නිරතුරු දරා ඉන්නේ නුහුලන බරය
සතුටෙනි විඳින්නේ එන හැම කරදරය
නැත කෙනෙකුගෙන් දැනගන්නට හිරිහැරය
හැමදෙන මුණ ගැසෙන ලෙන්ගතු පිරිවරය
නෑසෙන ඇසෙන හඬකිණි මුමුණන ගීත
තුරුලට ගනී දග අය දිගු කර දෑත
සුළඟක් සමඟ පැමිණෙන සිට දුර ඈත
දෙන උණුසුමෙන් නොදැනෙයි කිසිවිට සීත
සඳරැස් කැරලි පරදයි හසරැලි සිරිය
සිතිවිලිවලින් එළියට දෙයි ඇති දිරිය
පිළිවෙළකටය හැම කටයුතු වප සරිය
ඇතිවෙයි දකින මොහොතක දෙනෙතට පිරිය
• කුරුඳුකුඹුරේ නන්දසිරි
කවිය
සතුට ගැන
ආදරේ ගැන
මලක් ගැන
ළඳක් ගැන...
නොවේ
මිනිස්කම
නසාලන
රුදුරු වූ මිනිසුනට
මිනිස්කම කියාදී
ලියාපන් නුඹෙ
කවිය...
• ගාමිණී චන්ද්‍රසේන