එලොව පොල් පේන අත්‍යවශ්‍ය බඩු මිල | සිළුමිණ

එලොව පොල් පේන අත්‍යවශ්‍ය බඩු මිල

ර්ථික අර්බුදය ගිනි කන්දක් මෙන් පුපුරා යමින් තිබේ. සහල්, කුකුළු මස්, බිත්තර, මාළු වැනි තවත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගෙවුණු සතියේදී ඉහළ ගොස් තිබුණේ ජනතාව මත තව තවත් බර පටවමිනි.

ඉන්ධන මිල වැඩි වී තිබීම නිසා ධීවර කර්මාන්තය ද අර්බුදයේ ගොදුරක් වී ඇති අතර, ඒ නිසා මාළු මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. දේශීය හා ආනයනික සහල් වර්ග සියල්ලෙහිම මිල ද ඉහළ ගොස් ඇති අතර ජනතාවට තුන් වේල කෑමට බැරි වටාපිටාවක් නිර්මාණය වී තිබේ.

මෙම මිල ගණන් ඉහළ යාම හා එය එම ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් සිදු කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකරගෙන් අප අදහස් විමසා සිටි අතර, එහිදී අදහස් දැක්වූ ඔහු අනාවරණය කර සිටියේ කුකුළු මස් හා බිත්තර මිල ගණන් මෙසේ මිල ඉහළ යාමට බල පා ඇති ප්‍රධානතම හේතුව සත්ව ආහාර සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම බවයි.

මේ නිසා සිය ක්ෂේත්‍රයේ 40% කට වැඩි පිරිසක් ව්‍යාපාර කටයුතු සිදු කිරීම අත් හැර දමා ඇති අතර රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කිරීමට රජය පියවර ගන්නේ නම් අවශ්‍ය කරන සත්ව ආහාර අමුද්‍රව්‍ය ගෙන්වා මෙම ගැටලු නිරාකරණය කර මෙම කර්මාන්තය නැවත ගොඩ ගන්නට හැකි වෙතැයිද අවධාරණය කළේය.

ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සංගමයේ ලේකම් රොෂාන්.ඩි. සිල්වා අදහස් දක්වමින් කියා සිටියේ මාස හයෙන් හයට යාවත්කාලින කළහැකි අයුරින් ගොවියන්ට සහල් නිෂ්පාදන සඳහා සාධාරණ පාලන මිලක් අවශ්‍ය බවයි.

පවතින තත්ත්වය පිළිබදව වැඩිදුරටත් කරුණු ගෙන හැර දැක් වූ ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කරන ලද්දේ අවශ්‍ය අවස්ථාවලදී ලැබෙන අස්වැන්න,රටේ ආර්ථික තත්ත්වය ආදී සියලු කරුණු පිළිබඳව සැලකිලිමත් වෙමින් වී මිල පිළිබඳව නිසි තීන්දුවක් ගෙන සහල් මිල පාලනය කළ යුතු බවයි. සුළු හා මධ්‍ය පරිමාණ,මහා පරිමාණ මෙන්ම අතර මැද සහල් නිෂ්පාදකයන්ගේ සහල් වී අලෙවි මණ්ඩලය විසින් සාධාරණ සහතික මුදලක් ගෙවා මිලදී ගන්නවා නම් ප්‍රශ්නය බොහෝ දුරකට සමනය කරගන්නට හැකි වෙතැයිද ඔහු කියා සිටියේය.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිය කර්මාන්තය අඩපණ වී මාළු මිල ඉහළ යාමට ඉන්ධන මිල සෘජුව බල පා ඇති බවයි.

මෙවැනි වාතාවරණයක් රට තුළ නිර්මාණය වී ඇති පසුබිමක ආර්ථික අර්බුදයෙන් බැට කන ජනතාවට සහන කීපයක් ලබා දීමටද රජය පියවර ගෙන තිබුණි.ඒ අනුව පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් තිස් ලක්ෂ තිස් හතර දහසකට එළැඹෙන ජුනි මාසයේ සිට අමතර දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. මෙම වැඩපිළිවලට අනුව රුපියල් 2000/- වන වැඩිහිටි දීමනාවට තවත් රුපියල් 3000/- එක් කර එම දීමනාව රුපියල් 5000/- දක්වා වැඩි කර තිබේ.

අවුරුදු සියයට වැඩි වයස්ගතවූවන්ගේ වැඩිහිටි දීමනාව ලෙස මෙතෙක් ගෙවූ රුපියල් 5000/- ට තවත් රුපියල් 2500/- එකතු කර තිබේ.

වැඩිහිටි දීමනාව ඉල්ලා පොරොත්තු ලේඛනය සිටින අයටද රුපියල් 5000/-ක දීමනාවක් හිමි වේ.

මීට අමතරව ආබාධිත දීමනාවද ඉහළ දමා ඇති අතර ආබාධිත දීමනාව ඉල්ලා පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයන්ටද රුපියල් 5,000/-ක දීමනාවක් ලබාදීමට අමාත්‍ය විසින් මණ්ඩලය අනුමත කර තිබේ. එසේම දැනට වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන රුපියල් 5000/- රුපියල් 7500/- දක්වා වැඩිකර ඇති අතර වකුගඩු රෝගී දීමනාව ඉල්ලා පොරොත්තු ලේඛණයේ සිටින අයටද රුපියල් 5,000 ක දීමනාවක් පිරිනැමෙනු ඇත.

එපමණක් නොව රුපියල් 1900/- සමෘද්ධි දීමනාවක් ලබන පුද්ගලයන්ට තවත් රුපියල් 3100/- එක්කර රුපියල් 5000/- ලබා දීමට නියමිත අතර රුපියල් 3200/- ක සමෘද්ධි දීමනාව ලබන පවුල් සඳහා අමතර තවත් රුපියල් 3100/- ක් එකතු කර රුපියල් 6300/- ක් ලබාදීමටද නියමිතය.

මීට අමතරව සමෘද්ධි දීමනාව ලෙස රුපියල් 4500/- ක් ලබන පවුල් වලට තවත් රුපියල් 3000/- ක් ලබා දීමටත් සමෘද්ධි දීමනාව ඉල්ලුම් කර ඇති තවත් පවුල් හත් ලක්ෂ තිස් දෙදහසක් වෙනුවෙන් රුපියල් 5000/- ක් බැගින් ලබා දීමටත් කටයුතු යොදා ඇති අතර ලබන ජූනි මස සිට පුරා මාස තුනක් එක් මසකට රුපියල් හාරසිය හතළිස් හතර කෝටි පනස් ලක්ෂය බැගින් රුපියල් එක් දහස් තුන්සිය තිස් හය කෝටි හතලිස් ලක්ෂයක මුදලක් ඒ සඳහා වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ. මෙම මුදල් වැය කෙරෙන්නේ ලෝක බැංකු ආධාර යටතේ වීම විශේෂත්වයකි.

Comments