භූගත ජල ටැංකියක් ජීවිත දෙකක් බිලිගත් හැටි | Page 2 | සිළුමිණ

භූගත ජල ටැංකියක් ජීවිත දෙකක් බිලිගත් හැටි

භූගත ජල ටැංකි පතුළ ඉහළ සිට දිස්වන ආකාරය සහ ජල ටැංකියට පිරිස වැටුණේ මෙම විවරයෙනි

- මුලින් වැටුණු දෙදෙනා බේරා ගැනීමට යාමෙන් තවත් තිදෙනකු ටැංකියට වැටිලා 
- පස්දෙනාම ගොඩට ගත්තේ ඔක්සිජන් සහිතව ටැංකියට බැහැපු තරුණයා

දෙදහස් විස්ස වසරේ පෙබරවාරි දෙවැනිදා අවිස්සාවේල්ල, මාලිගාව මාවතේ නිවෙසක් අසල පිහිටි මැණික් පතලකට බැසීමට යාමේදී තරුණයන් තිදෙනෙකුගේ ජීවිත අහිමි වූයේ පතල තුළ වූ විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙනි. එසේම අවිස්සාවේල්ලට යාබද මැණික් පතල් සඳහා ප්‍රචලිත රත්නපුර දිස්ත්‍රික්කය තුළ පිහිටි මැණික් පතල්වලට බැසීමට යාමේදී විෂ වායු ආඝ්‍රාණය වීම නිසා අවස්ථා කීපයකදීම මිනිස් ජීවිත අහිමි වී තිබේ.

ඒ අනුව මීට වසර කීපයකට පෙරදී නිවිතිගල ප්‍රදේශයේදීද තිදෙනෙකුගේ ජීවිත අහිමි විණි. එසේම රත්නපුර ගිලිමලේ ප්‍රදේශයේදීත් පතලක රැකියාවේ නියුතුව සිටි සිවුදෙනකුගේ ජීවිතද අහිමි වී ගියේ විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් පතල තුළට ඇද වැටීමෙනි.

එලෙස භූගත විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් මිනිස් ජීවිත දෙකක් අහිමි වීමේ ඛේදනීය පුවතක් ගෙවී ගිය සතියේත් සැල විණි. ඒ භූගත ජල ටැංකියක් පිරිසිදු කිරීමට යාමේදීයි. එකී ශෝචනීය පුවත වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම පොලිස් වසමේ මල්වාන, වල්ගම බටහිර ප්‍රදේශයෙනි.

ලෝක කම්කරු දිනය යෙදුණු ඉකුත් මැයි 01 වැනි ඉරිදා දින සිදුවූ එම ඛේදවාචකයෙන් මරණයට පත් වූයේ මල්වාන, වල්ගම බටහිර පදිංචිව සිටි 61 හැවිරිදි අබ්දුල් කාදර් මොහොමඩ් හසන් සහ පමුණුගම, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි අරණායක මුදියන්සේලාගේ පාලිත පරාක්‍රම යන දෙදෙනායි.

තිදරු පියකු වන අබ්දුල් කාදර් මොහොමඩ් හසන් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක භාරකරුවකු ලෙස කටයුතු කළේය. ඔහුගේ නිවෙස කුඩා බිම්කඩක පිහිටියේය. නිවෙසට ජලය ලබාගන්නා භූගත ජල ටැංකිය මිදුලේ පිහිටා තිබිණි. එය කොන්ක්‍රීට් ආවරණයකින් වසා තිබුණේය. එහි ගැඹුර අඩි 16ක් පමණ වෙද්දී දිග, පළල අඩි 10ක් සහ අඩි 09ක් පමණ විය. එකී භූගත ජල ටැංකිය වසා තිබුණේ අඩි 2යි 2 පමණ දිග පළල කොන්ක්‍රීට් ආවරණයකිනි.

මල්වාන - වල්ගම බටහිර ප්‍රදේශය ඉස්ලාම් භක්තිකයන් බහුලව වෙසෙන පෙදෙසකි. මුස්ලිම් නිවැසියෝ බොහෝ දෙනෙක් ඉකුත් මැයි මස 03 වැනිදාට යෙදුණු රාමසාන් උත්සවය වෙනුවෙන් නිවෙස් ඇතුළු අවට පරිසරය පිරිසිදු කිරීම්හි නිරත වූහ. ඒ අනුව නිවෙස් පිරිසිදු කරමින් සුද්ධ පවිත්‍ර කළ මොහොමඩ් හසන් භූගත ජල ටැංකියද රාමසාන් වෙනුවෙන් ජලය හිස්කර පිරිසිදු කිරීමට සූදානම් වූහ. ඒ ඉකුත් මැයි මස 01 වැනිදා සවස් යාමයේයි.

ඒ සඳහා හසන් කැඳවා ගත්තේ පාලිත පරාක්‍රමයි. මුලින් දෙදෙනා එක්ව ජල ටැංකිය තුළ වූ ජලය හිස් කෙරිණි. අනතුරුව ජල ටැංකියේ පතුල පිරිසිදු කිරීමට දෙදෙනාට අවැසි විය. ඒ සඳහා ඉණිමගක ආධාරයෙන් භූගත ජල ටැංකියට බැස්සේ පාලිතයි. ජල ටැංකියට බැස්සත් මඳ වේලාවකට පසු ඔහුට හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවිණි. අනතුරුව පාලිත තැත් කළේ ඉණිමග දිගේ ගොඩට ඒමටයි. එහෙත් සිතූ පරිදි ඔහුට ගොඩට ඒමට නොහැකි විණි. පාලිත එක්වරම ජල ටැංකියට ඇද වැටිණි.

ඔහු ජල ටැංකියට වැටුණු සැණින් ගොඩබිම සිටි මොහොමඩ් හසන් ක්‍රියාත්මක වූයේ පාලිත ගොඩට ගැනීම සඳහා ජල ටැංකියට බැසීමටයි. එහෙත් එය අවදානම් කාර්යයක් වුවත් ඔහු ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකළේය. ක්ෂණිකව හසන්ද ජල ටැංකියට බැස්සද ඔහුටත් හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවූයේ නොසිතූ විලසිනි. පාලිත ගොඩට ගැනීම පසෙකලා හසන් ඉණිමඟ ඔස්සේ ගොඩට ඒමට තැත් කළේය. හසන්ද මඳ දුරක් ඉණිමග දිගේ ඉහළට එද්දී ජල ටැංකිය තුළටම ඇද වැටුණේ අවාසනාවක මහිමය කියාපාමිනි.

එසැණින් අවට සිටි තවත් තිදෙනෙකුම භූගත ජල ටැංකියට බසින්නට වූයේ පාලිත සහ හසන් ගොඩට ගැනීමේ අටියෙනි. එකී තිදෙනාටද අත්වූයේ අවාසනාවන්ත තත්ත්වයකි. ඔවුන් තිදෙනාත් පාලිත සහ හසන් මෙන් ජල ටැංකිය තුළටම ඇද වැටිණි. ගොඩබිම සිටි සෙස්සන්ද කලබලයට පත් වූහ. ඒ වන විට වේලාව රාත්‍රී 7ට පමණ වී ඇත.

එම ඛේදනීය පුවත එම ගම්මානයේ පමණක් නොව අවට වැසියන්ටද සැල වූයේ ‘පල්ලියේ භාරකරු හසන්ගේ ගෙදර ජල ටැංකියට පස්දෙනෙක්ම වැටිලා‘ යැයි පවසමිනි. ඒ අතරේ ප්‍රදේශයේ එකිනෙකා අතරේ තොරතුරු හුවමාරු කරගන්නා ‘වට්ස්ඇප්‘ සමූහයක මොහොමඩ් හසන්ගේ නිවෙසේ භූගත ජල ටැංකිය තුළ පස්දෙනෙකු වැටි සිටින බව සඳහන් පුවතක් සැරිසරන්නට වූයේ ක්ෂණයෙනි.

එම පුවත නෙත ගැටුණේ ප්‍ර දේශයේ මුස්ලිම් ජාතික තරුණයකු වන 23 හැවිරිදි මොහොමඩ් අගාර් හටය. ක්ෂණයෙන් එම ස්ථානයට පැමිණි අගාර් ඔක්සිජන් ටැංකියක්ද සොයාගෙන ඒ ආධාරයෙන් අසල්වාසීන්ගේද සහාය ඇතිව භූගත ජල ටැංකියට බසින්නට වූයේය. අඳුරේම එම භූගත ජල ටැංකියට බැසගත් අගාර් එතුළ සිරවී සිටි පස්දෙනාම ගොඩට ගැනීමට සමත් වූයේ නිර්භීත ක්‍රියාවක් සිදු කරමිනි. ඒ වන විටත් පාලිත සහ හසන් සිහි මුර්ජාවෙන් මෙන් සිටියහ. සෙසු තිදෙනාද හුස්ම ගැනීමට අපහසුවෙන් පසු වූහ.

සියලු දෙනා එක්ව ටැංකියට වැටුණු පස්දෙනාම සැණින් බියගම රෝහලට රැගෙන ගියත් සිහි මුර්ජා වී සිටි දෙදෙනා ඒ වන විටත් මියගොස් සිටියේ අවාසනාවන්ත ඉරණම් ගමනක් යමිනි. ඒ අතරේ බියගම පොලිස් වසමෙන් සැලවූ එම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව බියගම පොලිස් ස්ථානයටද සැලවිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාරගේ මෙහෙයවීමෙන් එහි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. ඩී. ගරුසිංහ ඇතුළු සැරයන්වරුන් වන 15250 දුෂාන්ත සහ 45454 ප්‍රියන්ත යන නිලධාරිහු පරීක්ෂණවලට එක් වූහ.

මියගිය දෙදෙනාගේ මරණ පරික්ෂණය බියගම හදිසි මරණ පරික්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර විසින් එදිනම රාත්‍රියේ සිදු කළහ. අනතුරුව මළසිරුරු ද්විත්වය පශ්චාත් මරණ පරික්ෂණය සදහා රාගම මහා රෝහලට යවන ලෙසට පොලිසියට නියෝග කරනු ලැබීය.

නොසිතූ ලෙසින් අවාසනාවන්ත මරණයකට උරුමකම් කී පාලිත සහ හසන්ගේ මරණ පිළිබඳව ඉකුත් දෙවැනිදා රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වියනා ඩයස් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් භූගත ජල ටැංකියට වැටුණු අයවලුන් ගොඩට ගැනීමට සමත් වූ මොහොමඩ් අගාර් කීවේ,

“පළමු වැනිදා රාත්‍රියේ හසන් මහත්තයගේ නිවසේ මිදුලේ තිබෙන භූගත වතුර ටැංකිය පිරිසිදු කිරීමේදී වතුර ටැංකියට බැස්ස කීප දෙනෙකු ඒ තුළට වැටි සිටින බවට ආරංචි වුණා. එම පුවත දැනගත් සැණින් වහා මා එතැනට ගියා. ඒ අවස්ථාවේ වතුර ටැංකිය තුළ පස් දෙනෙකු වැටී සිටිනවා මා දැක්කා. ඉතින් මා නැවතත් කිසිවකුටත් වතුර ටැංකියට බසින්නට එපා කියලා කීවා.

පසුව කඩිනමින් ඔක්සිජන් ටැංකියක් සොයාගෙන රැස්ව සිටියවුන්ගේද සහාය ලබා ගෙන එම පස්දෙනා ගොඩට ගත්තා. මේ වනවිට එම පස් දෙනා අතර සිටි හසන් හා පාලිත සිහි මුර්ඡා වී සිටියා. අපි වහාම ඔවුන් බියගම රෝහලට රැගෙන ගියා. එහිදී සිහී මුර්ඡා වී සිටි හසන් හා පාලිත යන දෙදෙනා මිය ගිහින් කියලා පසුව දැන ගැනීමට ලැබුණා.“

අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් දෙදෙනාගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දෙදෙනාගේ සිරුරුවලින් රුධිර සාම්පල් ගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළාය. ඒ, දෙදෙනා මරණයට පත් වූයේ කුමනාකාරයේ වායුවක් ආඝ්‍රාණය වීමෙන්ද යන්න නිශ්චය කළ යුතු බවට වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කරමිනි. සාමාන්‍යයෙන් ගැඹුරු ළිඳකට හෝ භූගත වළකට නැතිනම් මැණික් පතලකට වැන්නකට බැසීමට පෙර පහනක්, ඉටිපන්දමක්, කුප්පි ලාම්පුවක් වැනි ගින්දරක් ඒ තුළට යවා බලන ලෙස විශේෂඥ මතයයි. මන්ද යම් හෙයකින් එවැනි භූගත ස්ථානයක ඔක්සිජන් අඩුවක් හෝ නැත්තමට නැතිවීමක් තිබේනම් ගින්දරක් ඇතිවීමට අත්‍යවශ්‍ය ඔක්සිජන් හිඟතාවෙන් එම ගින්දර නිවී යයි. එවිට ඒ තුළ නිශ්චිත ලෙස ඔක්සිජන් නොමැති බවත් වෙනත් විෂ වායුන් ඇති බවටත් තිර ලෙසටම දැනගත හැකි වේ. එම නිසා කිසියම් කෙනෙකු යම් භූගත ස්ථානයකට ඇතුළු වීමට පෙරදී ඔක්සිජන් වායුව ගැනත් වෙනත් විෂ වායු ගැනත් හොඳින් වටහාගන්නේනම් මෙවැනි ඛේදවාචක මතුවට අසන්නට නොඇසෙන බව සඳහන් කරමු.

මල්වාන සමූහ, මහානාම විතානගේ

Comments