
ඉකුත් අප්‍රේල් මස 9 වැනිදා සිට කොළඹ ගාලුමුවදොර දක්නට ඇත්තේ අලුත්ම හැඩයකි; වෙනස්ම ස්වරූපයකි. ශ්‍රී ලාංකිකයන්ට විරෝධතා, උද්ඝෝෂණ නුහුරු නොවූවද ඉකුත් 9 වැනිදා ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වූ නිර්පාක්ෂික ජන උද්ඝෝෂණයට මේ සිකුරාදා (6දා) වන විට දින 28ක් සම්පූර්ණ වී ඇත. දිවා රෑ මුළුල්ලේ ගාලුමුවදොර භූමියේ රැඳී සිටින ජනතාව එකම අරමුණක් වෙනුවෙන් ඒකරාශී වී හඬ නඟති. එසේ ඒකාරාශී වී සිටින්නන්ට ජාති, ආගම්, වයස් භේද නැත. උස් පහත් භේදයකින් තොරව බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයන්ට එම භූමිය විවෘතව ඇති බවක් පෙනෙන්නට ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණෙන සර්වාගමික නායකයන්, තරුණ තරුණියන්, සිවිල් ක්‍රියාකාරියන්, විශ්වවිද්‍යාල සිසුන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්,ආබාධිත රණවිරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන්, විද්වතුන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන ජනතාව උද්ඝෝෂණ භූමියේදී දැකගත හැකිය.
ඉකුත් 3 වැනිදා අප එහි යන විට එහි දිස්වූයේ අපූරු ආගමික සංහිඳියාවකි. මුස්ලිම් බැතිමතුන් සිය උපවාස කාලය නිමා කරන රාමසාන් උත්සවය එදිනට යෙදී තිබූ බැවින් බොහෝ මුස්ලිම් බැතිමතුන් රාමසාන් උත්සවය සැමරීමට උද්ඝෝෂණ භූමිය තෝරාගෙන තිබිණි. ඔවුහු සංවිධානය වී දිවා ආහාර, අතුරුපස ඇතුළු විවිධ ආහාරපාන වර්ග රැගෙන ගාලුමුවදොර වෙත පැමිණ උද්ඝෝෂණකරුවන් සමඟ එක්ව ආහාර බෙදාගෙන අනුභව කිරීම සුලබ දසුනක් විය. විශේෂයෙන් අරගල භූමියේ රැඳී සිටි භික්ෂුන්වහන්සේලාට එදින දන් පිළිගැන්වීම සිදු කළේ මුස්ලිම් බැතිමතුන් විසිනි. උද්ඝෝෂණ භූමියේ බොහෝ කුටිවල බිරියානි සවාන් සහ වටලප්පන් බඳුන් දැකගත හැකිවිය. ඉකුත් අප්‍රේල් 14 වැනිදා ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනා ගාලුමුවදොරදී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරූ ආකාරයටම මෙදින එය රාමසාන් අසිරියෙන් සුන්දර වී තිබිණ. වෙනදා උද්ඝෝෂණ බිමේ තැනින් තැන සවිකර තිබූ කූඩාරම් හකුළා මුස්ලිම් බැතිමතුන්ට සිය ආගමික වතාවත්වල නිරත වීම සඳහා අවකාශ සලසා තිබෙනු ද අපට දැකගත හැකි විය. ඒ අතර උද්ඝෝෂණ භූමියේ ප්‍රධාන අට්ටාලය මත උද්ඝෝෂණය මෙහෙය වන කථිකයන් කතා පැවැත්වීම ද සුපුරුදු පරිදි සිදු විය. ඒ ප්‍රධාන වේදිකාවේ දකුණුපස සිට මීටර කිහිපයක් දුරින් ඇත්තේ ජනතාව විසින් නම්කර ගත් ගම්මානයයි. උද්ඝෝෂණය සඳහා පැමිණෙන ජනතාවගේ සාමාන්‍ය දින චර්යාවට අත්‍යවශ්‍ය බොහෝ දෑ එහිදී පහසුවෙන් ලබාගත හැකිය. ඒ බොහෝ දෑ සැපයෙන්නේ නොමිලේ වීම විශේෂත්වයකි.
ඒ අතර අපගේ ඇස ගැටුණේ අරගලයට සභභාගි වන ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදෙන ස්ථානයකි. දත් බුරුසු, දත් බෙහෙත්, සබන්, සබන් කුඩු, රේසර්, ග්ලුකෝස්, බිස්කට් සහ මාස්ක් ද ඒ අතර වේ. ඉකුත් අප්‍රේල් 9 වැනිදා සිටම මෙම සමාජ සත්කාරක සේවාව ගාලුමුවදොර පිටියේදී ක්‍රියාත්මක වන අතර, එය සිදු කරනු ලබන්නේ Sustaineco නමැති ජාත්‍යන්තර සංවිධානයේ මෙරට ශාඛාව විසිනි.
“අපේ ආයතනයේ මවු ශාඛාවේ ප්‍රධාන අරමුණ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමයි. එහිදී පුද්ගල සනීපාරක්ෂක පහසුකම් සැපයීම සහ පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂයෙන් කටයුතු කරනවා. මෙහිදී අප මේ අරගල භූමියේ නියුතු වූවන්ට සනීපාරක්ෂක පහසුකම් සලසා දෙන්නේ ඔවුන්ගේ සනීපාරක්ෂාව රටේ සංවර්ධනය සඳහා වැදගත් වන නිසයි. එසේ නැතිව මෙය අපි පවතින රජයට විරුද්ධව කරනු ලබන සේවාවක් නොවෙයි. ප්ලාස්ටික් කළමනාකරණය සහ පරිසරයේ පිරිසුදු බව පවත්වාගෙන යෑමත් අපේ මූලික අරමුණු අතර වෙනවා. මෙම ස්ථානයට පැමිණි ජනතාව වෙනුවෙන් අපි ගතවූ දින 25 තුළ පමණක් රුපියල් මිලියන 2කට අධික වටිනාකමකින් යුතු සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදී තිබෙනවා. ”
Sustaineco සංවිධානයේ වැඩසටහන් සම්බන්ධීකරණ නිලධාරිනි ඩී. ගමගේ එසේ පැවසුවාය. පොදු ජනතාවට සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීම සඳහා දායකත්වය දැක්වීමට කැමති පුද්ගලයන්ට ඒ සඳහා ද්‍රව්‍යමය වශයෙන් ආධාර ලබාදීමෙන් සහාය විය හැකි බවත් ඇය සඳහන් කළාය.
අනතුරුව අප පිවිසියේ උද්ඝෝෂණ භූමියේ ඇති පුස්තකාලයටයි. අප්‍රේල් 12 වැනිදා තරුණ තරුණියන් කිහිපදෙනකු විසින් පොත් 6කින් අඩුම තරමේ ටෙන්ට් එකක සෙවණක්වත් නැතිව ආරම්භ කළ පුංචිම පුංචි පුස්තකාලයට අප්‍රේල් 14 වැනිදා වන විට පොත් 5,000ක් පමණ එක්වූයේ ‘කියවන උණ’ වයිරසක් මෙන් අරගල භූමියට පැමිණෙන්නන් අතර වේගයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගැනීමත් සමඟය. දැන් මේ අපූරු පුස්තකාලය වර්ග අඩි 1,500ක ටෙන්ට් සෙවණක් යට ස්ථාපිත ව ඇත්තේ පොත් 40,000ට අධික එකතුවක් ද සමඟය. ස්වේච්ඡාවෙන් පුස්තකාලය පවත්වාගෙන යන තරුණ කණ්ඩායමක් සිටියද ඒ අතර නායකයකු හෝ ප්‍රධානියකු නැත.
“අපි හැමෝම ස්වේඡාවෙන් කණ්ඩායම් හැඟීමෙන් පුස්තකාලය පවත්වා ගෙන යනවා. අපිට උදවු කරන්න අපි වගේම තරුණ තරුණියන් ඕනෑතරම් ඉන්නවා. දවසකට පොත් දෙතුන් දාහක් අලුතින් පුස්තකාලයට එකතු වෙනවා. මේ වෙද්දි අපි සිංහල මාධ්‍ය පොත් සියල්ල වර්ග කර තිබෙනවා. අනෙක් පොත් වර්ගකිරීම ප්‍රමාද වී තිබෙන්නේ පොත් සියල්ල ඇසිරීමට තරම් ප්‍රමාණවත් කබඩ්, රාක්ක නැති නිසයි. මේ වෙද්දි අපි ගාල්ල, මාතර, කුරුණෑගල සහ මහනුවර උද්ඝෝෂණ ගම්වල පුස්තකාලවලට පොත් 10,000ක් පමණ පරිත්‍යාග කර තිබෙනවා.”
ආරම්භයේ සිටම පුස්තකාලය සමඟ එක්වී සිටින විශ්වවිද්‍යාල සිසුවකු වන මෙත්සර බෙනරගම තරුණයා පැවසීය. කුඩා ළමුන්ට පොත් කියවීමට පමණක් නොව චිත්‍ර ඇඳීමට ද නිර්මාණත්මක ක්‍රියාකරකම්වල යෙදීමටද පුස්තකාලයේ කොටසක් වෙන් කර ඇත. හවස් වරුවේ එහි කුඩා දරුවන්ට කවි, කතන්දර කියාදෙන්නට තරුණියන් පිරිසක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිටී.
“ මූලිකම දේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ පොත්වලට ආදරේ කරන අය. අරගල භූමියට ප්‍රචණ්ඩත්වය වෙනුවට ආදරය කියන අර්ථය එකතු කරන්නයි අපිට ඕනෙ වුණේ. ඒ වගේම පොත්වලට ආදරය කරන අය විදිහට අපි විශ්වාස කරනවා කියවීම තමයි ලොව තියෙන ප්‍රබලතම අවිය කියා. මේ පුස්තකාලයෙන් වෙන්නේත් ඊළඟ පරම්පරාව දැනුමින් සන්නද්ධ කිරීමයි. පොත් බෙදාගන්නවා කියන්නේ ආදරය බෙදා ගැනීමට සමාන දෙයක්. මුලින්ම අපිට ඉන්න කූඩාරමක්වත් තිබුණේ නැහැ. එකපාරක් වැස්ස නිසා ගොඩක් කරදර වුණා. නමුත් පොත්වලට ආදරේ කරන අය නිසයි මාසයකටත් අඩු කාලයක් තුළ මේ තරම් විශාල පුස්තකාලයක් බිහිවුණේ. අරගල භූමියට එන ඕනෑම කෙනකුට මේ පුස්තකාලය පාවිච්චි කරන්න පුළුවන්. මෙතැන ඉඳන් පොත් කියවන්න වගේම අරගෙන යන්නත් පුළුවන්. පොත ආපහු මෙහෙටම ඇවිත් බාර දෙන්න බැරි නම් ළඟම තියෙන පුස්තකාලයකට බාර දෙන්න කියලයි අපි කියන්නේ. කොන්දේසි හෝ සීමා මායිම් නැහැ. කෙටියෙන්ම කියනවා නම් මේ පුස්තකාලයට අයිතිකාරයෙක් නැහැ.”
පුස්තකාලය සමඟ ඔවුහු තවත් සේවාවක් ද පවත්වාගෙන යති. ඒ දුරකථන, පරිගණක, ටැබ් නොමිලේ චාජ් කර දීමයි. ඒ සඳහා ද ඔවුන් විදුලි බලය ලබාගන්නේ සූර්ය බල ශක්තියෙනි. පැය කිහිපයක් විදුලිය විසන්ධි වන පසුබිමක් තුළ සූර්ය බල ශක්තියේ අගය ජනතාවට දනවන්නට සූර්ය බල ශක්තියෙන් උද්ඝෝෂණ බිමට විදුලිය සපයන තරුණ කණ්ඩායම සමත් වී සිටින බව ද කිව යුතුමය.
මේ උද්ඝෝෂණ භූමිය තුළ එහි පැමිණෙන මහජනතාවට සහාය දක්වන සේවා කිහිපයක්ම ක්‍රියාත්මක වේ. නීති උපදේශන සේවාව සහ මාධ්‍ය මධ්‍යස්ථානය ඒ අතර ප්‍රමුඛ වේ. ජාතික තරුණ සේවා සභාවෙන් බිහිවූ තරුණ කණ්ඩායමක් උද්ඝෝෂණ බිමේ අන්තර්ජාල ප්‍රවෘත්ති සේවාවක් අරඹනු ලැබුවේ ඉකුත් මැයි 3 වැනිදාය. ඒ තුළින් රටේ තත්ත්වය එසැණින් ජාත්‍යන්තරය වෙත ගෙන යා හැකි බව එහි සාමාජික තරුණයකු වන ඒ.එම්.ඒ.ජී.අධිකාරි සඳහන් කළේය.
අව්වට, වැස්සට තෙමෙමින් සහ රාත්‍රී පින්නටත් සිසිල් සුළඟටත් නිරාවරණය වෙමින් උද්ඝෝෂණයේ නිරත ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන්ම කැපවී සිටින ස්වෙච්චා සංවිධාන කිහිපයක් ද ගාලුමුවදොර භූමියේදී දැකගත හැකිය. ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, ශාන්ත ජෝන් ගිලන්රථ සේවාව ඒ අතර කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරයි.
“අපේ සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මකයි. අධික උණුසුම් කාලගුණික තත්ත්වය සහ තෙහෙට්ටුව නිසා ක්ලාන්තයට පත්වන රෝගීන් තමයි අප වෙත වැඩිපුර යොමු වන්නේ. ඊට අමතරව හෘදය රෝග දක්වා බරපතළ තත්ත්වයට පත්වූ රෝගීන්ටත් අප ප්‍රතිකාර කළා. ඉතා අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් අපි වහාම රෝහල් වෙත යොමු කරනවා. එසේ නොවන සාමාන්‍ය රෝග බොහොමයකට ප්‍රතිකාර කිරීමේ පහසුකම් අපිට මේ ස්ථානයේදී තිබෙනවා.”
ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ මාණ්ඩලික නිලධාරියකු වන නයන මින්දුල එසේ කීවේය. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසු සිසුවියන් විසින් උද්ඝෝෂණ බිමේ පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය අනුරාධි රත්නසේකර සහ වෛද්‍ය ශ්‍රිමාල් දිල්මික පැවසුවේ දිනකට අවම වශයෙන් රෝගීන් දෙසීයක් පමණ ප්‍රතිකාර සඳහා එහි පැමිණෙන බවයි. සති අන්තයේ ඊටත් වඩා රෝගීන් පිරිසක් දෛනිකව පැමිණෙන බවත් ඔවුහු පැවසූහ.
උද්ඝෝෂණ බිමට පැමිණෙන කිසිවකුට කුසගින්නේ සිටීමට ඉඩක් නැති සෙයකි. අරගල බිමේ ප්‍රධාන වේදිකාවට වම්පසින් තිබෙන ස්ථානයෙන් වතුර බෝතල් සහ ආහාරපාන නොමිලේ ලබාගත හැකිය. එසේ ආහාර සහ වතුර ලබාදෙන ස්ථාන කිහිපයක්ම අරගල භූමියේ ස්ථාපිත කර ඇත. ස්ථාන කිහිපයක තේ, කැඳ සහ සුප් වර්ග පිළියෙල කෙරේ. තවත් තැනක මුළුතැන්ගෙයකි. උද්ඝෝෂණ භූමියේ එක්රැස් වී සිටින පුද්ගලයන් එකතු වී ආහාරපාන පිළියෙල කරගන්නා ආකාරය ද දැකිය හැකිය.
විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් ලබාදෙන ආහාරපාන ක්‍රමානුකූලව උද්ඝෝෂණ භූමිය පුරා බෙදාහරිනු ලබන්නේ ද ස්වේච්ඡා තරුණ කණ්ඩායම් විසිනි. ඔවුන් බොහෝ දෙනකු විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් වීම විශේෂත්වයකි. ස්ව කැමැත්තෙන් පොදු අරමුණක් වෙනුවෙන් දායකත්වය දැක්වීමට උද්ඝෝෂණ බිමට පැමිණි බව ඔවුහු කීපදෙනකුම අප සමඟ පැවසූහ.
“අපි බොහෝ දෙනා මීට පෙර දැනහඳුනාගත් අය නෙවෙයි. උද්ඝෝෂණය සඳහා මෙහි පැමිණියාට පසුව දැනහඳුනාගත් අයයි. නමුත් මේ අපේ දෙයක් කියන පොදු හැඟීම අපි කා තුළත් තිබෙනවා. ඒ නිසයි මේ තරම් විශාල සාමුහිකත්වයක් අප අතර ගොඩනැඟී තිබෙන්නේ” ඒ ඔවුන් බොහෝ දෙනකු අපට කී කතාවේ සාරාංශයකි.
උද්ඝෝෂණ භූමිය පුරා කෙතරම් විශාල පිරිසක් සැරිසැරුවද එය කැළිකසළවලින් අපිරිසිදු නොවී පැවතීම අගය කළ යුත්තකි. ඉවතලන සියලුම අපද්‍රව්‍ය නිසි පරිදි කසළ බඳුන්වලට දමන අතර, ඉවතලන ප්ලාස්ටික් බෝතල් වෙනම ස්ථානයකට එකතු කෙරේ. ‘Zero plastic’තේමාව මුල්කර ගනිමින් එකී ප්ලාස්ටික බෝතල්වලින් ද නිර්මාණශීලී දෑ නිර්මාණය කරන්නට උද්ඝෝෂණ බිමේ සිටින තරුණ තරුණියෝ දක්ෂයෝය.
මේ නිර්පාක්ෂික ජන උද්ඝෝෂණයට ආරම්භයේ සිටම දායකත්වය දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තරුණයකු වන රතිදු සුරම්‍ය සේනාරත්න හෙවත් ‘රැට්ටා’ පැවසුවේ මෙය තනි පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සංවිධානය කළ දෙයක් නොවන අතර වසර ගණනාවක් තිස්සේ පීඩාකාරී දේශපාලනයෙන් පීඩා විඳි ජනතාවගේ පීඩනය පුපුරා යෑමෙන් ජනතාව තුළින්ම පැනනැඟුණක් බවයි.
“හීන විනාශ වූ මේ රටේ ඉපදුණු තරුණයන්ගේ කුලකයට අයත් තරුණයෙක් විදිහටයි මම මේ අරගලයට එකතු වුණේ. මට තිබුණු සෝෂල් මීඩියා පවර් එක මම අරගලය වෙනුවෙන් යෙදෙව්වා. අරගලයට දින 25ක් සම්පූර්ණ ෙවද්දී වසර 70ක් තිස්සේ දේශපාලනයෙන් ලබාගත නොහැකි වූ සාධනීය ජයග්‍රහණ රාශියක් ලබාගැනීමට පොදු ජනතාවට හැකිවුණා. මේ වෙද්දි දේශපාලකයෝ ජනතාව අතරට පැමිණීමට බිය වී තිබෙනවා. දේශපාලකයා දේවත්වයෙන් සැලකූ යුගය අවසන් කොට දේශපාලකයා සැබෑවටම සිටිය යුතු තැන තබන්නට මේ ජන අරගලයට හැකියාව ලැබී තිබෙනවා. එවැනි සාධනීය ජයග්‍රහණ රාශියක් ලැබුවත් අපේ මූලික අරමුණු දෙක තවම ඉටුවී නැහැ. අප එතැනට යමින් සිටිනවා. එය ඉටුවන තුරු අපි මේ අරගලය අතහරින්නේ නැහැ.”
ඡායාරූප- ගයාන් පුෂ්පික