
රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 26 වැනි අගමැතිවරයා ලෙස සය වැනි වරටත් පත්වීම ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසයේත් සුවිශේෂි වාර්තාවක් සටහන් වන්නකි. එක් පුද්ගලයකු සය වැනි වරටත් රටක අගමැති තනතුරට පත්වීම ලෝක දේශපාලන වංශාවලිය කණපිට පෙරළු දුර්ලභ සන්ධිස්ථානයකි. එක් ආසනයකින් පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් ඇති කරමින් අගමැති තනතුරට පත්වීමේ අලුත්ම පිටුවක් පෙරළු ඔහු රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහය.
වාමාංශික දේශපාලනයේ නිරත වූ වෘත්තියෙන් නීතීඥවරයකු වූ එඩ්මන් වික්‍රමසිංහගේත්, මෙරට පුවත්පත් කලාවේ පුරෝගාමී විප්ලවයක් සිදුකළ ඩී ආර් විජයවර්ධනගේ දෙටු දියණිය වන නාලිනී වික්‍රමසිංහගේත් දෙවැනි පුතු ලෙස රනිල් උපත ලැබුවේ 1949 මාර්තු 24 දාය. රනිල්, ශාන්, ශානිකා, නිරාජ් හා චන්න ඇතුළු දරුවන් පස් දෙනෙකුගෙන් යුත් මේ පවුලේ දරුවන්ට ආගමික ශාස්ත්‍රීය පසුබිමක් ලබා දෙන්නට මේ මවු පියෝ නිතැතින්ම වෙහෙසුණහ.
ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ ගුරු ස්වාමීන් වූ රාජකීය පණ්ඩිත දෙවුන්දර වාචිස්සර නාහිමියන්ගෙන් අකුරු කළ රනිල් 1954 ජනවාරියේ අකුරු කරන්නට ඇතුළත් වූයේ සිය පියා හා සීයා අධ්‍යාපනය ලත් කොළඹ රාජකීය විදුහලටය. එකම පන්තියේ අකුරු කළ රනිල්ගේ කුළුපග මිතුරා වූයේ නිදහස් ලංකවේ සිවුවැනි අගමැති වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ පුතු වූ අනුර බණ්ඩාරනායකය. 1954 දෙදෙනාම කොළඹ රාජකිය විදුහලේ පළමු වසරට ඇතුළත් වූයේ එකම දිනය. විවේකි කාලයේ දෙදෙනාගේ ප්‍රියතම ක්‍රීඩාව වූ බැඩිම්න්ටන් ය. වික්‍රමසිංහ දරුවන්ගේ ඉරිදා දිනය වෙන්වූයේ බම්බලපිටිය වජිරාරාම දහම් පාසලටය. රනිල් ප්‍රාථමික අවදියේදි සංගීතය උගත්තේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගෙනි. ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ඩඩ්ලි සේනානායත එදා රනිල්ගේ නිවසේ සිය පියාණන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදුණෝ වෙති. එහෙයින් කුඩා කල සිට දේශපාලනය රනිල්ගේ ජිවිතයට ආගන්තුක වූයේ නැත.
රනිල් නීතිය හදාරන්නට කොළඹ විශ්ව විද්‍යායට ඇතුළත් වන්නේ 1967 දීය. එහි ඔහු නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති විය. 1970 මැයි 27 වැනිදා රනිල් 7 වැනි මහ මැතිවරණයට මුලින්ම ඡන්දය භාවිතා කළේ කොළඹ විශ්වවිද්‍යාලයේදීමය. 1971 දී 23 හැවිරිදි රනිල් අධි නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේ එවකට අගවිනිසුරු එන්. ජී. ප්‍රනාන්දු ඉදිරියේය. අනතුරුව එක්සත් ජාතික පක්ෂයට නීතිඥ සංගමයක් ඇති කිරීමට පුරෝගාමී වූයේද රනිල්ය. මේ අතර ඔහු සිය දේශපාලන ගමන් මගට නියත විවරණ ලැබුවේ 1975 මැයි මාසයේය. බියගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක වූ රනිල් එදා මැතිවරණයට ආසනයේ වූ නිවෙස් අට දහසටම ගියේ තරුණ නායකයකු ලෙස ප්‍රීති ඝෝෂා ලබමිනි. රනිල් තමා ඉදිරිපත් වූ 1977 පළමු මැතිවරණයෙන්ම ජය ගත්තේ වැඩි ඡන්ද 6769 ක් ලබා ගනිමිනි. ජේ. ආර්. ජයවර්ධන රජයේ නියෝජ්‍ය ඇමැති ධූරයක් ලබන විට රනිල් 28 හැවිරිදි ළාබාලතම නියෝජ්‍ය ඇමැති විය. මෙරට ප්‍රථම යෞවන හා රැකී රක්ෂා ඇමැතිවරයා වූයේද රනිල්ය. එසේම ඔහු මෙරට අධ්‍යාපන ඉතිහාසයේ 11 වැනි අධ්‍යාපන ඇමැතිවරයා විය. 1981 විවාදයන්ට තුඩු දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් කළේද රනිල්ය.
තරුණ තරුණියන්ට බෙල්වුඩ් රූපවාහිනි ගම්මානය, යොවුන් පුරය, පාසල් දරුවන්ට නොමිලයේ පෙළපොත් පමණක් නොව නිල ඇදුම්ද ලබාදීම, ලලිත් ඇතුළත්මුදලි සමඟ එක්ව මහපොළ ශිෂ්‍යත්වය ලබාදීම, ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, මහරගම තරුණ සේවා සභාව ගොඩනැගිල්ල, රුහුණු විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, උතුරු කොළඹ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට මුල්වීම, ගුරු විද්‍යාල පිහිටුවීම, පාසල් සිසුන්ට නොමිලයේ දිවා ආහාරය ලබා දීම රනිල්ගේ දේශපාලන ගමනේ රන් අකුරින් ලියැවෙන කඩඉම්ය. එදා මැලේ විදීයේ පැරණි ගොඩනැගිල්ලක තිබූ අධ්‍යාපන අමාත්‍යාංශය බත්තරමුල්ලට ගෙන ගොස් එයට ‘ඉසුරුපාය‘ ලෙස නම් කිරීමට පෙරමුණ ගත්තේ ද රනිල්ය.
රනිල් වික්‍රමසිංහ මීට පෙර අවස්ථා 5 කදී අගමැති තනතුරට පත් වන්නේය. ඔහු මුලින්ම අගමැති වූයේ වයස අවුරුදු 44 දීය. ඒ 1993 මැයි 7 - 1994 අගෝස්තු 19 දක්වාය. අනතුරුව 2001 දෙසැම්බර් සිට 9 - 2004 අප්‍රේල් 6 දක්වාත්, 2015 ජනවාරි 9 - 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගොස්තු 17 - 2018 ඔක්තෝබර් 26 දක්වාත්, 2018 දෙසැම්බර් 16 - 2019 නොවැම්බර් 20 දක්වාත් අගමැති විය. ඔහුගේ දේශපාලන ජිවිතයේ ආසන්න වකවානුව වඩාත් අභියෝගාත්මක අවධියක් විය. ජනපති අගමැති අතර යහපාලන සමයේදී උද්ගත වූ අභියෝග පමණක් නොව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම ඔහු උපේක්ෂාවෙන් විඳ දරා ගත්තේය. නොසැලී ඊට මුහුණ දුන්නේය. එක්සත් ජාතික පක්ෂය පැරදුණ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම බෝනස් පාර්ලිමේන්තු අසුනට ඉදිරිපත් වීමට මාස ගණනාවකුක් කිසිවකුත් ඉදිරිපත් නොවූ මොහොතක පාර්ලිමේන්තුවේ තනි සටනක් කිරීමට රනිල් එහි වගකීම බාර ගත්තේය. අනතුරුව වත්මන් අභියෝග හමුවේ ඔහු ඊට පිළියම් ඉදිරිපත් කළා මිස කිසි විටක කිසිවෙකුත් හෙළා දැක්කේ නැත.
රනිල් පිළිබඳ කතා කරන්නට බොහෝ දේ ඇත්තේය. මේ යුග පුරුෂයාගේ බිරිය මෛත්‍රී වික්‍රමසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරියකි. මේ දෙදෙනාට පොතපතින් තොර ලොවක් නැති තරම්ය. දෙදෙනාම පොතපතට ඇලුම් කරති. රනිල්ට ධර්මය ගැන ඇත්තේ මනා අවබෝධයකි. ඔහු ‘ දේශපාලන හා ධර්මය ‘ කෘතිය නිකුත් කළේ 2005 වෙසක් සමයේදිය. මෝටර් රථයකින් ගමන් කරන දිගු ගමනේදි ඔහු ටැබ් පරිගණකය හෝ පොත්පත් කිහිපයක් කියවීමට රැගෙන යයි. විවේකී විටක තම නිවසේ කුඩා සිනමාගාරයට වී නිධානය වැනි සිනමා පටයක සිට සම්භාව්‍ය ජාත්‍යන්තර සිනමා පට බැලීමට ඔහු අමතක කරන්නේ නැත. රනිල් සිය ජීවිත කාලයෙන් පසු තමන් පදිංචි නිවස ලිව්වේ උගත් රාජකීය පාසලටය. රනිල්ට ඇලුම් කරන්නෝ පවා මේ කතාව දන්නේ නැත. ඔහු කිසිදා පාර්ලිමේන්තු වැටුප ලබා ගත්තේ නැති බව සැලය. පාර්ලිමේන්තු මැති ඇමැතින්ට හිමි නිදහස් වාහන බලපත්‍රද ලබා ගත්තේ නැත. දේශපාලන වශයෙන් ප්‍රතිවිරුද්ධ මත දැරුවද ඔහුගේ සමිප මිතුරා වූ අනුර බණ්ඩාරනායක එදා රනිල් ගැන කියූ මේ අව්‍යාජ විස්තරය අදට කොතරම් දුරට ගැළපේද?
“රනිල් චරිතයේ ඇති ප්‍රබලම ලක්ෂණය නම් ඔහු තුළ ඇති අවංක බවයි. ඔහුගේ දෑත් කිළිටි වී නැත. තමන්ට කළ නොහැකි වූ පොරොන්දු ඔහු මහජනතාවට ලබා නොදෙයි. “
අභිනව අගමැති රනිල්ට රට ගොඩනැගීමේ කාර්යයට උරදීමට ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.