
මාසයකට ආසන්න කාලයක් තිස්සේ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාල අසල සිදු කෙරෙන මහජන අරගලය තුළ පසුගිය 29 වැනිදා ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තා විය. ඒ එහි පිහිටි දිවංගත අගමැති එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකයන්ගේ ප්‍රතිමාවට කිසියම් අයකු නැඟ එම පිළිරුවේ දෑස් කළු රෙදිකඩකින් බැඳීමය. මෙය සියලු මාධ්‍ය කැලඹූ ප්‍රවෘත්තියක් බවට පත්විය. ඊට බල පෑ තවත් හේතුවක් වූයේ ඊට දින කිහිපයකට ප්‍රථම ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය පළ කළ ආචාර්ය තුසියාන් නඩේකුමාර්ගේ ටිවිටර් පණිවිඩයයි.
මේ සිද්ධිය හා ඒ අතර සාම්‍යයක් ඇතැමුන් දකිති. එය සාරාංශ කර දක්වන්නේ නම් ඉන් කියැවුණේ “දෙමළ විරෝධී සංහාර දෙකක් නිර්මාණය කළ, ලංකා ඉතිහාසයේ වඩාත්ම වර්ගවාදී නීති සම්පාදනය පිටුපස සිටින පුද්ගලයකු ලෙස බණ්ඩාරනායක කිසිවිටෙකත් අමතක කළ නොහැකි බවයි. මෙම පිළිරුව ගෘහ නිර්මාණ ශිල්පය අතින් කොතරම් විශිෂ්ට නිර්මාණයක් වුවත් ඔහුගේ ක්‍රියා අගය කළ නොහැකිය. එනිසා බණ්ඩාරනායකගේ ස්මාරකය අසල වී කරන ගාලු මුවදොර විරෝධතාව නොසලකා හැරිය හැකි එකකි. මේ විරෝධතාවයට ලංකාවේ වෙසෙන සියලු දෙමල ජනයා ඇතුළත් කිරීමට නම් ඒ පිළිරුව එතනින් ගලවා ඉවත් කළ යුතුය.” කියාය. මේ ප්‍රකාශය ජාතිවාදීව මෙන්ම ස්වාධීනව සිතන පතන බොහෝදෙනාගේ විචාරයට ලක් වී තිබේ.
ගාලු මුවදොර අහස අරා නැඟුණු මෙරට විශාලතම දේශපාලන ප්‍රතිමාව වන බණ්ඩාරනායක ප්‍රතිමාව විශේෂය. එය ඉදිකර ඇති ස්ථානය අනුවත් ප්‍රතිමා ශිලපය අතින් බැලුවත් ඓතිහාසික දේශපාලන කාරණා අතින් බැලුවත් එය සුවිශේෂ වන්නකි. නමුත් බොහෝවිට සාම්ප්‍රදායිකව මේ අසල සිදු කෙරෙන සැමරුම් උත්සව හැරුණු කොට ඔහු පිළිබඳ කිසිදු කතාකාවක් ඇති වී නැත. මෙනිසා රටේ වත්මන් පරපුර ඔහු පිළිබඳව නොදැනීම ඔවුන්ගේ වරදක් නොවේ. තමන්ට ඉග්‍රීසිය චතුර ලෙස කතා කිරීමටත් ඉන් ලොව ජයගැනීමටත් නොහැකි වූයේ මේ මිනිසා නිසා යැයි බොහෝ දෙනා තුළ මතයක් පවතී. මෙම ක්‍රියාව තුළ එවැනි හුදෙකලා අදහසක් පැවතුණා යැයි සිතීමටද අපහසු නොවේ. ඊට හේතුව වන්නේ මෙම ක්‍රියාව සිදුකර සුළු මොහොතකික් එය ඔවුන් විසින්ම ඉවත් කර තිබීමය. එනිසා එය සංකේතාත්මක ක්‍රියාවක් ලෙස දැකීමද වරදක් නැත. කෙසේ නමුත් රටෙහි ප්‍රගතිශීලී අදහස් උත්සන්න වෙමින් පවතින මොහොතක බණ්ඩාරනායක පිළිබඳව කතිකාවක් ඇති වීම යහපත්ය.
බණ්ඩාරනායක යුගය එසේත් නැතිනම් 1956 යනු‘පොදුජනයා’ පිළිබඳ කතිකාව, බොහෝ සීමාසහිතකම් සහිතව වුව පොදු දේශපාලන වහර තුළ ස්ථාපිත වූ අවස්ථාවය. ඒත් එය සමහරුන් උත්කර්ෂයට නංවන්නේ සහ ලඝු කොට දක්වනේ ‘සිංහල රාජ්‍ය භාෂා පනත’ මඟින් සිංහල භාෂාව ස්ථාපිත වීම පිළිබඳවය. නමුත් දේපල හිමියන්ට අවශ්‍ය වූ විට සේවකයන් සේවයෙන් නෙරපීම පාලනය කිරීම සඳහා කම්කරු විනිශ්චය සභා ඇති කළේ බණ්ඩාරනායකය.
සේවක අර්ථ සාධක අරමුදල, දේශීය නිෂ්පාදන කර්මාන්ත, නව ආරක්ෂක වැපිළිවෙලක්, බස් ජනසතු කිර වරාය ජනසතු කිරීම, අඳ ගොවි අයිතිය තහවුරු කිරීම සඳහා කුඹුරු පනත සකස් කිරීම, බ්‍රිතාන්‍යයන් සතුව පැවති ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර යලි ලංකාවට පවරා ගැනීම සහ මැයි පළමුවැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ආදිය සිදු කළේ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක ය.
එ.ජා.ප ආණ්ඩු විසින් ප්‍රතික්ෂේප කළ සෝවියට් රුසියාව හා චීනය වැනි සමාජවාදී රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළේද බණ්ඩාරනායක සමයේදීය. එතෙක් අප විසින් අනුගමනය කළ යටත්විජිත ආර්ථික ප්‍රතිපත්තියෙන් මිදී, ස්වාධීන කාර්මික සංවර්ධනයක් සඳහා අඩිතාලම දමන්ටත්, තම අදහස් හා සමාන අදහස් දරන නේරු, අබ්දුල් ගමල් නසර්, සුකර්නෝ ආදී නායකයින් යොමුව සිටි සමාජ ආර්ථික ප්‍රතිපත්ති හා ආසියානු අප්‍රිකානු රටවල අදහස් රැගෙන නව මඟකට හෙතෙම පිවිසුණේය. මේ තුළ කුමන අඩුපාඩුකම් පැවතියද ස්වාධීන පශ්චාත් යටත් විජිත සංවර්ධන ප්‍රතිපත්තියක් ගොඩනැඟීමේ දිශාවට ඔහුගේ දෘෂ්ටිය යොමුව තිබීම විශේෂ ය.
ඒ අරුතින් ගත් කල සමාජ හා ආර්ථික වශයෙන් මේ ප්‍රතිපත්තිවල ප්‍රගතිශීලී අන්තර්ගතයක් ගොනු වී තිබුණු බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප‍්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර පෙන්වා දෙයි.
නමුත් දෙමළ ජනයාට එරෙහිව 1956 දී කළ ඓතිහාසික අසාධාරණයට දැඩි ලෙස විරුද්ධකම් පෑ එකල සිටි වාමාංශික නායකයකු වූ කොල්වින් ආර් ද සිල්වා කියා සිටියේ “භාෂා දෙකක් නම් එක රටක්, එක භාෂාවක් නම් රටවල් දෙකක්” යැයි කියාය. එසේම එන්.එම්.පෙරේරා කියා සිටියේ “අප දේශපාලන මරු බණ්ඩාරනායක කතරට ගියත් සිංහල-දෙමළ භාෂාවල සම අයිතිය වෙනුවෙන් සටන් කරන බවයි”. එඩ්මන්ඩ් සමරක්කොඩි කියා සිටියේ “යටත් විජිත ස්වාමියාගේ භාෂාවෙන් නිදහස ලබන ස්වර්ණමය දිනයක් විය යුතු දවස, සිංහල පමණක් රජ බස කිරීම නිසා අන්ධකාර දිනයක් බවට එය බණ්ඩාරනායක විසින් පත් කළ බවයි”. අනෙක් ජනප්‍රිය මතය වන්නේ අප සැමට ද්වීභාෂා අධ්‍යාපන ක්‍රමය අහිමි වූයේ බණ්ඩාරනායක නිසා බවයි. නමුත් බණ්ඩාරනායකගේ ඓතිහාසික සීමාව ජාතික ස්වාධීනත්වය සමඟ ජාතික එක්සත්කම සම්බන්ධ වන හැටි අවස්ථාවාදී ලෙස අප මින් බැහැර කර ඇත. කළු පටි බැඳීමේ ක්‍රියාවලිය අපට විග්‍රාහ කර ගැනීමට සිදුවන්නේ මෙකී සන්දර්භය තුළ පිහිටාය.මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරියගෙන් සිළුමිණ කළ විමසීමේදී හෙතෙම පවසා සිටියේ.“ගෝල්ෆේස් අරගල භූමිය තුළ පිහිටා තිබෙන බණ්ඩාරනායක පිළිරුවේ ඇස්, කළු රෙදි පටියකින් වසා දැමීම දෙයාකාරයකින් වැරදි බවයි. පළමුවනුව ආණ්ඩුවට එරෙහිව හැකි සියලුම බලවේග එක්සත් කිරීම කළ යුතුව තිබෙන මොහොතක; එසේ නොකොට මේ කඳවුර තුළම ප්‍රතිවිරෝධතා හා ගැටුම් ඇති කිරීමට හේතුවන කාරණාවක් ලෙසයි. එසේ ම පිළිමයේ කළු රෙදි පටි ගැට ගසන්නට යාම මූලෝපායික වරදක්. බණ්ඩාරනායක කියන්නේ අදටත් මේ සමාජයේ විශාල තීරුවක ගෞරවයට පාත්‍ර වන චරිතයක්. මේ විදියටම ඩී එස් සේනානායකගේ ඇස් කළු රෙදි පටියකින් වසන්නට හෝ චෙල්වනායගම්ගේ පඹයකු පුළුස්සන්නට කවුරුන් හෝ කටයුතු කළහොත් එය නිවැරදිද?
බණ්ඩාරනායකට එරෙහිව මෙය සිදු කළ ද; ඩී.එස් ට එරෙහිව කරන්නත් ඕනෑ තරම් හේතු තියෙනවා. ඩී.එස් තමයි ඉන්දීය දෙමළ ජනතාවගේ පුරවැසි අයිතිය අහිමි කළේ. ඒකට විරුද්ධව යි චෙල්වනායගම්, දෙමළ රාජ්‍ය පක්ෂය හෙවත් ෆෙඩරල් පක්ෂය ආරම්භ කළේ. පසුව බෙදුම්වාදය සහ එල්ටීටීඊය දක්වා වර්ධනය වුණේ එයයි. ඒ අනුව කළු පටි බැන්ද තරුණයට වුණත් බණ්ඩාරනායකට වඩා ඩී.එස් හොඳ වෙන්න විදියක් නැහැ. ඒ නිසා මේ වැඩේ මහා මෝඩ වැඩක්”.
බණ්ඩාරනායක පිළිරුව පිළිබඳව එහි සංරක්ෂකයා ලෙස දෙවතාවක්ම කටයුතු කළ මූර්ති ශිල්පී මහාචාර්ය සරත් චන්ද්‍රජීවගෙන් ඒ පිළිබඳව සිළුමිණ විමසුවෙමු. හෙතෙම පවසා සිටියේ “ මෙය නිර්මාණය කළේ මගේ පශ්චාත් උපාධි උපදේශකවරයා වුණු රුසියානු ජාතික මූර්ති ශිල්පී මහාචාර්ය ලෙව් කර්බෙල්.
1970 දී එවක ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක විසින් සෝවියට් රුසියානු රජයෙන් කළ ඉල්ලීමක් අනුව බවයි. පළමුව රූපය මැටියෙන් ඇඹීම් කරලයි, පසුව ලෝහ වාත්තු කරන්නේ. ඒ හදන මැටි මූර්තිය අනුමත කරන්න ලංකාවෙන් ගොස් තිබුණේ මාපලගම විපුලසාර හාමුදුරුවෝයි, සුනේත්‍රා බණ්ඩාරනායක හා කුමාර් රූපසිංහයි. (මා මොස්කව්වල ඉගෙන ගන්න කාලයේ මහාචාර්ය කර්බෙල් මෙහි පින්තූර පෙන්වමින් මේ පිළිබඳව මා දැනුම්වත් කළා.)
එහෙම හදලා 1976 දී කෑලි හතරක් විදියට ඇන්ටනොෆ් යානයකින් මේ ස්මාරකය ලංකාවට ගෙනාවා. ඊට පස්සේ කොළඹ ගාලුමුවදොර පිටියට ගෙනත් යට කෑල්ල වෙල්ඩින් කරලා කොන්ක‍්‍රීට් දාලා පොළවට සවි කළා. යකඩ පලංචි වටේට ගහල ගෝනිවලින් වටකරගෙන තමයි ඉතිරි කොටස් වෙල්ඩින් කරමින් ඉහළට ගෙනිච්චෙ. ඒ සඳහා මහාචාර්යවරයාට සහය දැක්වූයේ එස්. ඒ වික්‍රමසිංහගේ ප්‍රත්‍රයා මෙන්ම ලංකාවේ දක්ෂ ගෘහණිර්මාණ ශිල්පී වූ සුරේන් වික්‍රමසිංහයි. මම මේ සිදුවීම ඈත ඉදන් බලන් හිටියා. මෙය නූතන ශ්‍රී ලංකාවට විදේශයකින් පිරිනැමුණු විශාලතම ස්මාරක මූර්තියයි.
පසුව 1994 වසරේ අප්‍රේල් මාසයේදී මහාචාර්ය කර්බෙල් (වසර 18 කට පසුව) නැවතත් ලංකාවට ආ වෙලාවේ බණ්ඩාරනායක මූර්තිය දැක ගැනීමට එහි ගියා. මහාචාර්ය කර්බෙල් එය සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කළා. ඒ වෙද්දි මා බ්‍රිතාන්‍ය රාජකීය කලායතනයේ 1987-88 කාලයේ ලෝකඩ මූර්ති වාත්තු කරන්නත් සංරක්ෂණය කරන්ත් ඉගෙන ගෙන තිබුණා. මහාචාර්ය කර්බෙල්ගේ ඉල්ලීම අනුව 1994දී මෙම ප්‍රතිමාව සංරක්ෂණය කිරීමට පියවර ගත්තා. එහි වියදම දැරුවේ ඩී. බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන්. පසුගිය වසරේ (2021) චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ඉල්ලීම පරිදි මෙය නැවත වතාවක් අප කණ්ඩායම විසින් දෙවන වරටත් සංරක්ෂණය කෙරුණා.
“ බණ්ඩාරනාක පිළිරුවේ දැස් බැඳීම කුමන තේරුමකින් කළා ද කියන්න මා දන්නේ නැහැ. එවක ස්වභාෂා පිළිබඳව ලෝකයේ අනෙකුත් රටවල තිබුණු තත්ත්වය අනුව ස්වභාෂාවන් රාජ්‍ය භාෂාව කිරීම අවශ්‍යව තිබුණු කාරණයක්. එහිදී දෙමළ භාෂාව නොතකා හැරීම ගැටලුවක් බවට පත් වුණා. ඉන් පැන නැඟුණු දෙමළ අසහනය සමනය කරන්න ප්‍රමාණවත් දේ නොකිරීම ඔහුට එල්ල වන චෝදනාවක්. නමුත් අද අපි කතා කරන කොට එදා එය ඔහු සිදු කළේ කුමන අර්ථයකින්ද යන්න අපි දන්නේ නැහැ. ඒ යුගයේ සිටි කිහිප දෙනෙක්ගෙන් මේ පිළිබඳව මා පෞද්ගලිකව විමසුවා. ඔවුන්ටත් ඒ පිළිබඳ විධිමත් අදහසක් තිබුණේ නැහැ. නමුත් මේ ඇස් බැඳීමේ සංකේතාත්මක වැදගත් කමක් තිබෙනවා. මොකද බණ්ඩාරනායකගේ ක්‍රියාව බැලුවොත් පේන දෙයක් තමයි; තමන් කරන දේවල්වල අනාගත ප්‍රතිවිපාක පිළිබඳ ඔහුට අදහසක් තිබුණේ නැහැ. ඔහු කළේ ඒ මොහොතේ රාජ්‍ය බලය ලබා ගැනීමට අවශ්‍ය පදනම සකස් කර ගැනීමයි. 1951 ශ්‍රීලනිප පිහිටෙව්වට පස්සේ ඔවුන්ට ලොකු ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වුණේ නැහැ. ඒ තත්ත්වය ඇතුළෙ සිංහල ජාතිකවාදී බලවේගය මුල්කරගෙන පැමිණි ප්‍රවණතා සමඟ සංධාන ගතවෙන්න බණ්ඩාරනායක තීරණය කළා.
නමුත් ඒ නිසා ඇති වෙන්න නියමිත දේශපාලන ප්‍රතිවිපාක පිළිබඳව එහෙමට අවබෝධයක් ඔහුට තිබුණේ නැහැ. තමන්ම පුබුදුවපු බලවේග කොයිතරම් දුරට පාලනය කරගන්න පුළුවන් වෙයිද? ඒවායි දිශානතීන් මොනවද කියන එක පිළිබඳ ඔහුට ලොකු අවබෝධයක් තිබුණ බව පෙන්නේ නැහැ. ඔහුගේ ඝාතනයෙන් පවා ඒක සංකේතාත්මකව පේනවා. ඒ අර්ථයෙන් ගත්තහම බණ්ඩාරනායක පිළිරුවේ ඇස්දෙක වැසීමට වෙනම අර්ථයක් ලැබෙන බවයි මගේ අදහස” කියාය.