අර­ග­ලයේ උණු­සුම කුරු­ණෑග­ලත් රත්කරයි | Page 2 | සිළුමිණ

අර­ග­ලයේ උණු­සුම කුරු­ණෑග­ලත් රත්කරයි

කුරුණෑගල ප්‍රාෙද්ශීය සභාවේ සභා­පති අචල නිමන්තගේ  ප්‍රහාරයට ලක් වූ නිවෙස
කුරුණෑගල ප්‍රාෙද්ශීය සභාවේ සභා­පති අචල නිමන්තගේ ප්‍රහාරයට ලක් වූ නිවෙස

 

ගාලු මුවදොර පිටියේ පැවැති සාමකාමී අරගලයට කඩා වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයේ උණුසුම කුරුණෑගලට දැනෙන්නට ද වැඩි වේලාවක් ගියේ නැත. ප්‍රහාරය පිළිබඳව සැල වූ විවිධ තරාතිරම්වල පුද්ගලයන් කුරුණෑගල පොලිසිය ආසන්නයේ පිහිටුවා ඇති ගෝඨාගෝගම පරිශ්‍රයට එකතු වී විරෝධය දක්වන්නට වූහ. කුරුණෑගල හරහා දිවෙන ප්‍රධාන මාර්ග ඔස්සේ වීදි බැස සිටි තවත් පිරිස් විසින් මහමඟ ටයර් ගිනි තබමින් සිය විරෝධය දක්වන්නට වූහ. හතර අතින් නැගුණු ගිනි තැබීම්, පහරදීම් සහ විරෝධතා හේතුවෙන් කුරුණෑගල නගරයත්, ඒ අවට ප්‍රදේශයත් එකම යුද පිටියක් බවට පත් වී තිබිණි.

ප්‍රහාරයට ලක් වූ වෙළ­ඳ­සැලක්

 

කුපිත වූ ජනතාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දේශපාලනඥයන් රැසකට අයත් නිවාස හා දේපළවලට දැඩි අලාභ හානි සිදු වී තිබේ. දිවයිනේ වැඩිම පහරදීම් සහ දේපල ගිනිතැබීමේ සිදුවීම් වාර්තාවන්නේ වයඹ පළාතෙන් වන අතර, එම සිදුවීම්වලින් බහුතරයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම ද විශේෂත්වයකි. මේ ප්‍රහාරවලින් ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් දේපලවලට වැඩිම හානි සිදුවී තිබූ අතර ඔහුට අයත් නිවාස, කාර්යාල, වාහන සහ ව්‍යාපාරික ස්ථාන රැසක් විනාශ වී තිබිණි. මෙම ලිපිය සකස්කෙරෙන බ්‍රහස්පතින්දා උදෑසන වනවිට ජනතාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්ෂ දේශපාලනඥයින් 14 දෙනෙකුට අයත් නිවාස, කාර්යාල සහ ව්‍යාපාරික ස්ථාන 21 කට දැඩි අලාභහානි සිදු වී තිබිණි.

ගාලු මුවදොර ප්‍රහාරයෙන් කුපිත වී වීදි බැස සිටි පිරිසගේ පළමු ඉලක්කය වූයේ යන්තම්පලාව ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයයි. මෙම කාර්යාලය ඉදිරිපිටට ගිය පිරිස ගල්මුල්වලින් පහරදෙමින් ඊට අලාභහානි සිදු කළහ. එම ස්ථානයට පැමිණි කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි ඇතුළු පොලිස් නිලධාරීන් විසින් විරෝධතාකරුවන්ට අග්‍රාමාත්‍ය කාර්යාලය භූමියට ඇතුළුවීමට ඉඩනොදී වළක්වා ගැනීම හේතුවෙන් නිසාම එම කාර්යාලට සිදුවීමට තිබූ හානිය ද අවම විය.

පිරිසගේ ඊළඟ ඉලක්කය වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය ලෙස පවත්වාගෙන යමින් තිබූ විල්ගොඩ කාර්යාලයයි. එම කාර්යාලයට කඩාවැදුණු විරෝධතාකරුවෝ සවිකර තිබූ දැවැන්ත පුවරු ඉරා දමා, එහි තිබූ පුටු ආදිය පොළවේ ගසා කඩා දැමූහ. අවසානයේදී සුන්බුන් එකතු කර කාර්යාලයට ගිනි තබන ලදී. විල්ගොඩ කාර්‍යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් එහි ගාල්කර තිබු යතුරු පැදි තොගයක්, බස් රථයක්, කැබ් රථයක් සහ මෝටර් රථයක් සමග කාර්යාල උපකරණ රැසක්ම දැවී අළු වී ගොස් තිබිණි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් කුරුණෑගල වැව රවුමේ පිහිටි නිවෙස

පිරිස ඊළඟට පිටත් වූයේ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ වැහැර පිහිටි නිවසටය. එහි කඩා වැදුණු ජනතාව බඩු මුට්ටු ආදිය පොඩි කර එම නිවෙසටද ගිනි තැබූහ. ප්‍රහාරයට සම්බන්ධ වී සිටි තරුණයින් පිරිසකට ගිනි ගන්නා නගරාධිපති නිවස තුළින් සුනඛයකු බුරන හඬ ඇසුණි. විපරම් කර බැලූ තරුණයන්ට දැකගත හැකි වූයේ හැකිවූයේ කූඩුවක දමා සිටි බල්ලෙකි. එම සුනඛයා නිවසින් එළියට ගැනීම සඳහා තරුණයෙක් විශාල උත්සාහයක් ගත් නමුත් ඌ ඊට අවනත නොවෙමින් එම තරුණයාගේ අත සපා කෑවේය. ලේ ගලන අතින්ම සුනඛයා පිටතට ඇදගෙන ආ තරුණයා ඌගේ ජීවිතය ගලවා ගත්තේය.

මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ රත්කරව්ව ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදුණු තවත් පිරිසක් ඊට පහර දී ගිනි තැබීම හේතුවෙන් එම නිවස ද සම්පූර්ණයෙන්ම විනාශ විය. නිවස ආසන්නයේ නවතා තිබූ අත් ට්‍රැක්ටරයක් ද දැවී අළු වී ගොස් තිබිණි. ප්‍රහාරයට පැමිණි ජනතාව විසින් ගෙවත්තේ තිබූ මල් පෝච්චි සහ පොල් පැළ පවා විනාශ කර තිබූ අයුරු දැකගත හැකි විය. එම නිවසට නුදුරින් පිහිටි ගරාජයක් සහ බෝතල් ගබඩාවකට ද ජනතාව විසින් ගිනි තබා තිබිණි. ගින්නට හසුවීමෙන් ගරාජය තුළ නවතා තිබූ ලොරි රථ තුනක් සහ නවීන බස් රථයක් ද දැවී අළු වී ගොසිනි. එම ස්ථානයේ ගබඩා කර තිබූ හිස් මත්පැන් බෝතල් තොගයක් සහ බෝතල් මූඩි පිරවූ කන්ටේනර් බහාලුම් දෙකක් ද ගින්නට හසුවීමෙන් විනාශ වී තිබිණි.

ජොන්ස්ටන්ට අයත් මල්කඩුවාව ප්‍රදේශයේ පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයකට ද ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරයෙන් නිෂ්පාදනාගාරය තුළ නවතා තිබූ ලොරි රථ කිහිපයකට, මත්පැන් නිෂ්පාදන උපකරණවලට, අමුද්‍රව්‍යවලට සහ ගොඩනැගිලිවලට දැඩි අලාභහානි සිදුවිය. හිටපු ඇමතිවරයාට අයත් දේපළ සියල්ලම පාහේ ගිනිබත් කිරීමට ප්‍රහාරකයන් විසින් කටයුතු කර නමුත් මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට ගිනි තැබීමෙන් ඔවුහු වැළකී සිටියහ. ඒ, එතුළ තිබූ මත්පැන් ස්ප්‍රීතුවලට ගිනි ඇවිළුණේ නම් අවට පිහිටි සාමාන්‍ය ජනයාගේ නිවෙස්වලට ද සිදුවිය හැකි තිබූ හානිය පිළිබඳව සලකා බලා බව කියැවේ.

ජොන්ස්ටන්ට අයත් කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි මත්පැන් අලෙවිසැලකට ද එදිනම එප්‍රහාරයක් එල්ල වූ අතර, එම අලෙවිසැලේ දොරවල් කඩා දමා මහ පිරිසක් එහි ඇතුළු වූහ. ප්‍රහාරය මුවාවෙන් එහි පැමිණි ඇතැම් පිරිස් අලෙවිසැලේ තිබූ මත්පැන් කොල්ල කා පලා ගිය බව ඇසින් දුටුවෝ

කුරුණෑගල ප්‍රාෙද්ශීය සභාවේ සභාපති අචල නිමන්තට අයත්  මේ බස් රථයද ප්‍රහා­ර­යට ලක් විය.

පවසති. මීට අමතරව ජොන්ස්ටන්ට අයත් කුරුණෑගල වැව රවුමේ පිහිටි දෙමහල් නිවසක් ද ප්‍රහාරයට ලක් වූ අතර එම නිවස ද ගිනි තබා විනාශ කර තිබිණි. මෙලෙස විනාශයට පත් වූයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ කුරුණෑගලට පැමිණෙන අවස්ථාවලදී නවාතැන්ගැනීම වෙනුවෙන් වෙන්කර තිබූ නිවසකි. ගින්නට හසුවීමෙන් එහි නවතා තිබූ ලොරි රථයක් ද දැවී ගොස් තිබිණි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර ට අයත් මහරච්චිමුල්ල නිවසත්, ඩී. බී. හේරත්ට අයත් වාරියපොළ නිවසත් එහි කඩාවැදුණු පිරිස් විසින් ගිනිබත් කළහ. ශාන්ත බණ්ඩාර අමාත්‍ය ධුරය භාරගෙන මාසයක්වත් ඉක්ම යන්නට පෙර ඔහුගේ නිවස විරෝධතාකරුවන්ට බිලිවීම කණගාටුවට කරුණකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමිත් උඩුකුඹුරට අයත් මැල්සිරිපුර නිවසත්, සමන්ප්‍රිය හේරත්ට අයත් කඩහපොල නිවස සහ කුලියාපිටිය කාර්යාලයත්, ගුණපාල රත්නසේකර මහතාගේ පඬුවස්නුවර පිහිටි කාර්යාලයත් ගිනි තබා විනාශ කරනු ලැබීය.

රත්නසේකර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානය දිනා ගනිමින් නවක මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පා තැබීය. සිය කාර්යාලය ගිනි තැබීමේ සිදුවීම ඔහුව සලිත කරන්නට සමත් වී තිබූ බවක් පෙනිණි. මුහුණුපොත ඔස්සේ සටහනක් තබමින් රත්නසේකර පවසා තිබුණේ, තමන් දේශපාලනයෙන් සත පහක්වත් උපයා නැති බවත්, දිවා රෑ වෙහෙසී දරුවන්ට උගන්වා ඉපයූ මුදලින් තනාගත් සියල්ල දැවී අළු වෙමින් ඇති බවත්, දිවි ඇති තුරා නැවත දේශපාලනයට නොඑන බවත්ය.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණට අමතරව තවත් පළාත් පාලන ආයතන ප්‍රධානීන් රැසකගේ නිවෙස්වලට ද ප්‍රහාර එල්ල විය.

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්තගේ වෙහෙරබැන්ද ප්‍රදේශයේ පිහිටි නිවසට එල්ල වූ ප්‍රහාරයකින් අනතුරුව කළ ගිනිතැබීමකින් එම නිවස සම්පූර්ණයෙන්ම දැවී අළු ගොස් වී තිබිණි. ඊට අමතරව සභාපතිවරයාගේ පියා විසින් පවත්වාගෙන යන වෙළඳසැලකට සහ ඔහුට අයත් බස් රථයකටද පහර දී දැඩි අලාභ හානි සිදුකර තිබිණි. කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති සුමිත් බණ්ඩාරගේ උඩවල්පොල ප්‍රදේශයේ පිහිටි නිවසකට ද පිරිසක් විසින් ගල්මුල්වලින් පහර දී අලාභානි සිදු කර තිබිණි. ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් වික්‍රමසිංහ, බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති දිමුත් තුෂාර, අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති පද්මා වෑත්තෑව, පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර සහ කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති සුමිත් බණ්ඩාර යන අයගේ නිවාස ද ජනතා කෝපයේ ගොදුරු බවට පත්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුරගේ ආධාරකරුවන් පිරිසක් කොළඹ සිට මැල්සිරිපුර දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බව කියන බස් රථයකට ද යග්ගපිටිය ප්‍රදේශයේ දී ප්‍රහාරයක් එල්ල වී තිබිණි. මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි මෙම බස් රථය යග්ගපිටිය පිවිසුමෙන් පිටවීමත් සමගම මඟ රැක සිටි පිරිසක් ඊට පහර දී ඇති බව වාර්තා වෙයි.

 

Comments