
ප්‍රචණ්ඩත්වය නිමා කළ හැක්කේ මීට අනුබල දුන් අය ආරක්ෂා කිරීමෙන් නොව ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒමෙන් බව විද්වතුන්ගේ සහ සිවිල් ක්‍රියාකාරිකයන්ගේ අදහසයි. මේ ඒ පිළිබඳව ඔවුන් දැක්වූ අදහස්වල සංපිණ්ඩනයකි.
වත්මන් තත්ත්වය පිළිබඳව සිළුමිණ කළ විමසීමේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පවසා සිටියේ ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී වාතාවරණය සමනය කිරීමට නම්, සෑම ආගමික නායකයකුම තමන්ගේ කාර්යභාරය ලංකාව පුරාම ව්‍යාප්ත කළ යුතු බවයි.
“අගනගරය කේන්ද්‍ර කරගෙන සිදුවන මැදිහත් වීම් සහ කාර්යභාරය ඔවුන් අතින් ඉතා හොඳින් සිදුවෙනවා. එසේ වුවත් ග්‍රාමීය පරිසරය ආශ්‍රිතව මේ මැදිහත් වීම සක්‍රීයව සිදුවන බවක් පෙනෙන්නට නැහැ. අපි දැක්කා මීගමුවේදී ඇති වෙන්න ගිය තත්ත්වය ඒ ප්‍රදේශයේ කිතුනු පූජකතුමන්ලා මැදිහත් වෙලා සමනය කරගන්න හැකියාව ලැබුණා. ඒ ආකාරයට ආගමික නායකයන් විදියට මෙවැනි ක්‍රියාවන් පිළිබඳ අවධානයෙන් සිටීමත් ඒවා වැළැක්වීම සඳහා කටයුතු කිරීමත් මේ මොහොතේ කාර්යභාරය වනවා. එහිදී කිසිදු ජාති ආගම් භේදයකින් තොරව සියලු ආගමික නායකයන් මේ මැදිහත් වීම කරන්නට අවශ්‍යයි. ඒ වගේම මේ ආගමික නායකයන් සමඟ අනෙකුත් සිවිල් සංවිධාන ඒකරාශී විය යුතුයි. ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී ඇතුළු ගම්මට්ටමින් පවතින සමිති සංවිධාන මේ සඳහා සහාය දැක්විය යුතුයි.
දැන් දැන් ගෝල්ෆේස් අරගලයට නෙමෙයි ඇතැමුන් අර අඳිමින් සිටින්නේ. කල දුටු කල වළ ඉහගන්න බලාගෙන ඉන්න ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න ප්‍රචණ්ඩත්වය හුරු පුරුදු දාමරිකයන් කල එළිබැහැල ඉන්න වෙලාවක් මේක. ඒ නිසා ඒ අයට අවශ්‍ය පරිසරය සකස් නොකර සියලු සංවිධාන මේ තත්ත්වය වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත්” බවද උන්වහන්සේ පැවසූහ.
“ සාමකාමී පුරවැසි ක්‍රියාවලියට අනවශ්‍ය ප්‍රචණ්ඩත්වයක් මුදාහරිමින් ඔවුන් ප්‍රචණ්ඩකාරී මාවතකට යොමු කිරීමේ ප්‍රයත්නයක් මේ තුළ දැකිය හැකියි. මෙලෙස ප්‍රචණ්ඩත්වයට ජනයා තල්ලු කළ විට පලිගැනීම්, ප්‍රකෝපකාරී ක්‍රියා ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. එය උපයෝගී කරගෙන සාමකාමී පුරවැසි ව්‍යාපාරය මර්දනය කරන ගමන් ආණ්ඩුවට අනුබල දෙන මහජන මතයක් නිර්මාණය කරගැනීම ඔවුන්ගේ අභිලාශය වී තිබුණ බව මින් පෙනී යනවා. සාමකාමී පුරවැසි ව්‍යාපාරයක් මර්දනය කිරීම අපහසුයි. එය මර්දනය කිරීම පහසු වන්නේ එහි සාමකාමී මාවතින් එළියට ගැනීමෙන් පමණයි. පසුගිය නවවැනිදා සිදු කළේ එවැනි ක්‍රියාවක්. එම උගුලට හසු නොවීමට පුරවැසි ව්‍යාපාරයේ උදවිය කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. මේ වනවිට ලංකාවේ සමාජ ආර්ථික අර්බුදය කෙතරම් තියුණු වී ඇති ආකාරය අනුව හමුදාව අතට පාලනය අරගෙන කරන්න දෙයක් නැහැ. ඉන් සිදුවිය හැක්කේ මෙය තව තවත් ව්‍යාකූල වීම පමණයි. පෙනෙන ආකාරයට හමුදාවේ අය එය අවබෝධ කරගෙන තිබෙන හැඩයි. ඔවුන් පැත්තකින් සිටින අතර සිවිල් පාලන තන්ත්‍රයකට ඉඩ දී කටයුතු කරන ආකාරයකුයි පෙනෙන්නට ඇත්තේ. මේ අරගලකාරී තත්ත්වය අවසන් කිරීමට නම් ජනාධිපතිවරයා ඉවත් වී මධ්‍යස්ථ දේශපාලඥයන්ගෙන් සමන්විත අන්තර්වාර පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට පියවර ගතයුතු වෙනවා. එසේම මේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට අනුබල දුන් අගමැතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශ්ව අත්අඩංගුවට ගත යුතු වනවා. මේ සඳහා පරීක්ෂණ පොලීසියට පැවරීමෙන් ඵලක් නැහැ. නමුත් ඇටර්නි ජනරාල් එය දැන් බාරදී ඇත්තේ පොලිස්පතිටයි. එය හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. ඒ පරීක්ෂණ අපක්ෂපාතී අවංක එකක් බව කිසිවෙක් පිළිගන්නේ නැහැ. ඒ සඳහා ඇටර්නිජනරාල් මඟින් කොමිසමක් පත් කළ යුතුයි. එයට චෝදනා එල්ල නොවන අවංක අපක්ෂපාතී හිටපු ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙක් (ඇටර්නි ජනරාල් කාර්යාලයේ අයකු නම් වඩා හොඳයි), ජ්‍යෙෂ්ඨ නීතීඥයෙක් සහ සිවිල් සමාජ නියොජිතයෙක්ගෙන් සැදුම්ලත් තිපුද්ගල කමිටුවක් පත් කළ හැකියි. ඔවුන් විසින් ඇටර්නි ජනරාල්ට හෝ තාවකාලිකව පත්වන ආණ්ඩුවට එකී පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ හැකියි. කෙසේ නමුත් උග්‍ර ආහාර හිඟයක පෙරනිමිති මේ වනවිට පහළ වෙමින් තිබෙනවා. ඉන්ධන අර්බුදය හා ඇඳිරිනීති තත්ත්වය හමුවේ ආහාර රට පුරා නිසිපරිදි බෙදා හැරීම ඇණහිට තිබෙනවා. ඒ හේතුවෙන් ඇතිවිය හැකි උග්‍ර ආහාර හිඟය හේතුවෙන් සාමාන්‍ය ජනයා ප්‍රචණ්ඩත්වයට යොමුවිය හැකියි. ඒ සඳහා මිනිසුන්ට ආරහාර සැපයීම විධිමත් කළ යුතු වෙනවා. ඊට ආගමික සංවිධාන, ස්වෙච්ඡා සංවිධාන සහ සිවිල් සමාජ සංවිධානවල සහාය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.” එසේ පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය ජයදේව උයන්ගොඩ ය.
රටේ පවතින ආර්ථික අර්බුදය නිසා ඇති වූ තත්ත්වය නිසයි ජනතාව පාරට බැස්සේ. එහෙම නම් මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා රටේ දේශපාලන ස්ථාවර භාවයක් ඇති වීම අතිශයින්ම වැදගත්.
මේ වනවිට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වමින් තිබෙනවා. වෙනත් රටවලින් ණය ආධාර ඉල්ලා තිබෙනවා. එවැනි අවස්ථාවක මෙවැනි තත්ත්වයක් රට තුළ උද්ගත වුණාම කොහොමද අපි රටක් විදියට ඉදිරියට යන්නේ. මේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය සාමාන්‍ය අතට පත් කිරීමට නම්, තරාතිරම නොබලා මේ සඳහා අනුබල දුන් අය අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට කැඳවිය යුතුයි. එසේ නොමැතිව මිලිටරිය පමණක් උපයෝගී කර ගැනීමෙන් මේ තත්ත්වය සමනය කරන්න බැහැ. මොකද නීතිය සැමට සමානව ක්‍රියාවේ යෙදුවේ නැත්නම්, පොදු පුරවැසියනුත් නීතිය අතට ගන්නවා. ඔවුන් නීතියට යටත් වන්නේ නැහැ. සිළුමිණ කළ විමසීමේදී මානව හිමිකම් කොමිසමේ සභාපති මහාචාර්ය දීපිකා උඩගම පෙන්වා දුන්නේය.
“ මේ වෙලාවේ ශ්‍රී ලංකාව කියන්නේ අභියෝග රාශියකට මුහුණදී තිබෙන රටක්. ප්‍රචණ්ඩත්වය නිසා සිදු විය හැකි කාරණා රාශියක් පිළිබඳ අප අවබෝධ කරගත යුතුයි. ප්‍රචණ්ඩකාරීව හැසිරිලා හෝ ආවේගශීලීව හැසිරිලා මහජන දේපළ සහ ජන ජීවිත විනාශ කිරීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සහ 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය පිළිගෙන ජීවත් වීමේ අයිතිය පිළිගෙන තිබෙන රටක් ලෙස අපට බැහැ කෙනෙකුගේ ජීවිතය නැති කරන්න. ඒ අනුව රාජ්‍ය විධායක පරිපාලන ක්‍රමයකින් මෙවැන්නක් සිදු කළොත් එය මිනිසකුගේ ජීවත් වීමේ මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කළ බව අපි කියනවා.
සාමාන්‍ය පුද්ගලයකු තවත් අයකුගේ ජීවිතය අහිමි කරනව නම් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 293 වගන්තිය යටතේ මිනීමැරීම කියන චෝදනාව යටතේ මරණ දණ්ඩනයට යටත් වෙනවා. ඒ අනුව නීතිය අනුුව ගත්තත් ජීවිත හානි කිරීම දේපළ හානි කිරීම වරදක්. සදාචාරාත්මක ලෙස ගත්තත් බෞද්ධ කිතුනු ඉස්ලාම් හින්දු ආගමික ලෙස බැලුවත් මෙම ක්‍රියා වැරදියි. එනිසා කවර තරාතිරමක අයකු මේ වරද සිදු කළත් ඔවුන්ට දඬුවම් පමනුවා මේ තත්ත්වය සමනය කිරීමට පියවර ගතයුතු බව” ජ්‍යේෂ්ඨ නීතීඥ, මහාචාර්ය ප්‍රතිභා මහනාම පැහැදිලි කළේය.
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර පෙන්වා දෙන්නේ “ මානව විද්‍යාත්මක පදනමින් බලන විට මනුස්සයා කියන්නේ කැලේ සිටිය ප්‍රාථමික සත්වයෙකුටයි. ඔහු පසුව තමයි සංස්කෘතික සත්වයකු ලෙස ශිෂ්ටාචාරගත වන්නේ. බටහිර දාර්ශනිකයකු වන බර්ට්‍රන් රසල් පෙන්වා දෙන්නේ මේ ගමනේදී අවස්ථා තුනක් ඔහු පසු කර පැමිණ ඇති බවයි. ඒ සොබාදහමට එරෙහිව, අනෙකාට එරෙහිව සහ තමන්ට එරෙහිව තමන් යනුවෙන්. ඔහු වනාන්තරයේ ජීවත් වූයේ සැක සහ බිය පෙරදැරිවයි. ආත්මාර්ථය නැතිනම් ස්වාර්ථය තමයි ඔවුන් ස්වභාව. එහිදී සතුරන්ට එදිරිව කටයුතු කිරීම සාමාන්‍යයක්. ප්‍රචණ්ඩත්වය කියන කාරණය මේ සාමාන්‍ය තත්ත්වයට එහා ගිය තත්ත්වයක්.
ඒ අනුව නූතන සමාජයේදී ප්‍රචණ්ඩයි කියල කියන්නේ අනෙක් අයට හිංසා පීඩා කරගෙන අනෙක් අයගේ අවශ්‍යතා අයිතිවාසිකම් උල්ලංඝනය කරගෙන තමා විතරක් කියලා හිතාගෙන කටයුතු කිරීමයි. එය තමයි ගාන්ධිතුමා උපනිෂද්වලින් අවිහිංසාවාදය ලෙස ගත්තේ. ඒ අනුව ශිෂ්ට සම්පන්න ලෝකය අනුමත කරන්නේ අපි විතරක් නෙමෙයි අනික් අයත් එක්ක තමයි ලෝකය තියෙන්නේ කියලයි.
සොබාදහම විනාශ නොකර ඒ අනුවයි කටයුතු කළ යුත්තේ. නමුත් අපි හැමදාම කටයුතු කර ඇත්තේ ඊට එදිරිවයි. පෙරදිග චින්තනය අනුව ස්වභාදහම එක්ක යන ගමනක් තමයි ජීවිත කියන්නේ. මං කවුද මං මොනවද කරන්නේ මං මෙතෙන්ට අවශ්‍යද කියන ප්‍රශ්නය හැමදාම නඟා ඇත්තේ සහ උත්තර දී ඇත්තේ ඒ අනුවයි. දේශපාලඥයෝ ගංවල හිටිය චණ්ඩින්ව ආශ්‍රය කරමින් ඒ අය ඉස්සරහට දාල හැමවෙලේම වැඩ කරල තියෙනවා. ඒ වයේ ප්‍රතිඵල අපි මේ භුක්ති විඳින්නේ. මෙතනින් එහාටවත් මිනිස්සු බොහෝම සාධාරණව මං විතරක් නෙමෙයි අපි ඔක්කොම කියන සිතුවිල්ලෙන් එකාවන්ව කටයුතු කළ යුතුයි. නැති නම් මේ පැමිණ තිබෙන ව්‍යසනයෙන් අපට ගොඩ ඒමක් නැති බවයි. එනිසා සියලු දෙනා තමන් උපමා කොට අනික් අය නොපෙළමින් කටයුතු කිරීම වැදගත් වෙනවා.”