
මෙරට අද වන විට ද්වන්ධ අරගලයකට හසුවී ඇති බව ඉතා පැහැදිලි කරුණකි. කොවිඩ් වසංගත තත්ත්වය නිසා පැවැති ආර්ථික අර්බුදය වඩා තිව්‍ර වී ඇත. මේ සන්දර්භය තුළ වත්මන වනවිට එය දේශපාලනික අර්බුදයක් කරා ගමන් කරන ආකාරයක් දක්නට ඇත. එනම්, වසංගතය පිළිබඳ තත්ත්වය පහව යමින් පවතින අවස්ථාවක දේශපාලනික අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. 1948 නිදහසින් පසුව ලංකාව මුහුණ දුන් බැරූරුම් ආර්ථීකමය සහ බරපතළම දේශපාලනික අර්බුදයකට මේ අවස්ථාවේ අපි මුහුණ දෙමින් සිටිමු. මීට පෙර සිවිල් යුද්ධ දෙකක් දකුණේ ඇතිවූ අතර, ඒ සියල්ල තිබියදී රටේ දේශපාලනික ගමන් මඟ පිළිබඳ එනම් රටේ දේශපාලනික දිශානතියේ බැරෑරුම් අර්බුදයන් නිර්මාණය වීමක් දක්නට නොවිණි.
ඉකුත් 9 වැනිදා ඇති වූ ගෝල්ෆේස් අරගලයත් සමඟ ඉතා පැහැදිලි ලෙසම පවත්නා දේශපාලනික සංස්ථා දැවැන්ත අර්බුදයක් කරා පැමිණි බව අපි දනිමු. මෙය ගෝල්ෆේස් පිරිස් බලය යොදා ඉවත්කිරීමට අදහසක් හෝ සැලසුමක් නැතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ ය. නව අගමැති රනිල් වික්‍රමසිංහ කීවේද ගෝල්ෆේස් තබාගත යුතු බව ය. මෙම ප්‍රකාශ දෙක නිවැරදිව කියවා ගත යුතු වේ.
ගෝල්ෆේස් අරගල බිම දෙ ආකාරයකින් තබාගත හැකි වේ. ගෝල්ෆේස් බිම සංස්කෘතික අවකාශයක්, සංගායනීය බිමක් ලෙස තිබීමෙහි හානියක් නැත්තේ ය යන්න මෙයින් ශවේන්ද්‍ර -රනිල් යුගලය අදහස් කරන බවක් පෙනේ. ගෝල්ෆේස් හි සමහරෙක් ද එවැන්නකට කැමති වන්නෝ ය. ව්‍යාපාරික පිරිස පමණක් නොව බටහිර තානාපති කාර්‍යාල, ඒ සදහා මුදල් පොම්ප කිරීමට ද ඉඩක් නැත්තේ නොවේ.
එහෙත් අපට නම් ගෝල්ෆේස් යනු රාජ්‍ය බලය සමඟ පොරබදන අවකාශයකි. ඒ අරගලය අනීවාර්‍යයෙන්ම බහුමානීය ය. එමෙන්ම එය එවැන්නක් කරගත හැක්කේ සංගායනීය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුළ පමණි. එහෙත් එවන් සංගායනීය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය කිරීමට සමාජ-ආර්ථික සාධාරණත්වය අත්‍යන්තයෙන් ඇවැසි වේ. නිෂ්පාදනයේ සහභාගීත්වය, එහි අයිතිය සහ කළමනාකරණය අතර අද ඉහවහා ගොස් ඇති නොපෑහීම බිඳ දැමීම එහිලා කළයුතු වේ. එසේ නොවේ නම්, ගෝල්ෆේස් පවතිනු ඇත්තේ ආකාරගත ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් උරපළදනාවක් ලෙස පමණි.
බෙදුම වැලැක්විය නොහැක. නිසා මේ සන්දර්භීය කාරණාව මත මේ තත්ත්වය තව දුර දිග යෑමට ඉඩ නොදී දේශපාලනික ප්‍රතිසංස්කරණයකට යා යුතුයි යන අදහස මූලික වශයෙන් මේ වනවිට මතුවී ඇත. මේ ප්‍රතිසංස්කරණයන් ඉල්ලා සිටින දේශපාලනික ජන කණ්ඩායම් වාච්‍යාර්ථයෙන් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා අගමැති සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි යන කරුණ වෙයි.
ශ්‍රී ලංකාව මුහුණ දෙන බහුවිධ සහ බහුමාන ගැටලු, පහසුව සඳහා කුලක තුනක් යටතේ සාකච්ඡාවට ගත හැකිය. ඒ කුලක සියලු ලෙසින් සමජාතීය නොවේ. ඒ කුලක තුනට නොදැමිය හැකි ගැටලු නොමැත්තේ යැයි ඉන් අදහස් නොවේ. පූර්ව අවධානයට යොමු කිරීමට සහ හඳුනා ගැනීමට ඒ කුලක තුන මෙසේ සාරාංශ කළ හැකිය. එහිදී පළමු කරුණ විග්‍රහ කිරීමට නම් ආර්ථික අර්බුදය මතුවී ඇති වි ඇති තත්ත්වය පිළිබඳ හිටපු මුදල් ඇමැති අලි සබ්‍රි මහතා සඳහන් කළ කරුණු මතු කළ යුතුයි. ඒ අනුව ලංකාවට වියදම් කළ හැකි ඩොලර් සංචිත ඉතිරිවී ඇත්තේ ඩොලර් බිලියන 50ක් පමණක් බව අවධාරණය විය. මේ ප්‍රශ්නය අපි විසඳා ගැනීමට ගත යුතු පියවර කුමක්ද යන කරුණ වඩා වැදගත්වෙයි.එනම් ආණ්ඩුවෙන් ව්‍යාපාරික ප්‍රජාවගෙන් සමහර ආගමික කොටස්වලින් පැහැදිලිවම ගෙන එන යෝජන නම් IMF යෑම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරිම කළ යුතු බවයි. මේ අවකාශය තුළ දේශපාලන ක්ෂේත්‍රයේ කුමනාකාර අර්බුදයන් තිබුණද, විශාල පිරිසකගේ මතය IMF නොගොස් මේ අර්බුදයට විසඳුම් සෙවීමට නොහැකි බවයි.
පළමු අර්බුදය මතුවන්නේ ණය හා බැඳුණු සහ ණය හේතුකොට ගෙන ඇති වූ විදේශ විනිමය සංචිත ගැටලුව මතයි. මෙය සරලව ඩොලර් ප්‍රශ්නය ලෙස හැඳින්වේ. මේ අර්බුදය ජන ජීවිතය අවුල් කර ඇත. ජනගහනයෙන් වැඩි කොටසකට මේ වනවිට දරිද්‍රතාවය සහ කුසගින්න උරුම කර ඇත. මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩඟන්නේ කෙසේද, ක්ෂණිකව ගතයුතු පියවර කවරේද, ඒ ඇති කරගන්නාවූ තත්ත්වයෙන් ඉදිරියට යන්නේ කෙසේද? අර්බුද අවම කර ගන්නා සමාජ පහළ මාලය බලගන්වන ආර්ථික සැලැස්මක් ගොඩනඟා ගන්නේ කෙසේද යන ගැටලුවලදී විසඳුම් සෙවීමට මේ 225ට නොහැකි නම් 1977 ක්‍රමවේදය කණපිට ගැසීමට යායුතු නොවේ ද යන ගැටලුව මතුවෙයි. දෙවැනි කරුණ දේශපාලනික සහ නෛතික ගැටලුවයි. එනම් දේශපාලනික ව්‍යවස්ථා පිළිබඳව ගැටලුවයි. මේ ආර්ථික සහ සමාජ අර්බුදය අනිවාර්යෙන්ම 1977 ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයකි. 1978 ව්‍යවස්ථාව අතිශයින් කේන්ද්‍රීය බලතන්ත්‍රයක් නිර්මාණය කළේය. අද දේශපාලනික සාකච්ඡාව කෙතරම් පසුබැස ඇත්ද යත්, සංශෝධන ගැන මිස එය ඉරා දැමීමක් ගැන කිසිවෙක් කථා නොකරති. මේ ව්‍යවස්ථාව දේශපාලකයන්ට, ඉහළ රාජ්‍ය නිලධාරින්ට, විශාල ව්‍යාපාරික ප්‍රජාවට බලය අවභාවිතයට විශාල ඉඩකඩක් දී ඇත.
මෙරට ගම් 35000 ක්ෂුද්‍ර බල ඒකක කෙරෙන සහ සමස්ත රාජ්‍ය ව්‍යුහය ඒ මත පිහිටුවන ව්‍යවස්ථාවක් සකස් කිරීම මේ ප්‍රශ්නයට පිළියමක් වේ. ජනතා පරමාධිපත්‍යය සහ ජනතා ස්වයං නිර්ණන අයිතිය රැකගත හැක්කේ එවන් ව්‍යවස්ථාවකිනි. එසේ නොවෙන හැම ව්‍යවස්ථාවක්ම අවසන් වන්නේ ප්‍රභූ රාජ්‍ය ක්‍රමයකින්ය.
තුන්වැනි අර්බුදය විදේශීය අර්බුදයයි. එනම් ඉන්දිය සාගර කලාපයේ ඇති වි තිබෙන වර්ධන වෙමින් පවතින රටේ ස්වාධිපත්‍ය පවත්වාගෙන යෑමේ ගැටලුවයි. ඒ අනුව තුන්වැනුව විසඳාගත යුතු ප්‍රශ්නය ජාතික ස්වාධිපත්‍යය පිළිබඳ ගැටලුවයි. අධිරාජ්‍යවාදය යථාර්ථයක්ව පවතිනු තුරු මෙය තීරණාත්මක ප්‍රශ්නයකි. ඉන්දීය සාගර කලාපයේ මෑතකාලීන වර්ධනයන් ලංකාවේ ස්වාධීනත්වය බරපතළ ප්‍රශ්නයක් බවට පත්කර ඇත.
ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය හා අටවාගත් QUAD සංවිධාන මේ කලාපයේ සෑම රටකටම තර්ජනයකි. ඉන්දියාව සහ ලංකාව අතර සම්බන්ධය විසි එක්වෙනි සියවස සමඟ නව හැඩයක් ගත් බව සිහිපත් කළ යුතුය. ලංකාව තම විදේශ සබඳතා සැකසීමේදී ඉන්දියාවේ ආරක්ෂාව ගැන කල්පනාකාරී වීම අනිවාර්ය වුවද, QUAD වැනි සංවිධාන හරහා ඉන්දියාව එන්නේ අධිරාජ්‍යවාදී ග්‍රහණයකට ශ්‍රී ලංකාව යටත් කිරීමටය. මේ වොෂින්ටන්- නව දිල්ලි සැලැස්මට හසු නොවන වීදේශ ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ. එමෙන්ම, චීනය සමඟ සම්බන්ධතාවන්හි ස්වභාවය ද නිශ්චිතවම නිර්වචනය කරගත යුතු වේ. ස්වාධීන, නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් සඳහා ජාතික ආර්ථිකයක් ගොඩනඟා ගැනීම අනීවාර්ය වේ.
මේ ප්‍රශ්න තුනට නිවැරදිව ආමන්ත්‍රණය කළ හැකි සමාජ බලවේග මත ගොඩ නැඟෙන ආණ්ඩුවක් කරා මේ අර්බුදය හරහා යා හැකිද? ඒ සඳහා වැඩපිළිවෙළ කුමක්ද? එවැන්නක් ඇත්තේ කාටදඒ බලය පිහිටවන්නේ කෙසේද? මේ යථාර්ථය විශාල ප්‍රශ්නයකි.
අලි සබ්‍රි සඳහන් කරන ආකාරයට රට මේ අර්බුදයෙන් ගොඩ දමා ගන්නට යටත් පිරිසෙයින් අවුරුදු දෙකක්වත් අවශ්‍ය වේ. වසර 45 ක සාපය ක්ෂණිකව ආපස්සට හැරවීමට නොහැකිය. වසර 45 ක ව්‍යසනය නැති කිරීමට අද ගන්නා හැම කෙටිකාලීන පියවරක්ම, අද රට මුහුණ දෙන අර්බුදයෙන් ගොඩ ගැන්මට ගතයුතු අවශ්‍යම පියවරයන් ය. පහුගිය වසර 45 ම ක්‍රියාවට නැඟුවේ සහ ක්‍රියාවට නැඟීමට උත්සාහ කළේ මේ ප්‍රතිපත්ති කට්ටලයයි. මේ අර්බුදය මේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් මිස සම්ප්‍රදායික ආර්ථික විද්වතුන් කියන ආකාරයට ඒ ප්‍රතිපත්ති නියම මාත්‍රාවෙන් ක්‍රියාවට නොදැමීමේ ප්‍රතිඵලයක් නොවේ.
1977න් පසු දේශපාලකයෝ සහ ඉහළ රාජ්‍ය නිලධාරීහු අතිශයින් දූෂිත සහ නාස්තිකාර කුලකයක් බවට පත්වූහ. එමෙන්ම ධනේශ්වර පන්තිය, අනීතික සහ සමපේක්ෂණ කටයුතුවල වැඩි වශයෙන් යෙදෙන පන්තියක් බවට පත්වූහ. මේ සියල්ලන්ට නීතියේ රැකවරණය ද නොමඳව ලැබිණි. මේ පරිචයන් මුලිනුපුටා දැමීම අවශ්‍යය. එහෙත් මේවා 1977 ආර්ථික, දේශපාලන සහ සමාජ වෙනස්කම්වල ප්‍රතිඵලයක් මිස වර්තමාන අර්බුදයේ හේතුව නොවේ. එය හේතුව ලෙස දකින්නෝ ප්‍රශ්නය වැරදි තැනකින් අල්ලා ගන්නෝ වෙති. 1977 ආර්ථික ප්‍රතිපත්ති විසින් අප හැමෝම විවිධ මට්ටම්වලින් සොරුන් බවට පත් කළේ ය. 1977 රාමුව තුළ මේ හොරුන් මෙල්ල කළ නොහැකිය.
අද ජනතාව 225ම එළවීම ලෙස අදහස් කරන්නේද 1977 ක්‍රමය පිළිබඳ එනම් ඒ හුදු අවකාශයම එහිදී සංකේතනය කරයි. මෙම ක්‍රමය සමස්තයක් ලෙස ගත්විට එය ආර්ථික,නෛතික,දේශපාලනික සහ සමාජ- සංස්කෘතික මූලයන්ගේ එකතුවකි. මේ ගැටලු එකක් විසඳීමෙන් අනෙක් කරුණු විසඳීමට පරිසරය නිර්මාණය වෙතැයි යන කාරණාව වලංගු නොවෙයි. මේ ප්‍රශ්න සියල්ල එකට බැඳුණු ගැටලු වෙයි. දේශපාලනික ගැටලු උග්‍ර වන විට එය රටේ ආර්ථිකය කෙරෙහි බලපානු ලබයි. මේ ගැටලු විෂයෙහි එකට බැඳී ඇති හෙයින් එකවර විසඳුම් සෙවිය යුතු ගැටලු වෙයි. ඒ පියවරයන් ගැනීමට කුමනාකාර දේශපාලනික තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි ද යන කරුණ වැදගත් වෙයි.
දේශපාලන ගැටලු විසඳීම සඳහා නීතිඥ සංගමය සහ භික්ෂුන් වහන්සේ පෙරමුණ ගෙන ආගමික පූජකවරුන් ඉදිරිපත් කරන අදහස අන්තර්කාලීන ආණ්ඩුවකට යා යුතු බවයි. අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවන්නේ කවුද කෙසේද කුමන තැනකද යන දේශපාලනික ගැටලුව යළි මතුවෙයි.
එහිදී මේ ප්‍රශ්නය මතු කරන බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ මේ අන්තර්කාලීන ආණ්ඩුව දැනට පවත්නා පර්ලිමේන්තුවේ 225යෙන් සකස් කළ යුතු බවයි. නීතීඥ සංගමයේ සභාපතිවරයා සාලිය පිරිස් පවසන ආකාරයට කෙටිකාලීන විසඳුමක් ලෙස අන්තර්කාලීන ආණ්ඩුවක් අවශ්‍ය බවත් සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ආණ්ඩුවට සහභාගි වීමට එකඟ වන ලෙසත් මාස 6ක- 7ක කාලයකට හෝ මෙවැනි ආණ්ඩුවක් පිහිටුවා ගන්නා ලෙස යෝජනාවක් වෙයි. නමුත් ප්‍රශ්නය පවතින්නේ මැයි 9වැනිදා අරලිය ගහ මන්දිරයට රැස්වූ පිරිස විසින් ගෝල්ෆේස් සාමකාමී අරගලයට එල්ල කරණු ලැබූ ප්‍රහාරයත් සමග 225ත් ඇති කර ගන්නා අන්තර්කාලීන අදහස සහ මුලින්ම ගිලිහී යෑමයි.
සමගි ජන බලවේගය සහ ජාතික ජනබලයත් පැහැදිලිව සඳහන් කරන කරුණ නම් ඒ ප්‍රහාරය සමඟ ජනාධීපතිවරයා සහභාගී වන කිසිදු ආණ්ඩුවකට ඔවුන් අප්‍රසාදය පළකරන බවයි. කෙසේ වෙතත් මේ පත්වන අන්තර්කාලීන ආණ්ඩුව දේශපාලනික ප්‍රශ්න විසඳීමට ගනු ලබන තීරණ මොනවාද යන කරුණ වැදගත් වෙයි. ප්‍රධාන පියවරක් ලෙස 21ක් සංශෝධනයක් ඉදිරිපත් කිරීමෙන් මේ වෙනස ආරම්භ කිරීම යන අදහස ඉදිරිපත් වී ඇත. එසේම ජනාධිපති ධූරය ඉවත් කිරීමට යම් සංශෝධන ගෙන ඒමට අවශ්‍ය බවත්ය.17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව අපිට පෙනෙන කරුණක් නම් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී. යුද්ධය ජයග්‍රහණය කිරීමත් සමඟ මේ රටේ දේශපාලනික ප්‍රශ්නයට විසඳුමක් දිය හැකිද යන ගැටලුව මතුවිණි. ඉන් අනතුරුව 2015-2019 යහපාලන ආණ්ඩුව සහ දැනට පවතින ආණ්ඩු දෙක ගත් විට මේ ආණ්ඩු දෙක නිදහස ලැබිමෙන් පසුව ලංකාවේ ඇති වූ අතිශයින්ම අකාර්යක්ෂම ආණ්ඩු දෙකක් ලෙස හැදින්විය හැකිය. මේ ආණ්ඩු දෙක පිහිටුවීම 18 19 සහ 20 ආණ්ඩු ක්‍රම සංශෝධනයක් සමඟ සිදුවිය.
එහෙත් අලි සබ්රි පෙන්වා දෙන ආකාරයට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු හරහා IMF මේ අර්බුදයට විසඳීමට සහාය ලබාදීමට අවම වශයෙන් තවත් මාස නවයක් හෝ ගතවිය හැකි බවය. වෙනත් රටවලින් පියවුම් මුල්‍යකරණයකට යෑමට මේ සඳහා තවත් ණය මුදලක් ගැනීමට සිදුවෙයි. අවම වශයෙන් බිලියන 5ක හෝ මුදලක් ලබා ගැනීමට සිදුවෙයි. එවැනි ණයක් ගැනීමට හැකියාවක් ලංකාවට ඇතිද යන ගැටලුව මතු වෙයි. ආර්ථික අර්බුදය විසඳීමට මේ අන්තර්කාලීන ආණ්ඩුවට ගත හැකි පියවර සහ ගතයුතු පියවර අතර විශාල වෙනස්කම් තිබේ.
මෙවැනි දේශපාලනික අස්ථාවරත්වයක් තුළ දේශපාලන ආර්ථීක සහ විදෙස් සම්බන්ධතාවලදී නිශ්චිත පිළිතුරක් ලබාගැනීමට ඇති හැකියාව අඩුවෙයි. එහෙයින් අද පවතින තත්ත්වයටත් වඩා ආර්ථික ගැටලුව උග්‍ර වෙයි. IMF කොන්දේසි ක්‍රියාත්මක වීමේදී ජනතාවගේ ජිවන තත්ත්වයන් ඉතා පහළ මට්ටමකට ඇද වැටීම සිදුවෙයි.
විශේෂයෙන් රටක දේශපාලන අස්ථාවරත්වය ණය ගැනීමේදී යම් බලපෑමක් ඇති කළ හැකියි.දේශපාලන අස්ථාවරත්වයක් ඇති රටක ප්‍රචණ්ඩත්වය ඉදිරියට ගියොත් ණය අනුපාතික තවත් පහතට වැටීමට සිදුවෙයි. මෙරට අද පවතින තත්ත්වයන් හමුවේ ණය ගැනීමේදී බටහිර රටවල් මෙරට මානව හිමිකම් සහ ප්‍රජාන්ත්‍රීය අයිතිවාසිකම් පිළිබඳව ගැටලු මතු කළ හැකියි. එය රටේ ආර්ථීක ප්‍රශ්න සම්බන්ධයෙන් සහ විදෙස් සම්බන්ධතා විෂයයෙහිද බරපතළ ලෙස බලපානු ලැබීම රටට මේ මොහොතේ ඉතා අහිතකර වෙයි.