රට පුරා ඇවිළුණු ප්‍රචණ්ඩත්වය | සිළුමිණ

රට පුරා ඇවිළුණු ප්‍රචණ්ඩත්වය

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරච්චිකට්ටුවේ නි‍ෙවස
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරච්චිකට්ටුවේ නි‍ෙවස

 

වෙසක් පෝය පෙනි පෙනී පසුගිය මැයි මාසයේ නවවෙනිදා හිරු අවරට යන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කරන ලද දිනයක් ලෙස සනිටුහන් කරමිනි. මීට හේතුව වූයේ අරලියගහ මන්දිරය අසල සහ ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට එල්ල වූ මැර ප්‍රහාරයයි. විසිහතර පැයේ බණ අහන රටකට බුදු බණ දේශනා කරන රටකට මැයි මාසයේ නව වෙනිදා රාත්‍රිය එළැඹෙද්දී මුහුණ පාන්නට සිදුවී තිබුණේ අතිශය ඛේදනීය සිදුවීම් පෙළකටය. අරලියගහ මන්දිරය අසල සාමකාමී විරෝධතාවට සහ ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට 9 වැනිදා දහවල් එල්ල වුණ ප්‍රහාරයත් සමඟ මේ ප්‍රහාරයට රට පුරා මහජනතාවගෙන් එල්ල වුණු දැඩි විරෝධය මධ්‍යයේ ඇතිවුණු ප්‍රචණ්ඩකාරි සිදුවීම් පැය හතළිස් අටක් ගෙවී යද්දි අවසන් වූයේ ලෙයින් කඳුළින් මේ මවුබිම තෙත් කරමිනි.

 

අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවල නිරතව සිටි උද්ඝෝෂකයනට සහ ගාලුමුවදොර සාමකාමි අරගලකරුවනට අමානුෂික ප්‍රහාර එල්ල කළ සංවිධානාත්මක පිරිසට මුළු රටෙන්ම එල්ල වූ විරෝධතාව නිම වූයේ රටේ වැඩි කොටසක මහා ‘ගිනිජාලා’ මතුවීමෙනි. ගාලුමුවදොර ප්‍රහාරයත් සමඟ රටේ බොහෝ ප්‍රදේශවල ඇතිවුණු ප්‍රචණ්ඩකාරි සිදුවීම් සමඟ එහි පලවිපාක පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයනට ගෙවීමට සිදුවිය.

මේ ප්‍රහාරවලට මුහුණදීමට සිදුවූ පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු පනස් අටදෙනෙකුට පමණ සිය නිවාස යාන වාහන දේපළ අහිමි විය. ගාලුමුවදොර ප්‍රහාරයෙන් කුපිත වූ ජනතාව පොදු ජන පෙරමුණේ මැති ඇමැතිවරු පනස්අටදෙනෙකුගේ පමණ නිවෙස්වලට සහ කාර්යාලවලට කඩා වැදී ඒවාට පහර දෙමින් ගිනි තබමින් අතිවිශාල විනාශයක් සිදුකළේ 9 වැනිදා සවස්වරුවේ සිටය.

මුලින් කොළඹ නාගරික බල ප්‍රදේශයට පමණක් මේ සිදුවීම මුල්කැර ගෙන පැනවුණු පොලිස් ඇඳිරිනීතිය එදින සවස්වරුව වන විට මුළු රට පුරා පනවනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යාංශය විසිනි.

ඒ වන විටත් මෙරට හදිසි නීතිය පනවා තිබුණත් හදිසි නීතිය සහ ඇඳිරිනීතිය තුට්ටුවකටවත් මායිම් නොකරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරුණු කණ්ඩායම් රටේ විවිධ ප්‍රදේශවල පිහිටි පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන සභාපතිවරු, නාගරික මන්ත්‍රීවරු, නගරාධිපතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු සිය ගණනකගේ නිවාස සහ දේපළ විනාශ කරමින් ඒවාට ගිනි තබද්දී පොලිසිය හෝ ආරක්ෂක අංශවලට එම පිරිස පාලනය කර ගැනීමට හැකිවූයේ නැත.

මැයි මාසයේ නව වැනිදා දහවල් සිට පැය හතළිස් අටක් පමණ ගත වෙද්දි පොදු ජන පෙරමුණේ මැති ඇමැතිවරු පනස් අටදෙනෙකුගේ පමණ නිවාස, යාන වාහන දේපළ, කාර්යාල ගිනි තබා පහරදී වනසා දමා තිබුණු අතර පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රීන්, නගරාධපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, නාගරික මන්ත්‍රීන්, ප්‍රාදේශීය සභා සභාපතිවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් හැත්තෑපස් දෙනෙකුගේ පමණ නිවාස දේපළ කාර්යාල වාහන ගිනිබත් කර පහරදී විනාශ කර දැමීමේ සිදුවීම් රට පුරා ප්‍රදේශවලින් වාර්තා විය.

හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණි ලොකුගේ, විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ශෙහාන් සේමසිංහ, කංචන විජේසේකර, නසීර් අහමඩ්, දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායක, නාලක ගොඩහේවා, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම්. චන්ද්‍රසේන, චන්න ජයසුමන, කනක හේරත්, හිටපු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, මොහාන් සිල්වා, සශේන්ද්‍ර රාජපක්ෂ, සනත් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, ගුණපාල රත්නසේකර, සිරිපාල ගම්ලත්, ඩි.වී. හේරත්, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, ගීතා කුමරසිංහ, අශෝක ප්‍රියන්ත මහත්ම මහත්මීන්ගේ නිවාස දේපළ යාන වාහන ගිනි තබා පහරදී කඩා බිඳ දමා විනාශ කර තිබූ අතර රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ නිවසට ද පහර දී තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, උද්දික ප්‍රේමරත්න, අලි සබ්‍රි රහිම්, සම්පත් අතුකෝරල, සනත් ප්‍රදීප් විතාරණ, ඩබ්ලිව්.ඩී. වීරසිංහ, සමන්ප්‍රිය හේරත්, අනූප පැස්කුවල්, රජිත වික්‍රමසිංහ, ජගත් කුමාර, තිස්ස කුට්ටිආරච්චි, චන්දිම වීරක්කොඩි, ජයන්ත කැටගොඩ, ප්‍රේමනාත් දොලවත්ත, නිපුන රණවක, සංජීව එදිරිමාන්න ඇතුළු මැති ඇමැතිවරුන්ගේ නිවාස යාන වාහන දේපළ රැසකට පහරදී ගිනි තබා විනාශ කර තිබුණේ ගාලුමුවදොර ප්‍රහාරයෙන් පැය හතළිස් අටක් ඇතුළතදීය. එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහත්වරුන්ගේ නිවෙස්වලට සහ කාර්යාලවලට ප්‍රහාර එල්ල විය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල නිවෙසට රථ වාහනවලට සහ මැතිවරණ කාර්යාලයට පහරදී කඩා බිඳ දමා ගිනි තබා තිබුණු අතර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ගේ නිවෙසට ද ගිනි තබා විනාශ කර අලාභ හානි සිදුකර තිබිණි. ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ලග්ගල ප්‍රදේශයේ ගොවිපළක් ද විනාශ කර තිබුණේ එහි සතුන් කැලයට මුදාහැරීමෙන් අනතුරුවය.

අනුරාධපුර ඥාණා මෑනියන්ගේ දේවාලය

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ තලංගම වැව පාරේ පිහිටි නිවෙසක් ද මුළුමනින්ම ගිනිබත්කර තිබුණේ 10 වැනිදා රාත්‍රියේය. ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් කුරුණෑගල පිහිටි කාර්යාල ව්‍යාපාරික ස්ථාන රථවාහන බෝතල් ගබඩාවක් සහ මත්පැන් නිෂ්පාදනාගාරයකට ද ගිනි තබා තිබිණි.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවෙස සහ ඔහුගේ සොයුරු ජගත් සමන්තගේ නිවෙස 09 වැනිදා රාත්‍රියේම ගිනි තබා විනාශ කර දමා තිබිණි.

මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුගේ නිවෙසට ද ගිනි තබා බරපතළ හානි කළ කණ්ඩායම් මොරටුව නගර සභාව, නගරාධිපති කාර්යාලයට සහ එහි වාහන කිහිපයකට ගිනිතබා බරපතළ හානි සිදු කළහ. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාතගේ නිවෙසට මෙන්ම ඔහුගේ මවගේ සහ සොයුරාගේ නිවෙස්වලට කුපිත වූ කණ්ඩායම් ගිනි තබා විනාශ කර තිබිණි.

බේරුවල පයාගල පිහිටි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ නිවෙසට එල්ල වූ ප්‍රහාරවලින් එම නිවෙසට බරපතළ හානි සිදුවිය.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පොල පිහිටි නිවෙසට ද දරුණු ප්‍රහාරයක් එල්ල වූ අතර පසුව එය ගිනිබත් කැරිණි.

එම නිවෙසේ ඉදිරිපිට ගාල්කර තිබණු මෝටර් බයිසිකල් 25ක් පමණද ගිනි තබා විනාශ කර දමා තිබිණි.

හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ අනුරාධපුර  බැංකු ‍ෙප‍ෙදසේ නිවස  ගිනි තබා විනාශ කර දමා තිබු අයුරුයි

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ අනුරාධපුර කුරුන්දන්කුලම කාර්යාලය පවත්වාගෙන ගිය නිවෙසට සහ හෝටලයට දරුණු ප්‍රහාරයක් එල්ල විය.

හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනට අයත් කාර්යාලය පිහිටා තිබුණේ අනුරාධපුර ශික්ෂණ රෝහල අසලය. ඊට ද ප්‍රහර එල්ල විය. අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ පිහිටි හිටපු අමාත්‍ය ශෙහාන් සේමසිංහගේ නිවෙසට ද ප්‍රහාර එල්ල කැර තිබිණි. පොදුජන පෙරමුණු දිවුලපිටිය ආසන සංවිධායක ඉන්දික අනුරුද්ධගේ මරඳගහමුල පිහිටි කාර්යාලයට ද ගිනි තැබූ පිරිස් එහි තිබූ මෝටර් බයිසිකල් සියයක් පමණ විනාශ කළහ. විරෝධතාකරුවෝ මහනුවර ප්‍රිම්රෝස් උද්‍යානයේ පිහිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අයත් සුවිසල් නිවෙසට ද පහරදී එය ගිනිබත් කළහ.

හිටපු අමාත්‍යවරියක වන පවිත්‍රා වන්නිආරච්චිට අයත් පැල්මඩුල්ල රිල්හේනේ නිවෙසේ ගේට්ටු කඩා ගෙන ඇතුලු වූ පිරිසක් එහි ජනෙල් වීදුරුවලට පහරදී අලාභ හානි සිදු කළහ. හිටපු අමාත්‍ය රමේෂ් පතිරණට අයත් ගාල්ල කිතුලපිටියේ පිහිටි නිවස ද ගිනිබත් කැරිණි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ පිහිටි සුවිසල් නිවෙසක් ද ගිනි තබා විනාශ කර තිබිණි.

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂට අයත් තිස්සමහාරාම බංගම පිහිටි නිවෙසට ද පහරදුන් විරෝධතාකරුවෝ ඊට බරපතළ අලාභ හානි සිදු කළහ.

හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ ගේ පිළියන්දල මාවිත්තර නිවෙසට සහ ඥාති නිවෙස් දෙකකට ද ගිනි තබා බරපතළ හානි සිදුකැර තිබිණි. ලොකුගේ හිටපු අමාත්‍යවරයාගේ නිවෙසේ තිබුණු කැබ් රථ දෙකකට ද බරපතළ අලාභ හානි සිදුවිය.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් නාවලපිටියේ පිහිටි කාර්යාලයකට පහර දුන් පිරිසක් ඒ අසල ටයර් පුළුස්සා විරෝධතා පැවැත්වූහ. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ට අයත් කුරුණෑගල නිවෙසක් ද ගිනි තබා විනාශ කැරිණි.

හිටපු අමාත්‍ය මොහාන් පී ද සිල්වාගේ ගාල්ලේ පිහිටි නිවෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වූ අතර රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහගේ බෙන්තොට හබුරුගල පිහිටි නිවෙසට ද ප්‍රහාරයක් එල්ල විය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂට අයත් සෙවණගල කිරිඉබ්බන්ආර අතර සමගිපුර පිහිටි නිවෙසට ද කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර තිබිණි.

පිළියන්දල මාවිත්තර පිහිටි
ඇමති ගාමිණී ලොකුගේට අයිති නිවසට අලාභහානි සිදුකර ඇති අයුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය කාර්යාලය පවත්වාගෙන යන්නේ අනුරාධපුර මහනගර සභා නිල නිවාසවලට අයත් නිවෙසක වන අතර ඊට ද ගල්මුල් ප්‍රහාර එල්ල විය. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට මෙන්ම ඔහුගේ පුත්‍රයාට සහ දියණියට අයත් පුත්තලම වාන මාර්ගයේ පිහිටි නිවෙස් තුනකට ද ප්‍රහාර එල්ල විය.

සමගිජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිගේ නිවෙසට ද ප්‍රහාර එල්ල වීම සුවිශේෂීය. මේ අතර පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයනට රට පුරා එල්ල වෙමින් තිබුණු ප්‍රහාරවලට පළාත් සභා සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ද මුහුණ දීමට සිදුව තිබිණි. පළාත් සභා මන්ත්‍රීන්, නගරාධිපතිවරු, උපනගරාධිපතිවරු, නාගරික මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 75 දෙනකුගේ පමණ නිවාස යාන වාහන දේපළ විනාශ කැරිණි.

හිටපු පළාත් සභා මන්ත්‍රි කපිල දිසානායකට අයත් මැදමුලන නිවසට ද ප්‍රහාර එල්ලවූ අතර හිටපු පළාත් සභා මන්ත්‍රි උපාලි කොඩිකාරගේ උඩහමුල්ලේ නිවෙසට ද එල්ල වූ ප්‍රහාරවලින් බරපතළ හානි සිදුවිය.

ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහ බන්දු, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා සභාපති දිල්රුක් අබේකෝන්, ආනමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණි අමරවංශ, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ යන මැති ඇමැතිවරුන්ගේ නිවෙස්වලට ද පහරදී බරපතළ අලාභ හානි කර තිබූ අයුරු දක්නට ලැබිණි.

ගාලුමුවදොර අරගල භූමියේදි යුවතියකට පහර දුන් බව කියන සීතාවක සමූප සභාපතිගේ නිවෙසට ද ප්‍රහාරයක් එල්ල විය. අවිස්සාවේල්ල පොදුජන පෙරමුණු සංවිධායක නීතිඥ රවීන්ද්‍ර

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පොළ නිවසට අලාභහානි සිදුකර ඇති අයුරු

ජයසිංහගේ නිවෙසට ද ගිනි තබා අලාභ හානි සිදුකැර තිබිණි. බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපති දේවේන්ද්‍ර පෙරේරා, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර, කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා, බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති දිමුත් තුෂාර ඒකනායක, බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි, පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිමල් බමුණුආරච්චි යන අයගේ නිවාස ද ගිනි තබා පහරදී දේපළ හානි කර තිබුණේ ගාලුමුවදොර සිද්ධියෙන් අනතුරුවය. අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාසගේ නිවස ද ගිනි තබා විනාශ කර තිබිණි. උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්ගේ කාර්යාලය පවත්වාගෙන ගි නිවෙසට ද ගල්මුල් ප්‍රහාරවලින් බරපතළ හානි සිදුවිය.

කටාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් සිරිවර්ධන, මිනුවන්ගොඩ නගරසභාවේ සභාපති නීල් ජයසේකර, ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල යන අයගේ නිවෙස්වලට ද ප්‍රහාර එල්ල විය. කළුතර දිසාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් 5කගේ පමණ නිවාසවලට ද ප්‍රහාර එල්ල වූ අතර හොරණ නගරාධිපති විතාරමගේ සිරිසෝම, වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරලගේ නිවෙස්වලට ද ප්‍රහාර එල්ල විය.

අනුරාධපුර මහ නගර සභාවේ මන්ත්‍රීවරියක වන කුමුදුනි ගුණසේනට අයත් අනුරාධපුර පැරණි බස්නැවතුම්පොල අසල පිහිටි නිවෙසට ද කිසියම් පිරිසක් පහරදී ගිනි තබා විනාශ කර තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලඥයන් කීපදෙනෙකුගේ නිවෙස්වලට ද ප්‍රහාර එල්ල විය.

මහනුවර නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය විරෝධතා මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව කියන නාගරික මන්ත්‍රීවරයෙකුගේ බෝගම්බර නිවෙසට ද ප්‍රහාරයකින් හානි සිදුවිය. වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවෙසට පහරදීමට කිසියම් පිරිසක් පැමිණි අවස්ථාවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවෙස ද මුළුමනින්ම ගිනිබත් කැරිණි.

බද්දේගම නගර සභාවේ උප සභාපති අනුර නාරංගොඩ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ, මීගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රෝහණ, මීගමුව නගරාධිපති දයාන් ලන්සා, බියගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති අජිත් කුමාර, ගම්පහ ප්‍රාදේශීය සභාවේ උපසභාපති රංජිත් ගුණවර්ධන මහත්වරුන්ගේ නිවාස සහ දේපළවලට ද බරපතළ හානි සිදුකැර තිබිණි. කොලොන්නාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවෙසට ද ප්‍රහාරයක් එල්ල වන්නේ මේ අතරය.

ගල්මුල් පහරට ලක්වූ පළාත් පාලන නියෝජිතයන් කීපදෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ.

ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.බී. සරත් කුමාරගේ නිවෙසට කිසියම් පිරිසක් ගල්මුල් ප්‍රහාර එල්ල කරද්දි රෝගී වූ අතර ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගියේය.

ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ සහ දන්දිනා දිසානායකගේ මැදමුලන පිහිටි සමරු ස්මාරක ද කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබිණි. තංගල්ල නගරයේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට ද අත්වූයේ එම ඉරණමමයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ වීරකැටිය කාල්ටන් වත්තේ නිවෙසකට ද ගල්මුල් ප්‍රහාරන් එල්ල වූ අතර එම ප්‍රහාරයට පැමිනි පිරිස ගෙමිදුලේ නවතා තිබුණු වාහනයකට ද ගිනි තැබූහ.

පළාත් සභා මන්ත්‍රී කපිල දිසානායකට අයත් මැදමුලන මංසන්ධියේ පිහිටි නිවෙසට ප්‍රහාරයක් එල්ල වන්නේ ඉන් අනතුරුවය. තෙමහල් නිවස ගිනි තබා විනාශ කැරිණි. වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චිගේ නිවෙස ගිනිබත් කිරීමට ප්‍රථම ඒ අසලදී සිදුවූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ වීරකැටිය යක්ගස්මුල්ලේ පදිංචි තිස් දෙහැවිරිදි මොහොමඩ් තස්ලම් සහ වලස්මුල්ල උතුරු තණමුල්දෙණියේ ජාතික පාසලේ චිත්‍ර ගුරුවරයකු වන වීරකැටිය හි පදිංචි සුගත් ජානක ය. මේ දෙදෙනාම තිදරු පියවරු වෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්තගේ නාත්තන්ඩියේ නිවසට හා මෝටර් රථයට අලාභහානි සිදුකර ඇති අයුරු

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවෙසට ද ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී සිදුවූ වෙඩි තැබීමෙන් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබූහ.

කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන මහින්ද කහඳගමගේට සහ ඔහුගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල විය.

පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවලගේ නිවෙස කලහකාරින්ගෙන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි විය. එල්ලාවල මහතා පොදුජන පෙරමුණේ බණ්ඩාරගම සංවිධායකවරයාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්තගේ නාත්තන්ඩියේ නිවසට හා මෝටර් රථයට අලාභහානි සිදුකර ඇති අයුරු

තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙර පාසලට ද ප්‍රහාරයක් එල්ල විය. තංගල්ල මැඩිල්ලේ පිහිටි සුඛෝපභෝගි සංචාරක හෝටලයක් සහ දෙනියාය ගොංගල පිහිටි සුඛෝපභෝගී සංචාරක නිවාඩු නිකේතනයක් ගිනි තබා වනසා දමා තිබිණ.

මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් සුඛෝපභෝගී හෝටලයට නව වැනිදා රාත්‍රියේ කිසියම් සංවිධානාත්මක පිරිසක් ගිනි තබා විනාශ කර දමා තිබුණු අතර එහි තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී වාහන රැසක් ද ගින්නෙන් විනාශ විය. ඉන් අනතුරුව දෙවැනි වරටත් මේ සුඛෝපභෝගි හෝටලටය ගිනි තැබූ සංවිධානාත්මක කණ්ඩායම් ඒවායේ ඉතිරිව තිබුණු වටිනා භාණ්ඩ රැසක් ද කොල්ලකන ලද්දේ මහ දවාලේය. එම හෝටලයේ තිබූ වාහන 25ක් පමණ ගිනි තබා විනාශ කර තිබූ බවද වාර්තා විය.

ඉන් අනතුරුව දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් මීගමුව මහහුණුපිටිය ඩීන් හන්දියේ කඩසාප්පු වෙළෙඳසැල් නිවාස ත්‍රීරෝද රථ බස් ඇතුළු රථ වාහන රැසකට ද ගිනි තබා විනාශ කර තිබිණි.

මේ අපරාධය සිදුකළ කල්ලිය ප්‍රදේශවාසීන්ට තියුනු ආයුධවලින් පහරදීම නිසා සිව්දෙනෙක් තුවාල ලැබූහ. මෙහිදී සිදුවූ වෙඩි තැබීමකදී එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්විය.

සුඛෝපභෝගී හෝටලය කොල්ලකද්දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් මේ සිද්ධියට මුල්වන්නට ඇති බවට සැක කැරේ. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව කැඳවන ලද්දේ ඉන් අනතුරුවය.

මීගමුව කුරණ පිහිටි ග්‍රෑන්ඩ් ඊෂා සුඛෝපභෝගී සංචාරක හෝටලයට ද සංවිධානාත්මක කණ්ඩායමක් ගිනි තබා විනාශ කරන්නේ මේ අතරතුරදීය. එම ප්‍රහාරයෙන් සංචාරක හෝටලයට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුවූ අතර ඉන්පසු පැමිණි ඇතැමුන් හෝටලයේ ඉතිරිව තිබුණු වටිනා භාණ්ඩ කොල්ලකෑහ.

කොට්ටාව අධිවේගී පිවිසුම අසලදී විරෝධතාකරුවන්ට කොටුවුණු සමගිජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ ඔහුගේ රියැදුරු සහ ආරක්ෂක නිලධරයා ගුටිබැට ප්‍රහාරයකට ලක්විය. වෙල්ගම ගමන් කළ වාහනය ද ගිනි තබා විනාශ කැරිණි. මන්ත්‍රීවරයා සහ සෙසු දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළු කරනු ලැබුවේ ඉන් අනතුරුවය.

අනුරාධපුර නගරයේ ප්‍රකට දේවාලයක් පවත්වාගෙන යන ඥානා අක්කා නමින් ප්‍රසිද්ධ කාන්තාවගේ එම දේවාලයට පහර දුන් පිරිසක් අනුරාධපුර අලුත් නුවර පාරේ පිහිටි ඇගේ නිවෙසට සහ හෝටලයට ද ගල්මුල් පහරදී විනාශ කර තිබිණි.

කලාකරුවකු සහ ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරයකු වන ඉරාජ් වීරරත්නගේ මවගේ නිවෙසට ද ප්‍රහාරයක් එල්ල වන්නේ ඔය අතරතුරදීය. ප්‍රහාරයෙන් නිවෙසට බරපතළ හානි සිදුවිය.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ අනුරාධපුර ගුවන්තොටුපොළ පෙදෙසේ නිවස  ගිනි තබා විනාශ කර දමා තිබූ අයුරු

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සිවිල් ඇඳුමෙන් සැරසී කොළඹ නවම්මාවත ප්‍රදේශයේ ගමන් කරමින් සිටින අවස්ථාවේ විරෝධතාකරුවන් පිරිසක් ඔහුට එල්ල කරන ලද ප්‍රහාරයෙන් හිසේ තුවාල සහිතව පොලිස් රෝහලට ඇතුළු කෙරුණු අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනිණි.

මුල්ලේරියාව අංගොඩ මංසන්ධියේදි මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථයට කිසියම් පිරිසක් ගිනි තැබීමට තැත්කරද්දි පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලකුට තුවාල සිදුවිය.

අරලිගයගහ මන්දිරය සහ ගාලුමුවදොර සාමකාමි විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයන් අනතුරුව රටපුරා හටගත් සිදුවීම්වලින් පුද්ගලයන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඔහුගේ ආරක්ෂක නිලධරයා, පොලිස් උපපරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරින් දෙදෙනකු ද වෙති. පුද්ගලයින් දෙසිය පනස්දෙනකු පමණ තුවාල ලැබූහ. රථ වාහන 47කට පමණ බරපතළ අලාභ හානි සිදුවී ඇති අතර නිවාස 38ක් පමණ මුළුමනින්ම ගිනිබත්කර තිබිණි.

එහෙත් සෙසු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පෞද්ගලික බස් රථ 40ක් ඇතුළු වාහන 200කට පමණ අලාභ හානි සිදුවී ඇති බවයි. ඉන් වාහන 97කටම අලාභ හානි සිදුකර ඇත්තේ බස්නාහිර පළාත ඇතුළතදීය.

 

ඡායාරූප - අවිස්සාවේල්ල විශේෂ කල්පනී පද්මපෙරුම,

මාරවිල සමූහ මිහිර විජේසේකර, කොටදෙණියාව සමූහ

ඒ.එම්.පී. කුමාර, අනුරාධපුර අමිල ප්‍රභාත් වනසිංහ සහ කුරුණෑගල අතිරේක අජන්ත බණ්ඩාර

 

Comments