වැදි රැහේ මිල්ලානා ගේ ගිරි ශිඛරය දිඹුලාගල හිමිගේ නවාතැන වෙයි | සිළුමිණ

වැදි රැහේ මිල්ලානා ගේ ගිරි ශිඛරය දිඹුලාගල හිමිගේ නවාතැන වෙයි

මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, දිඹුලාගල හිමි හමුවූ අවස්ථාවක්

- සෙරෙප්පු කබලක් හෝ මුළු ජීවිතේටම නොපැලඳි හිමි දෙපා උදේ, සවස, රෑ නොතකා බර අදින ලාඩම් ගැසූ ගවයකුගේ දෙපා මෙන් ගල් ගැසිණි 
- පුටු, බංකු හා ගල්කූරු, ගල්ලෑලි පතා පිණ්ඩපාතේ වඩියි

ගැමියන් සමඟ කළ කතාබහින් හිමියෝ දැනගත් වැදගත් කරුණක් වූයේ ඔවුහු සිංහල කථා කරන්නට නොදැන සිටියත් පැරණි පාරම්පරික ආදි සිංහලයෝ බවය.

හිමි සිත අවදි විය. බණ භාවනාව පසෙක තබා මේ අසරණයන්ට පිහිට විය යුතුය යන තිරසාර අදිටනක පිහිටියේය. මෙහි ගෙයක් පාසා ගමන් කරන්නට විය. නම් ද දැනගත්තේය. හේරත් මුදියන්සේලාගේ කන්නසාමි, මුදලි හාමිගේ සින්නම්මා බඳු සිංහල පෙළපත් නම්වලින් හැඳින්වූ මේ පිරිසට සිදුවී ඇති වින්නැහිය අවබෝධ කරගත්හ. 

ගමේ දරුවකු බිහිවූ පසු උප්පැන්නය ලියාපදිංචි කරන්නේ ගමේ ගම්මුලාදෑනියාය. මුලාදෑනියා දෙමළ ජාතිකයකු වූ නිසා තමා වෙත පැමිණෙන අයට දෙමළ නම් ගම් ලබාදෙයි. පරම්පරාගත සිංහලයෝ දෙමළ නම් ගම් ගෙන සිටීම ඉදිරියේදී මහත් ව්‍යසනයකට හේතු වෙතැයි හිමියන්ට තේරුම් ගියේය. මේ අහිංසක ජනතාවට ඉදිරි අනාගතයක් ලබාදීම තම මූලික කාරියක් බවට තිර අදිටනක පිහිටි සීලාලංකාර හාමුදුරුවෝ මෙතෙක් සිදුව ඇති වරද ඔවුනට වටහා දෙන්නට පටන් ගනී.

හිමියන් ගම්මානයට වඩිත්ම මිනිස්සු කලබල වූහ. එහෙත් කරුණු පැහැදිලි කොට තම කරුණු අවබෝධ කරදෙන්නට වැඩි දිනක් ගත නොවීය. පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කොට රුහුණේ බද්දේගමින් පොලොන්නරුවට විත් මුදල් හදල් අයකිරීමක් නැතිව වෙද හෙදකම් කරන ඒබ්‍රහම් සූරියආරච්චි නමින් හැඳින්වූ වෙද මහතා හමුවට සීලාලංකාර හිමි වැඩම කළේ මේ මිනිසා මුල් කොට ගෙන පළාත් දේශපාලනය තම අභිමතය පරිදි සැකසිය හැකිය යන තිරසාර අධිෂ්ඨානයකිනි.

කසාවතින් සිවුරු පොරවා ගත් හැඩි දැඩි හිමි නමක් තම ගෙපැළට එන බව ඈතදීම දුටු වෙද මහතා තුළ විමතියක් ඇති වූයේ තමන්ට බෙහෙතක් හේතක් ගන්නට එන්නේ නම් තනිවම පැමිණෙනවා විනා මහා සෙනඟක් සමඟ එන්නේ කුමන කටයුත්තකට ද යන්න පිළිබඳ සැකමුසු හැඟීමෙනි. හිමි දෙපා නැමද වෙදඳුරා තම ගිනි උදුනෙහි නිරන්තරව පැසෙන ඔසු පැන් බඳුනක් හිමි දෝතට පිළිගැන්වී ය.

“වෙද මහත්තයො කාලෙකින් ඇඟටපතට පණක් ලැබුණ එක නෙමෙයි මම ආපු කාරණාව. මහත්තයෝ තමුන්නැහැලගෙ පළාතේ අද බලය අල්ලගෙන අපි පාගල පුච්චල දාපු මිනිස්සු කට්ටියක්. මම ඒ මිනිස්සු කට්ටිය නැගිට්ටවල ගන්නවා. ඉස්සරහට ගම් සභා ඡන්දයක් තියනවා. මේ කොට්ඨාස ඔක්කොම මම තමුන්නාන්සෙට භාර දෙනවා.”

“මොනවද මේ අපේ හාමුදුරුවො කියන්නෙ. මේ බැද්දෙ ඉන්න අහිංසක මිනිස්සුන්ට මම බෙහෙත් කරනවා. කවදාවත් අතට සත භාගයක, පණමක දෙයක් ගන්නෙ නෑ. අහල පහල මිනිස්සු මට ඕන කරන බෙහෙත් ජාති ගෙනවිත් ඒවා හීනියට අඹරා දීල උදව් කරනවා. මම ඒ වැඩේ කරල මගේ ජීවිතේ ඉවර වෙනකම් ඉන්නව අපේ හාමුදුරුවනේ.”

“මම හත්දින්නක් බාගයක් දුර පයින් ගාටල මෙහේ කරක් ගැහුවෙ මක්කටද කියල තමුන්නැහෙ දන්නවද? මේ පළාතට මම ආවෙ බණක් භාවනාවක් කරගෙන ඉන්න. ඒ වුණාට මෙහේ අය ඉන්නෙ අපායෙ දොරටුවෙ. ඉන්න හිටින්න ගෙයක් දොරක් නෑ. අකුරු ශාස්ත්‍රය තියා මළපොතවත් දන්නෙ නෑ.

ඒ මදිවට මේ අපේ සිංහලයන්ට දෙමළ නම් පට බැඳල. මේක අපි වෙනසක් කළ යුතුයි. මට ඔය හැම කෙහෙම්මලකටම ගෑවි ගෑවී ඉන්න බෑ. මුන්නැහෙ මේ පළාතෙ නායකයා වෙන්න ඕන.

මම කිතලගම සීලාලංකාර. ඉස්සරහට තියන අඩිය පස්සට ගන්න මට හුරු නෑ.

මම කියන විදියට අද ඉඳන් අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න වේවි.” හිමි හඬ තීව්‍ර විය.

“අවසර නායක හාමුදුරුවනේ, මගෙත් පණ කෙන්ද ඉවර වෙන්න කලින් මොනව හරි කරන්න එපායැ. අද ඉඳන් මම ඔබවහන්සේ එක්ක ඉන්නවා.”

* * * * * * * * *

පරිපූර්ණ කළ සංසාරගත ධර්ම කාරණා විසින් මෙන්ම තමා සතු ශක්ති විශේෂය පුරාණ ආත්මභාව විසින් එක් කරනු ලැබූ බලගතු ප්‍රවිෂ්ටයක් සීලාලංකාර හිමි සතුව පැවතිණ. ශක්තිවන්ත යෝධ පුරුෂයකු වෙමින් උපන් දේශයට අභිමානයක් වූ දිඹුලාගල සිරි සීලාලංකාර හිමිපාණන් වහන්සේ මුලින්ම කළ ජාතික මෙහෙවර වූයේ අලුතින් පැමිණි තම පරම්පරාගතව පාරමී පුරන ලද නැඟෙනහිර ගම් දනව් වැසියන්ගේ එදිනෙදා දිවි පැවැත්ම උදෙසා ක්‍රම උපක්‍රම ගෙන ඒ‍මය.

බිහිවෙමින් පවතින නව ලෝකය සඳහා පෙළ ගැසෙන අන්ත අසරණ ළමයින් පිරිසක් පොළොන්නරුවේ දිය බෙදුම, හිඟුරක්ගොඩ, මින්නේරිය, ජයන්තිපුර, ගිරිතලේ‍්, තඹලවැව, කවුඩුල්ල, බුද්ධයාය ප්‍රදේශවල සිටියහ.

මෙදා මතුව එන ස්වයංපෝෂිත ප්‍රදේශයන් එදා මහ වනාන්තරයකට මැදිව සිටියද යන්නට එන්නට පාරක් තොටක් නැතිව කැලෑ ගස් ගෙඩි කමින් දිවි ගෙවූ මෙම ප්‍රදේශවාසීන්ට ඉන්ට හිටින්න ගෙයක් දොරක් ලජ්ජාවක් නැතිව, එහෙ මෙහෙ යන්න ඇඳුම් පැලඳුම් ලබාදෙන්නට එදා දිඹුලාගල හිමි උත්සුක වූයේ දිඹුලාගල කඳු මුඳුනට දිනකට දෙතුන් ගමනක් යමින් මුළු සත්වයා උදෙසා කරන ලද භක්තිමය ප්‍රාර්ථනා හැර වෙනත් පෞද්ගලික ලාභාපේක්ෂාවලින් තොරවය. දැනුදු එම ප්‍රදේශවාසීන් දිඹුලාගල සිරි සීලාලංකාර හිමිට කියන්නේ ‘අපේ බුදු හාමුදුරුවෝ’ යනුවෙනි.

හිමියන් සතුව තම වරිගයා වෙනුවෙන් කළයුතු කළ හැකි එහෙත් අතිශය අපහසු වැඩ කොටසක් විය. මහ කැලයක් මැද්දේ වාසය කරන මෙම අහිංසක ජනතාවට ඉන්න හිටින්න ගෙයක් දොරක්, පුංචි කොලු, කෙල්ලන්ට ඉගෙන කියාගෙන සිටීමට ඉස්කෝලයක් හදා දීම පළමුව කළයුතු යයි හිමියෝ අදහස් කළහ.

ගල් තලිම්බු හැදීමෙන් අඟලක්, භාගයක් ලාඩම් ගැසු ගොන් නාම්බකු මෙන් කිසිදිනක සෙරෙප්පුවක් හෝ නොපැලඳූ හිමියෝ ඒ දුක් ගැහැට විඳ දරා ගත්තේ තමන්ට පෙර ආත්ම භාවයන් විසින් උරුම කළ බල ප්‍රදේශයකට තමාට අයිති යුතුකම් ඉටු කිරීම සඳහාය. පළමුව කළ යුතු කාර්ය භාරය වන්නේ යහපත් ගුණවත් මිනිස් පරපුරක් මතු කිරීමට ළමා ළපටියන් දැනුම්වත් කිරීමෙන් යයි හිමියෝ නිගමනයකට එළඹියහ.

මළපොත අකුරක් නොදත් මේ අහිංසක කොලු කෙල්ලන්ට යා යුතු ගමන් මඟ සඳහා වෙහෙස වීමට මෙන්ම, මෝදුවෙමින් පවතින සිය දහස් ජනතාවක් සමඟ එක්වී ක්‍රමානුකූලව පරෙස්සමට කළ යුතු වැඩ කොටසක් තමාට උරුමව ඇතැයි යන්න නිතරම හිමියන්ගේ නිගමනය විය.

මේ මහා ජාතික ව්‍යාපාරයේ දැන උගත් සමාජය පිළිගන්නා ප්‍රවේණි දාසයකු වූ ඒබ්‍රහම් සූරියආරච්චි වෙද මහතා කෙසේ හෝ තම අණසකට තම දායක පිරිස සමඟ පැමිණි හිමියන්ට මොහොතක් ගතවන්නට පෙර බැහැ දකිනට හැකියාවක් ලැබිණි. දිඹුලාගල එළිකළ වසන්ත සමය ඇරඹුණි. හිමියන් පළාතේ සුප්‍රසිද්ධව සිටි ඒබ්‍රහම් වෙද මහතා සිය අණසකට ගත්තේ උරුම ව තිබූ බලශක්තියක් බඳු උද්වේගකර වාග් විලාශයෙනි.

“නායක හාමුදුරුවනේ මම වෙද හෙදකම් කරන ගමන් මට කරන්න පුළුවන් ඕනෑම උපකාරයක් කරන්නම්. මාත් අහිංසක මිනිසෙක්. මාත් මගේ සබ්බ සකල මනාවම මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ.”

ඒබ්‍රහම් වෙද මහතාගේ ආශිර්වාදය ලැබූ හිමියෝ මහ යුද්ධ සේනාවක් පිරිවර කොටගත් සේනාධිනායකයකු ලෙස එතනින් පිටත්ව ගියේ ඉමහත් අභිමානයකිනි. අතරමගදී හිමියෝ නතර වූහ. කෙටි දේශනයක් ඔවුන්ට කළහ.

“කොල්ලනේ මම ගිය වැඩේ හරි.” අපි ඉස්සර වෙලාම කරන්න ඕන දෙයක් තියනව. පුංචි කොල්ලො කෙල්ලො අකුරු ශාස්ත්‍රය ඉගෙන ගන්න ආසා ඇතිනේ. අපි ඉස්සෙල්ලම උන්ගෙ ඇස් පාදන්න ඕන. වෙද මහත්තය අපිට උදවු කරාවි. ඒ මනුස්සයටත් වැඩ ඇතිනේ. වරෙල්ලා මාත් එක්ක යන්න. අපි මේ කැලෑව මැද්දෙ ඉස්කෝලයක් දෙකක් හදමුකො. ඊට පස්සෙ කෙරෙන්න ඕන මොනවද කියල මම දන්නව. යමල්ල ඉස්සරහට මේක උඹල ඉපදිච්ච රට උඹලගෙ දරු පරම්පරාවට උරුම වෙච්ච රට. එක බල්ලෙක්වත් උඹල ගැන හිතල නෑ. මම මේ පළාතම ගොඩ දාගන්නව. මම මේ පළාතට ආවෙ මාතර කිතලගම ඉඳල පයින්ම ගාටල. සමහර වෙලාවකට මට හිතෙනව උඹල මැරෙන්න කලින් කවුරු හරි මාව මරා දමාවි කියල. ඒකනේ අපේ රටේ හැමදාම සිද්ධ වුණේ.”

සොරිවිල ගල්දෙබොක්කාවක පිහිටි ගල්ලෙනට ගොස් මොහොතක් විවේක ගත් හිමියෝ තමා වෙත පැමිණෙන උද්වේගකර තරුණ පිරිස පිළිගත්හ. උදලු කෙටිවලින් කාෂ්ටක පොළොව ගිගුම් දුණි. මතුවුණු දූවිල්ල ඔවුන්ට අරුමයක් නොවීය. අසල පිහිටි උල්පත් දියෙන් පෙඟවූ මහ පොළොවේ පස් කැටි මතුවී එමින් සිය ගණන් පිරිස මැටි අඹරන්නට වූහ. ගස් කොළන් කපා දමමින් හිටි අය අවශ්‍ය දැව ගෙනවිත් තිබිණ. දිනක් ගතවන්නට මත්තෙන් වරිච්චි බිත්තියෙන් කළ පාසල් ගොඩනැඟිල්ලක් ඉදිවූයේ අලුත් සෙවණේ මනරම් දර්ශනයක් සහිතවය.

“ඉස්කෝලයක් නම් හැදුව. අර දෙමළ ඉස්කෝලෙට වගේ නෙමෙයි. ඊට වඩා අපූරුයි. ඒබ්‍රහම් වෙද මහත්තය මට උදවු කරනවා. ඒ පුංචි එවුන්ට ඉගෙන කියා ගන්න බංකුවක් පුටුවක් තියෙන්න එපායැ. මම ඒක කරන හැටිත් දන්නව. වරෙල්ල මාත් එක්ක. මම ඒ බඩු මුට්ටු ටිකත් එක දවසකින් මෙතෙන්ට ගේනව.”

හිමියෝ ඉක්මන් ගමනින් ඉදිරියට වැඩම කළහ. තම පිරිස ශක්ති වන්තයන් වුවද ඔවුනට හිමිට මෙන් කඩිසර කමක් නොවීය. හිමි අත රැඳිව තිබූ පාත්‍රයක් විය. නිවෙස් කරා යන ගමනේදී පාත්‍රයට අහරක් පිළිගැන්වීමට පුරුදුව සිටි වැසියන්ට ආහාරපාන වෙනුවට ‘ගල්කූරක්, ගල්ලෑල්ලක්, පුටුවක්, බංකුවක්’ කියත්ම දායක කාරකාදීහු විස්මයට පත්වූහ. 

“අපි මේ කොල්ලො කෙල්ලන්ට ඉස්කෝලයක් හදනව. බඩ කට පුරවගන්න මට ඕන නැහැ. ඔහේලගෙ නෑයන්ට දරු පරම්පරාවට අකුරු සාස්තරේ කියා දෙන්න. මගේ හැටි පේනවනේ.

හරියට ගම් වැද්දෙක් කියල පේනවනේ. ගම් වැද්දො කවදාවත්ම මේ පැත්තට මංගච්චල නෑ. ඒක හින්ද මොනව හරි දීල තමන්ගෙ වරිගෙට උදවු කරන්න.”

සීලාලංකාර හිමියෝ දින කීපයක් පිණ්ඩපාතයේ වැඩියහ. දෙඅත් රැදි පාත්‍රය තුළ තිබුණේ අතරමඟ කැලේ මැදින් පැමිණෙද්දී අතට අසුවූ පලතුරු ගෙඩි කීපයක් පමණි. එහෙත් එතුමන් හඬ කණ වැකුණු සියයක් ජනතාව තම ගේදොර මෙතෙක් සුරැකිව තිබුණු පුටු බංකු හා තම දරුවෝ සතුව තිබූ ගල්කූරු, ගල්ලෑලි ද දානමාන වශයෙන් පිළිගන්වන ලද්දේ අලුත් ගමනකට අර අඳින තම නිවහනට පැමිණි මේ ආගන්තුක විශ්ව කර්මයා කිසිදාක හෝ තම දේශයේ ගැලවුම්කරු වන බවට ලද නිශ්චිත නිගමනය තුළිනි.

අලුත් පාසලක් ඉදිවිය. පිළිවෙළකට සැදුණු පුටු බංකු ද විය. ගල්කූරු, ගල්ලෑලි ද ගොඩ ගැසී තිබුණි. පොළොන්නරුවේ සිට පැමිණි ඒබ්‍රහම් වෙද මහතාගේ පිහිටෙන් පැමිණි ගුරු භවතුන් කීප දෙනෙක් ද වූයේ ය. එහෙත් කොල්ලො කුරුට්ටෝ කීප දෙනෙක් පමණක් පැමිණ සිටියහ.

මෙය සීලාලංකාර හිමිට මහත් ගැටලුවක් විය. සාගින්නෙන් පිපාසිතව ගම්මානයේ සිටි පිරිසකට නිවී සැනසුමේ තම ජීවිත පැවැත්ම ගෙන යාම හැර වෙන කාරියක යෙදීමට කාලයක් නැති බව හිමියෝ වටහා ගත්හ. තමන්ට පෙනෙන තෙක් මානයේ පිහිටි දෙමළ බස උගන්වන ඔවුන්ගේ චර්යා රටා ප්‍රගුණ කරන පාසලට ළමුන් එක්ව සිටියදී තමන් කොතෙක් බණ දේශනා කළත් ප්‍රතිඵල අත්නොවන බව ධාරණය කළ හිමියෝ තම පිරිස සමඟ කථිකාවතකට එළඹියහ.

“අපේ ඉස්කෝලෙට එන අයට උදේට දවල්ට අපි බත් කන්න දෙනව. ඒව දැකල දෙමළ ඉස්කෝලෙට ඉගෙන ගන්න එන අය අපේ ඉස්කෝලෙට ගාටන්න පුළුවන්.”

කුසගින්නෙන් ආතක් පාතක් නැතිව කියන දේ අසා සිටින ප්‍රදේශවාසී ජනතාව අලුත් ඉස්කෝලෙ දරුවන්ට උදේටත්, දවල්ටත් බඩ කට පුරා කෑම බීම ලැබීමට වැඩපිළිවෙළක් ඇති බව දැන තේරුම් ගැනීම තුළින් මාසයක් දෙකක් ගතවීමට පෙර දෙමළ ඉස්කෝලෙ වැසී ගොස් හිමි තැනූ පාසලට මුළු ප්‍රදේශවාසි සියලු දරු දැරියන් එක් වන්නට වූහ.

අක්ෂර විධි ප්‍රගුණ කළ යුතු කාර්යයක් වුව ද ඊට අමතරව එහි ඉගැන්වූයේ දේශය සතු ශක්තිය, ජාතික උරුමය, පොලොන්නරු, අනුරාධපුර ආශ්‍රිත පැරණි වීර සිංහලයන් සතුවූ ජාතික වාත්සල්‍යයි.

ඈත එපිට සිටි මිනිසකු සීලාලංකාර හිමි බැහැ දකින්නට පැමිණියේය. මෙතෙක් කලකට තමන්ට ගරු සත්කාර නොකළ පරිද්දෙන් බිම දිග ඇදී පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළ මේ පුද්ගලයා දෙස හිමියෝ විමතියෙන් බලා සිටියහ.

“මොකද උන්නැහේ මේ කලබලයෙන්.“

“අවසර අපේ හාමුදුරුවනේ. මගේ නම මිල්ලානා. මම වැදි පරම්පරාවෙ කෙනෙක්. මගේ ගෝල බාලයෝ යක්කුරේ, මහියංගණයේ, නිල්ඔබ, පොල්ලබැද්ද හැම තැනකම ඉන්නව. මගේ ගල් ගුහාව තමුන්නාන්සේට බාර දෙන්න කියල හිතාගෙනයි මම මෙහාට ගාටල ආවෙ. මේ ගල් ගුහාව හරි නෑ කියල මම හිතුවා.”

“මිල්ලානා ආපු එක හොඳයි. තමුන්ගෙ ගල්ගුහාව බලන්න යමුකො. මට කොතනත් එකයි.”

මිල්ලානා වැදි නායකයා පෙරටු කොටගෙන සීලාලංකාර හිමි දුර ගමනක් ගියේය. වවුලන් ළැග අපිරිසුදුව පැවැති එය මොහොතකින් පිරිසුදු කිරීමට ඔහුට හැකි විය. හිමියෝ වටපිට බැලූහ. මනස්කාන්ත දර්ශනයක් සහිත මහ ගල් කුළක් වටකොට ගෙන මෙතෙක් කලක් වැදි පරපුර සුරක්ෂිත කළ මෙම මහා ගිරි ශිඛරය විශ්වකර්ම නිර්මාණයක් ලෙස හිමියන්ට වැටහිණ.

වග වලසුන්, නයින්, පොළඟුන් නිතර ගැවසෙන මහ වනය දිඹුලාගල හාමුදුරුවන්ට අමුත්තක් නොවීය. ගුණ කරුණාව තමන් විසින් වර්ධනය කරගන්නා ලද චිත්ත ශක්තිය විසින් යොමුව සිටින මේ මහ ඝන වනාන්තරය කොතරම් සැපවත් පරිසරයක්ද යන්න හිමියෝ නිතරම සිතූහ.සොරිවිල ගම අපූර්ව ස්ථානයක් විය. පසක ඇති දොළ පාරට සැපත්වන හිමියෝ වටපිට බලා සිරුර කිස කරති. දොළ දහරින් ගත සිත නාවන හිමියන් දැඩි සීතල තමන්ගේ සිරුරු ශක්තිය අබිබවා නැඟ එන හැඟුම්වලින් යටපත් කර ගන්නේ තමන් වහන්සේ මෙවන් තලයකට යොමු කළ අදෘශ්‍යමාන බලවේගයට නමස්කාර කරමිනි.

ගිලන්පස පිළිගන්වන්නට දායකයකු නොවීය. ඒ බව දත් හිමියෝ කර කොළ හතරක්, පහක් හිඹුටු ගෙඩි අහුරක් තම අදන කඩයේ රුවාගෙන ගල්ගෙයට සැපත්වෙති.

හිමියන් තුළ එක් තිරසාර වූ අධිෂ්ඨානයක් පැවතිණ. අසල්වැසි ගැමියන්ගේ දින චරියාව කෙසේද එයට කළ හැකි පිළිසරණ කුමක්ද යන්න පළමුව සොයා බලති.

ඇඳ විලි වසාගෙන තමන් සිටින්නේ කොතැනදැයි නිනව්වක් නැති සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරති. කැලයේ ඇවිදින වැඩිහිටියෝ දර කැබලි ඉස්මත්තේ තල ගොයින්, ඌරන්, සාවුන්ගේ අමු මස් ගිනියම් කරන්නේ තම දූ දරුවන්ගේ කුසගිනි සාය නිවන්නටය. හොටු පෙරාගෙන ඒ අසල ගැවසෙන පොඩි එවුන් ඒ දෙස බලාගෙන උඩ පනිමින් සිටින්නේ කුමන මොහොතක තමන්ට ඒ දඩමස් කෑමට ලැබෙන තෙක්ය. “අපොයි සිංහල ජාතියට වෙච්ච වින්නහියක්” හිමි ගමන වේගවත් විය. අවට ගම්මානවලත් ස්වරූපය එයම විය. ගස් ගෙඩි කැලෑ කොළ මුළුමහත් ප්‍රදේශයක්ම නිරීක්ෂණය කළ හිමියෝ තිරසාර අධිෂ්ඨානයක පිහිටියහ.

“මේ මළ පෙරේත ජීවිතයෙන් ඉස්සර වෙලාම මේ මිනිස්සු ගොඩගන්න ඕන”

ගම් දනව්වල සැරිසරා කරුණු සොයා බැලූ හිමිට එක් ගමක් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු තම සහායට ළංකර ගත්තේ ය. සිංහල ජනයාට සිදුව ඇති මේ මහා ඛේදවාචකය හිමියෝ ඔවුන්ට පැහැදිලි කළහ. එක ගමක සිට තවත් ගමකට යා යුතු දුර ඇතැම්විට සැතපුම් දහයක් පහළොවක් පමණ විය. කටු පඳුරු ඇනුන ද නොදැනෙන තරම් හොඳට පදම් වූ කිසිදාක සෙරෙප්පු කබලක් හෝ මුළු ජීවිතේටම නොපැලඳි හිමි දෙපා උදේ, සවස, රෑ නොතකා බර අදින ලාඩම් ගැසූ ගවයකුගේ දෙපා මෙන් ගල් ගැසී ඇත. ඉඳහිට දාන මානයක් ලැබෙතත් කරකොළ මිටක්, හිඹුටු, මාදම්, පේර ගෙඩියක් දෙකක් වළඳා වතුර වළකින් දෝතට ගන්නා දිය උගුරක් දෙකක් බී තම ගමන් මඟට පිවිසීම පුරුද්දක් විය.

ලබන සතියේ තවත් කොටසක්...

Comments