සංවර්ධන කටයුතු ඕන තරම් සිදු වුණා; දැන් විය යුත්තේ කුසගිනි නිවීමයි | Page 5 | සිළුමිණ

සංවර්ධන කටයුතු ඕන තරම් සිදු වුණා; දැන් විය යුත්තේ කුසගිනි නිවීමයි

ගෝල්ෆේස් විරෝධය ජනතාවගේ බලාපොරොත්තු කඩවීමේ සංකේතයක්

ක්සත් ජාතික පක්ෂයේ එකම පාර්ලිමේන්තු නියෝජනය වන්නේ එහි නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයන්ය. පරිණත දේශපාලඥයකු ලෙස මේ වන විට රටේ මතුව ඇති ආර්ථික අර්බුද පිළිබඳ හා එහි විසදුම් පිළිබඳ ඔහු විසින් දැක්වූ අදහස් සමාජ හා දේශපාලන කතිකාවකට මුල පුරන්නට හේතුවිය. වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය මෙන්ම දේශපාලන අර්බුදය පිළිබඳව ඔහු මැයි 4 වැනිදා සිළුමිණ සමඟ කළ සාකච්ඡාවකින් මේ ලිපිය සකස් විය. 

රාජපක්ෂ පාලනය ඉවත් කරන්න යැයි ජනතාව ඝෝෂා නඟද්දි ආණ්ඩුව විසින් දැනට ගන්නට උත්සාහ කරන මේ පියවර පිළිබඳ පරිනත දේශපාලඥයකු ලෙස ඔබ සෑහීමකට පත් වෙනවද?

වත්මන් ආණ්ඩුව 20 වැනි සංශෝධනය ඉවත් කිරීමට සූදනම් වෙනවා. මම 20 වැනි සංශෝධනයට විරුද්ධයි. රජය ඒ වෙනුවට 21 සංශෝධනය ගෙන ඒම හොඳ දෙයක් වුවත්, මෙය මේ රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් නොවන බව පැවැසිය යුතුයි. අද රටේ මිනිසුන් ජීවත් වන්නේ හුඟක් අමාරුවෙන්; පීඩනය වැඩියි. ආර්ථික විසඳුමක් නැතුව මේ ප්‍රශ්නය අවසන් කරන්න ලැබෙන්නේ නැහැ. 21 ගෙනත් ආර්ථික විසඳුමක් ලබා නුදුන්නහොත් මිනිසුන් ඊට විරුද්ධව නැඟී සිටිනවා. ඒ නිසා මේ දෙකට එකවර සිදුවිය යුතුයි.

ඉන්දියාවෙන් ලබා දුන් ක්‍රෙඩිට් ණය මේ මස අවසන් වීමට නියමිත බව පැවැසෙනවා. ආණ්ඩුව මේ සම්බන්ධව කිසිදු පියවරක් නොගන්නා බවටත් විවිධ අය චෝදනා කරනවා?

මෙම ණය ඉවර වූ පසු ආණ්ඩුව ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500 ක් ලබා ගන්න උත්සාහ කරනවා; ඒ ඉන්ධන වෙනුවෙන්. එය ලැබෙන්න ඉඩ තියෙනවා. දැන් තියෙන ඉන්ධන හිඟයට මේ ඩොලර් මිලියන 500 මදි. මේ ප්‍රශ්නය තව දුර යා හැකියි. ඉදිරියේදී නැව් 4 ක් එකවර පැමිණීමට තියෙනවා. ඩොලර් මිලියන 500 කින් අපිට තෙල් නැව් 12 ක්වත් ලබා ගැනීමට බැහැ. ලබා ගත හැක්කේ 10-12 ත් අතර ප්‍රමාණයක් පමණයි. ඉන්දියාවෙන් ලැබෙන මේ මුදල්වලින් හැම දෙයක්ම ගන්න බැහැ. ආහාරවලට ඊළඟට ඖෂධ, පොහොර සඳහාත් මේ මුදල් යෙදවිය යුතුයි.

ආණ්ඩුව ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා ඉදිරියට ගෙන යන බව පවසනවා. නමුත් චීනය ඒ සම්බන්ධයෙන් සාධනීය පියවරක් අනුගමනය නොකරන බව වාර්තා වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ගැන ඔබේ අදහස?

පෞද්ගලික ණය සම්බන්ධයෙන් විශේෂ පළපුරුද්දක් නැහැ. විදේශ උපදෙස් ලබා ගැනීමට පෙර අපේ මධ්‍යකාලීන, දීර්ඝකාලීන හා කෙටිකාලීන ආර්ථික රාමුව කුමක්ද යන්න අපි සකසා ගත යුතුයි? අපි කොහොමද ස්ථාවර පාලනයක් ඇති කරන්නේ? යන කරුණු සියල්ලම අපි සාකච්ඡා කළ යුතුයි. මුදල් ඇමැතිවරයා පසුගියදා චීන තානාපති හමුවුණා. එහිදී මීට සහභාගී වීමට චීනය එකඟත්වය ප්‍රකාශ කර තියෙනවා. මේ ප්‍රශ්නයේදී එක එක රටවලට විවිධ අදහස් තියෙනවා. එක මේසයේ වාඩි වී මේ ගැන සාකච්ඡා කළ යුතුයි.

ඔබ වරක් පවසා තිබුණා මේ අර්බුදය ලිහීමට ඇත්තේ එකම එක ගැටයක් පමණක් බව. මොකක්ද ඒ ගැටය? 

මේ ප්‍රශ්න සියල්ලම දැන් ගැට ගැසිලයි තියෙන්නේ. එක ගැටයක් නොවෙයි, ගැට ගණනාවක් තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ අපි මේ ගැට ලිහනවද? නැතිනම් කඩුවක් අරගෙන කපනවද කියන එකයි. ලිහන එකෙත් ප්‍රශ්න තියෙනවා. කඩුවක් අරගෙන කපන එකෙත් ප්‍රශ්න තියෙනවා. කඩුවක් අරගෙන කැපීමට නම් පක්ෂ සියල්ලම එකට එකතු විය යුතුයි.

සමගි ජන බලව්ගය ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග දෙකක් බාර දී තියෙනවා. මෙයට ඡන්ද විමසීමක් පැවතුණොත් එක්සත් ජාතික පක්ෂය ඡන්දය ලබාදීමක් සිදු කරනවාද?

අපි පවසා තියෙනවා, ජනාධිපතිතුමාට විරුද්ධව ටී. එන්. ඒ එක සකස් කරපු එකට අපි සහයෝගය දෙන්නම් කියලා. ආණ්ඩුවට විරුද්ධව ගෙනෙන එකට අපි විරුද්ධ නැහැ. ඉදිරියට ගන්නා පියවර අපි සාකච්ඡා කරනවා.

මැතිවරණයකට යාම මේ සුදුසුම අවස්ථාවක්ද?

අපිට දැන් මැතිවරණයකට යා නොහැකියි. ආර්ථිකය අන්තිමටම නරක තත්ත්වයට පත්වෙලා. මේ නිසා මුලින්ම අපි ආර්ථිකය සකස් කළ යුතු වෙනවා. අද මැතිවරණයකට යන විශාල වියදම ගැනත් අපි කල්පනා කළ යුතුයි. මේ අවස්ථාවේ එතරම් බිලියන ගණනක් වියදම් කිරීමට නොහැකියි. එක් අපේක්ෂකයකුට අවම වශයෙන් රුපියල් මිලියන 25 ක් හෝ ඒ සඳහා අවශ්‍ය වෙනවා. සමහරුන්ට ඊට වැඩියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමේදි රජය කුමක් කළ යුතුද? ඔබ ඊට ඉදිරිපත් කරන යෝජනා මොනවාද?

ණය ගෙවීමේ හැකියාවක් තිබෙන ප්‍රතිපත්ති රාමුවක් අපි සකස් කළ යුතුයි. රජය සිය අදහස් ඉදිරිපත් කළ යුතුයි. අපි සංවර්ධන අයවැයේ සිට සහන අයවැයකට යා යුතුයි. මේ කටයුත්ත පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කොමිටියට බාර දිය යුතුයි. ඒ අය එතෙනදී අනවශ්‍ය වියදම් සියල්ල හොයා ගත යුතුයි. රාජ්‍ය ගිණුම් කොමිටියටත් රාජ්‍ය ව්‍යවසාය කොමිටියටත් සාකච්ඡා කර අනවශ්‍ය වියදම් අයවැයෙන් ඉවත් කර සහන දිය යුතුයි

මේ අවස්ථාවේ ජනතාවට සහය අයවැයක් ලබාදීම පිළිබඳ යෝජනා ඉදිරිපත් වෙමින් තියෙනවා. එක්සත් ජාතික පක්ෂ ස්ථාවරය කුමක්ද?

මමයි ඉස්සෙල්ලාම මේ ගැන යෝජනා කළේ. 2022-2023 අයවැය සහන දිය යුතුයි කියා. අනිකුත් අය ඊට සහයෝගය දීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. එය කෙසේ කළ යුතුද යන්න සාකච්ඡා කළ යුතුය. ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් ඉවත් කළ යුතුයි. අමාත්‍යාංශවලට ඒ කටයුත්ත පැවැරීම නොකළ යුතුයි. එවිට ඔවුන් තමන්ගේ මුදල ඉතුරු කර ගන්නවා. එමනිසා පාර්ලිමේන්තුවට බාර දිය යුතුයි. අපි අයවැයේදි ප්‍රධාන සංවර්ධන කටයුතු නොකළ යුතුයි. අපි දැන් ඇති වෙන්න සංවර්ධන කටයුතු සිදු කළා. දැන් සිදුවිය යුත්තේ කුසගින්න නිවීමයි. 

21 වැනි ව්‍යවස්ථාව සංශෝධනය ගේන්න බලාපොරොත්තු වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ඔබේ මතය කුමක්ද?

සියල්ලටම පෙර දැනට තියෙන ප්‍රශ්න විසඳාගත යුතු වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරනවා නම් ජනමත විචාරණයකට යා යුතුයි. එයත් තව ඡන්දයක්. මේ නිසා මුලින්ම අපි ආර්ථික ප්‍රශ්න විසඳාගත යුතු වෙනවා. අපේ ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නට දේශපාලන වශයෙන් එකඟ වනවා නම් 21 හෝ එසේත් නැතිනම් ජනාධිපති අගමැති ඉන්නවාද නැද්ද සාකච්ඡා කළයුතු වෙනවා. විපක්ෂයේ අපි එක ස්ථාවරයක ඉන්නවා. ආණ්ඩුව තව ස්ථාවරයක ඉන්නවා.

සර්ව පාක්ෂික හෝ අන්තර්වාර රජයක් පිහිටු වීම සඳහා එකතු වන්නට ඔබට ආරාධනාවක් ලැබුණද?

නැහැ, එහෙම ආරාධනාවක් ලැබුණේ නැහැ.

ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවට අනුව ලංකාව ලෝක උද්ධමනය අතින් තුන්වැනි ස්ථානයට පත්වෙලා. බොහෝ දෙනෙක් කියනවා ලංකාව ළඟදිම ලෙබනන් තත්ත්වයට පත්වෙයි කියා?

මේ උද්ධමනය වේගයෙන් පටන් ගත්තා විතරයි. ළඟදීම අපිට ලෙබනනය අල්ලා ගැනීමට හැකියාව ලැබෙන්න පුළුවන්. ලෙබනනයට නම් මේ තත්ත්වයට පත්වීමට අවුරුදු 4-5 ක් ගියා. අපි මාස 6 කින් කළා.

ගෝල්ෆේස් විරෝධතාව සම්බන්ධයෙන් ඔබේ අදහස

මම හිතන්නේ එය ජනතාවගේ බලාපොරොත්තු කඩවීමේ සංකේතයක්. තරුණ පිරිස් එය නියෝජනය කරන්නේ. බොහෝ දෙනෙක් ඊට සහයෝගය දක්වමින් ඒ සමඟ රැඳි ඉන්නවා. මධ්‍යම පාන්තිකයෝ, කම්කරුවෝ එයට සම්බන්ධ වෙලා. තවත් පිරිසක් ඊට පරිබාහිරව සිටිමින් සංකේතාත්මකව විරෝධය ප්‍රකාශ කරනවා. රඹුක්කන පැවැතියේත් සාමකාමි විරෝධතාවක්. ජනතාවට ආහාර නොමැති විට ඉන්ධන නොමැති විට විරෝධය පෑම සාධාරණයි.

ගොල්ෆේස් අරගලයෙ එක් ඉල්ලීමක් තමයි, රටින් පිටවූ ඩොලර් නැවතත් ලංකාවට ගෙන්වා ගැනීම. පරිණත දේශපාලඥයකු, නීතීඥයකු ලෙස එසේ ඒ මුදල් නැවතත් ගෙන්වා ගත හැකි වේයැයි සිතනවද?

අපි අපේ කාලයේ දූෂණ විරෝධි ලේකම් කාර්යාලය පත්කළා. එයට තමයි පැමිණිලි සියල්ලම ලබා දුන්නේ. ඒ අනුව විභාග කර පොලීසියට එව්වා. පොලිසිය සිය ගණනකට වැඩි ප්‍රමාණයක් නීතිපති දෙපාර්තමේන්තුවට එව්වා. එසේම අලුතින් මහාධිකරණ සකස් කර දුන්නා. මේ සියල්ලම සිදුවුණේ ලංකාවේ දූෂණ වැඩ කටයුතු ගැන. අමතරව ජනාධිපති කාර්යාලයේ කාර්ය සාධන බලකායක් තිබුණා, හොරකම් කළ වත්කම් ලබා ගැනීමට. නමුත් එහි එතරම් ප්‍රතිපලයක් තිබුණේ නැහැ. එතන විදේශ මුදල් පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒ ඒ රටවලට ක්‍රියාත්මක විය යුතු වුණේ ඒ ඒ රටවල නීතී. ඒවා අපිට ආගන්තුකයි. මේවා සොයා ගෙන නඩු දාන්න විශාල කාලයක් යනවා. ඒවා සොයා ගෙන අපිට ලබා ගන්න අවුරුදු 10 ක් වත් යාවි. එක සැරයට මේවා ලබා ගැනීමට බැරිවේවි. මේ පිළිබඳ අපේ පක්ෂයෙන් ඉදිරියේදි කරුණු පවසාවි.

පසුගියදා පාර්ලිමේන්තුවේදි මුදල් ඇමැති ප්‍රකාශයක් කළා, යහපාලන රජයෙන් රාජ්‍ය සේවයේ අයට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරිම මේ ප්‍රශ්නයට බලපෑමක් සිදු කළ බව...?

ඒක ඔවුන්ගේ මතය. මගේ මතය නෙමේ. අපි ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කර ප්‍රශ්න ඇති වන නිසා මුදලක් ලබා දුන්නා. පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි කිරීමට අවශ්‍ය වුණා. වැටුප් වැඩි කිරීමෙන් තමයි අපි ඉදිරියට ගියේ. දෙවනුව අපි ඉන්ධන මිල සූත්‍රය ගෙනාවා. ඒ අවස්ථාවේ ඉන්ධන මිල අඩු වුණාම ඒ වාසිය ජනතාවට හිමිවුණා. දැන් මිල අඩු වෙන විට වාසිය දෙන්නේ නැහැ. මිල වැඩිවෙන විට අවාසිය නම් දෙනවා. අපි රුපියලේ ස්ථාවරභාවයක් තියෙන විට මිල වැඩි වුණාම රුපියලේ වටිනාකම අනුව වැඩි කරනවා. අද මිල වැඩි කිරීමත් සමඟ රුපියල බාල්දු වෙනවා. 

අද අපේ සංචාරක කර්මාන්තය හා විදේශ ප්‍රේෂණ කඩා වැටීමක් සිදුවෙලා. ඉදිරියට මේ අරමුණු කරගෙන ආර්ථිකය හැසිරවිය හැකිද, නැතිනම් අලුත් මාර්ග සොයා යාමට අප සිදුවේද?

අලුත් තැන්වලට යායුතුයි. නමුත් අවුරුදු පහකට මෙහා අලුත් තැනකට යාමට අපහසුයි. දැන් විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. විදේශ ආදායම් මෙහාට එවන්නේ නැහැ. උන්ඩියල් හරහායි එවන්නේ. සංචාරකයන් එන්නේ නැහැ. මේ තත්ත්වය ඉදිරියටත් තියෙනවා. අද අප ණය ගෙවන්නෙ නැතිව සිටියත් ප්‍රශ්නයට විසඳුම් ලැබිලා තියෙනවද? නැහැනේ. ඒ නිසා මේ ප්‍රශ්නය ඉදිරියේදි උග්‍ර වෙනවා. අපි සත්‍යය දැනගෙන වැඩ කළ යුතුයි.

අපි මේ අර්බුදය වටහා ගෙන වැඩ කළොත් කොපමණ කාලයකින් මේ අර්බුදයෙන් ගොඩවීමට හැකිවෙතැයි කියා ඔබ සිතනවාද?

හරි ප්‍රතිපත්තියක් තිබුණොත් අවුරුදු දෙකකින් ස්ථාවර භාවයක් ඇති කරන්නට පුළුවන්. හැකි තරම් අවශ්‍ය පියවර දැන්ම අර ගන්න. විශ්වාසය ඇති කරන්න. ඊට පසු රටේ ආර්ථිකය අලු‍ෙතන් හදන්න. ඒ සඳහා කාලයක් යාවි. අපිට ඒ සඳහා හැකියාවක් පවතිනවා. අපි බය නැතුව ඉදිරියට යායුතුයි.

මේ ප්‍රශ්නයේදි ජනතාවට ඇති වගකීම කුමක්ද?

ජනතාවට දැන් අමාරුයි. පක්ෂ භේදයෙන් තොරව එය පිළිගත යුතුයි. ආර්ථික විසඳුමක් සෙවීමට වඩා දැන් ප්‍රශ්නය වී ඇත්තේ දේශපාලන විසඳුමක් සෙවීමයි.

ඡායාරූප - හිරන්ත ගුණතිලක

Comments