අරගලයේ හෙට දවස ගැන විද්වත්හු මෙසේ කියති | Page 2 | සිළුමිණ

අරගලයේ හෙට දවස ගැන විද්වත්හු මෙසේ කියති

ප්‍රේල් නවවැනිදා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය පසුබිම් කොට ගෙන ආරම්භ වූ නිර්පාක්ෂික ජනතා අරගලයට අද වන විට දින හතළිස් තුනක් ඉක්ම ගොසිනි. මින් ඉදිරියට මෙම අරගලයේ දිශානතිය කවරාකාර විය හැකිද? යන්න පිළිබඳ විද්වතුන්ගෙන් සිළුමිණ විමසීමක් කළෙමු.

අරගලය මින් ඉක්බිති කුමක් වේදැයි? සිළුමිණ කළ විමසීමේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජානකී ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ “ ඒ පිළිබඳ සාකච්ඡාවක් දැනටමත් ආරම්භ වී ඇති බවයි. ඒ සාකච්ඡාව පටන් ගන්න පෙර, මේ ඇති වී තිබෙන තත්ත්වය සමනය කර ගන්න ‘අරගල පරිශ්‍රයේ රැඳී සිටින පිරිස ඉදිරිපත් කළ කොන්දේසි පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.

එකක් තමයි ලංකාව පාලනය කරන්න අසමත් වෙච්ච මේ පාලනය ගෙදර යන්න ඕන කියන කාරණාව. මෙහිදී විපක්ෂයටත් චෝදනාවක් එල්ල වෙනවා. ඒ ආණ්ඩුව වැරදි මාර්ගයක යනව නම් ඒ දේවල් පෙන්වා දෙමින් එය එළිපිට සාකච්ඡාවට නොගැනීම. ඔවුන් කළේ ආණ්ඩු පක්ෂයට වරදින කම් බලා සිට ඒ ගැන සතුටු වී; එය තම දේශපාලන වාසිය සඳහා යොදා ගැනීමයි. මොකද ඔවුන්ටත් නිශ්චිත ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් මේ ගැන තිබුණේ නැහැ. එනිසා මෙවැනි පටු දේවල් වලින් බලයට එන්නයි ඔවුන් උත්සාහ ගන්නේ. මේ කාරණාව නිසා ආණ්ඩුවෙනුත්, පොදුවේ විපක්ෂයෙනුත් වැඩක් නැහැ කියන ස්ථාවරයට අරගල කරුවන් පැමිණ තිබෙනවා. මේ නිසා තමයි 225 ම එපා කියන්නේ. ඊ ළඟට මේ අය කිව්වා වයසක අය පිටිපස්සට ගිහින් තමන්ගෙ පක්ෂවල ඉන්න තරුණ අයට නායකත්වය ගන්න දෙන්න කියලා. මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව යටතෙම; අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවලා තාවකාලික ක්‍රියාමාර්ග අරගෙන ඔවුන්ට මේ අර්බුදය සමතයකට පත් කරන්න ඉඩදී; මැතිවරණයකට යන්න අවස්ථාව සලසා දෙන්න කියලා. නමුත් මේ අය ඒක ගණන් ගත්තේ නැහැ. 225 යන්න කිව්වෙත් පද්ධතියේ වෙනසක් ඉල්ලුවෙත් මේ හේතුව නිසයි. මේ නිසා මොනවගේ ආණ්ඩු කරණයක්ද ඔවුන් බලා පොරොත්තු වෙන්නේ කියන කාරණය ඉතාම පැහැදිලියි.

කාලාන්තරයක් තිස්සේ බොහෝ පාර්ශ්ව ඉල්ලා සිටින දෙයක් තමයි විධායකයමත බල කේන්ද්‍රවීම අහෝසි කළ යුතුයි කියන කාරණය. විධායක ජනාධිපති ධූරයේ බලය අඩු කරන්න නැත්තම් ඒක අහෝසි කරන්න කියල තමයි මෑතකාලයේ හැම ආණ්ඩුවක්ම බලයට ආවේ. නමුත් ඒ කිසිකෙනෙක් ඒක කළේ නැහැ. (එහෙම වුණේ ඇයි? කියන එක වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.)

අද අපිට තනි ජාතියක් පිළිබඳව කතා කරන්න බැහැ. අද ඉතා සංකීර්ණ තැනකට මිනිස්සුන්ගේ අවශ්‍යතා ඇවිත් තිබෙනවා. ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න; රැකියා ප්‍රශ්න විසඳ ගන්න ආණ්ඩු බලය තියෙන්න ඕන. ඒ සඳහා ආණ්ඩුකරණය සඳහා තිබෙන බලය විමධ්‍යගත විය යුතුයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට යන්න කියන ඉල්ලීම තුළ තිබෙන්නේ එයයි. මෙතනින් එහාට ක්‍රමයේ වෙනසක් ගැන අපි කතා කරනව නම්; ඔවුන් පැහැදිලිව කියන්නේ වැඩ කරන්න පුළුවන් තරුණ පිරිසකට ඉඩ දෙන්න කියලයි. පාර්ලිමේන්තුවේ තරුණයො නැත්නම් අඩුම තරමේ පනස් පහෙන් පහළ කට්ටියක් පත් කරලා වැඩ ටික කරලා; ඊට පස්සේ මහමැතිවරණයකට යනකොට; විධායකයේ බලය අඩු කරලා ව්‍යවස්ථාදායකය අතර බලය බෙදී යන ආකාරයේ ක්‍රමයක් තමයි ඔවුන් ඉල්ලන්නේ. ඒ නිසා ඔවුන් අරගලය තුළ රැඳී සිටිමින් කරන පෙනී ඉදීම නිශ්චිත බවයි.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ “ මේ අරගලය මෙතනින් කොහාටද යන්නේ කියල නිශ්චිත අදහසක් අපි කාටවත් කිව නොහැකි බවයි. තමන්ට හිතෙන විදියට යන්න ඕන ගමන මේකයි කියල කිව්වට ඒක ඒ මත තීරණය නොවන බවයි. එය තීරණය වන්නේ එහි අභ්‍යන්තරයේ තිබෙන ගතිකයන් මොනාද; බාහිරින් ඇතිවන සාධකවලට මොන විදියටද ප්‍රතිචාර දක්වන්නෙ කාරණය මතයි. නමුත් මැයි නව වැනිදා සිදු වූ සිදුවීමත් එක්ක මේ අරගලයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය වුණ බව පැහැදිලිව පේන දෙයක්. එවැනි වෙනස්කම් කිහිපයක් හඳුනාගත හැකියි. නවවැනිදා ගෝල්ෆේස් පිටියේ පහරදීමෙන් පසුව එහි දිගුවක් ලෙස ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ එයට බලපෑ හේතු සාධක පසෙකින් තැබුවත්; මේ නිසා අරගලයට ලැබුණු යුක්තිසහගතභාවයට ලොකු හානියක සිදු වුණා. එතෙක් තිබුණු මහජන සහභාගිත්වයෙත් මූලික වෙනසක් සිද්ද වුණා. විශේෂයෙන්ම මිලිටරිය ගෙන ඒම නිසා මහජන මැදිහත්වීම පාලනය වී තිබෙනවා.

මේ නිසා මහජන අරගලයේ ස්වභාවය වෙනස් වුණා. අනෙක් කාරණාව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත් කිරීමත් සමඟ අරගලයට සහයෝගයදීපු සෑහෙන පිරිසක් එයින් ඉවත් වුණා. ඒ අයට අරගලයට සම්බන්ධ වීමට තිබූ හේතුව නැතිව ගිය බවක් ඔවුන්ට දැණුනා. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයක ගමන් කරමින් ඉන්න විට ඉන් ඉවත් වෙනව නම් ඉවත්වීමේ මාර්ගයකින් ඕන ඉවත්වෙන්න. අරගලවලදිත් දිගටම ඉන්නෙ නැහැ; අයින් වෙන්න ඕන. ගොඩක් දෙනෙකුට රනිල් වික්‍රමසිංහ අගමැති වීම අරගලයෙන් ඉවත්වීමේ මාර්ගයක් බවට පත් වුණා.

සාමාන්‍යයෙන් වාමාශික දේශපාලන ව්‍යවහාරයේදී අප ධක්ෂිනාංශික පිරිස් යැයි හඳුන්වන ඉහළ මැද පන්තික සහ ලිබරල් යැයි හඳුනා ගැනෙන කොටස් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ බලයට පැමිණෙනවට කැමති කොටස් මේ අරගලය තුළ රැඳී සිටියා. ඒ අයට කොහොමටත් මේක දිගට ගෙනියන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ අයට තෙල් ප්‍රශ්න වගේම මහින්ද රාජපක්ෂ අයින් කර ගැනීම ලොකු අවශ්‍යතාවක් වී තිබුණා.

ඒ අයට ගෝඨාභය රාජපක්ෂ හොඳයි. ඒ අය ඡන්දය පවා දුන්නේ ඔහුට. ඒ නිසා රනිල් සහ ගෝඨාභය හොඳ සුසංයෝගයක්. ඒ නිසා මැයි නවවැනිදා වන විට අරගලයේ තිබූ හැම ජනකොටසක්ම නියෝජනය වෙමින් පොහොසත්ව තිබූ මහජන නැඟිටීමේ ස්වභාවය ඉන්පස්සේ වෙනස් වුණා. ඒක වැදගත් කාරණයක්. ඒ වගේම ගෝල්ෆේස් අරගලය තවමත් සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වයෙන් පවතිනවා. නමුත් මැයි නවනැනිදාට පෙර තිබූ තීව්‍රතාවයෙන් එය ඉදිරියට යයි කියා සිතන්න අමාරුයි. එසේ වුවත් ඒ ගැන අපට පුරෝකථනය කරන්න අමාරුයි. මොකද තවම තියුණු දේශපාලන අවිනිශ්චිතභාවයක් රට තුළ තිබෙනවා. ආර්ථික තත්ත්වය යහපත් බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා ඉදිරියෙදී මෙය කොයි පැත්තට ගමන් කරනවාද කියා අනාවැකි පළ කිරීම නිශ්ඵල බව” හෙතෙම පෙන්වා දෙයි.

“මේ ඇති වී තිබෙන අලුත් තත්ත්වය ලොව දියුණු රටවල පවා ඇති වී තිබෙන තත්ත්වයක්. විශේෂයෙන් 2008-9 ගෝලීය මූල්‍ය හා ආර්ථික අර්බුදය සහ 2019-20-21 කොවිඩ් අර්බුදය දිහා බැලුවම අපට පේනවා ජන ජීවිතයේ සියලුම ක්ෂේත්‍රවලට විශාල බලපෑමක් එල්ල කළා. මේ නිසා ආර්ථික දේශපාලන සංස්කෘතික සමාජීය අර්බුද ගණනාවක් ජනිත වුණා. මෙතෙක්කල් ජීවත් වූණු සුපුරුදු ජීවන ක්‍රමයෙන් පිට පැනීමක් සිද්ධ වුණා. තවදුරටත් ඒ අයගෙ පරණ ජීවිකාව ගෙනයාමට නොහැකි තත්ත්වයක් වුදා වුණා. රටවල් පාලනය කරන පාලක පන්තිවලට සුපුරුදු පරිදි රටවල් පාලනය කළ නොහැකි තත්ත්වයක් උදා වුණා. මීට හේතු වුණේ ඒ රටවල අරගලකාරී ස්වභාවයන් උත්සන්න වීමයි. වර්තමානය වනවිට ලෝක බලතුලනය බිඳ වැටීමකට ලක් වී තිබෙනවා.

මේ වනවිට ඒක ජෛවික ලෝක රටාවක් නිර්මාණය වී තිබෙනවා. මෙතෙක් පවත්වාගෙන ආ නව ලිබරල් ගෝලීය ආර්ථිකය රටාව අර්බුදයකට ගමන් කර තිබෙනවා. විශේෂයෙන්ම ඉහත සඳහන් කළ වර්ෂවල ඇති වූ අර්බුධ නිසා .

මේ නව ලිබරල් මූල්‍ය පර්යාය පවත්වා ගෙන යාම සඳහා ඔවුන්ට අවශ්‍යයි ලෝකය පුරාම ඔවුන්ගේ භූ දේශපාලනික ආර්ථික බලපෑම් වර්ධනය කර ගන්න. විශේෂයෙන්ම යුරෝ ආසියානු කලාපය තුළ බලය වර්ධනය කර ගන්න. චීනය රුසියාව, ඉන්දියාව මෙවැනි කලාප තමයි ලෝකේ අනාගත ආර්ථික හා සංවර්ධන කේන්ද්‍රස්ථාන බවට පත්වන්නේ.

ඒ නිසා මෙතෙක් ලෝක බලවතුන් ලෙස ක්‍රියා කළ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය බලවතුන්ට මේක වැළැක්වීම සඳහා; ඒ රටවල මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන්, ව්‍යාකූල තත්ත්වයන් ස්වභාවිකව පැනනඟින අර්බුද ඔස්සේ ඇති කරන්න අවශ්‍ය වනවා. අපේ රටෙත් ඒ ආකාරයට පැනනැඟුණු අර්බුදය ඔස්සේ මේ ක්‍රියාකාරකම් සිදුවෙමින් තිබෙනවා. මේවට සම්බන්ධ වී කටයුතු කරන කලාකරුවන් විද්වතුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ශිෂ්‍යයන් මේ ගැන සවිඳානික නොවෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීම අවශ්‍ය වෙනවා.

මෙහි අනාගතය කුමක් වෙයිද කියන ප්‍රශ්නයේදී මෙය බිහිවී වර්ධනය වුණා වගේම අනාගතයේ මෙය අවසාන වෙන්නෙත් ඒආකාරයෙන්මයි. ඒ සඳහා අවශ්‍ය කරන බාහිර සාධක මූල්‍ය අනුග්‍රහය ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනය මතවාදී යාන්ත්‍රණය සම්පාදනය කරන උදවිය අරගලයට අර්ථයක් එනකම්ම එය පවත්වාගෙන යන්න උත්සාහ කරාවි. මෙය පවත්වාගෙන යන්නේ රට ඇතුළේ පවතින ආර්ථික දේශපාලන අර්බුදය තුළින්.

මේ අර්බුදය නිසා ජනතාවට ඇති වී තිබෙන පීඩාව හා එය අවම කිරීම සඳහා කොතෙක් දුරට වැඩපිළිවෙළක් සකස් වනවාද යන්න මත එය තීරණය වනවා. ගෑස්, ඉන්ධන, විදුලිය කැපීම, භාණ්ඩ මිල ඉහළ යෑම ආදිය පිළිබඳ වැඩ පිළිවෙළක් සහ දේශීය වශයෙන් අභ්‍යන්තර ආර්ථික උපාය මාර්ගික ප්‍රතිපත්තියක් තුළින් පිළිතුරක් ලබාදෙන තුරුම අරගලයට අවශ්‍ය කරන පසුබිම වර්ධනය වෙනවා. ඒ කාරනා අරගලය පවතවාගෙන යාමට අවශ්‍ය පසුබිම සකසනවා.

මේ සඳහා කොටිකාලීන හා මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන විසඳුම් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා සියලු දෙනා එක්ව මේ අර්බුදයෙන් එළියට ඒමට කටයුතු කළ යුතුයි. එවිට අරගලයට පැවතීමේ ස්වභාවය අහෝසි වී යනවා. එය මිලිටරිය මඟින් කළ හැකි දෙයක් නොවෙයි. ඉන් තවදුරටත් මේ අරගලය පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා. එනිසා වහා කළ යුත්තේ මේ අර්බුදවලට විසඳුම් ලබාදීම බව” මහාචාර්ය ටියුඩර් වීරසිංහ පෙන්වා දෙයි.

“මේ තත්ත්වය හමුවේ මුළු රටම ආරජික තත්වයකට ඇද වැටී තිබෙන බවත්; ඒ හේතුවෙන් ඉතාම විනාශකාරී තත්ත්වයක් කරා රට ගමන් කරමින් තිබෙන බවත් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පැහැදිලි කළේය. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් මේ සියලු සටන් සියල්ල නවතා දමා සියලු දෙනා එකට එකතුවී මේ විනාශකාරී තත්ත්වය ආපස්සට හරවන්නේ කොහොමද කියන සාකච්ඡාවට යා යුතු බව” ඔහුගේ අදහසය.

දේශපාලන විශ්ලේෂකයකු වන සිරිමල් විජේසිංහ සිළුමිණට පවසා සිටියේ “ජනජීවිතයට බලපා තිබෙන ගෑස්, ඉන්ධන, භාණ්ඩ මිල ඉහළ යාම සහ ඩොලර් අර්බුදය විසඳහා ගැනීමට අවශ්‍ය විසඳුම් යෝජනා නොකර අරගල කර පුද්ගල ගෙදර යැවීම් ඉල්ලීම තේරුමක් නොමැති බවයි. ජනපති ගෙදර ගිය ගමන් ජාතික ජනබලවේගය හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙහි වගකීම බාරගන්නේද යන්න හෙතෙම විමසයි. සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයකුට එය එසේ නොවන බව ප්‍රත්‍යක්ෂ කරුණක් බව ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට මේ අර්බුදයට විසිඳුම් ලබාදිය හැකි පරිණත දේශපාලඥයා රනිල් වික්‍රමසිංහ බවත් ඔහු හා ගෝඨාභය සුසංයෝගය කිසියම් දෙයක් කිරීමට උත්සාහ ගනිමින් සිටින බවත්, අරගලකරුවන් කරන්නේ එයට බාධා පැමිණ වීම බවත් ඔහු පවසයි.

මෙම අර්බුදය විසඳුව හොත් අරගලයට පැවැත්මක් නැතිවන බව දන්නා නිසා එය වැළැක්වීමට ඔවුන් උත්සාහ කරන බව පවසන හෙතෙම පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් යෝජනා නොකර මේ කරමින් තිබෙන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පෙන්වා දෙයි.

Comments