පයේ පැටලුණු නිධානයක් තිදෙනෙක් හිරගෙට යැවූ හැටි | Page 2 | සිළුමිණ

පයේ පැටලුණු නිධානයක් තිදෙනෙක් හිරගෙට යැවූ හැටි

න නිධාන’ ගොඩගෙන කෝටිපතියන් වීමට බොහෝ දෙනෙකුට ඇත්තේ ලොකු කෑදරකමකි. ඒවාටම උපන් හපන්කම් දක්වන පිරිසක් ද රට පුරා බිහිවී සිටිති. හොර කට්ටඩියන්, යකැදුරන්, බලිතොවිල්කාරයන් ද මේ නිධන් කල්ලි කණ්ඩායම්වල අනිවාර්යෙන් සිටිති. මෙසේ නිධන් වස්තු සොයා මහපොළොව හෑරූ බොහෝ දෙනෙකුට අන්තිමේදී තපින්නට වූයේ පොලිසි, උසාවි සහ හිරගෙවල්වලය.

අනුරාධපුර දිසාව ද නිධන් කොල්ලකරුවන්ගේ ඇල්ම බැලම වැටුණු තැනෙකි. නිධන් වස්තු සොයා එම ප්‍රදේශයේ මහ පොළොව හෑරූ බොහෝ දෙනෙකු දැන් සිටින්නේ සිරගෙදරය. නිධන් සොයන්නට අවශ්‍ය මූලික කටයුතු සඳහා රුපියල් ලක්ෂ ගණනින් විය පැහැදම් කරන අය සිටියදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් රිදී මුතු මැණික් ඇතැමුන්ගේ දෙපයේ ගැටෙන විරල අවස්ථා ද ඇත. මේ කතාවද එවැන්නකි. වාර්තා වූයේ මැදවච්චිය පොලිස් ස්ථානයෙනි. 

අනුරාධපුර දිසාවේ මැදවච්චිය පොලිස් වසමට අයත් මයිලගස්වැව ගම්මානය පිහිටා ඇත්තේ පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් පමණ ඈතිනි. මයිලගස්වැව ගමේ පවුල් 250ක් පමණ ජීවත් වන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ගොවිතැනයි. කුලී වැඩ කරමින් දිවි ගැට ගසා ගන්නා අය ද එහි අඩු නැත. 

මේ ගම්මානයේ ගොවිතැන් බත සිය ජීවනෝපාය කර ගත් හතළිස් පස් හැවිරිදි කතක් සිය දරුවා ද සමඟ පා ගමනින් මයිලගස්වැව ගමේ වැව අසලට පැමිණෙන්නේ පසුගිය දිනෙක ය.

මේ වැවේ බන්ට් එක අසලින්ම පිහිටා ඇත්තේ නළ ළිඳ පාරයි. ඒ අසලින් දරුවා ද සමඟ ගමන් කරන කාන්තාව වැව් බන්ට් එක මතට ප්‍රවිශ්ට වන්නේ තවත් විනාඩි කීපයක් ඇතුළතදී ය. දරුවා සමඟ ගමන් කරන කතගේ පයේ එක්වරම කිසියම් දෙයක් පැටලෙන්නේ ඒ මොහොතේදීමය. ගමන මඳකට නැවතූ මේ කාන්තාව තමාගේ පයේ පැටලුණු දෑ කුමක්දැයි සොයා බැලුවාය. වැව් බන්ට් එක මතින් මතුවුණු අඟල් කීපයක් දිග යකඩ කැබැල්ලක් වැනි යමක් ඇගේ පයේ එලෙස පැටළී තිබිණි.

මේ යකඩ කැබැල්ලේ කිසියම් විශේෂයක් දුටු කාන්තාව යකඩ කැබැල්ල මතුවූ ස්ථානයේ පොළොව මඳක් බුරුල් කර හාරා බැලුවාය. ඇය විස්මයට පත්වන්නේ ඒ මොහොතේදීය. වළලු, රන් කැබලි, රන් ආලෝපිත මැටි ගුලි මුදු කැබැලි මැණික් ගල් ඇතුළු වටිනා නිධානයක් ඒ මොහොතේ පස් අතරින් මතු වෙමින් තිබිණි.

ඒ අවස්ථාවේ එතැනින් යන්නට ගිය කාන්තාවක් ද මේ සිද්ධිය දුටුවාය. ඇය ද මයිලගස්වැව ගමේම පදිංචිකාරියකි. කතුන් දෙදෙනා මේ නිධානය ගොඩ ගනිද්දී තවත් අයකු එහි පැමිණෙන්නේ මේ කාන්තාවන් දෙදෙනා වැව් බන්ට් එක මත පොළොව හාරමින් කරන දේ ගැන විමසන්නටය. මේ පුද්ගලයා ද මයිලගස්වැව ගමේම පදිංචිකාරයෙකි. කුලී වැඩ වල නිරතව සිටිමින් ජීවිකාව ගෙන යන අයෙකි. රන්වලින් සැදූ අබරණ බුද්ධ ප්‍රතිමා දෙකක් මැණික් ගල් දහයක් කරාබු සහ රන් මුදුවල රනින් තැනූ කොටස් රැසක් මේ වන විට මේ තිදෙනා අතට පත්ව තිබිණි.

‘නිධානය’ ගමට ගෙනියන තිදෙනා එය සමව කොටස් තුනකට බෙදා ගන්නේ ඉන් අනතුරුවය. මේ නිධානයෙන් ගත් රන් කොටසක් උණුකර මැදවච්චියේ රන් හලකට උකස් කළ එක් කාන්තාවක් ඒ වන විට රුපියල් හැත්තෑදහසක් ලබාගෙන තිබිණි.

කතුන් දෙදෙනාට සහ සෙසු පුද්ගලයාට මයිලගස්වැව අසලින් හමුවූ නිධානය ගැන ඒ මොහොත වන විට කණින් කොනින් ගම පුරා පැතිර ගොස් තිබුණු අතර එතැන තවත් නිධන් ඇතැයි සැක කළ සමහර ගැමියෝ වැව අසලට පැමිණ නිධානය හමුවූ තැන පොළොව හාරන්නේ ඉන්පසුවය. 

මේ ගැන මැදවච්චිය පොලිස් බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. අයි. බී. රත්නායකට දැනුම් දෙන්නේ ඒ සමඟමය.

වහාම ක්‍රියාත්මක වුණු පොලිස් ස්ථානාධිපතිවරයා මයිලගස්වැව ගමට ගොස් මේ ගැන විමර්ශනය කරන්නේ ප්‍රදේශයේ පුරාවිද්‍යා නිලධාරීන් ද ඒ ගැන දැනුම්වත් කරමිනි.

පොලිසිය කළ මූලික විමර්ශනයේදී හෙළි වන්නේ මයිලගස්වැව ගම්මානයේ කාන්තාවන් දෙදෙනකු සහ තවත් පුද්ගලයකු මීට සම්බන්ධ බවය. සැකකාරියන් දෙදෙනා සහ සැකකරු පොලිස් අත්අඩංගුවට ගන්නේ ඉන්පසුවය.

මේ තිදෙනා සතුව තිබුණු මැණික් ගල් බුදු පිළිම ඇතුළු රන් පවුම් 25ක් පමණ වටිනා නිධන් වස්තු කොටස් සොයා ගැනීමට පොලිසියට හැකිවිය.

මේ වායේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවට විශ්වාස කෙරේ. මේ පෞරාණික භාණ්ඩ වසර 200ක් පමණ පැරණි ඒවා බවට විශ්වාස කෙරේ. මේ නිධන් වස්තු කොටස් සොයා ගන්නා ලද වැව මීට කලකට පෙර පිළිසකර කර තිබුණ අතර වැව මැද තිබුණු රොන් මඬ වැව් බන්ට් එක අසලට දමා තිබුණ බවත් වැව් පතුලේ තිබුණු මේ පෞරාණික භාණ්ඩ ඒ අවස්ථාවේ මඩ සමඟ මිශ්‍රව තිබෙන්නට ඇති බව ද සැක කෙරේ. මේ පෞරාණික භාණ්ඩ නැටුම් ශිල්පයකු පරිහරණය කරන ඇඳුම් කට්ටලයකට අයත් බව බැලූ බැල්මට පෙනෙන්ට ඇති බව මැදවච්චියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. අයි. බී. රත්නායකගේ අදහසයි. ඒ ගැන පුරාවිද්‍යා මතය විමසීමට ද නියමිත ය.

සැකකාරියන් දෙදෙනා සහ සැකකරු මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. අයි. බී. රත්නායකගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කැරේ.

දීපාල් සමරසේකර

Comments