අගමැතිගේ කතාව ගැන ජනතාව කියන කතා | Page 2 | සිළුමිණ

අගමැතිගේ කතාව ගැන ජනතාව කියන කතා

මේ දැනුම්වත් වීම කරන්න තිබුණේ මීට කලින් 
- ෂෙහාන් පෙරේරා (34) - කුලියාපිටිය (ව්‍යාපාරික)

අගමැතිතුමාගේ කතාව බොහොම හොඳයි. හැබැයි මේ දැනුම්වත් කිරීම කරන්න තිබුණේ මීට කලින්. එහෙම වුණා නම් රටේ පරිභෝජන රටාව අරපිරිමැස්මෙන් කළමනාකරණය කරගන්න තිබුණා. මේ වනවිට ජාතික සම්පත් බොහොමයක් විනාශ වෙලා අවසන්. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලෙ වහලා වැඩක් නෑනේ. මේ ආර්ථික පසුගාමිත්වය ව්‍යාපාරික ප්‍රජාවටත් හානිකරයි. සීමිත සම්පත්වලින් අසීමිත ප්‍රයෝජන ගන්නයි. දැන් සිදුවෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ වත්මන් අගමැතිතුමා හරි මේ රට ගොඩගනී කියලා. හැමෝම ඊට සහය දීම වැදගත්.

අපිට නම් කිසිම දේශපාලඥයෙක් විශ්වාස නැහැ
- රන්වලගේ ලාලනී (55) ඇඹිලිපිටිය සාත්තු සේවිකා)

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කතාව ඇහුවාම, බැලුවාම ඇඟේ මයිල් කෙළින් වෙනවා. හිතාගන්න බැරි තරමට රට ප්‍රපාතයකට ඇද වැටිලා. තුන්වේල කන්නත් නැති රටක් බවට පත්වෙලා. හැමදාමත් හැම ප්‍රශ්නයකින් ම පීඩාවෙන් පීඩාවට පත් වෙන්නේ දුප්පත් ජනතාවයි. ඇති හැකි අයට මේවා ගාණක් නෑ. ඉදිරියට එන දුෂ්කර අවදිය කෙටිකාලීනයි කීවත් මෙතෙක් කලකුත් දිගින් දිගටම පැවතුණේ ප්‍රශ්න ජාලාවක්මනේ. අපිට නම් දැන් කිසි ම දේශපාලඥයෙක් විශ්වාස කරන්න බැහැ. හැම කෙනාම මුලින් බොහොම සාධාරණයි. පසුවෙද්දී ඒ අය ඊට හාත්පසින් ම වෙනස්.

ජාතික වගකීමෙන් යුතුව රට ගොඩගන්න රජයට සහාය දෙන්න
- ප්‍රමුදි නයනතාරා සූරියසේකර (24) 
තාරන, උඩවෙල පරිගණක ක්‍රියාකාරිනී

ආර්ථික සංවර්ධනය කෙසේ වෙතත් ආපදාවක් ලෙස සලකා අනුගමනය කිරීමට කළයුත්තේ කුමක්ද යන පියවර කල්තියා ගත හැකි වෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ 14 ක් හිඟයි කියන්නෙම කොපමණ නරකද? අගමැතිතුමා රට පත්ව ඇති දරුණු ආර්ථික හා සාමාජීය ප්‍රපාතය ගැන කියාදී ඉල්ලා සිටින්නේ අනිත් අයගේ සහායයි. නොබෙදී සහාය දීම, කාගේත් වගකීමයි. මොකද කොහොම හරි විදේශ සහායෙන් රට නැවත ගොඩගන්නවා කියලා ඔහු පොරොන්දු වෙනවනේ.

ආර්ථිකයේ තිත්ත ඇත්ත ජනතාව දැනගත යුතුයි
- ආර්. ක්‍රිෂාන් සිල්වෙස්ටර් (25) - බදුල්ල කළමනාකරු

රට මේ වනවිට පත්ව ඇති ඇඟ හිරිවැටෙන භයානක ඇත්ත අගමැතිවරයා හෙළි කළා. ඒක ලොකු දෙයක්. ඇත්ත තිත්ත නමුත් ඇත්ත ජනතාව දැනගත යුතුයි. ඉදිරියේ අවදානම් දැරීමකට කල්තියා සූදානම් වෙන්න පුළුවන්. අපේ රට මොනතරම් අගාධයකට වැටිලද කියලා ඒ කතාව ඇහුවාම තේරෙනවා. මේ තරම් දුරට අපේ ආර්ථිකය පිරිහුණේ ඇයි. මින් ඉදිරියටවත් මේ ආර්ථික අවපාතය පිරිහීම වළක්වා රට ගොඩගන්නේ කොහොමද කියලා දැන්වත් කල්පනා කළ යුතුයි. රටේ ආදායම්වලට සාපේක්ෂව වියදම් කළමනාකරණය කරගත යුතුයි. දැන් අපි කබලට වැටිලා ඉවරයි. ලිපට වැටෙන්න නොදීවත් ආරක්ෂා වෙලා ඉන්න උත්සාහ කරමු.

නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැඟීමක්
- මුට්ටේන් පලනියන්ඩි (52) - හපුතලේ (ස්වයං රැකියා)

මුළු රටේම ජනතාව හා තරුණ පරපුර බේරා ගන්නා බව අගමැතිතුමා පැවසුවත් සමස්තයක් ලෙස ගත් කළ ගම්‍යමාන වෙන්නේ ඔහු ඉතිහාසය පුරා අනුගමනය කළ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක කරන බවයි. ජාතික ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමේ යෝජනාව රටට පාඩුවක්. රාජ්‍ය වගකීමෙන් නිදහස් කළාට සියලු ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. ඒ වගේම මේ වනවිට රට පත්වෙලා තියන අනේකවිධ කරදරවලට ස්ථිරසාර විසඳුමක් ඉදිරිපත් කරලත් නැහැ. තාමත් පෝලිම් නිමක් නෑ. සල්ලිත් නෑ. තියන අයට ගන්න බඩුත් නැහැ. රටේ දේශපාලන ව්‍යුහය ගැන අපි සතුටු නැහැ.

ඉදිරියට රටට මොනවයින් මොනව වෙයිද හිතාගන්න බෑ
- තිළිණි නිසංසලා (33) - මාලිගාවත්ත පිළිගැනීමේ නිලධාරිනී

අපි කෙතරම් විදේශ විනිමය අර්බුදයකට මුහුණපාලා තියනවද කියලා මෙයින් පැහැදිලි වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයි. මිල අධිකයි. ඒ විතරක් නෙමෙයි රෑ එළිවන විට බඩු මිල වැඩි කරනවා. ඒ අතර අගමැතිතුමා පවසන්නේ දුෂ්කරම යුගය ඉදිරියට කියලයි. මේ ගැටලුවලට පිළිතුරු සොයා ගැනීම සඳහා සියලු පක්ෂවල සහභාගිත්වයෙන් ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් පිහිටුවීමටත් යෝජනා වෙලා තියනවා. කෙටි දිගු මධ්‍යකාලීන හා දිගුකාලීන අවම වැඩසටහන් තුළින් රට නැවතත් ඔසවා තබන්න ගත් පියවර වැදගත් වෙනවා.

Comments